ඉතිහාසය වෙනස් කළ මාර්තු මහා මැතිවරණ

ඉතිහාසය වෙනස් කළ මාර්තු මහා මැතිවරණ

4 March 2021 11:30 am

මේ ගෙවී යමින් පවතින්නේ මාර්තු මාසයයි. ශ්‍රී ලංකා දේශපාලන කැලැන්ඩරයේ සියලුම මාස විවිධ සිදුවීම්වලින් පිරී තිබෙන්නකි. මාර්තුවට ද ඉන් ගැලවීමක්‌ නොවේ. එහි මහා මැතිවරණ දෙකක්‌ ඇතුළු තවත් විවිධාකාර වූ ද අපූර්වතම වූ ද තොරතුරු ගැබ් වී තිබේ. අද අපේ අවධානය යොමුවන්නේ එම මහා මැතිවරණ දෙක කෙරෙහි ය. ඉන් පළමුවැන්න 1960 මාර්තු 19 වැනි දින පැවතුණු මහා මැතිවරණයයි.

1951 දී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වූ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නමින් නව පක්‍ෂයක්‌ බිහි කළේය. අනතුරුව සඟ - වෙද - ගුරු - ගොවි - කම්කරු පංචමහා බලවේගයෙන් සන්නද්ධ වන ඔහු 1956 මහා මැතිවරණය ජයග්‍රහණය කළේය. බණ්‌ඩාරනායක රාජ්‍ය බලයට පැමිණෙන්නේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ පොරොන්දුව ජනතාවට ලබාදෙමිනි.

ඔහුගේ මෙම තීරණය සමකාලීනව හා පසුකාලීනව මහත් විවාදයට තුඩුදුන් එකක්‌ විය. සමාජයේ විවිධ පාර්ශ්ව තුළින් විවිධ මතවාද ඒ කෙරෙහි එල්ල විය. මාර්ටින් වික්‍රමසිංහට අනුව එය බමුණු කුලයේ බිඳවැටීමකි. නමුත් බොහෝදෙනා පැවසුවේ කිරිබතුත් ගෑරිප්පුවෙන් කන බණ්‌ඩා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනුයේ දේශපාලන වාසි ලබා ගැනීමට මිස වෙන අහවල් එකක්‌ නිසා නොවන බවයි. බහුතර මතය වූයේ ශ්‍රී ලංකාව නැමැති දේශපාලන ශරීරයේ ජාති භේදය නම් පිළිකාව වර්ධනය වීමට මූල බීජය තැන්පත් වූයේ මේ තීරණය නිසා බවයි. බණ්‌ඩාරනායක බලයට පත්වන්නේ මෙවැනි පසුබිමක්‌ තුළ ය.

බලය ලබාගත් නමුත් තමා ලබාදුන් පොරොන්දු ඒ ආකාරයටම ඉටුකිරීමට ඔහු සමත් නොවීය. ඊට හේතුව සමාජයේ විවිධ පාර්ශ්ව වෙතින් ඔහුට බාධා එල්ල වීමය. මෙය ඔහු බලයට පත් කිරීමට දර දිය ඇදි කොටසකට එතරම් සතුටට කරුණක්‌ වූයේ නැත. ශ්‍රී ලංකාව බලවත් බෞද්ධ රාජ්‍යයක්‌ සහ බෞද්ධ සමාජයක්‌ කිරීමට ප්‍රමාණවත් අයුරින් ක්‍රියා නොකරන්නේය යන චෝදනාව ඔවුන් වෙතින් බණ්‌ඩාරනායකට එල්ල විය. තිරය පිටුපස කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන්නට වූ අතර දෛවයේ සරදමකට මුහුණ දෙමින් තමා බලයට ගෙන ඒමට ක්‍රියාත්මක වූ පංච මහා බලවේගයේ එක්‌ බලවේගයක්‌ අතින් මරුමුවට පත් වන්නට බණ්‌ඩාරනායක අවාසනාවන්ත විය.

