පෙරටුගාමී දේශපාලනය අහිමි බිමක කලාව මිහිදන් වීම

පෙරටුගාමී දේශපාලනය අහිමි බිමක කලාව මිහිදන් වීම

7 March 2021 04:05 pm

අශෝක හඳගම නිතරම ඔහුගෙ කලා භාවිතය පිළිබඳව කරන සංවාදවලදි උපාලි ජයවීර ගැන කියන කතාවක් තියෙනව. උපාලි ජයවීර කියන්නෙ 1980 දශකය මැද කාලයෙ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙ හිටපු කැඳවුම්කරුවෙක්. එකල ප්‍රකට ජවිපෙ ක්‍රියාකාරිකයෙක්. අදටත් විරු සිසුවෙක් විදියට විශ්වවිද්‍යාල ඇතුළෙ ගෞරවයට පාත්‍රවන්නෙක්.

හඳගම 80 මැද වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලයෙ විද්‍යා පීඨයෙ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. සරසවිය ඇතුළෙ ජනසන්නිවේදන අධ්‍යන අංශය මගින් සංවිධානය කරපු ඒකාංගික නාට්‍ය තරගයකට ඔහු 'අවුරෝරා' නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරනව. ඒක එම තරගයෙ හොඳම නාට්‍යය විදියටත් තේරී පත් වෙනව. විනිශ්චය මණ්ඩලේ සභාපති ඉන්නෙ සුගතපාල ද සිල්වා. හැබැයි මේ නාට්‍යය නරඹපු උපාලි ජයවීර ශාලාවෙන් එළියට ඇවිත් හඳගමගෙ අතින් අල්ලගෙන කියන්නෙ මෙහෙම කතාවක්.

"නාට්‍යය හොඳයි. වෙඩිල්ලක් වගේ. හැබැයි මේකෙ ආර්ට් නෑ."

ඇත්තටම ඒ නාට්‍යය උපාලි ජයවීර නියෝජනය කළ දේශපාලන මතවාදය ප්‍රවර්ධනය කරන විදියෙ නාට්‍යයක්. ඒකෙ නමෙන්ම වුණත් ඒ බව පැහැදිලි වෙනව. නමුත් උපාලි ජයවීරට කියැවීමක් තියෙන්න ඇති ආර්ට් කියන්නෙ හුදු දේශපාලන සටන් පාඨ ප්‍රකාශනයකට එහා ගිය යමක් කියල. ඒ වගේම සමහර විට ඔහු හඳගම තුළින් දුර ගමනක් යන්න පුළුවන් කලාකාරයෙක් දකින්නත් ඇති. නාට්‍යය ප්‍රචාරකවාදී තලයෙන් තමන් නියෝජනය කරන කඳවුරට වාසිදායක වුණත් ඔහු තමන්ගෙ අවංක අදහස හඳගමට කිව්වෙ ඒ නිසා කියල විශ්වාස කරන්න පුළුවන්. කොහොම හරි හඳගම ම කියන විදියට ඔහු පසුකාලීනව උපාලි ජයවීරගෙ මේ ප්‍රකාශය ගැන ඉතාම බරපතලව හිතල තියෙනව. ඒ හරහා ඔහු තවත් හැදෑරීම් සහ අත්හදාබැලීම් එක්ක ආර්ට් හොයාගෙන යනව. අද ඉන්න අශෝක හඳගමගෙ දියුණු සහ තියුණු කලාව බිහිවෙන්නෙ අන්න ඒ වගේ දියුණු සහ තියුණු සමාජ - දේශපාලන මැදිහත්වීම් එක්ක.

හඳගමට අර කතාව කියල අවුරුද්දකට විතර පස්සෙ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් උපාලි ජයවීර ඝාතනය කරනව. ඔහුට හඳගමගෙ පසුකාලීන වෙනස දකින්න වාසනාව ලැබෙන්නෙ නෑ. නමුත් ඔහු කරපු අර කෙටි ප්‍රකාශය ලංකාවෙ කලාව ඇතුළෙ විශිෂ්ට සිනමාවේදියෙක්, නාට්‍යකරුවෙක්, ටෙලිනාට්‍යකරුවෙක්, කෙටිකතාකරුවෙක් සහ සබුද්ධික පුරවැසියෙක් බිහි කරනව. අන්න ඒකට තමයි පෙරටුගාමී දේශපාලන මැදිහත්වීමක් කියල කියන්නෙ. තමන් නැතත් තමන් කරන කැපකිරීම්වල ප්‍රතිඵල අනාගත පරපුර හරි භුක්ති විඳියි කියන සුබ සිහිනය ඔවුන් තුළ තිබිල තියෙනව.

