එක් දෙයක් ඉතිරිව ඇති.. - මාධ්‍යවේදී නිමලරාජන්, මම සහ අපි

එක් දෙයක් ඉතිරිව ඇති.. - මාධ්‍යවේදී නිමලරාජන්, මම සහ අපි

12 May 2021 11:11 am

රටේ සියලු දෙනා බරපතල කොරෝනා අනතුරක මුවවිට ඉන්න බව ඇස්, කන් තියන ඕනම කෙනෙක්ට වැටහෙන දෙයකි. ඒ වගේම වසගංතය මැඩලීම සදහා විද්‍යාත්මක සහ උපායමාර්ගික කළමනාකරණයන් තෝරා නොගෙන දේශපාලන වාසි ලබා ගැනීම පැත්තට හැරුනහොත්, බියකරු මුව අද්දර සිටින අපි මුවතුලට වැටීම වලක්වාගත නොහැකි බවද ඕනෑම අයෙක් දැන් අවබෝධ විය යුතුය.

ඒ සඳහා ආණ්ඩුවට ප්‍රභල වගකීමක් පැවරෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත්, රටේ පුරවැසියන්ටත් අත්හළ නොහැති වගකීමක් ඇති බව අමතක කරමින් සිටියහොත්, සිදුවන්නේ හදමින් ඇති ‘බෝඩින් ඇඳන්’ උඩ තපින්නටය. (මා එම ඇඳන්වලට බෝඩින් ඇඳන් කීවේ අපහාසයකට නොවේ. ඒ ඇඳන් හරියන්නේ රෝගී මිනිසුන් නිරෝගී කරවන්නට සකස් වූ ප්‍රමිතිගත රෝහල්වලට නොව, නිරෝගී මිනිසුන් රෝගීන් කරවන අවම පහසුකම්වත් නැති බෝඩිං කාමරවලටය -අත්දැකීමකි)

මෙවැනි බරපතල වසංගත තත්ත්වයක වුවද ලංකාව තුළ සිදුකරන ලද අපරාධ වසං කිරීමට ඉඩ නොතැබිය යුතුය. එම අපරාධවලට යුක්තිය ඉටුවන තුරු ඒ වෙනුවෙන් පෙනී සිටීම, සටන් කිරීම සහකම්පනයක් ඇති පුරවැසියන්ට, සංවිධානවලට, ජනමාධ්‍යට අත්හළ නොහැකි වගකීමකි. ඒ වගකීමේ බර මා ඇතුලු අප සමාජය විසින් කොතෙක් ගෙන ඇතිද ? මම මගෙන්ම ප්‍රශ්න කර ගනිමින් මෙසේ ලියමි.

නිමලරාජන් (මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන්)

මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය කර වසර 21 ක් ගෙවෙමින් ඇති විටදී, නිමලරාජන් ඝාතනයට අදාල සියලු සැකකරුවන් නිදහස් කරමින්, නඩුව තව දුරටත් පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා විසින් යාපනය අධිකරණයට දැනුම් දුන්නේය. ජනමාධ්‍යවේදියෙක් ඝාතනය කර වසර 21 ක් ගතවෙමින් ඇති මොහොතක අපේ රටේදී යුක්තිය ඉටුවූයේ එළෙසය.

'2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට විශේෂයෙන් උතුරේ සිදුකරන ව්‍යසන වාර්තා කරමින් සිටියහ. 2000 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිය පාලනය ගෙනගිය සමයේ, අනුරුද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිධූරය දැරූ කාලයේ නිමලරාජන් මාධ්‍යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇඳිරිනීතිය පනවා තිබූ රැයක, අධිආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්‍රදේශයක, සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීමය. ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්‍යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම්, සිය මාධ්‍ය ක්‍රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි. එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ, එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත්, එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ.'

