ජිනීවා, භූමිදාන අයිතිය සහ ලංකාවෙහි මිතුරෝ - සුනන්ද දේශප්‍රිය

ජිනීවා, භූමිදාන අයිතිය සහ ලංකාවෙහි මිතුරෝ - සුනන්ද දේශප්‍රිය

26 February 2021 03:00 pm

රටක විදේශ ප්‍රතිපත්තිය රටට දේශීය ප්‍රතිපත්තින්හි පිළිබිඹුවක් යැයි කියනු ලැබේ. වර්තමාන ශ්‍රී ලංකාවේ දේශීය සහ විදේශීය පිළිවෙත ජාඩියට මූඩිය මෙනි.  එකක් අනෙක් පරදවන තරමට අවුල් සහගතය.

කොවිඩ් මරණ පිළිබඳ රාජපක්ෂවරුන් අනාගත් අනා ගැනිල්ල බලමු. ප්‍රථම අවස්ථාවෙහිදීම. මෙරට ගැසට් නිවේදනයක් මගින්ද පිළිගෙන තිබූ අන්දමට භුමිදානයටද අවසර දුන්නේ නම් ඊට එරෙහිව තිබූ බොද්ධ අන්තවාදී විරෝධය කෙදිරිල්ලක් බවට පත්ව නෑසී යන්නට ඉඩ තිබුණි. නමුත් රාජපක්ෂවරුන්ගේ මොළය ජාතිවාදය මගින් කොතරම් කචල්වී ඇත්ද යත් දුරදිග බලා ලෝකයා සමඟ එකට සිටගත හැකි තීරණයක් ගැනීමට බැරි විය.

ලෝකයේ භූමදානයට අවසර නොදුන් එකම රට සසිරි බර ශ්‍රී ලංකාවම පමණි. කොතරම් අවමානයක්ද?

ඊටත් වඩා මෙරට ජනයාට එය කීමට පෙර විදේශ අගමැතිවරයකුට පොරොන්දු වීම කොතරම් බියඟුලුකමක්ද?

පසුගිය 24දා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය අමතමින් ඉස්ලාමීය සහයෝගිකා සංවිධානයේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ භූමදාන විරෝධී පිළිවෙත මෙරට මුස්ලිම් ජනයාගේ ආගමික විශ්වාසයන්ට ගරු නොකරන පිළිවෙතක් බව ප්‍රකාශ කළේය. එපමණක් නොව ඔහු කීවේ වහාම එම තීරණය වෙනස් කර භූමිදානයට අවසර දෙන ලෙසයි.

දැන්  රාජපක්ෂවරුන්ගේ දෙකොන පත්තුවී ඇති බව නිසැකය. මන්ද යත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය එම ප්‍රකාශය කළේ එහි ප්‍රධානියා වන පකිස්ථාන අගමැති  මෙරට සිටියදීම විමය. එය හරියට ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශයක් වැන්න. මේ නිසාම තමන් භූමිදානයට අවසර දෙන බව රාජපක්ෂවරුන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට  පොරොන්දු වූ බව මුස්ලිම් පක්ෂ කියා සිටියේය. 

ජනාධිපති රාජපක්ෂ බටහිර තානාපතිවරුන් හමුව භූමදානයට අවසර දීමට ආණ්ඩුව දේශපාලන තීරණයක් ගෙන ඇතැයි කී බව තානාපති කාර්යාල සබඳතා ඇති ජාතික සාම මණ්ඩලයේ ප්‍රධානී ජෙහාන් පෙරේරා ලියා තිබුණි. ජනාධිපති රාජපක්ෂට අනුව දැන් ඉතිරිව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එය ක්‍රියාත්මක කිරීම පමණි.

කවුන්සිලයේ ජන්දයට කලින් එය දැන් සිදුව තිබේ. භූමදාන අවසරය ලබා දුන්නේ මානව හිමිකම් කවුන්සලයෙහි යෝජනාවට ඇති බව නිසාය. මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ  මානව හිමිකම් කවුන්සිලය ඇමතූ පකිස්ථාන තානාපතිවරයා  වහාම  භූමිදාන අවසරය ලබා දිය යුතු බව කියා පැය කිහිපයක් ගතවීමත් සමඟය.