එතකොට අද තත්ත්වය කොහොමද? අද ලංකාවෙ ආර්ට් ඇතුළට එහෙම දියුණු සමාජ - දේශපාලන මැදිහත්වීම් සිද්ධ වෙනවද? ප්‍රධාන ධාරාවෙ දේශපාලනය පැත්තකින් තියමුකො. ඒගොල්ලො කොහොමත් කැමති මිනිස්සු මොට්ට වෙනවටනෙ. එයාල කොහොමත් වාරණ කතුර අතේ තියාගෙන ඉන්නෙ. ඒ නිසා ඒව ගැන කතා කරල වැඩක් නෑ. නමුත් වෙනස් සමාජයක් ප්‍රාර්ථනා කරන වාමාංශික සහ විකල්ප කණ්ඩායම්වල මැදිහත්වීම කොහොමද? අදටත් ඒවයෙ උපාලි ජයවීරලා වගේ මිනිස්සු ඉන්නවද? වැඩි කතන්දර ඕනෙ නෑ, ඒක තේරුම් ගන්න මෑතක අහන්න ලැබුණ එක කතාවක් විතරක් කියන්නම්.

'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය බොහෝ දෙනෙක් නරඹල ඇති. මේ කතාව අපිත් එක්ක කිව්වෙ ඒ චිත්‍රපටය එක්කත් වැඩ කරපු, ජවිපෙටත් ඉතාම සමීප සහ හිතවත් මිත්‍රයෙක්. ඒක නිසා ඒක විශ්වාසවන්ත තොරතුරක් කියල විශ්වාස කරන්න පුළුවන්. චිත්‍රපටය හැදුණෙ ජවිපෙ නිර්මාතෘ සහ හිටපු නායක රෝහණ විජේවීරගෙ ජීවිත කතාව පාදක කරගෙනනෙ. මේ චිත්‍රපටයෙ තිබිල තියෙනව විජේවීර තමන්ගෙ බිරිඳ සිපගන්න දර්ශනයක්. සිපගන්නව කිව්වට මේ දෙතොල් සිපගැනීමක් වගේ එකක්වත් නෙවෙයි. නළල හෝ කම්මුල සිපගැනීමක්. පක්ෂෙ පැත්තෙන් ඉල්ලීමක් ආවලු ඒ දර්ශනය අයින් කරන්න කියල. හේතුව විදියට කියල තියෙන්නෙ මොකද්ද දන්නවද? ඒක විජේවීරගෙ ප්‍රතිරූපයට හොඳ නැතිලු ! ඇයි යකෝ, මිනිහෙක් තමන් කසාද බැඳපු ගෑනිව ඉඹින්නෙ නැතුව පාරෙ යන ගෑනුන්ව අල්ලගෙන ඉඹින්නයැ. අනේ ඉතිං, උපාලි ජයවීරලා වගේ ආර්ට් ගැන ප්‍රගතිශීලී අදහස් තිබුණ මිනිස්සු හිටපු පක්ෂෙකට ගිය කලක්.

ඔන්න ඕකයි අද තත්ත්වෙ. වාමාංශික කියල කියන, විකල්ප සමාජ භාවිතා යෝජනා කරන ගොඩක් අයත් ගිලිල ඉන්නෙ අර පුරුදු සදාචාරවාදී මඩ ගොහොරුවෙම තමයි. එයාලට ආර්ට් ගැන ඇත්ත අදහසක් නැහැ. සිගරට් එකක්, අරක්කු ටිකක්, කිස් එකක් දැක්කම සිංහල - බෞද්ධ වාමාංශික කකුල් ගිටාර් ගහන්න පටන් ගන්නව. ඒගොල්ලොත් එහෙම වෙනකොට ඉතිං අනිත් පාර්ශව ගැන කවර කතාද? ඊට පස්සෙ ඔක්කොම එකතුවෙලා කෑගහනව කලාව ඉවරයි, වළ පල්ලට ගිහින් කියල. කතාව ඇත්ත තමයි. හැබැයි ඒ වැඩේට ඔය කවුරු කවුරුත් පස් මිටකින් හරි දායක වෙලා තියෙනව කියන එක අමතක කරන්න හොඳ නෑ.

කලාව ගොඩගන්න නම් දියුණු සහ තියුණු සමාජ - දේශපාලන මැදිහත්වීමක් ඇතිවෙන්න ඕනෙ. හැබැයි ඒක දක්ෂිණාංශික වගේම වාමාංශික දේශපාලන න්‍යාය පත්‍රවලට අනුකූලව ක්‍රියාත්මක වෙන එකක් වෙන්න බෑ. එහෙම වුණොත් එතැන ආර්ට් නෑ. තියෙන්නෙ ගොං පාර්ට් විතරයි. ආර්ට් කියන්නෙ ආර්ට් ! අන්න ඒක තේරුම් අරගෙන වැඩ කරන්න ඕනෙ. ඒ වැඩේට අපිට අශෝක හඳගමලා වගේ කලාකාරයො වගේම උපාලි ජයවීරලා වගේ පෙරටුගාමී සමාජ - දේශපාලන මැදිහත්කරුවොත් වැඩි වැඩියෙන් අවශ්‍යයි.

SVR