ගණිතය ඇතුළෙත් කවි තියෙනවා ! - හරිත් කෝනාර

ගණිතය ඇතුළෙත් කවි තියෙනවා ! - හරිත් කෝනාර

1 March 2021 01:00 pm

හරිත් කෝනාර වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව හැදෑරූ ඔහු කවියෙක් බවට රූපාන්තරණය වූයේ සරසවියේ ඉගෙනුම ලබමින් සිටී අවධියේ දී ම ය. 'කේධාරී' ඔහුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. කවිය - සරසවිය - ගණිතය - විද්‍යාව සහ ජීවිතය පිළිබඳ හරිත් කෝනාර සමඟ කළ සංවාදයට අද මෙම කලාපය වෙන් වේ.

'කේධාරී' වෙත ලැබෙන පශ්චාත් ප්‍රතිචාර කොහොමද?

පළවෙනි පොත විදියට කේධාරීට තියෙන ප්‍රතිචාර ගැන මට ගොඩක් සතුටුයි. ඇත්තටම සෑහීමකට පත්වෙන්න පුලුවන්. කවුරු හෝ කෙනෙක් පොත කියවනව නම් ඒ තමයි ලබන්න පුලුවන් විශාලත ම තෘප්තිය. ඉදිරියටත් ඒ තෘප්තිය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

දන්න තේරෙන කාලෙ ඉඳල මේ පොත දක්වා ඔබේ සාහිත්‍යමය පසුබිම සකස් වුණ ආකාරය ගැන කෙටියෙන් යමක් අපට කියන්න?

මට හිතෙන්නෙ විශාල සාහිත්‍යමය පසුබිමක් මට තවම නෑ කියලයි. මහා රූස්ස ගස් යට මම තාම පුංචිම පුංචි පැලයක් විතරයි. තාම ටිකෙන් ටික හදාරමින් ඉන්නවා. කොහොමහරි පුංචි කාලෙ අත්තම්මගෙන් කවි කතාන්දර අහපු කාලයක් තිබුණා. පස්සෙ අධ්‍යාපනය ඇතුළෙ පාසල් පෙළපොත් අතරින් නොදැනීම සාහිත්‍ය අතපත ගාල තිබුණා. ඔය අතර පුංචි ප්‍රේම පලහිලව් එක්ක කවි ලියැවුණා. විරහවත් එක්ක සමහර කාලවල සිතුවිලි ඇතුළෙ ජීවත්වෙන අවධි තිබුනා. ඒ කාලෙත් ගොඩක් දේවල් ලියැවුණා. සරසවියෙ සාහිත්‍ය උළෙලවල, අරගල, සැමරුම් දින ආදී වැඩවලදි ලිව්වා. සරසවියට එනකල් හරි හැටි කියැවීමක් ලැබුනේ නෑ. යම්තාක්දුරට හරි හොඳ කියැවීමක් ලැබුනෙ සරසවියෙදී. ඒවත් එක්ක එදිනෙදා මුණගැහෙන ජීවිත සිදුවීම් එක්ක ඇතිවෙන සමාජ කියැවීම තමයි ඔය විදියට ගැලපුණේ.

ඔබ ඉංජිනේරු විද්‍යාව හැදෑරුවෙක්. ගණිතයයි, කවියයි අතර සම්බන්ධයක් ඔබ දකිනවද?

මම දකින විදියට නිවැරදි ගැලපීමක් ඇතුළෙ හැමදේම කවියක්. ගණිතය ඇතුළෙත් කවි හොයන්න පුලුවන්. ජීවිත ගමන ඇතුළෙ අපි විවිධ දේවල් පහසුවට නම් කරගත්තට මේ හැමදේම එක ම යායක් කියලයි මට හිතෙන්නෙ. අපි ගණිතයට විද්‍යාවට ඇමිණෙන දේවලට තාක්ෂණික කියලා නමක් දීලා තාක්ෂණය  හරි අමුතු එකක් කියලා අර්ථ දක්වගෙන ඉන්නවනේ ! ඉතින් බැලූ බැල්මට කවි නෑ කියලයි හිතෙන්නේ. ඇත්තටම මේ දේවල් ඇතුළෙත් කලාව තියෙනවා.

සරසවි දේශපාලනය ගැන ඔබේ අදහස මොකද්ද?

හැමදේම දේශපාලනික වෙද්දි සරසවියත් දේශපාලනික විය යුතුයි. අනිත් කාරණය තමයි අපි ඉගෙනගන්නෙත් මේ රටේ සාමන්‍ය ජනතාවගේ බදු මුදල්වලින්. ඉතින් ඒ නිසා සරසවි ශිෂ්‍යයන් විදියට අපිට සමාජය සම්බන්ධව ලොකු වගකීමක් තියෙනවා. ඒක මග නොහැරිය යුතු කරුණක්. සරලවම අපිට දේශපාලනයෙන් තොරව  ජීවත්වෙන්න බෑ. අපි දැන හෝ නොදැන මේ දේශපාලන ක්‍රමයේ ප්‍රතිඵල අත්විඳිනවා. අද වෙනකොට අපි ජීවත් වෙන්නෙ දේශපලනිකව කුණුවෙලා ගඳ ගහන පරිසරයක. සරසවි ඇතුළෙත් බොහෝවිට අද දකින්න ලැබෙන්නේ ප්‍රශ්න දැක දැක මඟහරින මිනිසුන් පිරිසක්. දැන් ගෙවෙන්නේ දේශපාලනය කියන්නේ පක්ෂයකට පාටකට එහා ගියපු කාරණාවකින් දකින්න ඕන කාලයක්. මං හිතන්නේ වර්තමාන සරසවි ශිෂ්‍යන් මීට වඩා දේශපලනිකව පොදු ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත්විය යුතුයි.

