’මේ වර්චුවල් ලෝකෙ ඇතුළෙ අපි කොතරම් පුංචි අංශුවක්ද?’- පවන් අංජන

’මේ වර්චුවල් ලෝකෙ ඇතුළෙ අපි කොතරම් පුංචි අංශුවක්ද?’- පවන් අංජන

20 October 2021 01:54 pm

  • 'පොත් කවර නිර්මාණය කියන්නෙ නූතන ලෝකයේ වෘත්තීයමය වැඩක්'
  • 'අද දකින්න ලැබෙන්නේ කලා නිර්මාණ නෙමේ, කලා නිෂ්පාදන'
  • 'පොත් කවර පවා කතුවරයාගේ සීමාවන්ට යටත් වෙනවා'
  • 'මිනිමලිසම් කංචුකවලට වෙසෙස් පරිකල්පන වෙහෙසක් දරන්න ඕනෑ'
  • 'මම දැනට ෆොනු රූ අටක් හදල තියෙනවා'
  • 'පිටරටවල්වල ෆොනු රූ නිමැවුමට ම හදපු චිත්‍රාගාර තියෙනවා'
  • 'හැම කලාවක් ම නොපෙනෙන දෙයකින් එකට බැඳිල තියෙනවා'

 

නූතන පරපුරෙහි ග්‍රැෆික් තාක්ෂණය මුසු කරමින්, කලාත්මක නිමැවුම් ඉදිරිපත් කරන පවන් අංජන, කවි ලියන්නෙකි. ෆොනු රූ සකසන්නෙකි. කංචුක නිමැවුම්කරුවෙකි. සිනමා විෂයෙහි ද උනන්දු තරුණයෙකි. ඔහු 'සුළඟ තුරු අගිස්සක' නමින් කාව්‍ය සංග්‍රහයක් ද පළ කර තිබේ.

ඔහුගේ කලා භාවිතය සම්බන්ධයෙන් මෑතකදී අප කළ සංවාදයක් පහත දැක්වේ.

§ කවියෙන්, කවරයෙන්, සිනමාවෙන්, අකුරු හැඩතලවලින් වැඩකරන ඔබ, මේ සියල්ලේ පොදු ලකුණක් දකිනවද?

කවර නිර්මාණයේදී අකුරු හැඩතල කියන්නෙ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු දෙයක්. කවර සහ ෆොනු රූ කියන දේවල් දෘශ්‍යමය නිර්මාණ නිසා ඒවායේ බැඳීමක් පවතිනවා. ඔය අතරට කාව්‍යමය හැඟීමක් අරගෙන එන්න මම නිතර උත්සහ කරනවා. ඒත් පොත් කවර පවා කතුවරයාගේ සීමාවන්ට යටත් වෙනවා. කවිය වුණත් යම් දෘශ්‍යමය දැනවීමක් සමඟ ඉදිරිපත් කරන්න මම කැමතියි. කවිය සිනමාත්මක දෘශ්‍ය මාධ්‍යට අරගෙන එන 'විෂුවල් පොයම්' සංකල්පයට යන්නත් උත්සහ කරනවා. ඒ කොහොම වුණත්, හැම කලාවක් ම නොපෙනෙන දේකින් එකට බැඳිල තියෙනවා කියලයි මට හිතෙන්නෙ.

§ අල්පෝක්තිය, පොත් කවර කලාවට ගැනීම සම්බන්ධයෙන් නූතන කංචුක නිමැවුම්කරුවන් අතර ඔබ ද සිටිනවා. අල්පෝක්තිමය ලකුණ පොත් කවරයට ගන්න හිතුවේ ඇයි?

'මිනිමලිසම්' කියන්නෙ මම කැමති ම සංකල්පයක්. නිර්මාණයකදි ප්‍රකාශ කරන්න හදන මූලික සංකල්පය ඉතුරු කරලා අනෙකුත් බාහිර සියලුම දේවල් ඉවත්කරන එකයි එතැනදි වෙන්නේ. බැලූ බැල්මට මිනිමලිසම් කවරයක් නිර්මාණය කිරීම සරල දෙයක් වගේ පෙනුනට, ඒ වෙනුවෙන් විශේෂ පරිකල්පනීය වෙහෙසක් දරන්න වෙනව. ඒ වගේම නිරන්තර අභ්‍යාස කිරීමත් වැදගත්.

§කංචුක කලාවේදී ඔබට බලපෑම් කළ දෙස් විදෙස් නිමැවුම්කරුවන් කවුද?

