ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මට ලැබෙන්නම ඕනේ වෙන කාටවත් ඒකට අයිතියක් නැහැ - හිටපු ඇමති ජෝන් දැඩි ස්ථාවරයක

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මට ලැබෙන්නම ඕනේ වෙන කාටවත් ඒකට අයිතියක් නැහැ - හිටපු ඇමති ජෝන් දැඩි ස්ථාවරයක

4 December 2020 02:00 pm

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් දේශපාලන පක්ෂයක් ලෙස ඉතිහාසයේ දරුණුතම පසුබෑමට ලක්වීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවිය. සජිත්  ප්‍රේමදාස මහතා සමඟි ජන බලවේගය ලෙස මැතිවරණය ඉදිරිපත් වීමෙන් රනිල්- සජිත් පාර්ශව ඛණ්ඩනය වූ අතර එහි වැඩි වාසිය සජිත් ප්‍රේමදාස මහතාට අත්පත් කරගැනීමට හැකි විය. අවසානයේ එක්සත් ජාතික පක්ෂයට සැනසීමට සිදු වූයේ ජාතික ලැයිස්තුවෙන් ලද මන්ත්‍රී ධූරයෙනි. එහෙත් අද දවස වන තෙක් එම මන්ත්‍රී ධූරය නම් කරගැනීමට හෝ එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ලැබී නැත. මන්ත්‍රී ධූරය අත්පත් කරගැනීම සඳහා ක්‍රියාත්මක අභ්‍යන්තර අරගලය එක් පසෙකින් වන විට අනෙක් පසින් ලබන වසරේ සිදු කිරීමට නියමිත පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හමුවේ තවදුරටත් පක්ෂයේ තනතුරු බෙදා වෙන් අකර ගැනීම සඳහාද   අරගලයක් ක්‍රියාත්මක බව කියවෙයි. 

මෙහිදී විශේෂම කාරණය වන්නේ පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විතැන් වන්නේ රුවන් විජේවර්ධනටද නැත්නම් වෙනත් කෙනෙකුටද යන්නයි. එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ පවතින මෙම අර්බුද සම්බන්ධයෙන් කතා කිරීමට එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ඇමතිවරයෙකු වන ජෝන් අමරතුංග මහතා එක විය.

මේ ඔහු සමඟ කළ සම්පූර්ණ සාකච්ජාවයි. 


අවසාන වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අත්විඳීමට සිදුවූ දරුණු පරාජයේ අත්දැකීමත් එක්ක සාකච්ජාව ආරම්භ කරමු. මොකද වුණේ එක්සත් ජාතික පක්ෂයට? දැන් ඔබට මොකද හිතෙන්නේ?   

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබුවා. ඉතුරු වුණේ ජාතික ලයිස්තුවේ ආසනය විතරයි. ඊට පස්සේ නායකතුමා පත් කළා නියෝජ්‍ය නායකයෙක්.  අවුරුද්ද අවසාන වෙනකම් එයා නියෝජ්‍ය නායාකයා වෙලා ඉඳලා එය අයින් වුනාම එයාගේ නායකත්වය ගන්න. ඒ නියෝජ්‍ය නායකයා දැන් රට  වටේ  තැන් තැන්වල ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය නැවත වරක ප්‍රාණවත් කරන්නේ කොහොමද කියල වැඩකරගෙන යනවා. ඊළඟට නායකතුමා මට භාර දුන්න කමිටුවක් පත්කරලා හැකි ඉක්මණින් අපේ නිලතලවල පුරප්පාඩුවලට සුදුසු අයව නිර්දේශ කරන්න කියල. දැන් ඒ කමිටුව මගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා රැස්ව වෙනවා. ඒ ටික තමයි දැනට කරගෙන යන්නේ. 
යන්නේ.

ඒ කියන්නේ ලබන වසරේ යළි පක්ෂයේ තනතුරු මාරුවක් වෙනවද?

ඔව්. ඒක තමයි අපි දැන් කරගෙන යන්නේ. නායකතුමා අපව දැනුවත් කරලා තියෙන්නේ අදාළ  අයව නිර්දේශ කරලා කියන්න කියල ප්‍රති සංවිධානයට. 

පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීත් පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු පැහැදිලිව සිදුවෙන බවට විශ්වාසයක් තිබුණේ නැහැ නේද? ඒ හැමදෙයක්ම ප්‍රමාද දෝෂයට හසුවෙලා නේද තියෙන්නේ?

ප්‍රමාදයක් නැහැ. එය අපි කරනවා. අවස්ථානුකූලව කරනවා කියන එක තමයි පක්ෂයේ මන්ත්‍රීවරු හැම කෙනාම වගේ කියන්නේ. පක්ෂයේ නව තනතුරු වගේම ජාතික ලැයිස්තුවේ පත් කිරීමත් කරනවා කියල තියෙන්නේ. 

ඇයි මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තවමත් පත්කරන්න හැකි වී නැත්තේ. නව පාර්ලිමේන්තුවේ වැදගත්ම අවස්ථා එයින් එජාපයට මඟහැරෙනවා. ඔබතුමන්ලා ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසිවෙලා විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බලයෙන් සම්මත වුණා. අඩුම තරමේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ හෝ එජාප නියෝජනයක්, අලියා ලකුණේ නියෝජනයක් තබා ගන්න බැරි වුණා.? 

ඔය මන්ත්‍රී ධූරය ඉල්ලලා සුදුසුකම් නැති කිහිප දෙනෙකුත් සටන් කරනවා. මොකද නායකතුමා මුලින්ම කිව්වේ ජන්දෙන් පැරදුන කෙනෙක්ව නැවත ඒකට දාන්නේ නැහැ කියල. පැරදුන මිනිස්සු තමයි දැන් කලබල කරන්නේ මට ඕනේ, මට ඕනේ කියල. ඒවා එහෙම ඉල්ලුවට කරන්න බැහැ. අපි ලැයිස්තුවක් හදලා  තියෙනවා. ඒ ලැයිස්තුවේ අනුපිළිවෙලටයි යන්න වෙන්නේ කියල. 

අන්තිමට වික්‍රමසිංහ මහත්මයටම යන්න වෙයි නේද? 

එහෙම වෙන්නේ නැහැ එතුමා යන්නේ නැහැ කියල තියෙන්නේ. 

ඔබ කියනවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් සුදුසුකම් නැති අය සටනක ඉන්නවා කියල. දැන් තියෙන්නේ ඔවුන් පාලනය කරගන්න බැරි තත්ත්වයක්ද?

නෑ එහෙම එකකකුත් නැහැ ඉතිං. දන්නේ නැද්ද ඉතින් ස්වභාවය. මිනිස්සු ඉතිං එක එක දේවල් ඉල්ලනවනේ. නමුත් ඉතින් ඉල්ලපු පලියට දෙන්න බැහැ. සුදුසුකම් අනුවනේ කරන්න ඕනේ. 

ඔය කියන ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඉන්නේ ඔබ. එය ඔබ පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන්  අදහස් දක්වමිනුත් එය පැවසුවා. මෙතනදී ඔබව පත්  කිරීමට එරෙහිවත් පක්ෂය අභ්‍යන්තරයේ කැරැල්ලක් ක්‍රියාත්මක වෙලාද? විරෝධයක් මතුවෙලා නේද තිබෙන්නේ?

එහෙම විරුද්ධත්වයක් නැහැ. සමහරු කියනවා ඔවුන්ට දෙන්නේ නැත්නම්  මන්ත්‍රී ධූරය නායකතුමාට දෙන්න කියල. ඕවා තමයි ප්‍රශ්න. නායකතුමා කියනවා මම ඒක ගන්නේ නැහැ කියල. ඒ නිසා අනිවාර්යෙන් ඒක මට තමයි  ලැබෙන්නේ ඕනේ. වෙන කාටවත් එකට අයිතියක් නැහැ. 

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට මේ තරම අයිතිවාසිකම් කියන්න මොකද්ද මේ ටහ්රම් තියෙන සුදුසුකම?

