කෝවිඩ් තර්ජනය මැද ලංකාවට ගිය ගමන

කෝවිඩ් තර්ජනය මැද ලංකාවට ගිය ගමන

8 May 2021 10:13 pm

මම පසුගිය මාර්තු 14 වනදා ශ්‍රී ලංකාවට පැමිණියේ මගේ මවට හදිසියේ හෘදයාබාධයක් වැළඳීම නිසාය. ඇස්ට්‍රසෙනෙකා පළමු එන්නත පමණක් විද තිබු නිසා දින දහ  හතරක් නිරෝධායනය  වූයේ බේරුවල සිනමන් බේ නැමැති හෝටල් සංකීර්ණයෙහිය.  ශ්‍රී ලංකාවට ඒමට ප්‍රථම මම බ්‍රිතාන්‍ය ස්ටර්ලින්  149 (රුපියල් හතලිස් දහසක් පමණ) ගෙවා පිසීඅර් පරීක්ෂණයක් කර ගතිමි. පරීක්ෂණය  නෙගටිව් වුනු පසු පමණක් අපට ගුවන් යානයට ගොඩ විය හැකිය.  කටාර් ගුවන් සේවයේ ඩෝහා වලට පැමිණ එතනින් ශ්‍රී ලංකාවට පැමිණෙන යානයකට ගොඩ වුනෙමි. මේ යානා දෙකෙහිම සෙනග සිටියේ ඉතාමත් අඩුවෙනි. මගේ ඉදිරිපස සහ පිටුපස ආසන පේලි හිස්ව පැවතුනි.

මේ පීසීආර්  සහතිකය  හීත්‍රෝ ගුවන් තොටේදී තදබල ලෙස හා  ලංකාවේදී ද පරික්ෂාවට ලක් කෙරුණි. ලංකාවේදී ෆෝම් එකක් ද පුරවන්නට  තිබේ. හැබැයි ලංකාවේ ආරක්ෂක නිලධරයා පරික්ෂා සහතිකය තේරුම්  ගත්තාද කියා නොදනිමි. ඔහු කිසිදු ප්‍රශ්නයක් පරීක්ෂණය ගැන ඇසුවේද  නැත. (වරදක් කියනවා නොවේ).

මා පැමිණියේ පෞද්ගලිකව නිසා ගුවන් තොටුපලින් එවෙලේම වාගේ පිට වුනෙමි. ඒ අතරේ හමුදා නිලධාරීන් මගීන් ලියා පදිංචි කරමින් බොහෝ අය එක තැනක පෝලිමට ගොනු කරනු දුටිමි. ඒ පෝලිමේ මීටරයේ දුරනම් තිබුනේ නැත.

සිනමන් බේ හෝටලයේදී පළමු දින, හත්වන දින සහ දහතුන් වන දිනයේදී රුපියල්  8775 ගණනේ    තවත් පීසීආර් ටෙස්ට්  තුනක් කල යුතුවිය.  එහිදී පීසීආර් පොසිටිව් වුනු දෙතුන් දෙනෙකු තම කාමරවලම  නිරෝධායනය කර තිබෙනු දුටුවෙමි. ට්‍රැවල්  බබ්ල් (සංචාරක බුබුල) නිසා කොවිඩ් බෝ වෙනු ඇතැයි  බොහෝ අය සංචාරකයන් ගෙන්වීම විවේචනය කළද ඒ සම්බන්ධයෙන් මගේ එදා පැවතුනු  අදහස නම් දැන් වෙනස් වී ඇත. 

