වෙන’ත්’ පාලනයක් වෙනුවට වෙන ’ස්’ ජනතාවක්!

වෙන’ත්’ පාලනයක් වෙනුවට වෙන ’ස්’ ජනතාවක්!

24 July 2021 05:14 pm

පසුගිය දිනයක මා වෙත අපූරු වට්සඇප්  පණිවිඩයක් ලැබුණි.එහි වැදගත්ම හරය මෙසේය.

"සාමාන්‍ය සොරෙකු සහ දේශපාලන සොරෙකු අතර වෙනස කුමක්ද?

 සාමාන්‍ය සොරා ඔබේ මුදල් සොරකම් කරයි. නමුත්, දේශපාලන හොරා ඔබේ අනාගතය සොරකම් කරයි.,  හාස්‍යජනක කාරණයනම් සාමාන්‍ය හොරා සොරකම් කළ යුත්තේ මොනවාද  යන්න තෝරා ගනු ඇත. එහෙත්, දේශපාලන හොරා ඔබව සොරකම් කරයි. සාමාන්‍ය සොරෙකු පොලිසිය විසින් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගනු ඇත. නමුත්, දේශපාලන හොරා පොලිසිය විසින් රැක බලා ගනී. එය අපගේ වර්තමාන සමාජයේ විකාර සහගත ඇත්තයි.,  අපි අන්ධ නැහැ කියා කීවද අපි අන්ධය.අපි සාමාන්‍ය හොරාට අපහාස කිරීමත් ඔහුට එරෙහිව  සටන් කිරීමත් කරන නමුත් , දේශපාලන හොරාව රැකගැනීම වෙනුවෙන් එකිනෙකා සමඟ සටන් කරමු."

මේ කතාව මොනතරම් ඇත්තක්ද යන්න අප අත්දැකීමෙන් ම දනිමු.

වසර ගණනාවක දේශපාලන ඉතිහාසයෙන් ද වර්තමානයෙන් ද ඒ පිළිබඳව ඕනෑතරම් පාඩම් ඉගෙන ගත හැකිය.

අද බොහෝ දෙනා කියන්නේ රටම ෆේල් කියාය.නමුත් රට පාස් කිරීමට හැකියාව ඇති අයෙකු පත් නොකළේ කවුද?.

ජනතාවමය.!

පාලකයින් ගත්තත් පුවතකින් ගත්තත් ජනතාව ගත්තත් සියලු දෙනාම අද වන විට ෆේල් වී ඇත්තේ පාස් වීමට හෝ පාස් කිරීමට හැකි අය පත් කිරීමට ජනතාව අසමත් වූ නිසාය.

රටම ෆේල් නිසා,රට පාස් කිරිමට හැකියාව ඇති අයෙක් පත් කිරීමට හැකිවූයේ ද නැත. එපමණක් නොව ප්‍රධාන දේශපාලන පක්ෂද රට පාස් කළ හැකි නායකයින්ව ඉදිරිපත් කළේ නැත.

එබැවින් මේ රට ගොඩනැංවීමේ දැවැන්තම කාර්යභාරය දේශපාලන පක්ෂ සහ ජනතාවගේ හිස මත පැවරී තිබේ.

ශිෂ්ට සම්පන්න ලෙස සිතන රටක්, හරි වැරැද්ද පිළිබඳ අවබෝධයක් ඇති රටක් ,තමන්ට පැවරී ඇති කාර්යභාරය මනාව ඉටු කරන මිනිසුන්ගෙන් පිරුණු රටක් බිහිකිරීමේ වගකීම ජනතාව මත ද තිබේ .

ඒ හැර අපි නිරන්තරයෙන් දේශපාලඥයින්ට පමණක්  බැන වැදුනා කියා පලක් නැත.ඔවුන් අප විසින් පත් කළ උන් මිස අහසින් කඩා පාත් වූවන් නොවේ.

එබැවින් මේ තත්ත්වය වෙනස් කිරීමටත් රට සමත් කිරීමටත් සියලුම ක්ෂේත්‍ර වලට වගකීමක් පැවරී තිබේ.

