මතක මංපෙත ඔස්සේ

මතක මංපෙත ඔස්සේ

24 November 2020 04:00 pm

අප ජීවත් වෙන්නෙ දියුණු ලෝකයක.
 
හැම අතින්ම නවීන ලෝකයක.
 
හැම පහසුකමක්ම පිරී ඉතිරෙන ලෝකයක.
 
මීට දශක ගණනකට පෙර අප ජීවත් වුණේ ඔය කියන පහසුකම් කිසිවක් නැතුව.
 
ඒත් අපේ ජීවිත අපහසුවකින් තොරව ගලාගෙන ගියා.
 
අද පරපුර ඒ ගැන දන්නේ නෑ.
 
ඉස්සර අපිට තිබුණු අනර්ඝතම වස්තුව වුණේ ගුණසිරි බුල්ටෝ එක.
 
මහරගම පැත්තේ පොල් කේක් හදපු ගුණසිරි මුදලාලිට දවසක් පදම වැරැදිලා කේක් එක කරවුණා.
 
එදා පදම වැරැදිලා කරවුණු පොල් කේක් එක තමයි තෙල් කඩදහියක දවටලා ගුණසිරි බුල්ටෝ නමින් වෙළෙඳ පොළට ආවේ.
 
සත පහේ ගුණසිරි බුල්ටෝ කාපු පරපුරට තාමත් එහි සුවඳ මතක ඇති.

ඒ කාලේ ශීතකරණයක් කියන්නේ අති සුඛෝපභෝගී භාණ්ඩයත්.
 
කළුතර කටුකුරුන්ද පැත්තේ ෆැක්ටරි එකක හදපු සිසිල් තමයි ෆ්‍රිජ් එක.
 
ඒක ඔය දැන් තියෙනවා වගෙ ඉන්දියානු බඩකඩිත්තුවක් නෙවෙයි.
 
සිසිල් ෆ්‍රිජ් එකක් ගන්න ඒ කාලේ මාස ගානක් පොරොත්තු ලේඛනයේ ඉන්න ඕන.
 
හැබැයි හැමෝටම ෆ්‍රිජ් එකක් නෑ කියලා ප්‍රශ්නයක් තිබුනෙත් නෑ.
 
අයිස්ක්‍රීම් ආවේ කාඩ් බෝඩ් පෙට්ටියක.
 
ෆැමිලි බ්ලොක් කියලයි ඒකට කිව්වේ.
 
ගෙවල්වල අයිස්ක්‍රීම් බෙදන්න ස්කූප් තිබිබේ නෑ.
 
පිහියෙන් කෑලිවලට කපලා කෝප්පවලට දාගෙන කෑවා.
 
එලිෆන්ට් හවුස් එකෙන් අයිස් පලම් ආවේ ත්‍රිකෝණාකාර හැඩයට කාඩ් බෝඩ් ඇසුරුමක.
 
ඒකේ කෝට්ටක් තිබ්බෙ නෑ.
 
එක පැත්තකට ඇඟිල්ලෙන් ඇන ඇන තමයි අයිස් පලම මතු කරගන්න ඕන.
 
එහෙම කෑවා කියලා අද පරපුරට තියෙන හයිජිනික් ප්‍රොබ්ලම්ස් අපට අදාළ වුණේ නෑ.
 
චිත්‍රපටියක් බලන්න ගියාම ඉඳලා හිටලා ඊයම් කොලේ ඔතලා එන ඇලරික්ස් අයිස් චොක් එකක් කන්න ලැබෙනවා.
 
ඒක තමයි ෆිල්ම් එකේ රසවත්ම කොටස.
 
කිරි මණ්ඩලයේ යෝගට් ආවේ කාඩ් බෝඩ් කප් එකක.
 
යෝගට් කෑවේ ලී හැන්දකින්.
 
ඒ යෝගට් එකේ රසවත්, සුවදවත් අද නෑ. 
 
යෝගට් එක කාපු ලී හැන්ද සූප්පු කළත් ඒකත් රසයි.

