විත අස පත 13 - 88/89 පුත්‍රයෙකුගේ හෘදය සාක්‍ෂිය හෙවත් අම්මාගේ ආදරය

විත අස පත 13 - 88/89 පුත්‍රයෙකුගේ හෘදය සාක්‍ෂිය හෙවත් අම්මාගේ ආදරය

8 March 2021 12:02 pm

අම්මාගේ ආදරය ගැන කියන්නට හැකි කතන්දර අටෝරාසියකි. පිටු පිරෙන්නට ලියත හැකි ඒ කතා බොහොමයක් මැද එක කතාවක් නිරන්තරයෙන් මසිත කළඹයි; වදදෙයි.

අපේ තාත්තා 1981 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා ය. රෝහණ විජේවීර සමඟ එකට ඝාතනය කළ බව කියන එච්. බී. හේරත් ඔහුට කලින් අවුරුද්දේ ජ'පුර හිටපු ලේකම් ය. ඩී. එම්. ආනන්ද ඔහුට සමකාලීනව පේරාදෙණියේ හිටපු සභාපති ය. එබඳු සමකාලීනයන් බොහොමයක් දැන් ජීවතුන් අතර නැතත් අදටත් තාත්තා අචපල ජවිපෙ බැතිමතෙකි. අනුර දිසානායකට මඩ ගසන්නන්ගෙන් ඔහු එළිපිටම ගේම ඉල්ලයි. නමුත් අසූවේ මැද ලයනල් බෝපගේ ඛණ්ඩනය සමඟ ඔහුගේ අනුගාමිකයෙකු යැයි ලේබල් වැදී එකල පක්‍ෂයෙන් මඳක් විතැන් කරනු ලැබූවෙකි, අපේ තාත්තා ! ඒ නිසා 88/89 කාලයේ ඔහු ක්‍රියාකාරීව පක්‍ෂය සමඟ බැඳී සිට නැත.

නමුත් ඉඩම් ආරවුලක් නිසා කේලාම්කාරී වූ අසල්වැසියෙකුගේ ඔත්තුවක් මත 1989 වසරේ දවසක දී හමුදාව විසින් මාතර - හිත්තැටිය - බෝතුරාගම තාත්තලාගේ මහ ගෙදර වට කරනු ලැබ තිබිණ. අවුරුදු එකහමාරක් පමණ වූ මා ද, මාස කීපයක් පමණක් වූ ලොකු නංගී ද ඇකයේ රුවා හුන් අපේ අම්මාගේ විරෝධය සහ විලාපය මැද ඔවුහු තාත්තා රැගෙන ගියහ. ඒ බිහිසුණු රාත්‍රිය ගෙවුණු විගස ම, පසුදා උදෑසන අම්මා මාත් ලොකු නංගීත් කර පින්නාගෙන තිහගොඩ - කිතලගම ඇගේ මහ ගෙදරට ගොස් තිබේ. ඉන් අනතුරව ඈ කළ දේ ගැන පසුව අප සමඟ කී විස්තර අදටත් විටින් විට හිත තදින් කීරි ගස්සයි. එය ඇගේ ආදරය ගැන මෙතෙක් මා සතුව ඇති මහා පාඩමයි.

ලොකු නංගී ආච්චිට බාර දුන් අම්මා මා ද වඩාගෙන මාතර - බණ්ඩත්තර වේල්ල අසළට පැමිණ තිබේ. එකල මාතර අවට පැහැරගනු ලැබූ තරුණයන් ද මිනිසුන් ද ටයර් සෑ මත දැවුණේ බණ්ඩත්තර වේල්ල දිගේ ය. එදා උදෑසන එසේ දැවෙන මළ සිරුරු ගණනක් මැද අපේ අම්මා මා ද වඩාගෙන තාත්තාගේ සිරුර සොයමින් ඇවිද ගොස් ඇත. මට කිසිත් මතක නැත. ඇගේ අද මතකයට අනූව එදා මිනිසුන් විසි ගණනක් බණ්ඩත්තර වේල්ල දෙපස දැවෙමින් හිඳ තිබේ. නමුත් තාත්තා එතැන සිට නැත. අවුරුදු එකහමාරක දරුවෙකු වඩාගෙන පිච්චෙන මළ මිනී ගණනක් මැද සිය ස්වාමි පුරුෂයාගේ සිරුර සොයමින් ඇවිද ගිය ගැහැනියක් ඔබ තුළ මවන්නේ කවර නම් ප්‍රතිරූපයක් ද? ඒ තමයි අපේ අම්මා !

දවස් ගණනකට පසු යටියන කඳවුරේ සිට තාත්තා නිදහස් වී පැමිණියේය. ඔහුගේ අතුරුදන් වීම ගැන එකල දිවයින පත්තරේ පළ වුණ ප්‍රවෘත්තිය සහිත පත්තර කැබැල්ල අදටත් අම්මා සතු මහඟු වස්තුවකි. අම්මාගේ එදා මානසිකත්වය කෙබඳු වන්නට ඇද්ද යන්න මට කිසි කලෙකවත් නිවැරදිව සිතා ගැනීමට නොහැකි වනු ඇත. ඒ අවිනිශ්චිත සිතුවිල්ල ම දිනෙන් දින මා තුළ ඈ පිළිබඳ ආදරය ලියලා වඩවයි. මා අම්මාට ආදරේ, ඇය දස මසක් මා කුස තුළ දරාගෙන සිටියාට නොවේ. ඇගේ ලේ, කිරි කර මට පෙවූ නිසා ද නොවේ. මම ආදරේ, මිනී පිච්චෙන පුළුටු ගඳ මැද ආදරය සොයා ගිය ඒ විසල් ගැහැනියට ය. ඈ තුළ දැනුදු රැඳුණු මහා දිරිය සහිත ඒ වෙසෙස් හදවතට ය.

මා කෙසේ නම් ඒ ආදරය වචන කර ඇයට පවසන්නද?

- කසුන් සමරතුංග