ඕනෑම රටකට අප ගිය විට ගුවන් තොටුපොළේ ස්වභාවයෙන්ම රට ගැන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්ය.එහි පිළිවෙල ,මිනිසුන්ගෙ හැදියාව, ක්‍රියාකාරිත්වය , හැසිරීම් රටාව මේ ආදී සියල්ල තුළින් ගම්‍ය කරන්නේ ඒ රටේ ස්වභාවය ය .

ඉන් ඔබ්බට පරිසරයේ පිරිසිදු බව,පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ,මිනිසුන්ගේ කතා බහ,පාරවල් වල වාහන යන ආකාරය,හෝන් ගසන තරම,සත්තුන්ට සලකන ආකාරය,වැසිකිලිය පාවිච්චි කරන ආකාරය  පවා එම රටේ ස්වරූපය තවදුරටත්  ප්‍රදර්ශනය කරයි.

අපේ රට අද පත්ව ඇති තත්ත්වයට වගකිව යුත්තේ දේශපාලනඥයින් ය.එහෙත් ඔවුන් පත් කර ගත්තේ මහජනතාව විසින් ම බව අමතක නොකළ යුතුය.

පොලිසිය ගන්නේ බලය ඇති දේශපාලඥයින්ගේ පැත්ත නම්,මාධ්‍යවේදීන් සහ මාධ්‍ය විසින් ගන්නේ බලවත් දේශපාලඥයින්ගේ පැත්ත නම්,ව්‍යාපාරිකයින් ගන්නේ බලය ඇති දේශපාලඥයින්ගේ පැත්ත නම් එය දේශපාලඥයින්ගේ පමණක් නොව සමස්ත සිස්ටම් එකේම වරදකි.

එම වරද නිවැරදි කර ගත හැක්කේ ද මහජනතාවට වන නමුත් ඔවුන්ට ලැබෙන තීරණාත්මක අවස්ථාවන්හිදී පවා ජනතාව එය වගකීම් විරහිතව පාවිච්චි කිරීම අවාසනාවකි.

බලයේ සිටින දේශපාලන පාර්ශවයට පොලිසිය ආවඩනවානම්,කතුවරයාගේ දේශපාලනයට රුචිවන ලිපි සහ පුවත්වලට ප්‍රමුඛත්වය ලබා දෙනවානම්,ඇති පලක් තිබේද?.

පොලිසිය සිටින්නේ රටට සේවය කරන්න ද,බලයේ සිටින දේශපාලන පක්ෂයට හෝ ආණ්ඩුවට සේවය කරන්න ද යන්න පළමුව තේරුම්ගත යුතුය.

පොලිසිය බලය ඇති පක්ෂයේ අවියක් වෙනවානම් ජනතාවට අපක්ෂපාතී සේවයක් සිදු වන්නේ කෙසේද?.පොලීසිය අවියක් විය යුත්තේ අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කිරීමට ය.

ව්‍යාපාරිකයින් දේශපාලකයින් පසුපස ගොස් අයුතු ලාබ ප්‍රයෝජන ගන්නවානම් රටක් දියුනු වන්නේ කෙසේද?.

ඇතැම් ආගමික නායකයින් සහ පූජකවරුන් දේශපාලනඥයින් මත යැපෙනවා නම් ඔවුන්ගේ දාර්ශනිකයින් කියා දුන් දහම යථාර්ථයක් බවට පත් කරන්නේ කෙසේද?

ගුරුවරුන් දේශපාලඥයින් පස්සේ යනවානම් දරු පරම්පරාවක් සහ මතු පරම්පරාවක් අභිමානවත් පිරිසක් බවට පත් කරන්නේ කෙසේද?


රාජ්‍ය සේවකයින් දේශපාලකයින් මත යැපෙනවානම් නිවහල් වූ රාජ්‍ය සේවයක් ජනතාවට ඉටු කිරීමේ හැකියාව ලැබෙනවා ද?

ක්‍රීඩාව දේශපාලකයන්ට අවශ්‍ය විදිහට සිදුවෙනවා නම් ක්‍රීඩාවේ ප්‍රගමනයක් තිබෙනවාද?

