20 න් පස්සේ කොමිෂන් සභා සහ යුදකරණය - සුනන්ද දේශප්‍රිය

20 න් පස්සේ කොමිෂන් සභා සහ යුදකරණය - සුනන්ද දේශප්‍රිය

24 January 2021 08:02 pm

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සාර්ථකත්වය සඳහා අත්‍යවහ්‍යම අංගයක් වනුයේ තුළන සහ සංවරණයන්ය. එන් කියැවෙන්නේ ආණ්ඩුකරණය විවිධ සංවරණයන් මගින් තුලනය වියයුතු බවයි. ඒ සඳහා 17 වන සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති මහින්ද රාජපක්ෂ අහෝසි කළ පරිදිම 19 සංශෝධනයෙන් යළි පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අහෝසි කරන ලද බව අපි දනිමු.

දැන් අපට රාජපක්ෂවරුන්ගේ 20 වන සංශෝධනයේ සැබෑ අරමුණ ප්‍රායෝගිකව තේරුම් ගත හැක. ඒ 20 වන සංශෝධනය යටතේ ස්වාධීන විය යුතු කොමිෂන් සභාවන්ට පත් කර ඇති පුද්ගලයින් දෙස බැලීමෙනි.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පැවැතිය යුතුම බල විභේදනය දැන් මෙරට නැත. 20 වන සංශෝධනය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වැඩවසම් යුගයෙහි රටවල් පාලනය කළ ඒකාධිපති රජකු මෙන් දැන් ශ්‍රී ලංකාව පාලනය කළ හැක. ගතවන සෑම දිනක් පාසාම පෙනෙන්නේ රට පාලනය කිරීම පාර්ලිමේන්තුව පවා මගහැර ජනාධිපති රාජපක්ෂ අතට ගැනෙමින් ඇති සැටිය. ඊට මෑතම නිදසුන නම් කොව්ඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා එන්තක් ගෙන්වීම සඳහාද ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමයි. කොරෝනා එන්නත් ලබා දීමේ සැලැස්ම හා ජාතික බෙදාහැරීම සඳහා වූ නව ජනාධිපති කාර්ය සාධක බලකාය නම්න් හැදින්වෙන එහි ප්‍රධානත්වය දරන්නේ ජනාධිපති රාජපක්ෂගේ ප්‍රධාන උපදේශක වන සිල් රෙදි වංචාවෙහි සැකකරු වූ ලලිත් වීරතුංගය. මෙවැනි කාර්යයන් බාර වන සෞඛ්‍ය අමාත්‍යශයෙන් දැන් වැඩක් නැත. තවද මෙම කාර්යය පිළිබඳ කිසිම අධීක්ෂණයක් පාර්ලිමේන්තුවට නැත.

එවැනිම තවත් භයානක වර්ධනයක් වන්නේ එන්න එන්නම ආණ්ඩුකරණයේ මර්මස්ථානයන්හි යුද නිලධාරීන් රැඳවීමේ ප්‍රවණතාවයයි. පසුගියදා අගමැති රාජපක්ෂ ලංකා බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂකවරයකු ලෙස මුල් වතාවට යුද හමුදා (විශ්‍රාමික) ජනරල්වරයෙක් පත් කළේ මෙම ප්‍රවණතාවය ඉහළ වටයකට ගෙන යමිනි. ඊට තවත් උදාහරණයක් නම් මෙරට සෑම දිසාවකටම කොවිඩ් වසංගතය පාලනය කිරීමේ මුවාව යටතේ යුද හමුදා මේජර්වරු, කර්නනල්වරු සහ ජෙනරල්වරු පත්කිරීමයි. එම සියලු පත් කිරීම් කරන ලද්දේ ජනාධිපති රාජපක්ෂගේ සිතැඟි අනුවය. ඔවුන් මේ තනතුරු සඳහා තෝරා ගන්නා ලද්දේ කුමන නිර්ණායක අනුවදැයි කිසිවකු දන්නේ නැත. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් ඔවුන්ට බලය පවරණ ලද නිල ලිපිය කියන්නේ මෙසේ සඳහන් කරයි:

'කොවිඩ්19 රෝග ව්‍යාප්ති පාලනය, නිරෝධායන කටයුතු සහ ඊට අනුශාංගිකව එළඹෙන ප්‍රවාහන, සැපයීම් කටයුතු ආදී වෙනත් හදිසි අවස්ථා හා අවශ්‍යතා කළමනාකරණය පිණිස ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජීවනය සහ දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ආරක්ශක අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ අනෙක් සියලු අමාත්‍යංශ සහ ක්‍රියාත්මක මට්ටමේ පවතින දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සම්බන්ධිකරණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම, සඳහා ඔබගේ නිත්‍ය තනතුරට අමතරව දිස්ත්‍රික් සම්බන්ධිකාරක වශයෙන් පත් කරමි.'