අද වන විට කවර නිර්මාණය කියන්නෙ ලෝකයේ වෘත්තීයමය වැඩක්. ව්‍යාපාරික ලෝකයේ අවශ්‍යතාවයක්. ඒ නිසා මේ සේරම ඇතුළෙ දකින්න ලැබෙන්නෙ කලා නිර්මාණ නෙමේ, කලා නිෂ්පාදන. බොහෝ වෙලාවට කවර නිර්මාණකරුවන්ගෙ නමක්වත් ඇතැම් පොත්වල සඳහන් නොවෙන්නෙ ඒ නිසයි. 'පින්ටරෙස්ට්' වගේ මාධ්‍යවල අතිවිශාල නිර්මාණ සංකල්ප තිබෙනවා. ඒ බොහෝ නිර්මාණවල නිමැවුම්කරුවෙකුගේ නමක් සඳහන් වෙන්නේ නැහැ. ඒවායේ පවා කුඩා වෙනස්කම් එක්ක අනුපිටපත් අතිවිශාල ගණනක් පවතිනවා. කවරයක් හදද්දි මට එවැනි දේවල් බලපෑම් කරනවා. ඒනිසා පුද්ගලයන්ගේ නම් වශයෙන් කීම අපහසුයි. නමුත්, මම දිනිඳු සිරිවර්ධනගෙ පොත් කවරවලට වැඩි කැමැත්තක් දක්වනවා.

 § ග්‍රැෆික් නිර්මාණකරුවන් අත පත්වන තාක්ෂණය, නූතනයට කොතරම් සාධනීයව භාවිතවෙලා තියෙනවද?

අද වෙනකොට ලෝකයේ මේ හැම නිර්මාණ කටයුත්තක් ම වෙන්නෙ තාක්ෂණය නිසා. මමත් කවර ගැන බොහෝ දේවල් ඉගෙන ගන්නෙත් අලුත් සංකල්ප හොයාගෙන යන්නෙත් ඒ තාක්ෂණය නිසා. තාක්ෂණය ඉතා සාර්ථකව කලා නිර්මාණ ක්ෂේත්‍රයේදී පාවිච්චි කරන්න ග්‍රැෆික් නිර්මාණකරුවන්ට අද හැකි වෙලා තියෙනවා.

 § ඔබ විවිධ ෆොනු රූ නිමවන්නෙක්. ෆොනු රුවක් නිර්මාණය පිටුපස ඇති කතාව කෙටියෙන් කියන්න පුලුවන්ද?

අකුරුවලින් විවිධ හැඩ මවන එක මට පුංචි කාලෙ සිට ම තිබ්බ ආසාවක්. අපේ අප්පච්චි ; අජිත් සුසන්ත, වෘත්තීයමය චිත්‍ර ශිල්පියෙක්. එයා අකුරු අඳිනව බලන් ඉඳලා තමා මටත් මේ භාෂාවේ රූපමය හැඩය වෙච්ච අකුරු ගැන වෙනස් බැඳීමක් ඇති වෙන්නෙ. ඉන්පස්සෙ විවිධ අකුරු හැඩ අඳින අතරෙ ග්‍රැෆික් ක්ෂේත්‍රය ගැන උනන්දු වෙමින් ෆොනු රූ හදන්න උත්සහ කළා. අන්තර්ජාලයෙන් හොයල තනියම ඉගෙන ගෙනයි ෆොනු රූ හදන්න පටන් ගත්තෙ. මම දැනට ෆොනු රූ අටක් හදලා තියෙනවා.  මේක දීර්ඝ කාලයක් සහ වෙහෙසක් දරන්න සිද්ධ වෙන, දීර්ඝ අභ්‍යාස කාලයක් පසුකරන්න වෙන වැඩක්. වෙනත් රටවල්වල ෆොනු රූ නිමැවුම වෙනුවෙන් ම චිත්‍රාගාර පවා තියෙනවා. කණ්ඩායමක් එකතුවෙලයි ඒවා සිදුකරන්නෙ. ලංකාවෙ නිර්මාණකරුවන්ට ඒ සියල්ල තනියම කරගන්න සිද්ධ වෙනව. ඒත් ඒ කැපකරන කාලයට වටිනාකමක් ගන්න පුළුවන්කමක් ඇත්තෙත් නෑ.

§රුව මූලිකවන, වර්චුවල් ලෝකයක අපි වෙසෙන්නේ. එක ම මොහොතෙදි කලාත්මක සුන්දර දේ දකින්නා වගේ ම, එහි අනික් පසත් අත්විඳින්න ලැබෙන සමාජයක්. මේ සියල්ලෙහි දැනුම්වත් බව, ඩිජිටල් අවකාශය භාවිත කරන නිර්මාණකරුවකුට කොතරම් ප්‍රයෝජනවත් ද?