මාධ්‍ය දේශපාලඥයන්ට අවශ්‍ය විදිහට හැසිරෙනවා නම් රටේ සිව්වෙනි ආණ්ඩුව ලෙස ජනතාවට ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිලාභයක් තිබේද?.

අපේ රටේ දේශපාලනඥයින් පිළිබඳව දිගින් දිගට කතා කිරීමෙහි ඵලක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය පිළිබඳව නිරන්තරයෙන් කතා  කළ ද, ඔවුහු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සැබෑ සාධාරණත්වය අගයන පිරිසක් නොවන බව වසර හැත්තෑ දෙකකට වැඩි කලක් තිස්සේ ඔප්පු වී තිබේ.

මීට වසර කිහිපයකට පෙරාතුව මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ  තිඹිරිගෙය වන පාර්ලිමේන්තුව තුළ සිදු වූ සිදුවීම් ජාලාව ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකුට අමතක වන්නේ නැත.

පාර්ලිමේන්තුවේ සම්පත් විනාශ කරමින්, පුටු ඔසවා පොළවේ ගසමින්,එකිනෙකාට පහර දී ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයේ තිඹිරි ගෙය තුළ  ජනතා නියෝජිතයින් නැටූ නාඩගම ඉතිහාසගත සාක්ෂි ලෙස සටහන්ව තිබේ.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය දේශීය සහ විදේශීය වශයෙන් අපකීර්තියටත් කළු පැල්ලමකටත් ලක් කළ ඒ ඉතිහාසගත සිදුවීම වී ඉතා කෙටි කලක් තුල මේ රටේ අති බහුතර ජනතාව විසින් ම කිසිදු ලෝබකමකින් තොරව ඔවුන්ව පාර්ලිමේන්තුවට නැවතත්  තෝරා පත්කර එවූහ.එයිනුත් ඉතා නරකම ලෙස හැසිරුණු පිරිස් වලට ඉහල ජනතා මනාපයක් ලබා දීමය.

තමන්ගෙ සහ මතු පරම්පරාවේ අනාගතය ගොඩ නැගීමට පාර්ලිමේන්තුවට යා යුත්තේ රෙස්ලින් හෝ බොක්සින් මෙන්ම ගුස්ති ඇල්ලීමෙහි සමත් අයයැයි ජනතාවම කල්පනා කරනවා විය යුතුය.

ජනතා පරමාධිපත්‍යය නැමැති බලය සරල ලෙසත්, සැහැල්ලු ලෙසත්, වගකීම් විරහිත වත් පාවිච්චි කිරීමෙහි ආදීනව ජනතාවට ම භුක්ති  විදීමට සිදුවීම පුදුමයක් නොවේ.

රටක් ලෙස අසමත් වූ විට එවැනි පුද්ගලයින්ටම රට භාරදීමට ජනතාව දෙවරක් කල්පනා කරන්නේද නැත.

දුරදිග නොබලා ජනතාව විසින් ගනු ලබන තීන්දු තීරණ විසින් විනාශයට පත්වන්නේ ද ජනතාවම ය.අසමත් රටක ජනතාව වෙතින් සමත් පාලකයින් පත්කරගනු ඇතැයි කල්පනා කිරීම ම විහිලුවකි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ ශිෂ්ට සම්පන්න බව පිළිබඳ ව අගය කිරීමක් ඇති මිනිසුන්ට අවශ්‍ය වන්නේ නිදහස් සමාජයක නිදහස් පුරවැසියන් ලෙස ජීවත්වීමට මිස රාජාණ්ඩු පාලන ක්‍රමයකට යටත්වී වහලුන් ලෙස ජීවත්වීමට නොවේ.අවාසනාවකට අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුරසාරම් දෙඩුවද, මැතිවරණ ආශ්‍රිතව ජනතාව තීන්දු තීරණ ගනු ලබන්නේ පාලකයා යනු තමන්ව පාලනය කිරීමට  සිටින උද්දච්ච පුද්ගලයෙක් ලෙස සලකාය."හිට්ලර් කෙනෙක් වෙලා හරි කමක් නෑ රට පාලනය කරන්නයි" ඇතමුන් ඉල්ලා සිටින්නේ ඒ නිසාය.

