සුරියවැව ගොවි අරගලයේ අලි සැලැස්ම

සුරියවැව ගොවි අරගලයේ අලි සැලැස්ම

2 March 2021 09:37 am

අලි  මිනිස් සම්බන්ධතාවන්හි නරකම වසර ලෙස 2019 වර්ෂය සනිටුහන් විය. 2019 දී  අලි 405 ක් මිනිසුන් අතින් මිය ගිය අතර මිනිසුන් 121 ක්  අලි ඇතුන් පහරදීමෙින් මිය ගියහ. සම්ප්‍රදායික අලි මංකඩ ආක්‍රමණය කිරීම,ඔවුන්ගේ භූමිය ඛණ්ඩනය කිරීම,සංවර්ධනය සඳහා සහ නීති විරෝධී ක්‍රියාකාරකම සඳහා ඔවුන්ගේ භූමිය භාවිතා කිරීම හේතුවෙන් මෙම තත්වය උදා වී තිබුණි. දකුණු ආසියාවේ අලි මිනිස් ගැටුම දරුණුම ලෙස පවතින රට ලෙස අප රට හැදින් විය හැකිය.

මෙම තත්ත්වය මේසේ පවතින විට මීට මාසයකට පෙර හම්බන්තොට වල්සපුගල ගම්මානයේ පදිංචිකරුවන් ප්‍රදේශයේ අලි මිනිස්  ගැටුමට විසඳුමක් ඉල්ලා අඛණ්ඩ උවාසයක්  ආරම්භ කළ අතර  හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිතය විධිමත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.  ප්‍රදේශයේ ගොවි සංවිධාන 86 ක් නියෝජනය කරමින් ගොවීන් විසින් මෙම විරෝධතාවය දියත් කරන ලද අතර අධ්‍යාපනිකව ගොවි ජනතාව මෙන්ම ප්‍රදේශයේ  දරුවන්ද දැනුවත් කරමින් අද වන විටත් මෙය ඉදිරියට ඇදෙමින් ඇත.

වසර දොළහකට පමණ පෙර  හම්බන්තොට ජනගහනය අඩු කලාපයක් වූ අතර  එහි වැඩි භූමි ප්‍රමාණයක් සතුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබුණි. නමුත් ජාතික භෞතික සැළසුමට අනුව හම්බන්තොට මහ නගරය සංවර්ධනය කිරීම නිසා අලි ඇතුන් විසින් භාවිතා කළ වනාන්තර විනාශ වී ගොස් ඇති අතර අද වන විට ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති  අක්කර 20000 ක භූමි ප්‍රමාණයත් සංවර්ධන කටයුතු සඳහා  එළි පෙහෙළි  කර භාවිතයට ගනිමින් සිටී  .

අලි ඇතුන්ගේ වාසස්ථාන අහිමි වීමත් සමග අලි මිනිස් ගැටුම ඉහළ යාමත් විශේෂයෙන් 2006 වසරේ ගෙන එන ලද ජාතික අලි කළමණාකරන ප්‍රතිපත්තිය  ක්‍රියාත්මක කිරිම උදේසාත්  හම්බන්තොට මහා නගර සංවර්ධන වැඩසටහන විසින් අලි ඇතුන් සදහා හෙක්ටයාර් 1500 ප්‍රදේශයක්  වෙන් කරන ලෙස සැළසුම් කරන යොජානාවක් ඉදිරිපත් විය .

හම්බන්තොට මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සකස් කරන ලද  එම සංවර්ධන සැලැස්ම මෙගාපොලිස්  අමාත්‍යවරයා  ලෙස පාඨලි චම්පික රණවකගේ අත්සනින් අනුමත කරන ලද අතර 1639/1,2 යටතේ 2020 පෙබරවාරි 2 වන දින ගැසට් කරන ලදී.

විවිධ සංවර්ධන කටයුතු නිසා හම්බන්තොට නගරය සිරිබොබුර දක්වා මේ වන විට ව්‍යාප්ත  වෙමින් පවතින අතර හම්බන්තොට යෝජිත අලිකළමණාකරණ රක්ෂිත ගැසට් කර අලි පරපුර හා මිනිස් ජීවිත මෙන්ම වාගාවන් බේරාදීම උදෙසා රජය හැකි ඉක්මණින් මැදිහත් විය යුතුය . අද වන විට සුරියවැව,හමිබන්තොට හා වල්සපුගල ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ ද එයයි.

 හම්බන්තොට මහා නගර සැළසමු යටතේ  අලි කළමණා කරන රක්ෂිතය අයත් විය යුතු ඉඩම් නිදහස් කිරීමට යොජනා කර ඇතත් එය යොජනාවකින් එහාට ගොස් නැත . එම නිසාම අද වන විටත් යොජිත අලි කළමණාකරණ රක්ෂිතයේ ඉඩම්  පුද්ගලයන්ට හා සමාගම්  අතට ලබාදෙමින් ඇති නිසා අලි කළමණාකරන රක්ෂිතයේ ඉඩම්  දිනෙන් දින අඩුවෙිමින් ඇත . එමෙන්ම අලි මිනිස් ගැටුම ඉතාමත් දරුණු ලෙස වැඩිවෙමින් පවතින අතර අලි ඇතුන්ට අමතරව ප්‍රදේශයේ අනික් සතුන්ට සිය වාස භූමි අහිමිවෙමින් පවති .