සමස්ත ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න වුවමනා විශාල දොරටුවක් ඩිජිටල් තාක්ෂණය අපට විවෘත කර දීලා තියෙනවා. මම පොත් කවර නිර්මාණය වෘත්තීමය විදියට පටන් අරන් එතරම් කාලයක් නැති වුණත්, දැනටමත් තරමක ඉහළ ආදායමක් එයින් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ තාක්ෂණික ලෝකය ඇතුළේ තියෙන්නෙ පුදුම තරගකාරීත්වයක්. ලෝකය වෙනස් වෙන වේගයට අනුව අපේ සිතීමේ පරාසය අප්ඩේට් කරගන්න බැරිවුණොත් ඒ තරගයෙන් නිකම්ම හැලිලා යන්න වෙනවා. මම කලින් කිව්ව වගේ අන්තර්ජාලයට, සමාජ ජාලා මාධ්‍යයන්ට ඇතුළුවුණාම පෙනෙනවා මිනිස්සු කොයිතරම් නිර්මාණශීලී ද කියලා, වර්චුවල් ලෝකය ඇතුළේ දෘශ්‍ය කලාව කොතරම් පුළුල් ද, ඒ ඇතුළේ අපි කොතරම් පුංචි අංශුවක්ද කියලා. සාධනීය ලකුණු වගේ ම නිර්මාණ අනුපිටපත් වීම, නිර්මාණ හොරකම වගේ දේවලුත් ඒ ඇතුළේ තියෙනවා.

§ ඔබ නිර්මාණය කළ පොත්කවර අතරින් වඩාත් තෘප්තිමත් වූ කවරය කුමක්ද?

නිකී විට්ලොක් නම් ඇමරිකානු කවියෙක්ගෙ 'words through darkness' නම් කුඩා කවි පොතට කළ කවරයට මම වඩාත් කැමතියි. ග්‍රැෆික් කටයුතුවලදි සාමාන්‍යයෙන් ග්‍රැෆික් නිර්මාණකරුවාගේ අත්හදා බැලීම්වලට ඉඩ ලැබෙන්නෙ හරිම අඩුවෙන්. හැබැයි මේ කවරයෙදි මට ඒ නිදහස ලැබුණා. ඒ නිසා මම ඒ කවරයට කැමතියි.  ලංකාවෙ නම් මගේ පොත් හැර මම කළ පොත් කවරවලින් පළවුණේ, තරුණ ලේඛකයෙකු වූ රශ්මික මණ්ඩාවලගෙ 'මොනාලිසාගෙ මිසර ගමන' සහ 'චීනයට මන්දගාමී බෝට්ටුවකින්' පොත් දෙකේ කවර පමණයි. ඒ පොත්කවර කරන්නත් අර වගේම නිදහස ලැබුණා.

 § ඉදිරියේ එන්න නියමිත නිර්මාණ කටයුතු ගැන ඉඟියක් දෙමු.

මම කවර නිර්මාණයට එන්න මූලික පදනම වැටෙන්නෙ චිත්‍රකලා පුහුණුවයි අධ්‍යයනයි එක්ක. ඒත් ඒක තවදුරටත් කලාවක් විදියට ලෝකයේ පවතිනවාද කියන දේ ගැන මට තියෙන්නෙ වෙනස් අදහසක්. මම චිත්‍රකලාවට තිබුණ ඇල්ම සහ හැකියාව වාණිජ වටිනාකමක් සහ පාරිහාරික අවශ්‍යතාවයක් නිසායි වෙන ක්ෂේත්‍රයකට තල්ලු කළේ.

අනෙක් අතින් මම ප්‍රියකරන හැගීම් ප්‍රකාශනය සහ නිර්මාණකරණය විහිදෙන්නෙ කවිය, සාහිත්‍යය සහ සිනමාව පැත්තට. ඒ නවතින තැන විදියට මගෙ හීනය තියෙන්නෙ සිනමාව. උසස්පෙළ කරලා අවසන් වෙලා ඉන්න කාලෙ කළ, 'සූදානම්ව සිටිමු' ළමා චිත්‍රපටය තවම ප්‍රදර්ශනය කරගන්න බැරිව ඉන්නවා. ඉස්සරහටත් සිනමාව පැත්තෙ යමක් කරන්න සැලසුමක් තියෙනවා.

සංවාදය - ඩිල්ශානි චතුරිකා දාබරේ



Recommended News