කොතරම් බියක්ද?  දැන් ජලය සමඟ මිශ්‍රවී කෙරෝන වෛරසය රට පුරා යනු ඇතැයි කී රාජපක්ෂ කේවට්ටයින්ගේ සහ හොරනෑකරුවන්ගේ දෙකොන මූට්ටු වී ඇති බව නිසැකය.

මේ සියල්ල සිදුවූ අන්දම රාජපක්ෂවරුන්ගේ අසමකමට තවත් යස නිදසුනකි. 

දෙසතියකට පෙර අගමැති රාජපක්ෂ භූමිදානයට අවසර දෙන බව පාර්ලිමේන්තුවට කී විට  ඔහුගේම පක්ෂයේ කෝකිලාවියක එම පක්ෂ කාර්යාලයේම පුවත් පත් සාකච්ජාවක් පවත්වා නොකියා කීයේ අගමැතිවරයාට දෙකොන මාරුවී ඇති බවයි. ඇයට අනුව අගමැති රාජපක්ෂ කියා ඇත්තේ ලංකාවේ ජනයාට භූමදානය තහනම් නැති බවයි. එය ඇත්ත නම් එවැනි කතාවක් කිව හැක්කේ අඥකොරොස් දේශපාලනඥයකුට පමණි. මන්ද යත් දුරාතියේ සිටම මෙරට ජනයාගේ පිළිවෙතක් වූ භූමදානය සඳහා අලුතින් අවසරයක් දීමට රාජපක්ෂ කෙනෙක් අවශ්‍ය නොව නිසාය.

අගමැති රාජපක්ෂට අත්වී ඇති ඉරණම පෙන්වාලමින් වෙනදා ඔහුගේ දෙපා ලෙවකෑමට  පොර වැටෙනු ඇති ඔහුගේම ආණ්ඩුවේ ඇමැතියකු වන ගම්මන්පිල කීයේ “ ඒක මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාගේ පුද්ගලික අදහසක්” කියාය. අගැමැති රාජපක්ෂ නිකම්ම රාජපක්ෂ කෙනෙකු බවට පත්කිරීමට ගම්මන්පිළ දැන් උඩ ගොස් තිබේ.

වන්නාටය!
නමුත් දැන් හෙළිදරවි වී ඇති පරිදි ජනාධිපති රාජපක්ෂ තමන් එවැනි තීරණයක් ගෙන ඇති බව තානාපතිවරුන්ට කියා තිබේ.   
මෙම අයිතිය මෙරට මුස්ලිම් ජනයාගෙන් පැහැර ගන්නා ලද්දේ  රාජපක්ෂවරුන් විසින්ම බෝතලයෙන් පිටතට ගත්  අන්තවාදී භූතයා දැන් පාලනය කළ නොහැකි තරමට බලවත් වි ඇති නිසාය. එම භූතයා සමඟ එක්ව මුස්ලිම් විරෝධය රාජපක්ෂ දේශපාලනයේ් ළකුණක් බවට පත් කළේ ගෝඨාභය රාජපක්ෂය. ගම්මන්පිලාගේ ජාතිවාදී කඳවුර බලවත් වන්නේ ඒ භූතයා නිසාය. 

මෙම පෙබරවාරි  මාර්තු මාසයන්හි ජිනීවා මානව හිමිකම්  කවුන්සිලයේ සැසිවාරයක් නොවී නම්  ශ්‍රී ලංකාවේ කොවිඩ් භූමිදානයන්ට අවසර ලැබෙන්නේ නැත. මේ වනාහී මුස්ලිම් ජනයා වෙනුවෙන් නොව කවුන්සිලය හමුයේ ඇති යෝජනාවට බියේ ගන්නා ලද තීරණයකි. 