වතුර බිව්වේ ටැප් එකට කට තියලා.
 
එහෙම නොබිව්වේ රටේ කොළරාව පැතිරෙන කාලයට විතරයි.
 
ගොඩක් ගෙවල්වල ලංකාවේ හදපු යුනික් රේඩියෝවක් තිබුනා. 
 
අද අපි චීනෙන් රේඩියෝ ගෙන්නලා යුනික් ලේබල් එක ගහලා විකුණනවා.

උපාලි විජේවර්ධන UMC  මැස්ඩා කාර් එක ලංකාවේ එකලස් කළා.
 
1970 ගණන්වල හදපු 5 ශ්‍රී මැස්ඩා කාර් තාමත් ඉඳලා හිටලා පාරේ දකින්න පුළුවන්.
 
සිරිමාවෝ රජයේ විනිමය ප්‍රතිපත්ති නිසා ලංකාවේ මැස්ඩා කාර් හැදිල්ල නතර වුණා. 
 
ඒ ගමන දිගටම ආවා නම් ලංකාවේ කාර් එකක් හදලා ගොඩක් කල්.
 
රූපවාහිනී ගැන අහලාවත් නොතිබ්බ ඒ කාලේ මුළු පවුලම වට වෙලා ඇහුවේ 'මුවන්පැලැස්ස', 'මොණරතැන්න'.
 
රේඩියෝ එකේ රහස් පරීක්ෂක කතා යද්දී ඇඟේ මයිල් කෙලින් කරගෙන අහන් හිටියේ.
 
අමරදේව, නන්දා මාලිනි ( සුනිල් ආරියරත්නකරණයට පෙර), වික්ටර්, සනත්, නීලා ආදීන් ගේ ගී සවන පිනෙව්වා.
 
ඒ කාලේ පොළොවේ පස් කාගෙන
සිංදු කියන ඉන්ද්‍රචාපලා වගෙ එවුන් හිටියේ නෑ.
 
දත් මදින්න SR ටූත්පේස්ට් තිබුනා. 
 
පැරකුම්බා දත් බෙහෙත් තිබුනා. 

චූන් පාන් වෙනුවට පාන් බයිසිකල් තිබුනා. 
 
සමහර පැතිවල පාන් ආවේ මොරිස් මයිනර් කාර් එකේ පිටිපස්සේ සීට් එක ගල්වලා හදපු තට්ටුවක.
 
මයිනර් එකේ පිටිපස්සේ දොර අරින කොට පළාතම පාන්, බනිස් සුවඳින් පිරිලා යනවා.
 
අද වගේ දර පෝරණු පාන් කියලා වෙනම මාකට් කරන්න ඕන උනේ නැත්‍තේ ඒ කාලේ සේරම පාන් පිච්චුවේ දර පෝරණුවල නිසා.

අපේ පරම්පරාවේ කවුරුවත් දැන් වගෙ කීල්ස් එකේ හරි, ආර්පිකෝ එකේ හරි ගෑස් පෝරණුවල බාගෙට තම්බපු පාන් ගිල්ලේ නෑ.
 
ජෑම් ආවේ ටින්වල.
 
අද දකින්නවත් නැති වට්ටක්කා ජෑම් ඒ කාලේ තිබුනා. 
 
පුළු පුළුවන් විදියට වැව්වා.
 
මංඤො‌ක්කා, රතුළූණු ,බටර් බෝංචි, මෑ කරල් ගෙවහ්තේ වැවුවා.
 
හයි ෆයි සිගරැට් ජාති තිබුනේ නෑ.

ෆෝ ඒසස්( කිව්වේ ෆෝරේසස් කියායි), ත්‍රීරෝසස්, නැවිකට් , බ්‍රිස්ටල් තිබුණු සිගරැට් වර්ගයි.
 
පොල් ගහ යට කොටියා ඉන්න අරක්කු බෝතලේ ජාතික පානය විය.

කවුරුත් පාවිච්චි කළේ අලියා ගිනිපෙට්ටි.
 
