ප්‍රින්සි මංගලිකා අම්මාට - කෞශල්‍යා ජයලත්

ප්‍රින්සි මංගලිකා අම්මාට - කෞශල්‍යා ජයලත්

1 December 2020 04:30 pm

ගිනි තැබූ ගෙපැලක අළු මත
                   මැරි මැරී ඉපදුණු පතිනී
පැටවුන්ට එතෙරට යන්නට
                   සිඳු දිය සින්ද වූ ⁣ලේනී
වරදෙ නො බැඳි ම වරදක
                   සිර දඬුවම් ලැබූ ගැහැනී
සිර මැඳුරු තුළ පවා රජ සැප
                    මැවූ කරුණා රැජිණී

ලොවේ අපමණ අවමන් 
                 සම සිතින් ඉහිළූ තෙරණී
වෛර වැපිරූ දෙරණක
           ඔබ කෙලෙස මෙලෙසින් පිපුණී
ඔබෙ ගුණ වනනු නිසි කව් පද
           උගෙන නැත මා එ'ගැන දුකිනී
මල් පිපී නැත තවම මේ ලොව
                ඔබ දෙපා පුදනු නිසි මව්නී

එතෙර රැකියාවකට ගොස් පැමිණි තම ස්වාමිපුරුෂයා මඟින් HIV ආසාදිත වූ අසරණ භාර්යාව ඇයය. ලොවින් එල්ල වූ නින්දා අවලාදවලට බිය වී ස්වාමියා සියදිවි නසාගත් පසු, කුඩා දරු දෙදෙනෙකුද සමඟ මෙලොව තනි වූ අම්මා ඇයය. නෑදෑ සනුහරේ එක්ව ගෙපැලද ගිනි තබා, ඔවුන්ව ගම්දොරින් පිටමං කළ පසු, එවැනිම තවත් HIV ආසාදිත ගැහැණියක වූ වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මියගේ මඟපෙන්වීම ලැබ, අළු දූලි මතින් නැඟී සිට HIV ආසාදිත පුද්ගලයින් සඳහා තම දිවියම කැප කර ඇති යෝධ ෆීනික්ස් කිරිල්ලිය ඇයය.