දැන් පැවත්වෙන එම සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් මහ කොමසාරිස්වරිගේ වාර්තාව පසුගිය 24 දා සහ 25දා සාකච්ජාවට ගැනුණි. එම සාකච්ජාවට එවූ සිය විඩියෝ පනිවිඩය පටිගත කිරීමට ආශීර්වාද ලබාගැනීමට විදේශ ඇමැති ගියේ ඇල්ලේ ගුණවංශ හිමි වැඳපුදා ගැනීමටය. එම ගමනට එක්ව සිටියේ සුලුතර විරෝධී සිංහල ජාතිකවාදයේ ප්‍රමුඛයින් වන ගෙවිඳු කුමාරතුංග සහ ගුණදාස අමරසේකරය. ඇල්ලේ ගුණවංස හිමි 1983 ජූලි දෙමළ විරෝධි ප්‍රහාරයන්හි පෙරමුණ ගත් බවට චෝදනා එල්ල වූ අයෙකි.  එපමණක් නොව ඔහු  කණ්ඩායමක් සමඟ එම බිහිසුණු රාත්‍රියෙහි ඉණේ පිස්තෝලයක් වැනි දෙයක් ඇතිව බොරුල්ල පොලීසියට පැමිණ බව ලියා ඇත්තේ අද සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි කර්තෘ වන සිංහ රත්නතුංගය. 

මානව හිමිකම් සම්බන්ධයෙන් ආශිර්වාද ලබා ගැනීමට වෙනත් භික්ෂුවක රාජපක්ෂ ආන්ඩුවට සිටියේ නැත්ද? වෙච්ච දෙයක තරම්!
වියයුතු පරිදිම එම ආශීර්වාද ලද දිනේශ් ගුණවර්ධන සිය කතාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් පසමිතුරු ආකල්පයක් ගත්තේය.  ඔහුගේ කතාව ගැටුම්කාරී එකක් විය. ශ්‍රී  ලංකාවෙි යුද්ධ කාලීන මානව හිමිකම් කෙළෙසීම් ඔහු ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සාකච්ජාවට ගැනීමට පෙර මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද  වාර්තාවක් සාකච්ජාවට ගැනුනි.  එය නම් ඊශ්‍රාලය විසින් අල්ලාගෙන සිටින පලස්තීන භූමියෙහි මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳවය.  එම වාර්තාව සංවර්ධනය වන රටවල් මෙන්ම සංවර්ධිත රටවලද පැසසීමට ලක්විය. බොහෝ රටවල් ඊ්ශ්‍රාලය විසින් පලස්තීන ජනයාගේ මානව හිමිකම් කෙළෙසීම් හෙළා දකිමින් අදහස් දැක්වූ නමුත් ශ්‍රී ලංකාව කටක් ඇරියේවත් නැත. මන්දයත් එවිට මහ කොමසාරිස්වරියගේ එම වාර්තාව පසසන්නට සිදුවන නිසා සහ ඊශ්‍රාලය සමඟ පවත්නා යුදමය සම්බන්ධතා පළදු වේයැයි යන බිය නිසා නිසා විය හැක.

මහ කොමසාරිස්වරියගේ වාර්තාව හෙළා දකින දිනේශ් ගුණවර්ධනගේ කතාව සමාන වූයේ ඊශ්‍රාලය වෙනුවෙන් පලස්තීනයට විරුද්ධව දක්වන ලද අදහස්වලටය. 

එය ශ්‍රී ලංකාවට ළකුණු ලැබෙන කතාවක් නොවේ. දිනේශ් ගුණවර්ධන කියා සිටියේ  මහ කොමසාරිස්වරියගේ වාර්තාව ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ යෙදී සිටින රටවල් අතර සැලකිය යුතු අන්දමින් චිත්ත ධෛර්යය නැතිවීම සඳහා  හේතු විය හැකි බවයි.  ඊශ්‍රාලය වෙනුවෙන් දැක්වූ අදහස්ද එවැනිම විය. එනම් පලස්තීන ත්‍රස්තවාදටය විරුද්ධ සටන එකී වාර්තාව නිසා අඩපණ විය හැකි බවය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වනාහී  දේශපාලන පළිගැනීම් සදහා යෙදවෙන වේදිකාවක් බවට පත්ව ඇතැයි කියා තිබුණේ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයකු වන ජාතික ආරක්ෂක ඇමැති  අද්මිරාල් සරත් වීරසේකරය. මානව හිමිකම් කවුන්සිලය පිළිබද සිය අදහස් සනාථ කිරීමට ඔහු උපුටා දැක්වූයේ උග්‍ර ට්‍රම්ප්වාදිනයක වූ  තානාපතිනි නිකි හේලි 2016 වසරෙහිදී කවුන්සිලයට විරුද්ධව කළ කතාවය. ඩොනල්ඩ් ට්‍රම්ප් මානව හිමිකම් කවුන්සිලයෙන්  ඇමෙරිකාව ඉවත් කර ගැනීමට තීරණය කළේ එය ඊශ්‍රාලයට විරැද්ධව යෝජනා සම්මත කළ නිසාය. සරත් වීරසේකර අනුමත කරන්නේ එම මතවාදයයි. 

