පැරිස් වලාකුළු..

පැරිස් වලාකුළු..

15 May 2021 03:40 pm

පැරිස් වලාකුළු

මංජුල වෙඩිවර්ධනයන්ගේ මා කියවන පළමු නවකතා පොත මේ බව ඉස් ඉස්සෙල්ලාම කිව යුතුය. එහෙත් මම ඒ ගැන පසුතැවිලි නොවෙමි. හේතුව පෙර කල මා කියවූවා නම් කියවන්නේ හදිස්සියේය. අවසානය දකින්නට පිපාසාවේය. නමුත් දැන් මට නිවීසැනසිල්ලේ කියවන්නට අවකාශය ලැබී ඇති හෙයින් අකුරෙන්, අකුර උකහාගෙන කියවන්නට හැකි විය.

මා මෙහි දක්වන්නේ මගේ කියවීම පමණි. ඔබට වෙනස් මත තිබෙන්නට හැක.

.................................................................

පැරිස් වලාකුළු යනු කතාව පුරාම ව්‍යංගර්ථය සහ උත්ප්‍රාසය එක්ව කැටිකොටගත් නවකතාවක් බව කිව යුතුය.

එහිම මිලාන් කුන්දේරාගේ නවකතාවක් ගැන සංවාදයක දැක්වෙන පරිදි නවකතාවක අවසානයට යන විට ඔබට එහි ආරම්භය මතකයි නම් එය හොඳ නවකතාවකි.

පැරිස් වළකුළු ඇරඹෙන්නේ කුරුම්බැට්ටි මැසිමෙනි. අහවර වන්නේ චන්දාගේ කතාව ලියන්නට සාරත්‍ර ආකෘතිය සකස් කරන්නට පොළඹවමිනි.

නමුත් පැරිස් වලකුළු ගැන විදර්ශණ කන්නන්ගර කීවාක් මෙන් වෙඩිවර්ධනයන්ගෙ භාෂාමය පර්‍යේෂණය සාමාන්‍ය පාඨකයන් පැරිස් වළකුළු වලින් ඈත් කරනා බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණකි. මුල් පරිච්ඡේදය තුළ ඇති නීරස බව සහ නොදන්නා අළුත් වචන, තේරුම් ගන්නට ශබ්ද කෝෂයකවත් පිහිට පතන්නට බැරි බැවින් අවශ්‍යයෙන්ම මෙය කියවන්නකු හැර සාමාන්‍ය කියවන්නකු පොත කියවීමෙන් බැහැරවන්නට තිබෙන ඉඩකඩ වැඩිය.

අඩුම තරමේ ඔහු හඳුන්වා දෙන අළුත් වචන පිටුව යටින් අර්ථ දක්වන්නට කාරුණික වූවා නම් මෙවන් විශිෂ්ඨ කෘතියක් සාමාන්‍ය පාඨකයාට මඟ හැරීම වළක්වා ගන්නට තිබුණි.

පැරිස් වලාකුළු තුලින් මගේ පරිකල්පනය අවදි කල බව ඇත්තකි. මම මානුෂීය ජීවියෙකු බව මතක් කර දුන් බවද සත්‍යයකි.

මාක්ස්වාදීන්ට ජාතියක් තිබිය නොහැකි බවද, දකුණේ පීඩිත ජනතාව ගැන සේම උතුරේ පීඩිත ජනතාව කෙරෙහිද එකසේ සංවේදීවීම එහෙව් මාක්ස්වාදියාට යුක්ති යුක්ත බවද, මාක්ස්වාදය පිළිබඳ කිසිඳු හැදෑරීමක්ද, කියවීමක්ද නැති මට මේ පොත තුළින් මතක් කරන්නේ, දේශපාලනික උත්පත්තියක් තිබූ පමණින්මත් ඒ දේශපාලනික සාහිත්‍යය අවබෝධ කරගැනීමේ සවිඥානිකත්වය ලැබෙන බව කියා දෙමිනි.

මම දන්නා දේශපාලනික සවිඥානය සතු මිනිසුන් බහුතරය සාහිත්‍යයෙන් ආඪ්‍යය. පැරිස් වලාකුළු ද එය එසේ බව තර්කානුකූලව පාඨකයාගේ මනසේ තහවුරු කරන්නට සමත්‍ ය.

ලියා ඇත්තේ පශ්චාත් යුධමය වාතාවරණයක් තුළ දෙමළ කාන්තා විමුක්ති සටන්කාමිනියක ගැන වුවද ප්‍රධාන කතාවට ප්‍රවිෂ්ට වීම පාඨකයා අමුතුම කුතුහලයකින් කුල්මත් කරයි. අකුරින් අකුර උකහා ගන්නා කවරෙකුට වුව එතුළින් කියැවෙන ගැඹුරු මානව සමාජ විද්‍යාවද අවබෝධ වන්නේ නිරායාසයෙනි. එහෙයින් මෙය නැවතිල්ලේ කියවිය යුතු කතාවක් බව කියමි. එක හුස්මට කියවාගෙන ගොස් ඒ තුලින් ඔබේ මනසේ ඇති කරවන බුද්ධි කලම්බනය මගහැරී ගියහොත් එය ඔබ ඔබටම කරගන්නා අපරාධයෙකි.