එකක් මම ලිස්ට් එකේ පළමුවෙනියා. අනික මම ජන්දය ඉල්ලුවේ නැහැ. ඒ නිසා මම පැරදුණේ නැහැ. අනික මම ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයා නායකතුමා ළඟට ඉන්න. ඒ නිසා මට එය ලබා ගන්න සම්පූර්ණ සුදුසකම් තිබෙනවා. හැබැයි මම රණ්ඩු  කරන්න යන්නේ නැහැ. මම කෑගහල ඒක ගන්න යන්නේ නැහැ. මම කියන්නේ මට ලැබිය යුතු දේ ලැබෙන්න ඕනේ කියන එක. 

මහ මැතිවරණයේදී නිවැරදි තීන්දුවක් අරගෙන ඛණ්ඩනය නොවී සිටියා නම් මෙවැනි තත්වයකට පත්වෙන්නේ නැහැ නේද? 

ඔව් එහෙම නොවෙන්න තිබුණා. එහෙම වුනා නම් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ වුණත් මීට වඩා හොඳ තීරණයක් ලබා දෙනවා. දැන් කරන්න දෙයක් නැහැ. අන්ත පරාජයක් ලැබුවා. 

ඔබතුමන්ලා දැන් ලිස්ට් එක අනුපිළිවෙලට පාර්ලිමේන්තු යන්න කාලසටහනකුත් හදලද තියෙන්නේ?

එහෙම නැහැ. මට නායකතුමා කිව්වොත් ඔයා ගිහින් අවුරුද්දකින් ඉල්ලා අස් වෙලා වෙන කෙනෙකුට දෙන්න කියල මම දෙනවා. 

පසුගිය මහ මැතිවරණය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ඉතිහාසයේ ලබපු අවාසනාවන්තම අත්දැකීම, දැඩි සෝදාපාලුවකට ලක්වෙන්න සිද්ධ වුණා. එජාපයේ ජන්ද ලක්ෂ 50කට වැඩි ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මහත්මයා සමඟි ජන බලවේගය විදිහට ලබා ගත්තා. නමුත් අලියා ලකුණ ඉතිහාසයේ දරුණුම පල්ලම් බැසීම සිද්ධ වුණා. ඒ වෙද්දී තිබුණ තත්ත්වය සහ  දැන් මේ වද්දී පක්ෂය මුහුණ දී සිටින අභියෝග එක්ක එයට හේතු නිවැරදිව හොයා ගෙන තිබෙනවද?

හේතු දෙකක තිබෙනවා. පළමු හේතුව තමයි පාස්කු ප්‍රහාරය. අපේ පක්ෂය ඒකෙන් අප්‍රසාදයට පත් වුණා. දෙක තමයි පහුගිය කාලයේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා අතර තිබුණු භේදය. ඒ තුළ ජනතාව තීරණය කළා තරුණ නායකත්වයකට පක්ෂය දෙන්න ඕනේ කියල. ඒ හේතු මත පාක්ෂිකයින්ට වුණ බලපෑම එක්ක තමයි  මෙහෙම  වුණේ. 

එහෙම නම් ඉතින් මේ බෙදා වෙන්වෙලා ඉන්න එකේ තේරුමක් තියෙනවද? සජිත් පාර්ශවය සහ රනිල් පාර්ශවය එකතු වීම නේද දැන්  බිම් මට්ටමේ ඉන්න පාක්ෂිකයින්ගේ බලාපොරොත්තුව. නායකත්ව මණ්ඩලය විදිහට ඔබතුමන්ලා අතර ගැටුමින් එක් කණ්ඩායමක ඉවත් වුණා. අන්තිමට පාක්ෂිකයින් විසින්ම එයට උත්තර දීලා තිබුණා. හිතෙන්නේ නැද්ද මහ වැරද්දක් කරගත්තේ කියල?

මෙහෙමයි දෙගොල්ල එකතු වෙන එක කොහොම වෙයිද දන්නේ නැහැ. වැරද්දක් වුණා. ඒ නිසා තමයි පක්ෂය දැන්  තරුණ නායකත්වයක් අතට දෙන්න හදන්නේ. අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුවට තව කල් තියෙනවා. ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙන්න, පත්වෙන්න තමයි විපක්ෂයේ කණ්ඩායම එකතු වෙන්නේ. 

