ඇසුණු ගීතිකා ඔ​බෙ එදා

ඇසුණු ගීතිකා ඔ​බෙ එදා

25 October 2021 12:00 am

ගී ඇසුර 09 

ගුවන් විදුලිය ගායක ගායිකාවන් බහුතරයකගෙ තිඹිරිගෙදර වුණාට අසූව, අනූව දශකවල බිහිවුණු බොහෝ ගායක ගායිකාවන් ජනප්‍රිය වුණේ කැසට් පටයත් එක්ක. 

අපේ රටේ මුල්ම කැසට් පටය හැටියට සැලකෙන්නේ 1978 තරංගා ලේබලයෙන් බිහිවුණු මිල්ටන් මල්ලවාරච්චිගේ Anytime Anywere කැසට් පටයයි. මෙහි ගීත හයක් ක්ලැරන්ස් විජේවර්ධන සහ තවත් ගීත හයක් සරත් දසනායක සංගීතවත් කළා. කුලරත්න ආරියවංශ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, චිත්‍රානන්ද අබේසේකර, බණ්ඩාර කේ. විජේතුංග සහ විජය රාමනායක තමයි එහි ගීත රචනා කළේ. ඔය කැසට් එකට කලින් සූරිය ලේබලයෙන් Baila Session of Sri Lanka නමින් ගී එකතුවක් කැසට් පටයක් විදිහට නිෂ්පාදනය කළත්  ඒක ජනගත වුණේ නැහැ.

මුල් කාලෙ කැසට් පට බිහිවුණේ ඉංග්‍රීසි නම් වලින්. ඊට හේතුව එවකට මේ හැම කැසට් පටයකම කවර සැලසුම් කළේ සිංගප්පූරුවේ වීමයි. මාස්ටර් ටේප් එක, කැසට් පටයේ විස්තර සහ අදාල ශිල්පීන්ගේ පිංතූර යැව්වම ඒවා සැකසෙන්නේ සිංගප්පූරුවේදීමයි. එහි Craft Print නමැති ආයතනය භාර චාලි චෑං තමයි ඔය කටයුතු බහුතරයක සම්බන්ධීකාරකයා වුණේ. 1980 න් පස්සෙ සිංහලෙන්ම කැසට් කවර සැකසෙන්න පටන් ගත්තා. 1981 විතර වෙද්දි කැසට් අනුපිටපත් කිරීමත් මේ රටේදිම කරන්න දේශීය කැසට් නිෂ්පාදකයන් සමත් වුණා. විජය රාමනායකගේ   “තරංගා” ආයතනයෙන් පස්සෙ 1980 විතර වෙද්දිම ආනන්ද ගනේගොඩගෙ “ සිංග්ලංකා” ආයතනය ජනගත වෙන්නෙ එක පෙළට කැසට් 25ක් එක්ක. ඉන් අනතුරුව ශ්‍රීමාලි, සිල්වලයින් සහ ජෙම්ටෝන් වගේ ලේබල් වලින් කැසට් පට බිහිවුණා.

කැසට් පට ප්‍රවණතාව මිල්ටන්ගෙන් ඇරඹුණාට පස්සෙ ප්‍රියා, ටී.එම්, නීලා, නන්දා, බෙග්, අමරදේව, සනත් සහ ජෝති ඇතුළු ගායක ගායිකාවන්ගෙ කැසට් වෙළෙඳ පොළේ අණසක පතුරුවන්න පටන් ගත්ත. හැබැයි ඒ හැමදෙනාම වගේ ගුවන් විදුලියෙන් බිහි වූ ශිල්පීන්. 1982 - 83 - 84 වෙද්දි කැසට් ගායකයන් බිහිවෙන්න පටන් ගත්ත. ඒක අලුත් ප්‍රවණතාවක්. තව බොහෝ ගායක ගායිකාවන් අතර ලලිත් පොන්නම්පෙරුම ජනප්‍රිය වෙන්නෙත් 80 දශකය මැද. ඔය අවධියේ වර්නන් පෙරේරා, කීර්ති පැස්කුවෙල්, සමන් ද සිල්වා, නුවන් ගුණවර්ධන සහ රෝහණ බෝගොඩ වගේ ගායකයනුත් ජනප්‍රිය වෙනවා. ප්‍රසංග වේදිකාව තමයි ඔවුන්ගෙ තෝතැන්න වුණේ. 