මතවාදීමය වශයෙන් දෙමළ විමුක්ති සටන්කාමීන් හා මා එකඟ නොවුනද, මේ පොත තුළ සාරාත්‍ර, මේනකා නන්දනී සහ වාසුල යන ප්‍රධාන සිංහල චරිත තුන විමුක්ති සටන්කාමීන්ව කොයිතරම් දුරට සාධාරණීකරණය කරන්නේදයත් විටෙක තමිලීලාම් පිළිබඳ මගේ මතවාදය නිවැරදිදැයි මගේ විඥාණය මගෙන්ම ප්‍රශ්න කිරීමට තරම් නවකතාවේ ආඛ්‍යානය ප්‍රබලය.

යම්තාක් දුරකට ස්ත්‍රීවාදී මාව කතාව තුළ ජීවත් කරවන්නට නන්දාගේත්, චන්දාගේත් ස්ත්‍රීවාදී චරිත මට උදව් කරනවා සේම, ලාංකීය බහුතරයක් නවකතා වල දක්නට නොලැබෙන ස්ත්‍රීන් පිළිබඳ අවබෝධයක්, කියවීමක් සහ පිළිගැනීමක් මේ පොත තුළින් සමාජගත කරන්නට වෙඩිවර්ධනයන් සමත් ය. එය කතාව ලිවීමේ එක් පරමාර්ථයක් වූවාදැයි නොදනිමි. එසේම ලේඛකයා විප්‍රවාසීවීම නිසාම පමණක් ඔහුට ස්ත්‍රීන් එසේ දකින්නට ඉඩ ප්‍රස්තාව සාදා දුන්නේදැයි මට තාමත් නොවිසඳුනු ගැටළුවකි. නමුත් ඔහුගේ කවි වලින් දකින නිර්භීතබාවය නවකතා තුළින්ද එළියට එන්නේ මෙවන් දූපත් මානසිකත්වයට කරන අභියෝගයන් නිසාය.

"මට ඕනි තාත්තගෙ අබිමානය ඉවර කරලා දාන්න, දුවා දරුවන් කෙරෙහි බලපවත්වන ආධිපත්‍යය කුඩු කරලා දාන්න"

මේනකා නන්දනී සාරත්‍රට ලියන්නේ නිගණ්ඨයා සමඟ ත්‍රාසජනක සංචාරය යන්නට තීණ්දු කලාට පසුවය.

"මේකයි සමීකරණය, සෙල්ලමට බයවීම සමානයි ඇත්තට බය වීම, බයවීමට, බයවීම කැපිලා ගියාම සෙල්ලම කියන්නෙ ඇත්තට"

කුරුම්බැට්ටි මැසිමට ආලය කරන හා සේම ඊට බයවෙන නන්දාගේ හැඟීම් විස්තර අතරේම චන්දාගේ මරණය පිළිබඳ පුවත්පත් සාකච්ඡාව කියවීමෙන් නන්දාගෙ විපිළිසර බාවය සාරත්‍ර පැහැදිලි කරන ඉහත දෙබසෙහි, "සෙල්ලම කියන්නේ ඇත්තට" යන්න කතාව අවසානයේ ආපසු හැරී බලද්දී මට නම් චන්දාගෙ ජීවිතය පිළිබඳ කරන ලද බරපතල ඉඟියකි. මගේ වටහාගැනීම වැරදිද නිවැරදිද දන්නේ වෙඩිවර්ධනයන්ම පමණි.

"පීඩාව ඇතුලෙ ජීවත් වෙන පීඩිත ජාතියක මිනිහෙකුට, එක මොහොතක දැනෙන නිදහස පිළිබඳ අභිලාෂය, ජීවිතයේ කිසිම මොහොතක මනසින් අයින් කරන්න බෑ, නිදහස කියන දේට වෙනත් අදේශක නෑ වාසුල, නිදහස කියන්නෙ නිදහසම විතරයි"

කතාව තුළ දෙවරක් චන්දාගේ මුවින් ගිලිහෙන මේ නිදහස පිලිබඳ වචන පීඩිතයෙකු සම්බන්ධයෙන් කොතරම් සත්‍යදැයි දන්නේ පීඩිතයන්ම පමණි.

"මම මිනිහෙක් නම්, ඒ මිනිහා නිර්මාණය කරේ මගෙ මිතුරො, මම වීරයෙක්නම් ඒ වීරයා නිර්මාණය කරේ මගෙ හතුරො, මං අද මේ ඉන්න අවකාශයට ඇතුල් වීමෙ යතුර ලැබුනෙ එහෙම"

කවර මිනිසෙකුට වුවද, වීරයෙකුට වුවද තමන් වටා සිටින මිනිසුන් විසින් සිදු කරන බලපෑමේ බරපතලකම වටහාගන්නට හැකි මිනිසුන් අඩුය. පැරිස් වලාකුළු තුල බහුතරයක් චරිත සාරාත්‍ර හඳුන්වාදෙන මිතුරෝය. ගැටීම් පිලිබඳ කිසිඳු කතාබහක් නැත.

උපුටා දක්වනවානම් පොතම උපුටා දක්වන්නට තරම් වචන හරඹය. බුද්ධි කලම්බනය. එනයින් මෙතනින් නවතිමි.

පැරිස් වලාකුළු විද්වත් සම්මානයටද, ජනතා සම්මානයටද හසු නොවූ ලියවිල්ලකි. එහෙත් වෙඩිවර්ධනයන්ගෙ විශිෂ්ඨතම නවකතාවකි.

ඔබ මා සමඟ එකඟ වනවාදැයි දැනගන්නට කියවා බලන්න.

සහසලා හුණුකුඹුර

2021.05.02