1959 සැප්තැම්බර් මස 25 වැනි දින තල්දූවේ සෝමාරාම නම් බෞද්ධ භික්‍ෂුවගේ වෙඩි පහරට ලක්‌ වන ඔහු ඊට පසු දින මිය ගියේය. ඒ මරණය සමාජය තුළ ගැඹුරු කම්පනයක්‌ ඇති කිරීමට සමත් විය. බණ්‌ඩාරනායක ඝාතනයේ මහා මොළකරුවා ලෙස අත්අඩංගුවට ගැනුණේ ඔහු බලයට ගෙන ඒම සඳහා එක්‌සත් භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ කැලණිය රාජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත භික්‍ෂුවයි. චෝදනා ඔප්පු වූයෙන් හෙතෙම ජීවිතාන්තය දක්‌වා සිර ගෙදරට නියම කෙරිණි. බොහෝ විචාරකයන් දකින්නේ ඔහු බලයට පත් කළ පිරිස්‌වලම ගොදුරක්‌ බවට අවසානයේ බණ්‌ඩාරනායක පත්වූ බවයි. බණ්‌ඩාරනායක ඝාතනයෙන් පසු එවකට අධ්‍යාපන ඇමති ධුරය දැරූ ආචාර්ය විජයානන්ද දහනායක අගමැති තනතුරට පත් කෙරිණි. පසු කාලයක රෙදි හිඟයට විරෝධය පාන්නට අමුඩයක්‌ ඇඳගෙන පාර්ලිමේන්තුව පැත්තේ ගියේ මේ ආචාර්ය දහනායකයි. ඔහුට අගමැති තනතුර ලබාදීම වඳුරාට දැලිපිහිය දුන්නාටත් වඩා හපන් බව සමහරු කීහ. ඇතැම් තැන ඔහු කටයුතු කළේ අඳුරේ අතපත ගාන්නෙකු ලෙසින් බව බොහෝදෙනා පැවසූහ. වරින් වර අමාත්‍ය මණ්‌ඩල සංශෝධනය කළ දහනායක බලාපොරොත්තු රහිත ලෙස ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු සිය තනතුරුවලින් ඉවත් කර දැමීය. ඔහු බණ්‌ඩාරනායක ඝාතනයේ සුල මුල සෙවීමට ද කිසිදු උත්සාහයක්‌ නොගන්නා බවට චෝදනා එල්ල විය. රජයට විරුද්ධ විශ්වාසභංග යෝජනා, බණ්‌ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය පිළිබඳ ප්‍රශ්න, ඇමැතිවරුන්ගේ ක්‍රියා කලාපය හෙළා දකින යෝජනා ආදිය මෙම කෙටි කාලය තුළ ගහණ විය. 1961 අප්‍රේල් මාසය දක්‌වා රජය ගෙන යා හැකි වුවත් ප්‍රභල ලෙස ගැටලු හා විරෝධතා පැන නැගිණි. ඒ අනුව අගමැතිවරයාගේ නියෝගය හමුවේ ආණ්‌ඩුකාරවරයා ව්‍යවස්ථාදායකය විසුරුවා හැරියේය. 1960 ජනවාරි මස 04 වැනි දින දක්‌වා නාමයෝජනා භාර ගත් අතර 1960 මාර්තු 19 දින මැතිවරණය පැවැත්වීමට තීන්දු කෙරිණි. හැටේ මාර්තු මහා මැතිවරණය සඳහා කාරණා පෙළ ගැසුණේ ඔය ආකාරයෙනි.

1959 දී සංශෝධනය කෙරුණු නව නීතිය අනුව මැතිවරණය සඳහා ඡන්ද කොට්‌ඨාස නැවත බෙදා වෙන් කරනු ලැබීය. ඒ අනුව ආසන 145 ක්‌ සඳහා මන්ත්‍රීවරු 151 ක්‌ තෝරා ගැනීමට නියමිත විය. මේ මහා මැතිවරණය කරුණු කාරණා කිහිපයක්‌ නිසා වඩා වැදගත් වෙයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට තැපැල් ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වූයේ මෙවර ය. එසේම අපේක්‍ෂකයන් හා පක්‍ෂ වෙනුවෙන් කොඩි, ධජ පතාක හා දැන්වීම් ප්‍රදර්ශනය තහනම් කෙරුණේ ද මෙවර ය. එපමණක්‌ නොව එක්‌ දිනකදී මුළු දිවයිනටම ඡන්ද විමසීම සිදු කෙරුණේ ද මේ මැතිවරණයේ දී ය. ගාස්‌තුවක්‌ නොමැතිව ඡන්ද අපේක්‍ෂකයන්ට ඡන්දදායකයාට ලිපි යැවීමට සලස්‌වනු ලැබුවේ ද, මෝටර් රථ මගින් ඡන්ද දායකයන් ප්‍රවාහනය තහනම් කෙරුණේ ද, ගුවන් විදුලියෙන් පක්‍ෂ නායකයන්ට මැතිවරණ කතා පැවැත්වීමට ඉඩ ලබාදුන්නේ ද මෙවර මැතිවරණයේ දී වීම විශේෂත්වයකි.