අවුරුදු ගනණක් ඇදි ඇදී පවත්වාගෙන ගිය නඩුවත් නීතිපති විසින් ඉවත්කර ගෙන ඇත. ඝාතකයෙක් නැති තවත් ඝාතනයක් බවට පත්කරමින් හිමින් සීරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අතපිහිදා ගෙන ඇත. මිනිහෙක් ඝාතනය කිරීම යනු බිහිසුණු අපරාදයකි. එබැවින් ශිෂ්ට සම්පන්න රාජ්‍යක නම් කෙසේ හෝ ඝාතකයා, ඝාතකයන් සොයා ඔවුන් නීතිය හමුවට පමුණුවනවා ඇත. නමුත් ලංකාවේ එවන් ඝාතනයන් සම්බන්ධයෙන් කිසිවෙකුත් නීතිය හමුවට පමුණුවා නැත. එසේ ඝාතකයන් සොයා නීතිය හමුවට ඉදිරිපත්කිරීම වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුව සිදුකරමින් සිටින්නේ තිබෙන නඩු කටයුත්තත් ඉවත් කිරිමට ක්‍රියා කිරීමය. එයින් හැඟවෙන්නේ, අධිආරක්ෂක කලාපය සිදුකරන ලද මිනිස් ඝාතනයකට අදාල අපරාධකරුවන් සොයා ගැනීමට ලංකාවේ බළධාරින්ට නොහැකි බවද ? එසේ නැති නම් ඝාතනය සිදුකළ අපරාධකරුවන්ගේ බලයේ සෙවනැලි, නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් සහ ආයතනවලට ඉහළින් පියාසර කරමින් ඇති නිසාද ?

ඒ කෙසේ වෙතත්, රටක සිදුකළ මිනිස් ඝාතනයක් වැනි අපරාධයකට අදාළ අපරාධකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි වීම යනු, ඒ රට වැටී ඇති අශීලාචාරත්වයේ සහ නීතියේ පාලනය සේදි යාමේ ගැඹුර මනාවට පෙන්නුම් කරයි. යුක්තිය නැතිවම, මාධ්‍යවේදී නිමලරාජන්ගේ ඝාතකයින් සෙවීම බළධාරින් විසින් අත්හරිනු ලැබීමෙන් අපට පෙන්නුම් කරන්නේ එයයි. මේ පුර්වාදර්ශයෙන් තවත් දෙයක් අපට ඇසට සෘජුවම පෙන්වා දෙයි. එනම්, වරදකර දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය තවදුරටත් ලංකාව තුළ පැවතීමේ ප්‍රවණතාවයයි. එහි බියකරු බව කොරෝනා වෛරසයටත් වඩා වැඩි බව අපේ රටේ මිනිසුන් තේරුම් ගන්නේ කවදාද ? කොරෝනාවලටත් වඩා බරපතල ප්‍රශ්නය වන්නේ එයයි.

ජනමාධ්‍ය, මම සහ සිවිල් සංවිධාන

උතුරේත්, දකුණේත් මිනිස් ජීවිත සහ නිදහස, යුක්තිය ගැන කතාකළ, ඒ ගැන ලිවූ මාධ්‍යවේදියෙක්ගේ ඝාතනයට අදාළ ඝාතකයින් සෙවීම බලධාරීන් විසින් අත්හැර දමා, චෝදනා ලැබූවන් සියලු දෙනා නිදහස් කිරීම ගැන දකුණේ ජනමාධ්‍ය සමාජයේ ප්‍රභල ප්‍රවෘත්තියක් බවට පත් වූයේ නැත. අවම ලෙස, ජනමාධ්‍ය සංවිධානවල මාධ්‍ය නිවේදනයකටවත් තුඩු දෙන සිදුවීමක් බවට පත් උනා දැයි මා දන්නේ නැත. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ගැන සිය ප්‍රමුඛ අදහස හි තබා වැඩකරන සිවිල් සංවිධානද ඒ පිළිබඳ කිසිදු අදහසක් ප්‍රකාශ කරනවා මා දුටුවේ නැත. නිමලරාජන් ගැන පුද්ගලිකව දන්නා සහ ඔහු ගැන කියවා ඇති, ඔහු ගැන එසේ නොදන්නා නමුත්, නිමලරාජන් ඝාතනය කිරීමේ සිදුවීම දන්නා කිහිප දෙනෙක් හැරනේනට මේ පිළිබඳ කතා කළ තැනක් මා දුටුවේ නැත.

