දුප්පතාගේ ගායකයා - අසංක හදිරම්පෑල

දුප්පතාගේ ගායකයා - අසංක හදිරම්පෑල

24 November 2020 09:54 am

එච්.ආර්. ජෝතිපාල මහත්තයා ගැන කතා ගොඩයි. ඇහෙන පේන හැටියට එයා මාර ගායකයෙක්නේ. ඒත් ඒවා මීඩියා වලින් පෞද්ගලික වාසි තකා සූක්ෂමව මිනිසුන්ගේ ඔළු ගෙඩි ඇතුළට ඔබන තර්ක විතර්ක. ඒවගේම පහළ මැදපන්තියක් මේන්ටේන් කරන්න දඟලන අය විසින් ප්‍රසිද්ධ කෙරෙන කෙස් පැලෙන තර්ක. ඔවුන්ට අනුව 1970 න් පස්සෙ සිංහල සංගීතයක් තිබිලම නෑ. ඒත් මම කියන්නෙ, "තිබුනා, වීරයො හිටියා, අපි කියවගත්තේ නෑ" කියන එකයි.

කලින්ම කිව්වොත්, දැන් මේ ලියන්න යන විදිහේ ලිපි යන්න ඕන පුවත්පත්වල. ඒත් පත්තරවල අයට ඊට වඩා වැඩ තියෙනවනේ. (හිනහත් යන ගමන්) ඒ නිසා මම මේක ෆේස්බුක් එකට ලියනවා. කියවගන්න 500 හරි 1000 හරි කියවාගනිත්වා. (එකෙක් දෙන්නක් මේක උස්සලා තමන්ගේ වගේ දැම්මත් කරන්න දෙයක් නෑ. ඒ වුනාට උස්සනව නම් අනේ මගේ පද දෙකේ නමත් එක්කම උස්සන්ඩලා. මේවා ලියන්නෙ ජීවිත කාලෙන් වටිනා පැයක් විතර කැප කරලා.) 

90 දශකයේ මැද භාගය කියන්නෙ ලංකාවේ සංගීතය ලොකු වෙනසකට භාජනය වෙන කාලේ. 80 දශකයේ අගභාගයේදී සහ 90 දශකයේ මුල් භාගයේදී ලංකාව කියන්නේ ම්ලේච්ඡ රටක් වුනත්, ලංකාව දිව්වෙ දියුණු රටවල් එක්ක. "මව්බිමට ම්ලේච්ඡ රට කිව්වා!!!" කියලා දැන් වැළලෙන්න හදන්නැතුව ඉතිහාසය කියවලා බලන්න ම්ලේච්ඡයි කිව්වෙ ඇයි කියලා. කවුරුහරි ම්ලේච්ඡ නෑමයි කියනවනම් ඉතින්, "හා!" අපිට ඒක එක්ක ගනුදෙනුවක් නෑ, අපි මේ කියවගන්න උත්සාහ කරන්නෙ ලංකාවේ නූතන සංගීතය ගැන. 

'90 දශකයේ මුල් භාගයේදී ලංකාව දියුණුම රටවල් එක්ක දිව්වා කිව්වෙ ඇයි දන්නවද ? කලාව, නැත්නම් ආට් ගත්තහම ලංකාව එතකොටත් දෙයියනේ කියලා ඇමරිකානු-එංගලන්ත කොක්කෙ එල්ලිලා හිටියා. ඒත් මව්බිමට ප්‍රේම කරන්න ගිහින් අන්තිමට අපේ චිත්‍රපටයි, සංගීතයයි, නාට්‍යයි ඔක්කොම ඉන්දියානු ගැති වෙලා පීචං වෙලා ගියා. දැන් අහන්න පුළුවන්, "ඇයි ඉන්දියාව පීචං වෙලා එංගලන්තේ-ඇමරිකාව මාරයි වෙන්නේ ?" කියලා. ඉන්නකො ඒකත් කියලම මාතෘකාවට යමු, නැත්නම් මාව කන්න එයිනෙ "බටහිර ගැත්තා" කියලා.