  කසක්ස්ථානයෙන්, රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණි සංචාරකයන් සියලු දෙනා එම රටවල දී පීසීආර් පරික්ෂාවක් කර පැමිණෙන අතර ඔවුන් සංචාරක නිකේතන වල රැඳී සිටින දින 7 දී තවත් දෙකක්ද කරති. තම රටේ දී  පොසිටිව් නම් ලංකාවට එන්නට ලැබෙන්නේ නැත.  එසේම ඒ කිසිවෙකුටත් සංචාරක හෝටලයෙන් එළියට යන්නට අවස්ථාවක්  ලැබුනේද නැත. කලින් එක්තරා  පිරිසක් එසේ සංචාරය සඳහා ලංකාවේ යම් ස්ථාන වලට රැගෙන ගිය බව දැනගත්තද අප සිටි සංචාරක නිකේතනයේ එසේ කළේ නැත. කලින් සිද්ධියේදී කළ විවේචන දේශපාලනය මත පදනම්ව සිදුවූවක් යයි සිතමි. පීසීආර් පරීක්ෂණය නෙගටිව් නම් එසේ කිරීමේ වරදක් තිබේද?

දෙවන කාරණය  නම්  මෙම සංචාරක නිකේතනයේ  වැඩ කරන සුළු සේවකයන් මට පැවසූ දේවල්ය. ඔවුන්ගේ මූලික  වැටුප මසකට රුපියල් දොළොස්දහසක් පමණ වේ. (මා  කියන්නේ සාමාන්‍ය  වේටර් වරුන්, කාමර පිරිසිදු කරන්නන් ආදීන් ගැනය)  ඊට අමතරව සංචාරකයන්  වියදම් කළහොත් බිලට එකතුවන සන්තෝෂම් (ටිප්) වලින්ද ඔවුන්ට මුදලක් ලැබේ. ඇත්තම කියන්නේ නම් එවැනි අඩු පඩි තවමත් ලංකාවේ තිබෙන බව මා දන සිටියේ නැත. ඇඟළුම් කම්හල් සේවිකාවන්ට ද   රුපියල් හතලිස්පන්දහකට  වඩා පඩි ලැබෙන බව මට දැන  ගන්නට ලැබී තිබුණි.  සංචාරකයන් විසින් ටිප් දෙන අවස්ථා ඇතත් බොහෝ සේවකයන්  පැවසුවේ එසේ ලැබෙන්නේ බටහිරින් පැමිණෙන සංචාරකයන්ගෙන් බවය. නැගෙනහිර යුරෝපයේ අය ටිප් දීම දුලබ බව ඔවුහු පැවසූහ. සේවකයන්ට  කෑම බිම එම නිකේතනයෙන්ම සැපයේ.මාස  හත අටක් රැකියා නොමැතිව  සිටි ඔවුහු තම ජිවිත  ගැට ගහ ගත්තේ  බොහෝ අමාරුවෙන් බව කියූහ. ඔවුන් ණය බරින් මිරිකී සිටිති. ඔවුන් දින 14 හෝ දින 28ක්  එම නිකේතනයේම නිරෝධායනය විය යුතුය. එනිසා ඔවුන්ගෙන් කෝවිඩ් රටට ව්‍යාප්ත වුනායයි ද  කිව නොහැකිය. 

මා දුටු තවත්දෙ යක්නම් වෙරළ ආශ්‍රිතව ජිවත්වන්නන් බොහොමයක්ද සංචාරක ව්‍යාපාරය නැතිකමින් පීඩා විඳින බවය. සංචාරකයන් රැගෙන මුහුදට යාම , බෙල්ලන් හා වෙනත් භාණ්ඩ අලෙවි කිරීමද ඔවුන්ට කළ නොහැකිය. අප සමග  සිටි සංචාරකයන් දෙදෙනෙකු රුපියල් හතලිස් දහසකට  රහසේ වැටෙන්  පන්නාගෙන ගැඹුරු මුහුදේ කොරල් පෙන්වන්නට ගොස් ඒ ගමේ දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්වී තිබුණි. ඉතිරි අය නොයෙකුත් පලතුරු, ෂැම්පු වර්ග, ආයුර්වේද බෙහෙත් ආදිය ගෙනැවිත් ඈතින් සිට විකිණීමට තැත් කරති, සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම නවත්වන්නට කලින් මේ මිනිසුන් ජිවත් වන්නේ කෙසේ දැයි ද සළකා බැලිය යුතුය. 