බලධාරීන් විසින් එවන් ඝාතනයන් සිදුකළ අපරාධකරුවන් සෙවීම අත්හැරීම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට(?) නොගැලපේද, ඒ හා සමානවම ජනමාධ්‍ය, සිවිල් සංවිධානවල නිහඬතාවයත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපෙන බව කිව යුතුමය.

‘කවුද ඔය නිමලරාජන් කියන්නේ?’ පසුගිය දිනක මාගෙන් මිතුරෙක් විමසීය. ‘යාපනේ වැඩකරපු ජර්නලිස්ට් කෙනෙක්’ මම පිළිතුරු දුන්නෙමි.

‘ඉතින් කවුද ? දැන් මොකද්ද ඕකේ ප්‍රශ්නෙ ?' ඔහු පෙරළා ඇසුවේය. ‘නිමලරාජන් මැරුවා, දැන් ඒ ගැන හොයන්න දාපු නඩුව අයින් කරගෙන, චෝදනා ලබපු අයව නිදහස් කරලා’ මම කීවෙමි.

‘ඉතින්…’ ඔහු මිමුණුවේය.

‘මිනිහෙක් ඝාතනය කිරීම කියන්නේ රාජ්‍යයට එරෙහිව කරන අපරාධයක්. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව ඒකට අනිවාර්යෙන් මැදිහත් වෙනවා. ඒ අපරාධකරුවන් හොයන්න මැදිහත් වෙනවා. ඒක ඔවුන්ගේ වගකීමක්. දැන් ඒ වගකීම ඔවුන් විසින් අත්හැරලා. මම හිතන්නේ ඒකත් අපරාධයකට සමානයි. ඕනෑම සමාජයක ඝාතකයන් නිදැල්ලේ සිටීම ඒ සමාජයේ නිදහසට බාධාවක්. කොයි වෙලාවේ හෝ අපරාධකරුවන් සක්‍රීය විය හැකියි. ප්‍රචණ්ඩත්වය මුදා හැරිය හැකියි. එය වැළැක්වීමට මැදිහත්වීම බළධාරීන්ගේ වගකීමක්. ඒ නිසා තමයි අපරාධකරුවන් නීතිය ඉදිරියට ගේන්න ඕන.' මම කියාගෙන ගියේය.

‘දැන් ඒක එහෙම තියෙද්දි තවත් දෙයක් තියනවා. නීතියේ අධිපත්‍ය පිහිටුවීම ගැන දවස ගානෙ කතා කරන, ඔන්ලයින් සංවාද කරන කාටවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ ගත් තීරණය ගැන ඇහිලා නෑ.. මේකත් ඒ වගේම ප්‍රශ්නයක්.’

දැන්, මාධ්‍යවේදී නිමලරාජන්, ‘ඝාතකයෙක්’ නැති..
යාපනයේ සොහොනක් පමණක් ඇති..
ඝාතකයන් සුවසේ නිදනු ඇති..
ඝාතකයන්ව ආරක්ෂා කළවූවන්ද රිසි සේ නිදහසේ ඇති..
නමුත්, එක් දෙයක් ඉතිරිව ඇති..

හැරී බලන්න,…… කොරෝනාවෙන් බේරුනත්, ‘දඬුවම් නොලබා වරද කිරීමේ සංස්කෘතිය’ පවත්වාගෙන යමින් ඝාතකයන් නිදහසේ සිටින සමාජයකට ශිෂ්ටත්වය කරා ලඟාවිය නොහැකිය.

වසන්ත බණ්ඩාර - vikalpa.org