ලලිත් පොන්නම්පෙරුම පස්සෙ කාලෙ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවෙක් වුණත් ඔහු 70 දශකයේ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ කණ්ඩායම් සංගීතයත් එක්ක. වඩාත් පැහැදිලිව කිව්වොත් සංගීත කණ්ඩායමක නිත්‍ය සාමාජිකයෙක් විදිහට. 1975 මවුන්ට් චයිම්ස් සමඟ ගී ගයන ඔහු ඊට පස්සෙ සුපර් සික්ස්, සුපර් සෙවන් සහ සුපර් ස්ටාර්ස් කියන කණ්ඩායම්වල නිත්‍ය ගායකයා හැටියට එච්. ආර්. ජෝතිපාලගෙ, මිල්ටන් මල්ලවාරච්චිගෙ සහ මිල්ටන් පෙරේරගෙ ගී ගායනා කළා.

ජයන්ත ගමගේ ගී පද ලියා සංගීතවත් කළ “සඳට මුවා වී” ගීතය තමයි ලලිත්ගෙ ගී ගමන් මගේ සන්ධිස්ථානයක් වුණේ. ඊළඟට කඳුළු අරණක තනිවෙමී, දිනෙක අප හමුවුණා. සඳ තාරකා නිවා වගේ ගීත පෙළ ගැහෙනවා. ඒ, 1980 දශකයේ මුල. එතකොටත් ලලිත් පොන්නම්පෙරුම ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ශිල්පියෙක්. ඒ වෙද්දි  ක්ලැරන්ස් විජේවර්ධන කණ්ඩායම් ගීත කලාවෙ වෙනම අයිකනයක් සලකුණු කළ පොප් රජෙක්. එවැන්නෙකුගෙ ගීයක් සිය ගී එකතුව තුළ නොතිබීම මහත් අඩුවක් බව ලලිත් බොහෝ විට කල්පනා කර තිබුණා.

ඔය අතරෙ තමයි මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයෙදි පැවති සංගීත ප්‍රසංගයකදි ලලිත්ට ක්ලැරන්ස් මුණ ගැහෙන්නෙ. ඒ 1991 දි. ලලිත් පොන්නම්පෙරුම තමන්ගෙ හිතේ තෙරපගෙන හිටපු අදහස ක්ලැරන්ස් ඉදරියෙ මුදා හැරියා.

“ක්ලැරන්ස් අයියෙ, හදපු සිංදුවක් එහෙම නැද්ද ළඟ? මට කියන්න !”

“මං සිංදු හදල ළඟ  තියන් ඉන්නෙ නෑනෙ ලලිත්. ඕන්නම් එකක් හදල දෙන්නම්.”

ලලිත්ට දැනුණ ප්‍රීතිය කියාගන්න බැරි තරම්. ඒත් ඒ හැඟීමෙ හැබෑ පල ඔහු අත්වින්දෙ ඊට හය මාසෙකට විතර පස්සෙ. විවිධ කටයුතු නිසා දවසින් දවස කල්ගිය ගීතය නිර්මාණය කර අවසන් බවට වූ පුවත ඔහු වෙත සැළවෙන්නෙ හය මාසයකට පසු නිසා.

ගීතයෙ හැඩරුව දැනගන්නට ලලිත් ගියා ක්ලැරන්ස්ගෙ ගෙදරට. ක්ලැරන්ස් එවකට හිටියෙ ඇඹුල්දෙණියෙ තලපත්පිටියෙ. ඔහු ගිටාරය වයමින් නව ගීයෙ හැඩය ගායනා කරල පෙන්නුව. ගීය ඇහුවම ලලිත්ගෙ හිත කිව්වෙ මෙහෙම

“මුල ඉඳල අගටම එක විදියමයි. ඕක ජනප්‍රිය වෙන එකක් නැහැ.”

ලලිත් ටිකක් අදිමදි කරල ක්ලැරන්ස්ට ඒ බව කිව්ව.

“ඕක ටිකක් ඒකාකාරී නේද? මුල ඉඳන් අගටම එකම විදිහයි. අපි වෙන එකක් හදමුද?” 