හැටේ මාර්තු මැතිවරණය වෙද්දී පනස්‌ හයේ බලය ලබා ගැනීමට ඒකාරාශී වූ බලවේග සීසී කඩ විසිරී යනු දැකිය හැකි විය. පනස්‌ හයේ මැතිවරණය සඳහා මහජන එක්‌සත් පෙරමුණ නමින් සන්ධානගත වූ සංවිධානය බෙදී ගියේය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, මහජන එක්‌සත් පෙරමුණ, බෝසත් බණ්‌ඩාරනායක පෙරමුණ, සිංහල ජනතා පෙරමුණ, ලංකා ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂය සහ ශ්‍රී ලංකා ජනතා පෙරමුණ ආදී විවිධ පක්‍ෂවලට හා කණ්‌ඩායම්වලට එය වෙන්වී ගියේය. ටී. බී. සුබසිංහ ආදී කිහිපදෙනකු ස්‌වාධීනව තරග කරන ආකාරය ද දැක ගත හැකි විය. දේශපාලන පක්‍ෂ 22 ක්‌ හා ස්‌වාධීන අපේක්‍ෂකයන් 899 ක්‌ ඡන්ද පොරය සඳහා පිටියට බටහ. මේ අතර ප්‍රධාන පක්‍ෂ හතක්‌ ආණ්‌ඩු බලය තමන්ට ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ඒ පක්‍ෂ හත වූයේ එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, මහජන එක්‌සත් පෙරමුණ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, සමාජවාදී මහජන පෙරමුණ, ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය යන පක්‍ෂයි. මේ අතරින් එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කැපී පෙනුනි. එක්‌සත් ජාතික පක්‍ෂය ඩඩ්ලි සේනානායක යටතේ තරග වැදුණු අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට නායකත්වය ලබාදුන්නේ සී. පී. ද සිල්වායි.

එසේ වුවද එකම පක්‍ෂයකටවත් ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව ලබාගත නොහැකි විය. ආසන 129 සඳහා තරග වැදුණු එක්‌සත් ජාතික පක්‍ෂය ආසන 50ක්‌ද, ආසන 108ක්‌ සඳහා තරග කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආසන 46ක්‌ද, ආසන 19ක්‌ සඳහා තරග කළ ෆෙඩරල් පක්‍ෂය ආසන 15ක්‌ද, ආසන 101ක්‌ සඳහා තරග කළ ලංකා සම සමාජ පක්‍ෂය ආසන 10ක්‌ද, ආසන 89ක්‌ සඳහා තරග කළ මහජන එක්‌සත් පෙරමුණ ආසන 10ක්‌ද හිමිකර ගැනීමට සමත් වූහ. ස්‌වාධීන හා සෙස සුළු පක්‍ෂ දිනා ගත් ආසන සංඛ්‍යාව 20ක්‌ විය. කැපී පෙනුණම කාරණය වූයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් ගාල්ල ආසනයට තරග කළ අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක පරාජයට පත්වීම ය. එක්‌සත් ජාතික පක්‍ෂයේ ඩබ්. ඩී. එස්‌. අබේගුණවර්ධන හමුවේ ඡන්ද 483 න් සිය ආසනය අහිමිකර ගැනීමට ඔහුට සිදුවිය. අගමැති දහනායකගේ කැබිනට්‌ මණ්‌ඩලයේ සිටි ඇමැතිවරුන්ගෙන් ද ජය ගත හැකි වූයේ දෙදෙනකුට පමණි.