සංචාරක  බුබුල යටතේ හෝ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ නම් ඔවුන් කැමතිය. ආණ්ඩුවේ ලොක්කන් හෝ හිතවතුන්ට මුදල් ලැබේද නැත්ද යන්න මම නොදනිමි. නමුත් සංචාරක මණ්ඩලය ඒ සඳහා සුදුසුකම් සපුරාගත් සංචාරක හෝටල් වල නම් වෙබ් අඩවියට ඇතුලත් කර සංචාරකයන් ගෙන්වීමේ වැඩ පිලිවෙලට විරුද්ධ වීමට මට නම් නොහැකිය. එයින් යැපෙන්නන් බොහොමයක් සිටින බැවිනි.

මට සිනමන් බේ නිකේතනයේ දී ලෙබනන් ජාතිකයෙකු, ඉරාන ජාතිකයෙකු සහ ඉන්දියානුවකු මුණ  ගැසුන අතර ඔවුන් තිදෙනාම තම රටින් කරගත්  පීසීආර් පරීක්ෂණ හැඳුනුම්කම් මාර්ගයෙන් කරගත් බව  පිළිගත්හ. හොඳ  වෙලාවට සිනමන් බේ හිදී කරන ලද ඒවා නෙගටිව් විය. ඔවුන් පැමිණ තිබුනේ, සවුදි අරාබිය, බ්‍රිතාන්‍යය වැනි රටවල් ඉන්දියාව, ඉරානය, ලෙබනනය ආදී රටවල් වල සිට තමන්ගේ රටවලට  පැමිණීම තහනම් කර ඇති නිසා ලංකාවේ නිරෝධායනය වී එමගින් ඉහතකී රටවලට  පැන ගැනීමටය. බොහෝවිට මේ නිසාම බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ සිට පැමිණීම් ද තහනම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. 

එසේම මෙවැනි අයගෙන් කටුනායක ගුවන් තොටුපලේදීම කොවිඩ් පැතිරීම සිදුවිය හැකිය. කෝවිඩ් 19 වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය මා ලංකාවට  එනවිටත් රටවල් 60 කට පැමිණ පැතිරී තිබුණි. ඒ අතර බොහෝ මැද පෙරදිග රටවල්ද විය. (ලෙබනනය, ග්‍රීසිය හා සයිප්‍රසයද  ඇතුළුව) මේ රටවලින් ලංකාවට  එන බොහෝ දෙනෙක් පැමිණෙන්නේ පීසීආර් නොකර බව නොරහසකි. කිසියම් ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේදී පොසිටිව් ලෙස හඳුනාගන්නා ලද බවත් එසේම නොරහසකි. 

ගිය අවුරුද්දේ මාර්තු 31 මා ලියු ලිපියක මෙසේ සඳහන් කලෙමි. //මගේ යෝජනාව  නම් ශ්‍රී ලංකාව ඉන්දියාවට, මාල  දිවයින සහ බංගලා දේශයට දොර වැසිය  යුතු බවයි.  (සංචාරකයන්ට) දෙවන රැල්ල එන්නේ ඒ පැති වලිනි//

මගේ වැරැද්ද ඒ දෙවෙනි රැල්ල ලෙස හඳුනාගැනීමයි. මේ යන්නේ ඇත්තටම තෙවන කෝවිඩ් රැල්ලයි. ඉන්දියාව තවම උච්ච (පීක්) තත්වයට පැමිණ නොමැති නිසා ශ්‍රී ලංකාව ප්‍රවේශම් විය යුතු වන්නේ ඉදිරි මාස දෙක, තුන තුලදී බව දත්ත විශ්ලේෂණය කරන විට පෙනේ. කොපමණ  පුවත්පත් සහ සමාජ ජාලා මගින්  හඬ නැගුවත් මගේ අදහස නම් සාපේක්ෂව තවමත්  දරුණු තත්වයකට ශ්‍රී ලංකාව  පැමිණ නොමැති බවයි. දරුණු තත්වය එන්නේ තව ,මාසයකින් දෙකකින් ඉන්දියානු ප්‍රභේදය ද ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසුවය. රට සම්පුර්ණ ලොක් ඩවුන් කිරීමට යාමක්සි දුවිය හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතය එන්න එන්නම දරුණු වෙමින් පවතින අතර එයින් මිදිය හැක්කේ වෙළඳාම, තේ නිෂ්පාදනය , ඉදි කිරීම්  හා සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යාමෙන්ය. එනිසා ලොක්ඩවුන් කිරීමේදී ඒ පිලිබඳ වද  සිතීම වැදගත්ය. මේ සඳහා කුමන සැලසුමක් පවතින රජය ක්‍රියාත්මක කරන්නට යන්නේද යන්න පැහැදිලි නැත.