“පිස්සු නැතුව කියපං බං. මං නේ කියන්නේ !”

ක්ලැරන්ස් ගත් කටටම කිව්වා.

පහුවෙනිදම ගීතයේ පටිගත කිරීම් යොදා ගත්තා. කොළඹ විජේරාමෙ සරසවිපාය ශබ්දාගාරයෙ. ක්ලැරන්ස්මයි රිදම් ගිටාරය වාදනය කළේ. පටිගත කළේ ශබ්ද ඉංජිනේරු ක්‍රිස්ටි පෙරේරා. ඒ ගීය තමයි “ඇසුණු ගීතිකා ඔ​බෙ එදා”. තනුව වගේම පදමාලාවත් ක්ලැරන්ස්ගෙ. ලලිත් පොන්නම්පෙරුම හඬ මුසු කළා. පටිගත කිරීම් කිසිම ආයාසයකින් තොරව හමාර වුණා. ක්ලැරන්ස්ට හරිම සතුටුයි. ඊටත් පහුවදා හවස ක්ලැරන්ස්ගෙ ගෙදරට ලලිත්ට ඇරයුම් ලැබුණෙ ඒ සතුට සමරන්න. දෙදෙනා අතර පැවති මධු සාදය අතර ගීය යළි යළිත් ඇහුවා.

“ඇසුණු ගීතිකා ඔ​බෙ එදා
සිහින මාලිගා  මැවූ සේ
ඒ නම් අතීතයේ 
ඔබෙ ගායනා ඇසෙන මෙදා
සවන් ගිනි ගනී වැකීලා
ඒ මෙදා....”

මධුවිතක් තොලගාන ගමන් ක්ලැරන්ස් ශෝකී ස්වරයකින් මෙහෙම කිව්වා.

“මේ සිංදුවෙ ලියැවුණේ මටම වෙච්ච දෙයක් බං.... ඒත්, ඒකෙන් උඹට ඇති වැඩක් නෑ.”
ඔහු දුම්වැටියක් දල්වා ගත්තා.

ඒකෙන් තමන්ට පලක් නොවන බව කියූ නිසාම ලලිත් ගීතයේ අත්දැකීම හාරල අවුස්සන්න ගියේ නැහැ. තවත් මධුවිතකට දෙකකට පස්සෙ සිය දුම්වැටියෙ දුමාරය හිස් අවකාශයට මුදා හරිමින් ක්ලැරන්ස් තවත් කාරණයක්  ආනාවරණය කළා. 

“උඹ දන්නවද, මං මිල්ටන්ට හදපු මේ සිංදුවත් මගේම අත්දැකීමක්.”

ඔහු ගිටාරය වයමින් මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් නිර්මාණය කළ ජනප්‍රිය ගීයක් මිමිණුවා. ඇත්තටම මිල්ටන් වෙනුවෙන් හැදුවා කිව්වට ක්ලැරන්ස් ඔය ගීතය හදාගත්තෙ තමන්ටමයි. පස්සෙ තමයි මිල්ටන් ඉල්ලගත්තේ. 

“තනි වී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින්
එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ....”

ඔය ගීත දෙකේම යම් සාම්‍යයක් තියෙනවා. හදවතට ළං වෙලා උන්නු තැනැත්තියෙකගේ ඈත්වීමක් නිසා ඇතිවුණු සංවේදනාවක් පිළිබඳව.

ඇත්තටම ඒ ගී දෙකේ අනුභූතිය එකක්ද දෙකක්ද කියල දන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන විතරමයි.

ඔහු කියූ ආකාරයටම “ඇසුණු ගීතිකා ඔ​බෙ එදා” ගීතය කෙටි කලකින්ම අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණා. පසුව එය ලලිත් පොන්නම්පෙරුමගෙ පළමු ගීත එකතුව වන “සඳට මුවා වී” කැසට් පටයට සංග්‍රහ වුණා.

© නිලාර් එන්. කාසිම්

පෙර ලිපි: 

ජීවිතේ කවියක්​

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ​

හදුනාගත්තොත් ඔබ මා​

සීගිරි ලාලිත ළඳුනේ

ඔබ රූ සිරියෙන්

දේවමන්දිරේ

සිනා පිපෙනා මේ වසන්ත​ය

මංගල නැකතේ