හිමිකරුවෙකු නැති රංජන් සාධකයේ සංකේත ප්‍රාග්ධනය

හිමිකරුවෙකු නැති රංජන් සාධකයේ සංකේත ප්‍රාග්ධනය

14 January 2021 05:43 pm

ඉදිරි දේශපාලනය පාලනය වීමට නියමිතව ඇත්තේ 'ලෝකය අනුතුරුදායකය'' (world is dangerous) යන ලෝක දැක්ම තුල ඇති භීතිය සහ අනන්‍යතාව පදනම් ලෝක දැක්ම (identity world view) තුලය. මෙය දේශපාලනය තුල ක්‍රියාත්මකවීම සහ තහවුරු කර ගැනීමට ගන්නා උත්සාහයන් සිදු වනු ඇත්තේ ඩිකටොමික ප්රතිවිරෝධයන් තුල ය. එනම් දෙකට බෙදී සිදුවන නියෝජනයක් හෝ විරුද්ධත්වයක් තුලය

ඉතිං ක්ෂණික මෙන්ම තාවකාලික උණුසමක් ඇති කර ඇති සිද්ධි අතර රංජන් රාමණායක සිදුවීම තුලින් දේශපාලනය හා සමාජය තේරුම් කරගත හැකි වන්නේ කෙසේද ?

රංජන් රාමණායකගේ 'බය නැතිකම' යන දේශපාලනික අරමුණ විසින් සමාජයට භීතිය ඇති කර ඇත. මෙම බය නැති කම හා සමාජය තුළ භීතිය ඇති වීම යන්න අලුත් දෙයක් නොවේ. මිනිස් ඉතිහාසයේ රාජ්‍ය බිහි වීමේ ක්‍රියාවලිය දක්වාම මේය දික් වේ. මෙයට අමතරව ලංකාව තුළ රාජ්‍යට බිය වෙන එහි සාමාජිකයාව රාජ්‍ය මෙහෙවන එනම් ආන්ඩුකරණයේ නියතු කණ්ඩායමට ද රාජ්‍යයේ සාමාජිකයාව යටත් කර තබා ගැනීමට මේ බය යොදා ගනී.ඊට අමතරව රාජ්‍ය මෙහෙවන කණ්ඩායම් මාරුවට ද මෙම භීතිය යොදා ගනී. 1948 සිට අද දක්වා මැතිවරණ ඉතිහාසය මෙයට සාක්ෂි දරයි.එක් කණ්ඩායමක් විසින් ඇති කරනු ලබන භීතිය තුරන් කිරීමට අනිත් කන්ඩායම බලයට පැමිණීම මේ ඉතිහාසයයි.

රංජන් යනු සංසාර චක්‍රය වැනි මේ ක්‍රියාවලියේ නවතම බිල්ල(ක්) වුවත් එහි සංකේතීය දේශපාලන ප්‍රාග්ධනය විපක්ෂයට අත් කර ගැනීමට හැකි වන්නේ නැතිවාක් මෙන්ම එහි අමතර වාසියක් ආණ්ඩුවට ද ලැබෙන්නේ නැත. හිරබත් කන්නට වන රංජන්ට ද එය පොදු ය. වාසියක් නැති සාධකයක් සමාජයට දේශපානිකව පාඩමක් ගෙන නො දුන්නත්, සමාජයට හැඟවුම් කරන්නේ බලය හොබවන හා බලය හොබවීමට බලා සිටින සැමටම අනාගතය සඳහා ලබා දී ඇති ප්‍රාථමික සංඥාවකි. එනම් එය නවාකාරයකින් සිදු වන්නේ රාජ්‍යයේ නීත්‍යානුකූළ බිය ගැන්වීමට අමතර “භීතියට යටත් වීම” යන ගෝත්‍රික අවිඥ්ඥණයයි.

මෙය පරාජය කිරීමට මෙතෙක් පැවැති සටන් මාදිලියනට හැකියාවක් පවතින්නේ ඉතා අවම මට්මමක වන අතර එය බලය හොබවන්නන්ට පවා අභියෝගයක් නො වන නිසාවෙන් ඔවුන්ට මෙම තත්ත්වයම පාරවළලක් වීමට නියමිතව ඇත. එම නිසා ඉදිරිය යනු පාරාවල්ල තුල සෙල්ලම් කරන දේශපාලන ක්‍රීඩාවක් නිසා 2025 හා 2030 දේශපාලන ක්‍රීඩාව තීන්දු කිරීම රාජපක්ෂලා මතම පමණක් කැරකීම නො වැළක්විය හැකි වේ.