මෙගින් පෙනී යන්නේ මෙම යුද නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම්වරයකු අභිබවා යන තරමේ බලයක් පවරා ඇති බවයි. වසංගත තත්වය අඩුම වශයෙන් මෙම වසර පුරාම හෝ අඩුම වශයෙන් වසරින් වැඩි කාලයක් පුරා පැවතිය හැකි බැවින් මෙම යුද නිලධාරීන් රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වීමට ඉඩ නැතුවා නොවේ. වසංගතය තත්වයටත් වඩා එළඹෙන දරුණු ගැටළුව වනු ඇත්තේ ආර්ථික අර්බුදයයි. සහල් මිලට ගැනීමට යුද හමුදාව යෙදවීම ඉදිරියට ගෙන ගොස් ආර්ථික අර්බුදයෙන් පැන නගින දේශපාලන අර්බුද පාලනය කිරීමටද ජනාධිපති රාජපක්ෂ මෙම යාන්ත්‍රණයම උපයෝගී කර ගැනීමට හොඳටම ඉඩ තිබේ.

දැන් මහජන ආරක්ෂක ඇමැති සරත් විරසේකරට මෙරට තරුණ පරපුරට යුද හමුදා පුහුණුව අනිවාර්ය කිරීමට අවශ්‍ය වී තිබේ. ඔහුට අනුව හමුදා පුහුණුව මගින් වියගරුක, පිට කොන්ද කෙලින් තිබෙන මිනිසකු බිහි වේ. ඒ ගැන කතා කිරීමට අවශය නැත්තේ යුද හමුදා පුහුණුවෙන් පසු පැන ගිය දහස් ගණනාවක් සිටින බව අප දන්නා බැවිනි. එවැනි තත්වයක් යටතේ රාජ්‍යයේ අධිකාරී බලය තුලනය කිරීමට යම් හෝ හැකියාවක් තිබූ මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම සහ මැතිවරණ කොමිසම දැන් පිරී ඇත්තේ රාජපක්ෂ දේශපාලන හිතවතුන් හිතවතියන්ගෙනි.

එකින් එක බලමු.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම

සභාපති නීතිඥ නිමල් පුංචිහේවා: නිමල් පුංචිහේවා කලක් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමේ සංවිධානයේ ප්‍රධානියකුව සිටියේය. එකළ වෘත්තීය සමිති නායකයකුද විය. 2015-2020 මැතිවරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂක විය. එයට පෙර රාජපක්ෂ සමයෙහි මානව හිමිකම් කොමිසමෙහි නීති අංශයෙහි අතිරේක ලේකම් ලෙස සේවය කළේය. ඒ අතරම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙහි සභාපති තනතුරද හෙබවීය. මෙම තනතුර රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබා දෙන ලද දේශපාලන පත්වීමකි. මහින්ද රාජපක්ෂ ධීවර ඇමැතිව සිටි කාලයෙහි එම අමාත්‍යංශය යටතෙහි වන සීනෝර් ආයතනයේ සභාපතිවරයා වශයෙන් දේශපාලන පත්වීමක් ලබා තිබුණි.

මැතිවරණ කොමිසමෙහි ප්‍රධානී තනතුර දිගටම දරා ඇත්තේ අවම වශයෙන් රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ නිළධාරීන්ය. ඊට පිටතින් මැතිවරණ කොමිසමේ ප්‍රධානත්වයට පත් කරන ලද ප්‍රථමයා වන්නේ නිමල් පුංචිහේවාය. ඔහු තවමත් ප්‍රජා හිමිකම් සංවිධාන සමඟ සබඳතා පවත්වයි.

සමාජික එස්.බී. දිවාරත්න: හිටපු රාජ්‍ය පරිපාලන නිලධාරියෙකි. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය සිතැඟි අනුව පත් කරන ලද ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ සභාපතිවරයාය. ජනාධිපතිවරයාගේ ප්‍රධානතම කාර්යසාධක බලකායක සභාපති තනතුර පිරිනැමීමෙන්ම ඔහු කෙරෙහි ඇති දේශපාලන විශ්වාසය පිළිබිඹුවෙයි. මෙය දේශපාලන පත්වීමකි.

සාමාජික එම්.එම්. මොහොමඩ් - හිටපු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු (නීති සහ විමර්ශන) වන අතර නිහඬව සිය සේවය ඉටුකළ අයෙකි.