එපමණක් නොව මෙවර ශ්‍රි ලංකාව පිළිබඳ ඉදිරිපත්ව ඇති යෝජනාවෙහි එන තවත් කරුණු දෙකකටත් ජාතික ආරක්ෂක ඇමැතිවරයා විරුද්ධත්වය පළ කර තිබේ. එනම් 13 වන සංසෝධනය යටතේ පලාත් සභා මැතිවරණය පැවැත්වීම සහ අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නොනවත්වා සක්‍රීය ලෙස පවත්වා ගෙන යාමය. ඔහු කියන්නේ ඒ දෙකම අහෝසි කළ යුතු බවය. 

25දා  සම කොමසරිස්වරියගේ  වාර්තාව පිළිබඳ සාකච්ජාවට එක්වෙමින් ඉන්දියාව 13 වන සංසෝධනය සමුපූර්නයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. කවද ඉන්දියාව කියා සිටියේ සුළුතර දෙමළ ජනයාගේ සාධාරණ අපේක්ෂාවන් සැපිරීම අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධ ඉන්දියානු ස්ථාවරය කුළුණු දෙකක් මත රඳා පවතිවන බව කී ඉන්දීය තානාපතිවරයා එම කුළුණු දෙක නම් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රාදේශීය අඛණ්ඩතාවය හා ආරක්ෂාවද   සහ දෙමළ ජනයාගේ  යුක්තිය, සමානාත්මතාවය, ගරුත්වය සහ ආත්ම අභිමානය මත විසදුමක් ඇති කිරීමද බව කියා සිටියේය. 

ජාතික ආරක්ෂක ඇමැතිවරයාගේ තවත් තර්කයක් නම් එල්ටීටීඊය පරාජය කරන ලද නිසා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාව සමඟ වෛර බැදගෙන ඇති බවයි. මේ ගැන වැඩි දුර දැන ගැනීමට ඔහු කළ යුත්තේ නාවික හමුදාවෙහි ඔහුගේ ප්‍රධානියා වූ වයිස් අද්මිරාල් කරන්නාගොඩ විසින් ලියා ඇති “අධිශ්ඨානය” නම් පොත කියැවීමය. එල්ටීටීඊ සංවිධානයේ යුද ශක්තිය හීන කිරීමට ප්‍රධාන සාධකයක් වූ ප්‍රවාහණ නැව් විනාශ කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය ලබාදුන් තොරතුරු අනුව බව ලියා ඇත්තේ එම පොතෙහිය.  

ආණ්ඩුවේ ප්‍රචාරයන්හි ඇති තවත් ලොකු හිලක් වන්නේ මානව හිමිකම් කවුන්සිලය සහ බටහිර රටවල් එල්ටීටීඊය විසින් කරන ලද අපරාධ ගැන නිහඩ බවය. මෙය මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් අතර සනාථ කළ නොහැකි කර්කයකි. මන්ද යත් ශ්‍රී ලංකාව සම්බන්ධ සෑම යෝජනාවකම සෑම පාර්ශවයකින්ම කරන ලදැයි කියන හිමිකම් කෙළසීම් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව සදහන් වන නිසාය.  අද රාජපක්ෂ සුරතලුන් වන කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් යටතෙහි ළමා සොල්දාදුවන් බඳවා ගැනීම මානව හිමිකම් කවුන්සිලය සිය වාර්තා මගින් කරුණු ඇතිව හෙළා දැක තිබේ.