දැන් හැබැයි නවීන් දිසානායක මහත්මයා වගේ  අය යම් ඉඟි සපයල තියෙනවා මේ දෙපාර්ශවය එකට එකතු වීම ගැන? 

ඒක හරි. එහෙම බැරි කමක් නැහැ. විය යුත්තෙන් නම් එහෙම තමයි. අපි දන්නේ නැහැ ඉස්සරහට කරුණු කරණා මොනවා වෙයිද කියල. එහෙම එක් වීමකට තවම ඉක්මන් වැඩියි. ඒ නිසා අපි තව ටිකක් බලාගෙන ඉමු. කොවිඩ් ප්‍රශ්නේ යම් දුරකට හෝ අවසාන කරගෙන රට යන පිළිවෙල බලලා තීරණයක් ගන්න පුළුවන්. 

නමුත් ඔබ විශ්වාස කරනවා මේ ගෙදොල්ලට නැවත එකතු වෙලා එකට ගමනක්  යන්න පුළුවන් කියන දේ? 

ඔව්. මොකද ඔවුනුත් අපිත් දෙගොලෝම එක්සත් ජාතික පක්ෂයේ අය. 

රුවන්  විජේවර්ධන මහත්මයට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දෙන්න සූදානම්ද?

එයාව නියෝජ්‍ය නායකයා විදිහට පත් කළේ වසර අවසාන වෙලා ලබන වසර ආරම්භ වෙද්දී ඔහුට නායකත්ව භාර දෙන්න. 

එතනදිත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට වගේ ගැටුමක් තිබෙනවද?

නෑ නෑ එහෙම වෙන්නේ නැහැ. ඔය පැත්තක ඉඳන් කෑගහන අයට එයට සුදුසුකමක්  නැහැ. 

ඊට පස්සේ සජිත් - රුවන් ගැටුමද පාක්ෂිකයින්ට බලන්න වෙන්නේ?

ඒවා ඉතින් පිළිවෙලක් වෙයි. පක්ෂයේ නායකත්වයට රුවන් විජේවර්ධන සුදුසු කෙනෙක්. එතැනදී සජිත්ට ප්‍රශ්නයක් එන එකක්  නැහැ. නැතත් ඒවා ඉදිරියට  එන දේවල්. ඒවා විසඳගන්න පුළුවන්  වෙයි. 

සජිත් ප්‍රේමදාස ගැන මොකද හිතෙන්නේ? ඔහු එජාපයේ ජන්ද ඛණ්ඩනය කරන්න සමත් වුණු කෙනෙක්. කොහොම හරි තමන්ගේ පැත්තේ ගොඩ වැඩිකරගත්තා ?

ඒ පාර්ශවයට එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් කැමති නිසා තමයි ඒ අයට මන්ත්‍රීවරු 50ක් 55ක් පත්කරගන්න හැකි වුණේ. එකේ  තර්කයක්  නැහැ. පිළිගන්න වෙනවා. 

ඒ කියන්නේ එජාපයේ නායකයා කවුරු වුණත් බිම ඉන්න පාක්ෂිකයින්ගේ  වැඩි කැමැත්ත සජිත් ප්‍රේමදාසට තියෙනවා කියන එකද ඔබ කියන්නේ?

ඔව් ඉතින් ඒක පේනවනේ. ජන්ද ප්‍රතිඵලවලින් ඒක පේනවනේ. 

ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය අනිවාර්යයෙන්ම ලබන වසර ආරම්භයේ වෙනසක් වෙනවා කියන එකද?   

ඔව්. ඔව් හුඟ දෙනෙක් කියන්නේ මේ නායකත්වයේ වෙනසක් වෙන්න ඕනේ කියලනේ. ඒක නායකතුමාත් දන්නවා. ඒක එයත් පිළිගන්නවා. ඒ නිසා  යථා කාලයේදී ඒවා කෙරෙයි.

 ආශිකා බ්‍රාහ්මණ