ශ්‍රී ලංකාව: සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වෙනුවෙන් සමානාත්මතාවය ස්ථාපිත වූ සහ වෙනස්කොට සැලකීම් නොමැති වූ වටපිටාවක් සහතික කිරීම

ශ්‍රී ලංකාව: සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වෙනුවෙන් සමානාත්මතාවය ස්ථාපිත වූ සහ වෙනස්කොට සැලකීම් නොමැති වූ වටපිටාවක් සහතික කිරීම

8 April 2021 07:59 pm

ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමේ (International Commission of Jurists) ශ්‍රී ලංකා ජාතික නීති උපදේශිකා මතුරි තමිල්මරන් ගේ අදහස් ඉදිරිපත් කිරීමකි.

2021 මාර්තු 01 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ තනි ට්විටර් පණිවුඩයක් කෙරේ ජනතාවගේ උනන්දුව දිව ගියේය. වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනය සැමරීමට සමගාමීව ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩය හරහා ජනාධිපතිවරයා වයස, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, වාර්ගිකත්වය, බාහිර පෙනුම සහ විශ්වාසයන් මත පදනම් නොවී සෑම පුද්ගලයකුට ම අභිමානයෙන් යුතුව ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කරන බවට ප්‍රකාශ කර තිබිණි.   

සෑම පුද්ගලයකුට ම ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් ව වෙනස්කොට සැලකීම් වලට ලක් නොවී සිටීමට ඇති අයිතිය මෙන්ම ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය හෝ ප්‍රකාශනය කුමක් වූව ද සෑම පුද්ගලයකුම සතු අභිමානයෙන් යුතුව ජීවත් වීමට ඇති අයිතිය දකුණු ආසියාතික රාජ්‍ය නායකයකු විසින් ප්‍රසිද්ධියේ පිළිගන්නා ලද පළමු අවස්ථාව ලෙස මෙම ට්විටර් පණිවුඩය ඉතිහාස ගත වන බවට වාර්තා වේ. මෙම පණිවුඩය පැමිණෙන්නේ ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති මොහොතක වීම ද විශේෂත්වයක් වන අතර එහි පළමු කෙටුම්පත නුදුරේදී ම බලාපොරොත්තු වනු ඇත. ශ්‍රී ලංකාව තුළ සංවාදයට බඳුන් විය යුතුම ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය සහ ප්‍රකාශනය (SOGIE) පිළිබඳ කතිකාවත විවෘත කිරීමට මෙම ටිව්ටර් පණිවුඩය සමත් වූ අතර, සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී (LGBT) පුද්ගලයන් නීතිය ඉදිරියේ වෙනස්කොට සැලකීම් වලට ලක්නොවන බවට රජය වගබලා ගන්නා බව සහතික කිරීමෙහි ලා මෙය වැදගත් වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (12 වන වගන්තිය) නීතිය ඉදිරියේ සියළු පුද්ගලයින් සතු සමානාත්මතාවය සඳහා ඇති අයිතිය සහ නීතියේ සමාන රැකවරණය ලැබීමේ අයිතිය සහතික කරනු ලබයි. වාර්ගිකත්වය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී-පුරුෂභාවය, දේශපාලනික මතය සහ උපන් ස්ථානය මත වෙනස්කොට සැලකීම් වලට ලක්කිරීම ද එය තහනම් කරනු ලබයි. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව සහ/හෝ ප්‍රකාශනය මත වෙනස්කොට සැලකීම් වලට ලක්කිරීම තහනම් කිරීමක් සිදු නොකරන බව පෙනී යයි.   

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (1883) 365 සහ 365අ වගන්ති වලට අනුව “ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය” සාපරාධී වරදක් වන අතර එ්වා “තදබල අශෝභන ක්‍රියා” ලෙස හඳුන්වනු ලබයි. එම වගන්තීන් හි යොදා ගෙන ඇති පද වලට දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලි නිර්වචනයක් ලබා දී නොතිබුණ ද එකඟතාවය මත ඇතිවන සමලිංගික සබඳතා සාපරාධීකරණය කිරීමට මෙම වගන්ති දෙකම යොදාගෙන තිබේ. මෙම ‘අපරාධයට’ වරදකරු වන පුද්ගලයකු වසර දහයක් දක්වා වූ සිරදඬුවමකට යටත් කළ හැකිය.

දණ්ඩ නීති සංග්‍රහයේ 399 වන වගන්තිය හරහා “ස්ත්‍රී-පුරුෂ සමාජභාවය වසන් කිරීම” සාපරාධීකරණය කරනු ලබන අතර, මෙය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට එරෙහිව නිතර භාවිතා කරනු ලබන්නේ “ජනතාව නොමඟ යැවීමේ” චෝදනාවට එරෙහිව නඩු පැවරීමේ කටයුතු වලදී යි. තවද, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සම්මතයන් හා නොගැළපෙන බාහිර පෙනුම ඇති පුද්ගලයන් බිය වැද්දීම, ඔවුන්ගෙන් කප්පම් ගැනීම, රඳවා තබා ගැනීම සහ ප්‍රශ්ණ කිරීම සඳහා පාදඩ ආඥා පනතේ (1842) අයාලේ හැසිරීමට අදාළ විධිවිධාන යොදාගෙන තිබේ.