කටාර් ගුවන් සේවය විසින් හොර පීසීආර් සහතික හරි හැටි හඳුනා නොගත් නිසා බ්‍රිතාන්‍ය රජය එම ගුවන් සේවයට රටට ඒම තහනම් කරන ලදී. එනිසා මම ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නව ප්‍රවේශ පත්‍රයක් මිලදී ගතිමි.  ශ්‍රී ලංකන් ගුවන් යානයේ තත්වය නම් අබලන්ය. (පින්තුරය බලන්න) හිඳගත් ආසන දෙක තුනෙහිම ඉන්ෆ්ලයිට් එන්ටටේන්මන්ට් හි පෙන්වන චිත්‍රපට භාගයකින් නතර වෙයි. සමහර ආසනවල හෙඩ්ෆෝන් එක ගහන්නට බැරි ලෙස කැඩී ඇත. යුඑස්බී වැඩ කරන්නේ නැත. ලොකුම ෂොක් එක එය නොවේ. සාමාන්‍යයෙන් ඉතා  උසස් තත්වයෙන් දෙන ශ්‍රී ලන්කන් සේවයේ එකොනොමි පන්තියේ කෑම වේල දුටුවිට දුක හිතුනි.  මට එකොනොමි  ආසනය බිස්නස් පන්තියට ප්‍රතිශතයක් ගෙවා  අප්ග්‍රේඩ් කිරීමට ඇරයුමක් ලැබුනත් එසේ නොකළේ යානය බොහෝ විට හිස්ව යන බව දන්නා හෙයිනි. එම ඔෆර් එක කාටත් ලැබෙන එකකි. බිස්නස් පන්තිය කටාර් යානයේ මෙන්ම පිරී  පැවතුනි. කොවිඩ් වලින් බේරෙන්නට සිතා  බිස්නස් පන්තියේ යන අය ගැන දුක හිතුනේ එකොනොමි  පංතියේ මා ඉදිරිපස හා පසුපස පේලි දෙක තුනක්ම  හිස්ව යන බව දැකීමෙනි.

මේ යානයේ තේ දුන්නේ නැත. වතර බෝතලයක් හැර වෙන බීමක් (සාමාන්‍යයෙන් වයින්, විස්කි. කොකා කොලා , ලෙමනේඩ් හෝ දොඩම් යුෂ ලැබේ) දුන්නේ ද  නැත. නිදිමත නිසා තේ නොඉල්ලුවෙමි. මදක් සීතල දැනුන නිසා පොරවනයක්  ඉල්ලු මුත් ඒවා  කොවිඩ් නිසා දෙන්නේ නැතැයි කියූහ. වාසනාවකට  මෙන් යානය උණුසුම් වූයේ මධ්‍යම ආසියාවට  ඉහලින් යන බැවිනි. කටාර් යානයේ දී මේ සියල්ල ලැබුන බව මම ගුවන් සේවක මහතාට කීවෙමි. "ඔවුන්ට" මුදල් ඇති බව ඔහුගේ පිලිතුර විය. මුදල් ඇති කතාව ගැන හිතමින් සිටියේදී මට නින්ද ගියේය. ලන්ඩනය  ලඟා වීමට ප්‍රථම උදේ ආහාරය ලැබුණි. ඔම්ලටයේ කියන්නට  වරදක් නැති  මුත් ඊට වඩා හොඳ උදය ආහාර එමිරේට් හෝ කටාර් යානයේ ලැබේ. 

