නීතිය අමු අමුවේ මරා දමන විට පැත්තකට වී බලා සිටින නීතිඥයන් යයි කියාගන්නා අය නීතිඥ වෘත්තියට අවමානයකි. - වෛද්‍ය ගාමිණී අභය

නීතිය අමු අමුවේ මරා දමන විට පැත්තකට වී බලා සිටින නීතිඥයන් යයි කියාගන්නා අය නීතිඥ වෘත්තියට අවමානයකි. - වෛද්‍ය ගාමිණී අභය

21 October 2021 09:00 pm

කොවිඩ් වසංගතයට අදාලව රජය හා රාජ්‍ය නොවන ආයතන හා සමහර රජයේ නිලධාරීන් රටේ නීතියට හා ව්‍යවස්ථාවට විරුද්ධව මහජනතාව නොයෙකුත් බාධකවලට හා භීතිකාවලට පැමිණවීම ඇස් ඉදිරියේ බලා සිටිමින් නිහඬ වී සිටීම නීතිඥ වෘත්තියට කරන අපහාසයකි. නීතිඥයන් වැනි වෘත්තිකයින්ට ජනතාව තුල ඇති ගෞරවය බිඳ දැමීමකි.

ලංකාවේ දහස් ගණනින් සිටින නීතිඥයින් යයි කියාගන්නා අයගෙන් අඩු ගණනේ දෙතුන් දෙනෙක් වත් නිර්භීතව ඉදිරියට පැමිණ නීතිය කුමක්දැයි ජනතාවට පහදා දීම සතුටට කරුණකි. එනමුත් රටේ නීතිය ආරක්ෂා කිරීමට හා මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා යුක්තිය සාධාරණය ඉටු කිරීමට උදව් දීමට බැඳී සිටින ඔවුන් පිළිබඳ මහජනතාව අතර පවතින විශ්වාසය කඩ කිරීමට ඔවුන්ගේ නිහඬතාව හැසිරීම සමත් වී ඇත.

ඇත්ත ප්‍රකාශ කිරීම පසෙක තබා තමාගේ වෘත්තියට අදාල මූලික ව්‍යවස්ථානුකූලව අඩංගු දේවල්වත් මහජනතාවට පහදා දීමට ඔවුන් මැලි වී ඇත. ලෝක වසංගතයක් වන ඛේදවාචක මෙවැනි අවස්ථාවක අඩු ගණනේ වසංගතයට සම්බන්ධ බලෙන් එන්නත් කිරීම්, මගීන්ට බස්වලට ඇතුල්වීම තහනම් කිරීම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මානව අයිතිවාසිකම් බිඳහෙලන නියෝග නිකුත් කරන විට නීතිය, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින නීතිඥයන් නිහඬව ඉන්නේ කොන්ද පණ නැති නිසාද? නැතිනම් එවැනි දෙයකට කවුරුත් මුදල් ගෙවන්නේ නැති නිසාද?

මෙවැනි මානව, ජාතික වසංගතයකට ගොදුරු වී සිටින අවස්ථාවක මුදල් ඉපයීම අතහැර ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන පහදා දී, එවැන්නක් කඩවුණු අවස්ථාවල නොමිලේ අදාල විත්තිකාරයින් හා එවැනි ආයතන අධිකරණය ඉදිරියට ප්‍රසිද්ධියේ ගෙන ඒමට පසුබට වන්නේ ඇයි?

මේ වසංගතයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොයෙකුත් නියෝග නිකුත් කිරීම් අතර එකක් පැහැදිලි වී තිබේ. ජාතියට ආදරය කරන නීතිඥයන් දෙතුන් දෙනෙක් හැර අනෙකුත් නීතීඥවරු හා ඔවුන්ගේ සංගම්වල කොන්ද පණ එන්නේ කවදාද යන්න මහජනතාවගේ කුතුහලයට ලක්වීමයි.

ඔවුන් නීතිමය, නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටීමට පොරොන්දු වූ වෘත්තිකයින් වශයෙන් මහජනතාව තුළ තිබූ විශ්වාසය හා ගෞරවය බිඳ වැටී ඇත.

මෙවැනි නීතිඥයන් සිටිනා නීතිඥ සංගම්වලින් රටට හා මහජනතාවට මේ වසංගත සමයේ ඇති ප්‍රයෝජනය කුමක්ද?