කේ.පී.පී. පතිරණ – හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. පොලිස් නිලධාරියකු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. රාජපක්ෂවරු රට පාලනය කළ 2008 වසරෙහි උතුරු මැද එජාප පළාත් සභික, ජෙනරාල් ජානක පෙරේරා සහ අනුරාධපුර එජාප සංවිධායක වූ වෛද්‍ය ජෝන්පුල්ලේ ඇතුළු විසිපස් දෙනෙකු මරාගෙන මැරෙන බොම්බකරුවකු විසින් ඝාතනය කරන විට උතුරමැද නියෝජ්‍ය පොලිස්පතිවූයේ ඔහුය. මෙම ඝාතනය කව්රුන් විසින් කළේද යන්න විවාදයට භාජනය විය. එම පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ නොකරන ලදී. 2013 හෝ 2014 වසරෙහිදී විමල් වීරවංශ එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය ලවා තමාට ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂන කිරීමට ඉඩ දෙන්නැයි තරවටු කරවන ලද පොලිස් නිලධාරියාද ඔහුය. වීරවංශගේ කණ්ඩායම ඔහුගේ රාජකාරී තොප්පියද ගලවා ගත් නමුත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුවීත් කේ.පී.පී. පතිරණ ඊට එරෙහිව පියවරක් නොගත්තේය. ගෝඨාභයට 'හොදයි සර්' කියා යන්න ගියේය. දැන් ඒ ගෝඨාභය විසින් ඔහු මැතිවරණ කොමිසමට පත් කර තිබේ.

ජීවන් ත්‍යාගරාජා- හිටපු රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙකි. 2013 හෝ 2014 වසරෙහි ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම් වාරයකට රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජිතයකු ලෙස සහභාගි විය. එම රැස්වීම්වාරයට රාජපක්ෂවරු විශාල පිරිසක් එවූ අතර ඉන් සමහරෙක් මානව හිමිකම් ක්‍රියාකාරිනියකට තර්ජන ගර්ජන පවා එල්ල කළහ. එම අවස්ථාවෙහිදී ජීවන් ත්‍යාගරාජා රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනය ආරක්ෂා කරමින් ක්‍රියා කළේය.

දැන් මෙම කොමිසම ස්වාධීනද නැත්ද යන්න තීරණය කිරීම ඔබ සතුය.

අනෙත් අතට මෙරට මැතිවරණ දූෂිත කරන ලද්දේ මැතිවරණ දෙපාර්තමෙන්තුව විසින් නොව දේශපාලන පක්ෂ විසින් බවත් අප මතකයේ තබා ගත යුතුය.

1982 දී එවකට එජාප නායකයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ ලාම්පු-කළගෙඩි ජනමත විචාරණයෙන් පසු මෙරට දූෂිතම මැතිවරණය පවත්වන ලද්දේ එවකට පොදුජන එක්සත් පෙරෙමුණෙහි නායිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංග යටතේය. එමෙන්ම දරුණුතම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මුදා හරින ලද්දේ එවකට විජේවීරගේ නායකත්වයෙන් යුතු ජනතා විමුක්ති පෙරමුණ විසිනි. බලහත්කාරයෙන් ජනයාගේ ඡන්ද අයිතිය තහනම් කරන ලද්දේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුතු එල්ටීටීඊය විසිනි. දෙමළ සන්ධානය ඊට විරුද්ධ වූයේ නැත.

කණගාටුවකට මෙන් එම අවස්ථාවන්හි ඍජුව එම තත්වයන්ට විරුද්ධ වීමට ඒ අවස්ථාවන්හි මැතිවරණ කොමසාරිස්වරුන්ට නොහැකි විය. වක්‍ර ලෙස ඔවුහු ඒ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිහඬතාවය මගින් යටපත් කර දැමූහ. මැතිවරණ කොමසාරිස්වරුන්ට එම බලය බෙහෝදුරටම ලැබුණේ 19 වන සංශෝධනය නිසාය. දැන් එම සංශෝධනය නැත. දේශපාලන හිතවතුන්ගෙන් පුරවා ඇති වත්මන් කොමිසමේ බලයද නීතියෙන්ම කප්පාදු කර තිබේ.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය ප්‍රධාන කොන්දේසි දෙකක් වනුයේ නීතියේ ආධිපත්‍ය සහ තරගය සඳහා සමබිමක් පැවැතීමයි. අද නීතියේ ආධිපත්‍ය වේගයෙන් අතුරුදහන් වෙමින් තිබේ. සමබිම සදහා අවශ්‍ය නිදහස් මාධ්‍ය පරිසරය, පොලිස් සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය යනාදියද ඇත්තේ අවර ගමනකය. ඊට අමතරව වත්මන් යුදකරණය දිගටම පැවතියහොත් සහ තවදුරටත් වර්ධනය වුවහොත් අප දෙවැනි ලාම්පු-කළගෙඩි වයඹ මැතිවරණයක් කරා ගමන් කරන්නට ඉඩ තිබේ.

මෙම තත්වයටම අදාළ වන පොලිස් කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට සිදුව ඇති වින්නැහිය දෙස ලබන සතියේ බලමු. එය තවත් බය හිතෙන වර්ධනයකි.