ලංකාවෙ වැඩිපුර ම මිත්‍යාව පස්සෙ දුවන්නේ විද්‍යාව සහ ගණිතය පැත්තෙන් උසස් අධ්‍යාපනය ලැබූ අය බව පෙනෙන්නට තියෙනවා. එහෙම වෙන්නෙ ඇයි?

පොදුවෙ ගත්තාම ලාංකේය සමාජයම ගිල්වලා තියෙන්නෙ මිත්‍යාවක. තමන්ගේ පථය මොකක් වුනත් මිනිස්සු ජීවත් වෙන්නෙ මේ ක්‍රමය ඇතුළෙ. අද ලංකාවෙ මිනිස්සු ඇත්තටම අසරණයි. ඒක අසරණයි කියාවත් නොතේරෙන අසරණකමක්. ඒ අසරණකම නිසා මිනිස්සු මිත්‍යාව පස්සෙ දුවනවා කියලයි මට හිතෙන්නෙ. මිනිස්සුන්ට හදල දීපු හීන ටිකක් තියෙනවනෙ ! හැමෝම දුවන්නේ ඒවා පස්සේ. ඉතින් ඒ වගේ අතරමං වුණාම, මිනිසුන්ට යන්න තියෙන හොඳම තැන මිත්‍යාව. ගහ කොළට වඳින තැන්වල, කේන්දර බලන තැන්වල මිනිස්සු කොයිතරම් නම් ඉන්නවද? ඔය හැම කෙනෙක්ම ඒ තැන්වලට  යන්නේ අසරණකමත් එක්ක. විද්‍යාව, ගණිතය හදාරන පිරිස වැඩිපුර මිත්‍යාව පස්සෙ දුවනවා කියන එක නම් මම හරියටම දන්නෑ. එහෙම වෙනව නම් ඒකට එක හේතුවක් සාහිත්‍ය හැදෑරීමක් සහ සමාජ සංවේදීතාවයක් නැතිවීම.

අවිද්‍යාව වෙනුවට විද්‍යාවත්, මිත්‍යාව වෙනුවට සාහිත්‍යයත් මිනිසුන්ට සම්ප්‍රේෂණය කරන්න කවියෙන් දෙන්න පුළුවන් දායකත්වය මොකද්ද?

කවිය කියන්නේ හිත්වලට කතා කරන්න පුලුවන් හරි ලස්සන දෙයක්. පේන හෝ නොපෙනෙන දේවල් හිත්වලට දැනෙන්න කතා කරන්න පුළුවන් කවියෙන්. අපි ජීවත් වෙන්නෙ නිර්වින්දිත මිනිස්සු ඉන්න රටක. මට හිතෙනවා කවියෙන් යම්තාක් දුර අපිට මිනිස්සු අවදි කරන්න පුලුවන් කියලා. ඒකට අපි අපිට දැනෙන ඇත්ත පෙන්නලා දෙන්න ඕන. කවිය සමාජගත කරන්නත් ඕන. සංවේදී මිනිසා ගොඩනැගෙන්නෙ නිවැරදි රසවින්දනයක් ඇතුළෙ. ඉතින් අපි කවිය ඇතුළෙ යථාර්ථය ලියමු. ඒක කවුරුන් හෝ කියවයි. ඒ හිත්වල කොනක හරි ඇත්ත ලියවෙයි. දවසක මේ සමාජය කියන කවියට අලුත් පදයක් එකතු වුණ දවසකට අපිට සතුටු වෙන්න පුලුවන්.

සරසවියේ ඉන්න කාලෙ කොහොම හරි පොතක් කරන අය අවුට් වුණාට පස්සෙ හොයන්නත් නැති වෙනවා. බොහෝදෙනා මේ විපරීත ක්‍රමයෙම ගොදුරු බවට පත්වෙනවා. මේ ගැන ඔබේ අදහස කොහොමද?

සරසවිය ඇතුළෙ ඉන්න කෙනෙක්ට අවුට් වුණ කෙනෙක්ට වඩා නිදහස තියෙනවා. සරසවියෙන් අවුට් වුණාට පස්සෙ මිනිස්සු මත පැටවෙන හෝ තමන් විහින් පටවගන්න බරක් තියෙනවා. මේ ක්‍රමය ඇතුළෙ තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න හරි අමාරුයි. ඒක මේ ක්‍රමයේ තියෙන ලොකු ගැටලුවක්. යම් රසවින්දනයක්, හැගීමක් තියෙන මිනිසුන් ප්‍රමාණයක් නැතිවෙන එක කලාවට වගේම සමාජයට ලොකු පාඩුවක්. ගොඩක් බාධක එක්ක වුණත් අපි අකුරුත් එක්ක ජීවත්වෙන්න වෙලාවක් හොයාගන්න ඕන. එහෙම වුණොත් අපිට අපි ජීවත්වෙනවා කියන එක හරි දැනේවි.

ඔබේ ඉදිරි වැඩ කටයුතු කොහොමද?

ඉස්සරහට ලොකු අරගලයක් තියේවි මේ ක්‍රමය ඇතුළෙ ගොදුරු නොවී ජීවත් වෙන්න. මම, මම වෙලා ඉන්න එකනෙ අමාරු ම වැඩේ ! එහෙම ඉන්න උත්සහ කරන ගමන් පුළුවන් උපරිමයෙන් පෑනට ආදරේ කරන්න, පෑනත් එක්ක වැඩකරන්න බලාපොරොත්තු වෙනවා.

සංවාදය - කසුන් සමරතුංග