ගුරුවාකර්ෂණය හොයාගත්තෙ අයිසෙක් නිව්ටන් නෙමේ, නරියෙක්...

ගුරුවාකර්ෂණය හොයාගත්තෙ අයිසෙක් නිව්ටන් නෙමේ, නරියෙක්...

24 August 2019 03:06 pm

එය නම් පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සිටි තවත් එක් දිනයකි. මේ වනවිට ෂර්ලොක් හෝම්ස් මහතා බේකර් වීදියෙන් පිටවී අවුත් ඩෙවොන්ෂයර් විල්ලුවේ කරක් ගසමින් සිටි අතර ජෝර්ජ්, ඈන්, ජූලියන් සහ ඩික් යන පිරිස කිරින් දූවේ කූඩාරමක තම නිවාඩුව ගත කිරීමට අදහස් කළහ. නමුත් 'ද බරොව්' නිවසේ කුඩා කාමරයක් රොන් සමග නිවාඩුව ගත කල හැරීට වඩා ඔවුන් වාසනාවන්ත බවනම් නොකියාම බැරිය. කෙසේ වෙතත් මේ කිසිවෙකු කතාවට අදාල නැත.

මේ අතර පෘථිවියේ එක්තරා කොටසක තිබූ එක්තරා කැළෑවක වාසය කල එක්තරා කපුටෙකුට එක්තරා දිනක එක්තරා කේජු කෑල්ලක් ලැබී තිබුණි. එය කපුටාට ලැබුණු ආකාරය පිළිබදව විවිධ විචාරක මත පවතින නමුදු තවමත් නිශ්චිත ලෙස පිළිගත් එක මතයක් නොමැති අතර එය කපුටාට ලැබුණු ආකාරය ද අපට අදාලම නැත.

කේජු කෑල්ල කටින් ඩැහැගත් කපුටා අසල තිබූ ගසක අත්තක් මත වැසුවේ නිවිසැනසිල්ලේ එය ආහාරයට ගැනීමට විය යුතුය. නමුත් ඒ වෙලාවේ එතැනට නරියෙකු පැමිණියේ කලින් සැලසුම් කර තිබුණාක් මෙනි. එසේම ඒ මොහොතේ නරියා සිටියේ ජැක් සහ රෝස් සමගම ටයිටැනික් නැව වුවද ගිල දැමීමට තරම් බඩගින්නකින් බව දැන සිටියේ නරියා සහ ඌගේ බඩේ සිටි පණුවන් සෙට් එක පමණි. පරණ කතාව සිහිවූ නරියා කෙසේ හෝ කේජු කෑල්ල තමන් සතු කරගැනීමට අදිටන් කරගත්තේ කපුටා ලොවෙත් නැති තරම් මෝඩ බව හොදින් දන්නා බැවිනි.

කපුටා සිටි ගස මුලට ගිය නරියා කපුටා දෙස බලා සිනාසුනේ මැතිවරණයට සති දෙකකට පෙර ඡන්ද දායකයින් දෙස බලා සිනාසෙන ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙනි. පැරණි උපායම නැවතත ක්‍රියාත්මක කරන්නට සිතූ නරියා අයි.ටී.එන් එකේ නිවේදකයෙකු රජයේ ඇමති වරයෙකුව වර්ණනා කරන්නාක් මෙන් කපුටාව වර්ණනා කරන්නට විය. ඉන්පසුව නරියා පැවසුවේ කපුටාගේ කටහඬ ඉතා මිහිරි බවත් එම මිහිරි කටහඬින් ගීතයක් ඇසීමට තමා ප්‍රිය කරන බවත්ය.

පැරණි කතාව මතක් වූයේ නරියාට පමණද? නැත, කපුටාටද පැරණි කතාව නැවත මතක් වූ අතරා නරියා පැමිනෙන්නේ කුමකටදැයි ඌ ඉක්මණින්ම වටහාගත්තේය. මෙවරනම් තමා නොරැවටෙන බවට අදිටන් කරගත් කපුටා නරියා දෙස බලා ආඩම්බර සිනාවක් පෑවේය. නමුදු නරියා සටන අතහැරියේ නැත. තමාට කපුටාගෙන් ගීතයක් ඇසිය යුතු බවත් ගීතය ඇසීම සදහා පවුලේ සියලු දෙනාත්, යහලුවනුත්, විශේෂයෙන්ම සුදු නංගීව හා ලයින් එක අරන් දීපු අයියාවත් එකතු කර ගන්නා බවත් ඌ දිගින් දිගටම පැවසුවේය. කපුටාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනු තැන අවසානයේදී එය ආයාචනයක් බවට පත් විය.

නරියා කෙතරම් වාර ගණනක් කපුටාට ආයාචනා කළේද යත් එය එයාටෙල් සමාගම විසින් සිය පාරිභෝගිකයන්ට දිනකට මැසේජස් එවන වාර ගණනටත් වඩා වැඩි විය. නමුදු සෙලවුනේ කපුටාගේ හොටනම් නොවේ. නරියාගේ කපටිකමට නොරැවටුනු තමා පිළිබදව කපුටා තුළ ඇතිවූයේ ආත්මාභිමානයකි. ආඩම්බරයකි. තේජාන්විත බවකි. මෙම හැගීම් කොතරම් බලවත් වූයේද යත් තම අදහස් නරියා ඉදිරියේ නොබියව පැවසීමට කපුටාට සිත්විය.

"ඒ ගොනාව වික්ක මහත්තයො...... ආයෙ අපි රැවටෙන්නෑ......"

කපුටා එක්වරම මෙසේ කියමින් කෑ ගැසුවේ අඩි කිහිපයක් එහායින් සිටි නරියාට පමණක් නොව හැතැම්ම කිහිපයක් එහායින් සිටි ඌගේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුවටද ඇසෙන තමේ ශබ්දයකිනි. නමුත් වැඩේ වැරදී තිබුණි. 'ගෝල්ඩන් ස්නිච්' පන්දුව රැකගැනීමට පනින 'සීකර්' ක්‍රීඩකයෙකු මෙන් කපුටාගේ හොටින් ගිලිහී වැටෙන කේජු කෑල්ල වෙත පැන්න නරියා එක්වරම එය ගිලදැමුවේ කලිකුත්වීමේ දිනයවත් පරික්ෂා නොකරමිනි.

මෙනයින් අපට පැහැදිලි වන්නේ නරියා ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව දැන සිටියේ නිව්‍ටන්ගේ හිසට ඇපල් ගෙඩියක් වැටීමට තියා ආදම් සහ ඒවා ඇපල් කෑමටත් පෙර සිට බවයි. ඒ නිසා ගුරුත්වාකර්ෂණය සොයාගැනීමේ ගෞරවය නරියාට ලබා දිය යුතුය.

ප.ලි. - සමහරවිට ඒ නරියා හෙළ නරියෙකු වීමටද ඉඩ ඇත.

- සචින්ත ප්‍රමෝද් නාඔටුන්න