මේ රට බහුවාර්ගික ජන සමාජයකි. වාර්ගික සංහිඳියාව ඇතිකර ගැනීම සම්බන්ධයෙන් බලපාන කරුණු අතරින් එකක් වන්නේ රාජ්‍ය පාලනයේදී රාජ්‍යය අපක්‍ෂපාතී බේරුම් කරුවකු වීමය.අවාසනාවට මේ රටේ පාලකයින් එහෙම කරන්නේ නැත.අපක්ෂපාතී යන වචනය ඔවුන් බලය ලබා ගන්නට පාවිච්චි කරන ආයුධයක් පමණි.

 මෙරට මැතිවරණ පැවැත්වේ.ඒ රට පාලනය කිරීමට සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමට ය.ඒ අනුව මැතිවරණ වලින් ජනතා නියෝජිතයින් තෝරා ගන්නා බව සත්‍ය වුවද, සැබැවින්ම සෑම මැතිවරණයකදී ම සිදුවන්නේ ජනතාව තමන් කවුද කියා පෙන්වීමය.එය වසර පහෙන් පහට මනාව ඔප්පුකොට ඇත.මැතිවරණයක් අවසානයේ සිදුවන්නේ ජනතාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගන්නවාට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙසිය විසි පහක් මගින් රටේ ජනතාවගේ "තෝරා ගැනීමේ"ස්වරූපය පෙන්වීම ය.

හිට්ලර්ලාව ඉල්ලා සිටින්නේත්,මිලිටරිකරණය හොඳයි කියන්නේත්,පොල් ලෙල්ලක් දැම්මත් මිනිස්සු ඡන්දෙ දෙනවා යයි දේශපාලකයින් උජාරුවෙන් කියන තැනට රට පත්කරගෙන ඇත්තේත් ජනතාවම ය.

සෑම මැතිවරණයක් අවසානයේම මව්බිම බේරා ගැනීමේ අවසන් අවස්ථාව වැනි ව්‍යාජ සටන් පාඨ වලට ජනතාව අති බහුතරයක් හසුවී තිබේ.සහමුලින්ම අසත්‍යක් බව දැන දැනම නාගයකු විසින් ගෙන ආ යැයි පැවසූ ධාතූන් වැඳපුදා ගැනීමටත් ඒ හරහා තම දේශපාලන මතවාදය පිළිබඳව තීන්දු ගැනීමටත් මේ රටේ ජන මනස දීන තැනකට පත් කරගත්තේ ජනතාව විසින් ම ය.ඒ පිටුපස සිටින මාධ්‍ය විසින් කරනු ලබන බරපතල ව්‍යසනය මේ රටේ ජනතාව වගකීම් විරහිත  පුද්ගලයින් බවට පත් කිරීමට  පොළඹවා ඇත.

එහෙම බැලූවිට එම මාධ්‍ය ද අසමත් ය.අසමත්  පාලකයෙක්ගෙන් ගොඩ යාමට සිතන ඔවුන් ඒ අසමත් පාලකයා ටත් වඩා අසමත්ය.

යුද්ධය දිනූ පසු කිරිබත් කෑ ජනතාවම එම ජයග්‍රහණයට සැබෑ නායකත්වය දුන් සරත් ෆොන්සේකාව හිරේට දමන විට හුරේ දැමූහ. එහෙම හුරේ දැමූ පිරිස්ම කරුණා,පිල්ලෙයාන් වැන්නන් පාර්ලිමේන්තු ගෙන ආ කදවුරට සහය දුන්හ.

මෙවැනි තත්ත්වයන් අබියස පවා ඇතැම් උගත්,බුද්ධිමත් යැයි සම්මත සමාජ ක්‍රියාකාරීන්,ව්‍යාපාරිකයින්,ජනාධිපති  නීතිඥයින්,උපාධිදාරීන් රැවටුණහ.රට අසමත් කිරීමෙහි ප්‍රමුඛ කාර්‍යක් ඔවුන්ද ඉටු වූ බව අමතක නොකළ යුතුය.