මැතිවරණ ප්‍රතිඵල අනුව ප්‍රධාන පක්‍ෂ දෙකටම තවත් පිරිසකගේ සහයෝගයෙන් තොරව ආණ්‌ඩුවක්‌ පිහිටුවිය නොහැකි තත්ත්වයක්‌ උදා විය. නමුත් වැඩි ආසන සංඛ්‍යාවක්‌ ලැබූ එක්‌සත් ජාතික පක්‍ෂය රජයක්‌ පිහිටුවනු ලැබීය. ඒ අනුව 1953 හර්තාලයෙන් පසු අගමැති තනතුරෙන් ඉල්ලා අසුවූ ඩඩ්ලි සේනානායක නැවත වතාවක්‌ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. නමුත් බහුතරය නොමැති වීම නිසා රජයේ පැවැත්ම අස්‌ථාවර විය. එය ස්‌ථාවර කර ගැනීමට ඩඩ්ලි සේනානායක ෆෙඩරල් පක්‍ෂය සමග සාකච්ඡා වටයක්‌ ඇරඹීය. තමන්ගේ සහාය රජයට අවශ්‍ය නම් අවලංගු කර තිබෙන බණ්‌ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කළ යුතු බව ෆෙඩරල් පක්‍ෂ නායකයෝ කියා සිටියහ. නමුත් එක්‌සත් ජාතික පක්‍ෂය ඊට එකඟ නොවීය. සාකච්ඡා අතර මඟ බිඳ වැටිණි. මේ අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ෆෙඩරල් පක්‍ෂය අතර රජයක්‌ පිහිටුවීමේ සාකච්ඡා ආරම්භ වී තිබිණි. ෆෙඩරල් පක්‍ෂයේ කොන්දේසිවලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකඟතාව පළ කළහ. රාජාසන කතා විවාදයේදී රජය පරාජයට පත්විය. නැවත මැතිවරණයක්‌ සඳහා පසුබිම සකස්‌ කෙරිණි. එක්‌සත් ජාතික පක්‍ෂ රජය බිඳ වැටුණු අතර නැවත මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම මැයි 20 වැනිදාට නියම විය.

මේ ආණ්‌ඩු බිඳවැටීමත් සමඟ ඩඩ්ලි සේනානායක ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ වාර්තාවකට හිමිකම් කීමට සමත් විය. එනම් අඩුම කාලයක්‌ අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයාගේ වාර්තාව ඔහුට හිමි විය. ඔහු අනුව යමින් එක්‌සත් ජාතික පක්‍ෂයට ද කෙටි කාලයක්‌ තුළ ඉතා ඉක්‌මනින් බිඳ වැටුණු ආණ්‌ඩු බලය තිබූ පක්‍ෂයේ වාර්තාවේ නමට කර ගසන්නට සිදු විය.

1960 ජූලි මහා මැතිවරණයේ දී විශිෂ්ට ජයක්‌ අත්කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමත් විය. තරග වැදුණු ආසන 98 න් 75 ක්‌ම දිනා ඔවුහු රජයක්‌ පිහිටු වූහ. මාර්තු මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙහෙය වූ සී. පී. ද සිල්වා සභාපති පදවියෙන් ඉල්ලා අස්‌ වූ නිසා මෙවර ශ්‍රීලනිපයට නායකත්වය ලබාදුන්නේ සිරිමා බණ්‌ඩාරනායකයි.

ගැහැනියකගේ පින කුණු මුල්ලේ යැයි කතාවට කියා තිබේ. නමුත් ඒ පින උඩට ඉස්‌මතු වන අවස්‌ථා ද දක්‌නට ලැබේ. සිරිමාට වූයේ ද ඒ ටික ම ය. හැටේ ජූලි මැතිවරණය තෙක්‌ කුස්‌සියට වී සිටි ඇය පාක්‍ෂිකයන් විසින් සාරි පොටින් අල්ලා බලෙන්ම උස්‌සාගෙන ඇවිත් ආලින්දයේ වාඩි කරවනු ලැබීය. අනතුරුව ලෝක ඉතිහාසයේ සුවිශේෂතම වාර්තාවකට හිමිකම් කීමට සිරිමා සමත් වූවාය. එය ඩඩ්ලිගේ මෙන් අපකීර්තිමත් වාර්තාවක්‌ නොවීය. ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට ඇගේ ඉරණම විසින් ඇයව කැඳවාගෙන ගොස්‌ තිබිණි. මෙවර රජය පහසුවෙන් බිඳ දැමිය හැකි එකක්‌ නොවීය. නමුත් එක්‌සත් ජාතික පක්‍ෂය උත්සාහය අත් නොහැරියේය. මාර්තු මාසය සුවිශේෂී වූ දෙවැනි මහා මැතිවරණය වන 1965 මාර්තු මහා මැතිවරණය සඳහා කාරණා පෙළ ගැසෙන්නේ ඔවුන්ගේ එම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය.