අද තියෙන වැක්ස් උලපු ගිනිකූරු වගෙ ඒවා අනතුරුදායක නෑ.
 
පැරකුම් උකු කිරි තිබ්බා.
 
ජේ.ආර්. ඇවිත්  පැරකුම් උකු කිරි (ටින් කිරි) නෙස්ලේ එකට කුණු කොල්ලෙට දුන්නා.
 
දැන්  අපි මිල්ක්මේඩ් කියල ගන්නේ ඒක තමයි.
 
තේ එක බිව්වේ අල්ලට ගත් සීනි ටිකක්, හකුරු කැටයක් හෝ රට ඉඳි මදුළක් සමගිනි.
 
එබැවින් දියවැඩියාව ගැන අහලාවත් නොතිබිණි .
 
පනු අමාරුවට වර්මොක්ස් බිව්වේ නෑ.
 
ලුනුවිල හරි, තුඹ මැල්ලුමක් හරි කෑවා.
 
කෙහෙල් බොඩේ සුද්ද කරල පරිප්පු දාලා උයලා කෑවම බඩේ ගල් ටික සුද්දය.
 
ඒ කාලේ උණ හැදෙන්නත් කාලාන්තරයක් බලා සිටිය යුතුය.
 
ඔරේන්ජ් බාර්ලි බෝතලයක් ගෙදරට ගෙනෙන්නේ බෙහෙත් ටික උගුරෙන් පහළට යවා ගන්නට ය.
 
පාන් පෝළිමට අමතරව පෝළිමේ හිටියේ 
'සිත්තර' පත්තරේ ගන්නටය.

1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග කවදාවත් දැක නැති සිලි සිලි බෑග් රටට ඇදී ආවේය.
 
කඩදාසි බෑග් අහෝසි විය.
 
වෙනදාට වත්ත කොනේ කුනු වලක් කපා එය පිරුණු පසු කෙසෙල් ගසක් සිටවූ යුගය නිමා විය.
 
නොදිරන ප්ලාස්ටික්, පොලිතින්වලින් දියුණු යුගය පටන් ගැණින.
 
අද එය කුණු කඳු දක්වා වර්ධනය වී තිබේ.
 
අපේ පෙයාර්ස් වෙනුවට ඇපල් ද, අපේ කොළ දොඩම් වෙනුවට රට දොඩම් ද මුළු රටම ආදරයෙන් වැළඳ ගති.
 
භූමිතෙල් කරත්තයේ හඬ නෑසී ගොසින් චූන් පාන් හඬ ඉස්මතු විය.
 
කඩිනම් මහවැලියෙන් පටන් ගත් තදියම් සංවර්ධනය හමුවේ රට දියුණු විය.
 
ජීවන තත්ත්වය උසස් විය.
 
තේ, පො, රබර් වෙනුවට ගැහැනුන් අපනයනය ඇරැඹිණි.
 
විදේශ රැකියාවත්, පතිවතත් දෙකම රැකගත නොහැකි බව වැටහුණත් ලැබෙන ඩිනාර් හමුවේ සියල්ලෝම එය නොවැටහුණා සේ සිටියහ.
 
රට විකුණාගෙන කන දේශපාලකයන්ට අමතරව NGO කාරයින් නමින් රට විකුණා ජීවත් වන නව රැකියා අවස්ථාවක් උදා විය.
 
හාමුදුරුවෝ දේශපාලනය කළහ.
 
දේශපාලකයෝ බණ කීමට පටන් ගථ.
 
ලංකාව කුඩු ත්‍රිකෝණයේ එක කේන්ද්‍රස්ථානයක් විය.
 
ඇල්පෙනෙත්තේ සිට  හැම දෙයකටම වටිනාකමක් නියම විය.
 
වටිනාකමක් නොලද්දේ එකම දෙයකට පමණි.
 
ඒ, මිනිස් ජීවිතවලට ය.
 
නොදියුණු කාලේ නොතිබුණු දියුණුවේ වෙනස එය පමණි.
 
- (ඇටමැස්සා)