ඉතින් වරද කාගේද?

වගකීම් විරහිත කවුද?

වරද්දාගෙන ඇත්තේ කවුරුන්ද?


අතීතයේ දවසක එක්තරා  ප්‍රදේශයක පක්ෂ දෙකකින් අපේක්ෂකයින් දෙදෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වූහ. එක් අපේක්ෂකයෙක් ඡන්දයට පෙරදින උදේ ඡන්ද දායකයින් අත රුපියල් පහක් මිටමොලවා ගියේ පසුදින තමන්ට මනාපය පළකරන ලෙස ඉල්ලාය. හවස අනෙක් අපේක්ෂකයා ආවේය. “උඹලට අරූ කීයක් දුන්නද?” ඔහු ඇසුවේය. “රුපියල් පහයි”, ඡන්ද දායකයෝ කීහ.”උඹලට පිස්සුද? කෝ, උගේ රුපියල් පහ මට දියල්ලා. මම උඹලට දහයක් දෙන්නම්” කියා ඒ අපේක්ෂකයා ඡන්ද දායකයින්ට ප්‍රතිවාදියා දුන් රුපියල් පහ ඉල්වාගෙන ඔහු රුපියල් දහයක් ඡන්දදායකයින්ට දුන්නේය. මෙතැන සිදුවූයේ කුමක්ද ? ඡන්ද දායකයින්ට දෙවැන්නාගෙන් රුපියල් දහයක් ලැබෙන විට ඔවුනට රුපියල් පහක් අහිමිවේ. අනෙක් අතට දෙවැන්නාද දහයක් දෙන විට පහක් පෙරළා ලැබී තිබේ.

ලංකාවේ දේශපාලනය අභියස ජනතාව තීන්දු තීරණ ගැනීම පිළිබඳව ඉතාමත්ම පැහැදිලි  චිත්‍රයක් එයින් ලබාගත හැක.

ඒ නිසා සැබවින්ම අවශ්‍ය වන්නේ මේ රටේ ජනතාව තුළ දේශපාලන දැනුවත් බවක් ඇති කරලීම ය.

තමන්ට පැවරෙන සර්වජන ඡන්ද බලය පරමාධිපත්‍ය බලයක් බවත් පරමාධිපත්‍ය බලය  කුමක්ද යන්න පිළිබඳව ජනතාවට අවබෝධ කොට දීමත් යුතුමය.

මේ රට වැටී ඇති තැනින් ගොඩ එන්නටනම් කළ යුත්තේ ජාති,ආගම්,වශයෙන් බෙදී වෙන්වී දේශපාලනය කරන පිරිස් ප්‍රතික්ෂේප කිරීමය.සාධාරණ සමාජයක් යන්න වචනයකට සීමා නොවී සියලු දෙනාටම එකම තලයක පිහිටා කටයුතු කරන සමාජයක් ගොඩ නැගීමය."එකට එක් වෙමු"යන වචනය පවා අද විහිලුවක් වී ඇති අතර නැත්තේද එයමය.

මේ මගේ රට යැයි පපුවට ගසා ගන්නා ඇතැම් දේශපාලකයින් සිදුකොට ඇත්තේ මේ රට බෙදා වෙන් කිරීම ය.සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, මැලේ වේවා,මේ සියලු දෙනාටම "අප ශ්‍රී ලාංකික පුරවැසියන්" යැයි අභිමානයෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය වන තුරු මේ රට අසමත් වනවා හැර, සමත් වන්නේ නැත.

ඒ සඳහා ජනතාවගේ චින්තනය වෙනස් විය යුතුය.

සත්‍ය වශයෙන්ම වසර පහෙන් පහට අවශ්‍ය වන්නේ අලුත් ආණ්ඩු පත් කිරීම නොව අලුත් ජනතාවක් පත්කර ගැනීමය.එය එසේ නොවන තාක් කල් රටේ අනාගතයක් ගැන කල්පනා කිරීම විහිළුවකි.

ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