1964 දෙසැම්බර් මස 03 වැනිදා පැවති රාජාසන කතා විවාදය අතිශයින්ම තිරණාත්මක විය. එම විවාදය සඳහා ඡන්දය විමසීමේදී සභා නායකවරයා වූ ඉඩම්, වාරිමාර්ග සහ විදුලිය පිළිබඳ ඇමති සී. පී. ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු 14ක්‌ විපක්‍ෂයට ගොස්‌ වාඩි වූහ. පුවත්පතක්‌ වාර්තා කර තිබුණේ සී. පී. ප්‍රමුඛ නඩය විපක්‍ෂය දෙසට යද්දී සිරිමාගේ මුහුණ දංගෙඩියක්‌ වගේ කළු වුණා කියා ය. අගමැති සිරිමා මෙය හැඳින් වූයේ පිටුපසින් සිට කළ පිහියෙන් ඇනීමක්‌ ලෙස ය; පිළිකුල් සහගත කුමන්ත්‍රණයක්‌ ලෙස ය. කෙසේ හෝ වේවා අවසානයේ විපක්‍ෂයට ගිය මන්ත්‍රීවරු රාජාසන කතා විවාදයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා රජය එක්‌ වැඩි ඡන්දයකින් පරාජයට පත්විය. 1964 දෙසැම්බර් 14 වැනිදා නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය විසුරුවා හරිනු ලැබීය. මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර බාර ගැනීම ජනවාරි 11 වැනිදාත් ඡන්දය විමසීම මාර්තු 22 දාත් සිදු කෙරෙන බව අග්‍රාණ්‌ඩුකාරවරයා නිවේදනය කළේය.

ආණ්‌ඩු පක්‍ෂයෙන් ඉවත් වූ සී. පී. ද සිල්වා ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස්‌ සමාජවාදී පක්‍ෂය නමින් අළුත් පක්‍ෂයක්‌ පිහිටුවා ගත්හ. අනතුරුව ඔවුන් එක්‌සත් ජාතික පක්‍ෂයේ සහාය ඇතිව හවුලේ මැතිවරණයට මුහුණ දුන්හ. මැතිවරණ කොට්‌ඨාස 151ක්‌ සඳහා අපේක්‍ෂකයන් 494ක්‌ තරග වැදුණි. ඉන් 116ක්‌ම එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයන් විය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් 100ක්‌ද, මහජන එක්‌සත් පෙරමුණෙන් 60ක්‌ද, ශ්‍රී ලංකා නිදහස්‌ සමාජවාදී පක්‍ෂය32 ක්‌ද, ලංකා සම සමාජ පක්‍ෂයෙන්24 ක්‌ද, ෆෙඩරල් පක්‍ෂයෙන් 20ක්‌ද, ද්‍රවිඩ සංගමයෙන් 15ක්‌ද, කොමියුනිස්‌ට්‌ පක්‍ෂයෙන්09 ක්‌ද, විප්ලවකාරී සම සමාජ පක්‍ෂයෙන් 04ක්‌ද, වාමාංශික එක්‌සත් පෙරමුණෙන් 02ක්ද‌ ආදී වශයෙන් නාමයෝජනා පත්‍ර බාර දෙනු ලැබීය. 96දෙනෙක්‌ ස්‌වාධීන අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වූහ. නාමයෝජනා පත්‍ර බාර දුන් දිනයේම දකුණු කොළඹ ආසනය සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ ජේ. ආර්. ජයවර්ධන ද, ලංකා සම සමාජ පක්‍ෂයෙන් බර්නාඩ් සොයිසා ද නිතරගයෙන් තේරී පත්විය. අග්‍රාමාත්‍ය සිරිමා බණ්‌ඩාරනායක ප්‍රථම වරට ආසනයක්‌ සඳහා ඉදිරිපත් වූයේ ද මෙම මැතිවරණයේ දී ය. ඇය බණ්‌ඩාරනායකවරුන්ගේ පාරම්පරික ආසනය වන අත්තනගල්ලෙන් ඡන්ද සටනට පිවිසියාය. වයස අවුරුදු 18ට වැඩි අය සඳහා ඡන්දය ලබාදීම ප්‍රථම වරට ක්‍රියාත්මක වූයේ ද මේ මැතිවරණයේ දී ය.

