ආදරේ නිල්පාටද නිල්පාට ආදරේද සමග ලන්ඩන් කවි අප්‍රේල් කලාපය

ආදරේ නිල්පාටද නිල්පාට ආදරේද සමග ලන්ඩන් කවි අප්‍රේල් කලාපය

4 April 2021 04:32 pm

ලන්ඩනයේ සිට මුදාහැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය 'ලන්ඩන් කවි' අන්තර්ජාල සඟරාවේ අප්‍රේල් කලාපය‍ මේ වනවිට වෙබ් අවකාශය වෙත මුදාහැර තිබෙනවා. ලන්ඩන් කවි, ප්‍රවීන කිවියර අනුර හෑගොඩ මහතාගේ සංස්කාරකත්වයෙන් ඔබ අතට පත් වේ.

මෙවර අප්‍රේල් කලාපය ප්‍රවීන හා නවක කවීන් 96 දෙනෙකුගේ කාව්‍ය රචනාවලින් ඔපවත් වී තිබෙනවා.

පහත පළවන්නේ, ලන්ඩන් කවි අප්‍රේල් කලාපයේ ඇතුළත්, ප්‍රවීණ කවියෙකු වන බුද්ධදාස ගලප්පත්ති මහතා රචනා කළ කාව්‍ය නිර්මාණයයි.

ආදරේ නිල්පාට ද නිල්පාට ආදරේද

ඔයා කියනව
මං ආසයි නිල්පාටට
නිල්පාට ඩෙනිම් කලිසම්
නිල්පාට සොෆ්ට් ඩෙනිම් කමීස

නිල්පාට කිව්වම
කොච්චරක් නිල්පාට තියෙනවද අනේ
මං ආස ඒ හැම නිලකම තියෙන
එක නිල්පාටට
ඒ කියන්නෙ ඔයාගෙ ඇස් දෙකේ නිල්පාට වගේ

බොරු කියන්නෙපා
මගේ ඇස් දෙකේ කොහෙද නිලක්?

නෑ සත්තයි ඔය දිළිසෙන්නෙ නිල්පාටට
'නීල උත්පල දිගැටි දෑසයි... නීල චංචල කිඳුරු දෑසයි...'

සේකර ඒ කියන්නෙ සුබා තෙරණියගෙ
ඇස් ගැන

ඉතිං සේකර හරි නේ

එහෙම නම් මමත් සුබා ථෙරණිය වගේ
ඇස් දෙක ගලවල දෙන්නද ඔයාට මතක් වෙන්න?
පිස්සු නැතුව
මගේ කම්මුලට හාද්දක් දෙන්න
මගේ බෙල්ල බදාගෙන
නිල්පාට ඇස් - බොරු කතා

නෑ සත්තමයි රෑට නින්දෙදිත් මට පේනවා

නින්දෙදි පේනවද මෝඩයො ඇස්
ඇයි මාත් එක්ක කියල තියෙන්නෙ
කැම්පස් යන කාලෙ නින්දෙදි මතක් වෙන්නෙ
සන්ධ්‍යකුමාරිල විජිතල කියලා
ඒ ගොල්ලන්ට තිබුනද නිල් ඇස්
මම කියන්නෑ රෑට දැක්කෙ මොනවද කියල
විහිලු කතා කියන්නැතුව
මට කිස් එකක් දෙන්න

නිල්පාට ආදරේ ද
ආදරේ නිල්පාට ද

මං දන්නෑ හරියටම මොකක්ද කියල
ඒත් මං ආසයි ඔයාගෙ ඇස්දෙකට
කතාකරන ඇස්
නිල්පාට ආකාසෙ
නිල්පාට මහ මුහුද
නිල්පාට නිල්පාට
ජීවිතේම නිල්පාට