මීට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන වගන්තියට අනුව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ විධිවිධාන සමඟ ‘පවත්නා ලිඛිත නීතිය සහ ලිඛිත නොවූ නීතිය කිසිදු නොගැලපීමක් නොසලකා හැර වලංගු සහ ක්‍රියාත්මක විය යුතු’ වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ පාදඩ ආඥා පනත වැනි පවත්නා නීති අධිකරණ සමාලෝචනයට ලක්වීම වැළකී ඇති අතරම, එමඟින් නීතිය අවභාවිතා කිරීමේ චෝදනා ඇතුළු ක්‍රියාකලාපයන් සඳහා බලධාරීන් පරීක්ෂණයට ලක්වීමෙන් ආරක්ෂා වී තිබේ. මෙවන් විධිවිධාන, පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මත සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනය වීම් ඉහළ නැංවීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ලබයි.

ඉකුත් වසරේදී සමලිංගික ලිංගික සබඳතා පැවැත්වූ බවට ‘සාක්ෂි’ ගොනුකිරීමේ පදනම මත තළාපෙලා දැමීම, බලහත්කාරයන් ගුදමාර්ග/යෝනිමාර්ග ආශ්‍රිත පරීක්ෂණ සඳහා යොමුකිරීම ඇතුළු අමානුෂික ක්‍රමවේදයන් හරහා සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හට වධහිංසන පැමිණවීමට සහ පහත් අන්දමින් සැලකීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් කටයුතු කර තිබූ බව දිවයිනේ ප්‍රසිද්ධ පුවත්පතක් විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනාවරණය කර තිබිණි. එමෙන්ම, එච්අයිවී පරීක්ෂාවන් සිදුකිරීම සඳහා අධිකරණ නියෝග ලබා දුන් අවස්ථා සහ එම පරීක්ෂා වල ප්‍රතිඵල අධිකරණය ඉදිරියේ ප්‍රසිද්ධියේ හෙලිදරව් කිරීම සම්බන්ධ සිදුවීම් ද වාර්තා වී තිබිණි. එය අදාළ පාර්ශවයන් ගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි. මෙම අනාවරණයන් ගෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් නිල ප්‍රකාශයක් සිදුකරමින් එවන් හානිකර ක්‍රියාවන් නතර කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දීමට තමා කටයුුතු කළ බවත්, ‘ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, ලිංගික රුචිකත්වය හෝ අනන්‍යතාවය’ මත පදනම්ව වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී සිටීමට ඇති අයිතිය පිළිබඳ තමා විශ්වාස කරන බවත් අවධාරණය කර සිටියේ ය. මීට අමතරව, ඉකුත් මස මෑත දිනක සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය අවභාවිතා නොකරන හා ඔවුනට ගෞරවයෙන් යුතුව සැලකීමට කටයුතු කරන මෙන් විනිසුරුවන් විසින් පොලීසියට අවවාද කොට තිබුණු බවට වාර්තා වී තිබිණි.

2014 වර්ෂයේදී එවකට ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ පෙනී සිටිමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය තුළ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත පදනම් ව වෙනස්කොට සැලකීම් වලට ලක් නොකිරීම අඩංගු වන බව අවධාරණය කළේය. කෙසේවෙතත්, ඉහත සඳහන් කළ පරිදි නීතියේ අන්තර්ගත පැහැදිලි විධිවිධාන සහ ඒවා භාවිතයට ගන්නා අන්දම මත මෙම තර්කය බිඳ හැලී යන බවක් දක්නට ලැබේ. තවද, 2017 වර්ෂයේදී මානව හිමිකම් කවුන්සිලයේ පැවති විශ්වීය ආවර්තිතා සමාලෝචන සැසිවාරයේදී ශ්‍රී ලංකාව ලිංගික දිශානතිය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත පදනම් වූ වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමට පියවර ගන්නා බවට ප්‍රතිඥා දී තිබිණි. කෙසේවෙතත්, එවකට කැබිනට් මණ්ඩලයෙන් පැනනැගි විරෝධය හමුවේ ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය සහ ප්‍රකාශනය (SOGIE) පිළිබඳව ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මට ඇතුලත් කිරීමට ගත් උත්සාහ ව්‍යර්ත විය.

දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යයන් මේ පිළිබඳ ගනු ලැබූ ප්‍රගතිශීලී පියවරයන් තිබේ. ඉකුත් වසර වල ඉන්දියාව සහ භූතානය යන රාජ්‍යයන් දෙකම එකඟතාවය මත හටගන්නා සමලිංගික ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කර තිබිණි. භූතාන දණ්ඩ නීති සංග්‍රහයේ ‘ස්වභාවධර්මයට එරෙහි ලිංගික ක්‍රියා’ වලට අදාළ විධිවිධානය බලාත්මක කර තිබෙන්නේ යම්තම් 2004 වර්ෂයේදීයි. කෙසේ නමුත් නීතිය මඟින් සමලිංගික සබඳතා පවත්වන පුද්ගලයන් සක්‍රිය ලෙස එච්අයිවී ප්‍රතිකාර ලබාගැනීම අවහිර කර තිබෙන බව ක්‍රියාකාරීන් විසින් පෙන්වා දීම සහ අවබෝධ වීම නිසා මෙසේ නිර්සාපරාධීකරණ තීන්දුව ලබා දීමට පියවර ගෙන තිබේ. 2018 වර්ෂයේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකඟතාවය මත හටගන්නා සමලිංගික ලිංගික සබඳතා සාපාරාධී කරනු ලබන ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වන වගන්තිය අහෝසි කරමින් ප්‍රකාශ කර සිටියේ සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් අතර එකඟතාව මත හටගන්නා සබඳතා වලට එරෙහිව මෙම විධිවිධානය භාවිතයට ගැනීම ව්‍යවස්ථා විරෝධී බවත්, එමඟින් සමානාත්මතාවයට ඇති අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බවත් ය. 2018 වර්ෂයේදී පකිස්තානය විසින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිගනු ලබන නීතියක් බලාත්මක කරන ලද අතර, තමා කැමති ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයක් දැරීමට ඇති අයිතියට නීතිමය පිළිගැනීම ලබා දීම ඒ අතර වෙයි. වෙනස්කොට සැලකීම් සිදුවීමට හේතුවන නීතිමය විධිවිධාන බොහොමයක් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ අවශේෂයන් බව වටහා ගැනීම සහ එවැනි බලපෑම් පසුකර යාමේ අවශ්‍යතාවය අවබෝධ වීම මෙම වර්ධනයට හේතුවූ කරුණු අතර වෙයි.

ශ්‍රී ලංකාව තුළ සමලිංගිකභීතිකාව මූලික වශයෙන් ම අර්ත දැක්වූයේ සංස්කෘතික ගැටළුවක් වශයෙනි. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කිරීමට මාධ්‍යය තුළ විවිධ ඉඩ ප්‍රස්තාව දැන් සැකසී ඇති අතර, අභිමානය (PRIDE) වැනි ප්‍රජා මූලික වැඩසටහන් සඳහා මාධ්‍ය ආවරණය ලබාදීමද දැන් දක්නට ලැබේ. ඒ අතර, 2016 වර්ෂයේදී ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහා ප්‍රකාශයට පත්වූයේ ‘එකඟතාවය මත වැඩිහිටියන් අතර සිදුවන ලිංගික ක්‍රියා රාජ්‍යය තුළින් පාලනයට ලක්නොකළ යුතු බවත්, එය සාපරාධීකරණයට පාදක නොවිය යුතු’ බවත් ය. 2004 තරම් මෑත කාලයකදී සම්මත කරන ලද වෙනස්කොට සැලකීමේ නීතියක් පවා අහෝසි කර දැමීමට අසල්වැසි භූතානයට හැකිවූයේ නම්, නිසැකවම යටත් විජිත යුගයේ පැනවූ විලංගු වලින් මිදී සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හට සමානාත්මතාවය සහතික කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය යුතුය.

සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ඇතුළු සියළු පුද්ගලයින්ට සමානාත්මතාවය සහතික කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකාව ලබා දී ඇති පොරොන්දු ඉටු කිරීමට දැන් කාලය එළඹ ඇත. එය ජනාධිපතිවරයා ගේ ට්විටර් පණිවුඩය සහ මීට ඉහත නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයන් මඟින් මතුකරන ලද අපේක්ෂාවන් මත පදනම් වන බවද අවධාරණය කළ යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පසුගිය වර්ෂයේදී ජනාධිපතිවරයා විසින් ‘විශේෂඥ කමිටුවක්’ පත්කරන ලදී. මෙම (නව) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කාණ්ඩයට ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය සහ ප්‍රකාශනය (SOGIE) ද ඇතුල් කොට, ඒ මත පදනම් වූ වෙනස්කොට සැලකීම් තහනම් කිරීමට කටයුතු කිරීම ජාත්‍යන්තර නීති ඉදිරියේ අප රාජ්‍යය සතු බැඳීම් ඉටුකිරීමෙහි හා සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සමඟ ඇති සම්බන්ධතාව යළි ගොඩනඟා ගැනීමෙහි ලා පළමු පියවරක් වනු ඇත.

*DailyFT වෙබ්අඩවියේ 2021 මාර්තු 30 වන දින පළවූ ලිපියේ සිංහල පරිවර්තනයකි.