රංජන්ගේ සාධකය යන්නත් මෙතෙක් සිදු වූ දෑ සේම පශ්චාත් දේශපාලනික සාධකයක් වේ. එනම් එහි ඇති දේශපාලනික විභවයේ ඇති ශක්තියට යම් චලනයක් කිරීමට ඇති හැකියාව වෙනුවට සිද්ධියේ ඇති සත්‍යෙවාදීත්වය දෙකට පැලී, හැඟීම් බවට පමණක් ලඝුවීමෙන් අවසාන විය හැකි ය. මේ නිසා ඔහුට ලැබෙන නිවාඩුව විසින් රංජන්ට ඉගෙන ගැනීමට යමක් ගෙන දුනනේ වුවත්, සමාජයට ඉගෙන ගැනීමට කිසිවක් නිර්මාණය නොකරනු ඇති නිසා, ඒ වෙනුවෙන් පුරප්පාඩු ඇති කරනු ලබන්නේ ද නැත. අවශ්‍ය තරමටත් වඩා න්‍යායන් හා වචන මුදා හැරිය හැකි වුවත්, ඒවා ක්‍රියාවන් බවට මග පෑදීමට නො හැකි නිසා ඒ සියල්ල නැවත පශ්චාත් ප්‍රතික්‍රියා බවට පමණක් පත් වේ.

ඉතින් මෙහෙම කියා දේශපාලනය කරන්නන් දේශපාලනය නො කර සිටින්නේ ද නැත. ලියන්නන් නො ලියා සිටින්නේ ද නැත. උද්ඝෝෂකයන් උද්ඝෝෂණය නොකර සිටින්නේ ද නැත. නමුත් මේ සියල්ල තුළ ස්ක්‍රීයව නියැලෙන සියලු දෙනා බය උපද්දවන්නන් විසින් ලබාදෙන ඊ ලඟ භය සමග ඔට්ටු වීමට ඉතා ඉක්මනින් සතුටින් පිය නගනු ඇත. එවිට රංජන් හරහා ඇති කළ බියට එරෙහි වූ සියලු දේ කලු කුහරයට ඇතුල් වූ ආලෝකය වන්ව වියැකී යනු ඇත. මේ කලු කුහරය නිර්මාණය කිරීමේ අලුත්ම කලාව රාජපක්ෂ ප්‍රමුක පාලක කල්ලිය විසින් හොඳින් හැදිනගෙන මානාව යොදාගනිමින් සිටී. උදාහරණයක් ලෙස දැනට බය උපද්දවමින් සිටිනු ලබන කන්ඩායමට එරෙහි (අනාගතයේ දි බය උපද්දවන කන්ඩායම) විසින් සමාජ ගත කළ ‘හිතුවේ පුටින් කියලා, බලද්දි ඇවිත් තියෙන්නේ හිටන්නේ’ යන කියමන දෙස බලමු. එම කියමන ඉතා මැතක සිට රාජපක්ෂ පාක්ෂිකයින්, විශේෂයෙන් සංඝයා විසින් භාවිතා කරමින්. තම නායකයාවම විවේචනයට ලක් කරනු ලැබී ය. එය දුටු විපක්ෂයේ බැතිමතුන් සිතුවේ එය රාජපක්ෂ කඳවුරේ පිපිරීමක් යන්නයි.

නමුත් දින කිහිපයකට කලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ. තමනට අවශ්‍ය නම් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භූමිකාවටද පනපෙවිය හැකි බවයි. එනම් පුටින්ටත් වඩා දරදඬු විය හැකි බවයි. එය දුටු විපක්ෂ බැතිමතුන් නැවත කියමින් සිටින්නේ ‘අන්න අරයා දරුණු වෙන්න හදනවා’ කියාය. තමන් විසින් ගොඩනගන කතිකාව තමනට එරෙහිවම සමාජ මනෝභාවය බවට පත් කරගන්නා ආකාරය මේ බැතිමතුනට නො තෙරේයි. මේ වනාහි රාජපක්ෂ කඳවුරේ සාකල්යවාදී උපක්‍රමයයි. ඒ සියල්ල උරා ගනු ලබන මහා නපුර හැම කෙනා තුලම ඇති නිසා, එම නපුරට එරෙහිව සංවිධානය වන දේශපාලනයකින් තොර අනෙක් දේශපාලනයන් අසමත් වීමට හේතු වන්නේ රාජපක්ෂලාගේ දේශපාලනය සාකල්යවාදී බූවල්ලා උපක්රමය විසින් භාවිතයට නගා අතු ඉති විසුරුවා ඇති නිසාය. බූවල්ලා න්‍යායට මකරෙකු ඉල්ලා සිටින බැතිමතුන් මෙන්ම භීතියෙන් ගොඩ යන්න උත්සාහ කරන ප්‍රති විරුද්ධ දේශපාලනයන් ද ඉල්ලා සිටින්නේ මකරෙකු ය. මකරා ඇති විය හැකි ය. එහෙත් විනාශ කිරීමට නො හැකි තරමට රාජපක්ෂ බූවල්ලාවාදය ශක්තිමත් ය. රංජන් අධිකරණයේ ගොදුරක් උවත් එහි ඇති දේශපාලනය තුල අධිකරණය ද ගොදුරක් බවට පත්වීම අරුමයක් නොවේ.

opiumaleft.com