උදය ආහාරයෙන් පසුවද තේ නැත. ගුවන්ගමනට ගෙවූ  මුදල පෙර  වාර වලට වඩා වැඩි වීම  වීම නිසා මේ සැලකිල්ල නම් මගේ  සිත් නොගත්තේය. මම ගුවන් සේවක මහතා කැඳවා තේ ඉල්ලුවෙමි. ඔහු පැවසුවේ තේ දෙන්නේ බිස්නස් පන්තියට බවය. මගේ මුහුණේ කෝප සහගත ස්වරූපය ඔහුට වැටහෙන්නට ඇත. 

"මම අරන් එන්නම් මහත්මයා " කිවූ ඔහු තේ රැගෙන පැමිණියේය. ඉන්පසු බ්‍රෙඩ් රෝල කන්නට බටර් පමණක් තිබූ බැවින්  ජෑම් ඉල්ලුවෙමි.  ජෑම් දෙන්නේද බිස්නස් පන්තියට පමණක් බව ඔහු කීවේය. එවර නම් මට තරහ වෙනුවට හිනා ගියේය. 

"බිස්නස්  පන්තියට තේයි ජෑම් නුයි දෙන එක හොඳයි. අපරාදේ නේ නැත්නම් වැඩිපුර ගෙවපු  සල්ලි. අනික පිරිලත් වගේ නේද. හොඳ වෙලාවට මම ඔෆර් එක ගත්තේ නැත්තේ". 

 සිනාසුනු සේවක මහතා මදෙසට මදක් නැමී කිවේ "සල්ලි නැහැ සර්. කොස්ට් කටින් නේ. " එවිට මම ආසනයේ ඉරුණු තැන් (ඉහල පින්තූරය ) පෙන්වා   මට තේරුණ බවත් සීට් දෙක තුනේම In-flight entertainment (IFE) වැඩ නොකරන බවද කීවෙමි. ඒ වනවිට   මම හතරවෙන ආසනයට මාරු වී සිටියෙමි. සේවක මහතා කටාර් වලට සල්ලි ඇති බව කියුවේ මන්දැයි මට වැටහුනේ එවිටය. 
 ශ්‍රී ලංකන් යානයේ කැබිනය තුල සේවාව කවදත් ඉහළ මට්ටමේ විය. තනිවම ගමන් ගත්  මහළු ද්‍රවිඩ කාන්තාවකට භාෂා අපහසුතා මැද ඔවුන්ම හත් ආදරයෙන් උපස්ථාන කරනු දුටුවෙමි.

හැබැයි ශ්‍රී ලංකන් ගුවන්සේවාව නම් ඇත්තේ  කඩා වැටෙන තැනකය. එනිසා සංචාරක බුබුළු ලෙස හෝ සංචාරකයන් ගෙන්වීමට විරුද්ධ වීමට පෙර ඒ ගැනත් සිතා බැලිය යුතු වේ. හොඳට හෝ නරකට ශ්‍රී ලංකාවට ඇත්තේ මේ ගුවන් සේවාව පමණකි. මිහින් ලංකා ගොඩබිම් ගතව බොහෝ කල් යයි සිතමි.

හීත්‍රෝ ගුවන් තොටේ ලොකු  පෝලිමක් තිබුනේ නැත. නමුත් මට තවත් පීසීආර් දෙකකට පවුම් 169 ක් ගෙවා මුදල් බැඳිය යුතු විය. දවස් දහයක් නිරෝධායනය  වෙමින් සිටියදී ඒවාද නෙගටිව් ලෙසට දන්වා තිබුණි. 
 
 මේ මා ශ්‍රී ලංකාවට මා  ගිය අපූරුම ගමනක් විය. ගිය වියදම එතරම් ප්‍රශ්නයක් නොවුනේ මව තරමක් සුව වූ හෙයිනි. සති හයෙන් සති හතරක්ම ලංකාවේ සිටියදී රැකියාව කිරීමටද සිදු වුනි. මට නිවාඩු තිබුනේ සති දෙකක් පමණි. ලංකාවේ අත්දැකීම් කිහිපයක්ද ලිවීමට ඉඩ තබාගෙන නවතිමි.  

කොළඹ ගමයා