මැතිවරණ ප්‍රතිඵල අනුව එක්‌සත් ජාතික පක්‍ෂය ආසන 66ක්‌ද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආසන 41ක්‌ද, ෆෙඩරල් පක්‍ෂය ආසන 14ක්‌ද, ලංකා සමසමාජ පක්‍ෂය ආසන 05ක්‌ද, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය ආසන 04ක්‌ද, ද්‍රවිඩ සංගමය ආසන 03ක්‌ද, මහජන එක්‌සත් පෙරමුණ ආසන 01ක්‌ද ලබා ගත්හ. ස්‌වාධීන අපේක්‍ෂකයෝ 06 දෙනෙක් ‌ද තේරීපත් වූහ.

ලංකා සමාසමාජ පක්‍ෂය හා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය එකට එකතු කරගෙන අලුත් ගමනක්‌ යෑමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජනතා වරම පැතූහ. නමුත් එක්‌සත් ජාතික පක්‍ෂය චෝදනා කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මාක්‌ස්‌වාදීන් හා එක්‌වී ඒකාධිපති පාලනයක්‌ ගෙන යෑමට අර අඳින බවයි. චීනය සමග ඒ සඳහා රහස්‌ ගිවිසුමක්‌ පවා ඇති කරගෙන ඇති බවට ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ. මීට අමතරව එක්‌සත් ජාතික පක්‍ෂය බලයට පත් කිරීමට භික්‍ෂූන් වහන්සේ ද නොමඳ සේවයක්‌ ඉටුකරනු ලැබූහ. මල්වතු මහ නායක හිමියන් මාක්‌ස්‌වාදයට එරෙහිව ප්‍රකාශයක්‌ නිකුත් කරනු ලැබීමෙන් ඒ බව මනාව පැහැදිලි විය. කෙසේ වුවද මැතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු පක්‍ෂයකට තනිව රජයක්‌ පිහිටුවීමට තරම් ජනවරමක්‌ මේ මැතිවරණයෙන් හිමි වූයේ නැත. ෆෙඩරල් පක්‍ෂ නායක චෙල්වනායගම්, ශ්‍රී ලංකා නිදහස්‌ සමාජවාදී පක්‍ෂයේ නායක සී. පී. ද සිල්වා, ද්‍රවිඩ සංගමයේ නායක සී. ජී. පොන්නම්බලම්, මහජන එක්‌සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන යන පක්‍ෂ නායකවරුන්ගේ අත්සන් සහිතව අග්‍රාණ්‌ඩුකාරවරයා වෙත යැවුණු ලිපියකින් ඔවුන් එක්‌සත් ජාතික පක්‍ෂ නායක ඩඩ්ලි සේනානායකට රජයක්‌ පිහිටුවීම සඳහා සහාය පළ කරන බව කියා සිටියහ. මෙම කාර්යයේදී එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රබල හිතවාදියකු වූ එඩ්මන්ඩ් වික්‍රමසිංහ තිරය පිටුපස විශාල වැඩකොටසක්‌ ඉටු කළේය.

මාර්තු 25 වැනි දින සිරිමා බණ්‌ඩාරනායක අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වූ අතර ඩඩ්ලි සේනානායක මහතා එම ධුරයේ දිවුරුම් දුන්නේය. 19 දෙනකුගෙන් යුතු අමාත්‍ය මණ්‌ඩලයක්‌ ද පත්කරනු ලැබීය. එයට ෆෙඩරල් පක්‍ෂය, මහජන එක්‌සත් පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස්‌ සමසමාජ පක්‍ෂය නියෝජනය කරන නියෝජිතයෝ ඇතුළත් වූහ. එසේ එක්‌සත් ජාතික පක්‍ෂය ඉදිරි පස්‌ අවුරුද්ද සඳහා සිය දේශපාලන බලය තහවුරු කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කළ මාර්තු මහා මැතිවරණ දෙකේ තොරතුරු ඔන්න ඔහොම ය.

 - SVR