එපමණක් නොව ශ්‍රී ලංකාව පිළිබඳ කවුන්සිලයේ ක්‍රියාකාරී කණ්ඩායමට අයත් රටක් වන ජර්මනිය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන්, විශ්වීය අධිකරණ බලය යටතේ නඩු පවරා දැනටමත් එක් එල්ටීටීඊ සාමාජිකයකු නඩු අසා සිරගත කර තිබේ. මේ වනාහී දැන් ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන ක්‍රියාවළියකි. එනම් විශ්වීය අධිකරණ බලය යටතේ අන් රටවල කරන ලද මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන්  සවකීය රටවල නීති අනුව නඩු පැවරීමට පියවර ගැනීමයි. පසුගිය 23 දා ජර්මනියෙහි දී සිරියානු යුද නිලධාරියකුට සිර දඩුවම් නියම කරන ලද්දේද ඒ අනුවය. 

දැන් අන්තර් ජාතික යුද අධිකරණය එකම යාන්ත්‍රණය නොවේ. මහ කොමසාරිස්වරියගේ වාර්තාව සහ ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකා යෝජනාව, විශ්වීය අධිකරණ බලය යටතේ විවිධ රටවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම්  කෙළෙසිම් සම්බන්ධයෙන් නඩු පැවැරීමට අවශ්‍ය සහාය සූදානම් කිරීමට යෝජනා කරයි.
ශ්‍රි ලංකා පුරවැසියන් වන හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට (හෝ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට) වෙනත් රටවලදී නඩු පැවරීම ශ්‍රී ලංකාවෙහි සෛවරීත්වය කෙළෙසීමක්ද?  පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව දැනටමත් තිදෙනෙකුට එරෙහිව එරටදී චෝදනා ඉදිරිපත් කර තිබේ. එය ශ්‍රී ලංකාවේ සෛවරීයත්වය කෙළසීමක්ද?

මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා පිළිබඳ වාර්තාවට විරුද්ධව කතා කළ එක් රටක් නම් උතුරු කොරියාවයි!  උතුරු කොරියාව වනාහී අද ලොව පවතින දරුණුතම ඒ්කාධිපති රටවලින් එකකි.

“ඔබගේ මිතුරන් කව්දැයි කියන්න. එවිට ඔබ කව්දැයි මට කිය හැකිය,” යැයි කියමනක් තිබේ.
ශ්‍රි ලංකාවට සහය දෙමින් කතා කළ පකිස්ථානය ඉන්දියවෙහි කාශ්මීර ප්‍රාන්තයෙහි ඉස්ලාමීය කැරලිකරුවන්ටත් ඇප්ගනිස්ථානයෙහි තලේබාන් සටන්කරුවන්ටත් ඍජුවම සහාය දෙන රටකි.

පසුගිය 25 දින මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පක්ෂව කතා කල රටවල් මෙසේය‍: උතුරු කොරියාව, වියට්නාමය, ළාඕසය, කාම්බෝජය, බෙලරුස්, පිලිපීනය, සිරියාව, ඉරානය, පකිස්තානය, කියුබාව, නිකරගුවාව, වෙනිසියුලාව, ඊජිප්තුව, නේපාලය, මාලදිවයින, අසර්බයිජානය. චීනය, රුසියාව. මෙම රටවල් අතරින් හතරක් හැර අන් සියලූ රටවල පවතින්නේ ප්‍රායෝගිකව හෝ නීතියෙන්ම හෝ එක් දේශපාලන පක්ෂයක් විසින් පාලනය කරන රටවල්ය. 

“ඔබේ මිතුරන් කව්දැයි මට කියන්න. එවිට මා ඔබ කවරෙක්දැයි කියන්නම්” යැයි කියමනක් තිබේ. කණගාටුවට කරුණ නම් ශ්‍රී ලංකාව ලෝකයට තමන් හදුන්වා දෙනු ඇති  මිතුරන් බොහොමයක් ජනහතුරන් වීමය!

අබ සරණයි !