සංවර්ධන කටයුතුවලට යැයි කියමින් ගොන්නොරුව සිට බුරුතකන්ද දක්වා කුලු වැව් ගණනාවක් ඇති අක්කර දෙදහසකට වැඩි ප්‍රමාණයක්  මේ  වන විට නිදහස් කර ඇති අතර ප්‍රදේශයේ ජල පෝෂිත මෙන්ම අලි ඇතුන්ගේ ජල අවශ්‍යතාවය  ඉටුකළ  වැව්  පවා යෝජිත රක්ෂිතයට අහිමි කරමින් ඇත. එමෙන්ම  බුරුතකන්ද සූර්ය  බලාගාරය සඳහා අක්කර 500 ක් වෙන් කර ඇති අතර වල්සපුගල සහ දිවුල්පැලැස්ස  බලශක්ති  ගම්මානයක්  ඉදිකිරීම තවත් අක්කර 300 කට වෙන් කර ඇත .

එසේම මෙම වනාන්තර විනාශය නිසා  ගොන්නොරුවේ සිට බුන්දල දක්වා අලි ගමන් කරන ලද අලි මංකඩ විනාශ කර දමා ඔහුන්ගේ මෙන්ම අනෙක්  සත්ව ප්‍රජාවගේ වාස  නිවහන් අහිමි කර ඇත.

හම්බන්තොට මෙි වන විට සිදු කරන ඉඩම් මංකොල්ලය  හා වනාන්තර විනාශය හේතුවෙන්  අළි කළමාණාකරණ රක්ෂිතය සදහා වෙන් කර ඇති  හා අනෙක් සතුන්ගේ  පැවැත්මට මෙන්ම ජනතාවගේ ජීවත ආරක්ෂාවට ඇති  අක්කර 20000  පමණ ප්‍රමාණයක් අහිමිවීමේ අවධානමක් පැන නැගී ඇත.

අලි කළමනාකරණ කලාපය සඳහා වෙන් කර ඇති ඉඩම්  විවෘත වනාන්තර ප්‍රදේශයක්  වන අතර එය කටු පඳුරු සහිත වියළි කලාපිය ශුෂ්ක  වනයන්ගෙන් ගහණය.  මෙහි ඇතම්  ඉඩම්  මෙන්ම  යාබද ඉඩම් කෘෂිකාර්මික කටයුතුවල නියැලී සිටින ප්‍රදේශවාසීන් විසින් අත්පත් කර ගෙන ඇත.

යෝජිත වන අලි  කළමණකරන  කලාපය ගොන්නෝරුව සහ කොහොලන්කලා යන ග්‍රාම නිලධාරී කොට්ඨාස  යටතේ පවතින අතර  හම්බන්තොට මහ නගර සභා සීමාව තුළ හෙක්ටයාර 1500 ක කලාපයක්  එයින් පිටත වනාන්තර හෙක්ටයාර 8000 ක ප්‍රදේශයක් රක්ෂිතය ලෙස වෙන් කිරීමට යොජනා කර  ඇති අතර ඒ සදහා සීමා මායිම් ලකූණු කර නිත්‍යානුකූල අවරණයක් ලබා දී නොමැති හෙයින් එහි ඉඩම්  බහු ජාතික සමාගම්  හා පුද්ගලයන් විසින් කොල්ල කමින් ඇත.

අලි 400 කගේ පමණ වාසභූමියක් ලෙස යොදා ගත හැකි මෙම ප්‍රදේශය වටා සිග්සැග් ආකාරයෙන් දෙහි  බොගන්විලා  සහ හන ගස් වගා කිරීම මගින්  අලි මිනිසුන්ගේ  වගා භුමි  ආක්‍රමණය කිරීම  අවම කිරීමට බලාපොරොත්තු වන අතර අප මේ  සදහා තවද යොජනාවක් එකතු කරමු. ඒ ප්‍රදේශවාසීන්ගේ වගා බිම් වටේට මී මැසි ජනපද පිහිට වීම තුළින් තවද සිදුවිය හැකි වගා හානි අවම කිරීමයි .

යෝජිත අලි කළමණාකරණ රක්ෂිතය හම්බන්තොට කතරගම මාර්ගය දක්වා විහිදි යන අතර අනෙක් පසින් හමිබන්තොට ගෙන්නොරුව හා මී ගහ ජදුර  මාර්ගය කරාද  විහිදි යන අතර මෙම යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ආරක්ෂා නෙකලහොත් ප්‍රදේශවාසී ගොවි ජනතාවට සිය වගා බිම්  පමණක් නොව ජීවිත බේරාගැනීමද ගැටලුවක් වනු ඇත.

පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්