ඒ කාලේ වෙනකොට හින්දි තනුවලට ජනප්‍රිය වැලපුම් ගී කිව්වේ ජෝතිපාල මහත්තයා විතරයි. මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා ලංකාවේ හොඳම විරහ ගීත ගායකයා යැයි කිව්වට ඔහුට ගොඩක්ම තිබුනේ බටහිර විරහව. "මේ මැයි ගහ යට", "කෙසේ කියන්නද ඔබ මා අතහැර", "ඉවුරු තලා", "සමාව දෙනු මැන" වගේ සින්දු ඇහුවහම ඒක පැහැදිලි වෙනවා. එතන තියෙන්නෙ පොඩි පොප්/ජෑස් ගතියක්. බහුතරයකට තේරෙන විදිහකට කිව්වොත්, ඒ කියන්නෙ බාර් එකකට ගිහින් තනියම ෂොට් එකක් ගහලා හීන් හිනාවකුත් එක්ක සතුටින් සංයමයෙන් දුක විඳගන්නවා වගේ එකක්. ඒක "මහත්තයා දුක".

ඒ වුනාට ජෝතිපාල ගයන විරහව ඊට වෙනස්. "ඇයි දැන් එපා වෙලා, යල්ලේ ඉවත බලා" කියන්නෙම අඬන ගමන් වගේ. ඒක දක්ෂතාවයක්, ඒකෙ දෙකක් නෑ. හැඟුම් ගායනය කියන්නෙ ගායනයේදී ලේසි වැඩක් නෙමෙයි. ඒ වුනාට ඔතනින් අපිට මිස් වුන දේවල් ටිකක් තියෙනවා. එතනින් පුෂ් කරේ "අයියලාගේ දුක". කඳුළු හලාගෙන, වමනෙ දාගෙන, සරම කරේ තියාගෙන, බෝතලේ ඔළුව උඩ තියාගෙන, බෝතල් කුඩු කරගෙන, ළඟ ඉන්න එකාට ගහ ගහ විඳින විරහ වේදනාව. ඒකයි ඒ කාලේ මිනිස්සු ජෝතිපාලට විරුද්ධ වුනේ. පීචං ගායකයා කිව්වේ. හැබැයි දැන් අපි එයාට කියන්නේ "ශ්‍රේෂ්ඨ යුගයක්" කියලා නේද ?

ඔය රියැලිටි තරග වලදී එහෙම සෑහෙන්න ඇහෙන එකක් තමයි, "ජෝතිපාලටත් ඉස්සර බැන්නා, පස්සේ හොඳ කිව්වා, ඒ නිසා ඔයාටත් පස්සේ ගරු කරයි, ඔයා බයවෙන්න එපා" කියන එක. ඒක හරි මෝඩ තර්කයක් (මම හිතන විදිහට). අජිත් මුතුකුමාරණ කියන්නෙ දක්ෂ ගායකයෙක්. හැබැයි නිර්මාණ හැටියට ඔහුගේ නිර්මාණ හරිම මලානිකයි. වැළපුම්. ඒ නිසා අපි ඒ ගීත අප්‍රිය කරනවා. ඒත් 2005 විතර ඉඳන් 2010 විතර වෙනකම් ලංකාවේ හිටපු ජනප්‍රියම ගායකයා තමයි අජිත්. මට අජිත් මුතුකුමාරණව පේන්නේ ජෝතිපාල වගේමයි. වර්තමාන මීඩියා සහ ප්‍රේක්ෂකයා ජෝතිපාලව කියවගත්තු විදිහ අනුව ගියහම තව අවුරුදු 10 කින් 15 කින් අජිත් මුතුකුමාරණ කියන්නෙත් ලෙජන්ඩ් එකක්.

අජිත් මුතුකුමාරණගේ සින්දු ඇහෙනකොට දත් මිටි කන අයට තේරෙනවා නේද ඔබ අජිත් මුතුකුමාරණට අකමැති වෙන්නෙ නිශ්චිත හේතුවක් මත කියලා? හැබැයි අනාගතයේ රියැලිටි තරගවලදී විනිශ්චයකරුවෝ මෙහෙම කිව්වොත්? "අජිත් මුතුකුමාරණටත් ඉස්සර බස් ගායකයා කියලා බැන්නා. දැන් බලන්න එයාගේ සින්දු තමයි මේ තරගයේ වැඩිපුරම ගැයෙන්නේ!"

දුකයි නේද ? හැබැයි ඒක ජෝතිපාල සම්බන්ධව වුනා නේද ? ඒ කියන්නෙ මිනිසුන්ගේ කන් සහ මනස දුර්වල වෙලා නේද ? මම හිතන්නෙ නෑ 70/80 දශකවල හිටපු ජෝතිපාලට අකමැති වුණු මිනිස්සු ගොන්නු කියලා. ඔවුන් නිර්මාණයක් මනින්නෙ තමන් කලින් අහලා දැකලා තිබුණු සංගීතයට සාපේක්ෂව. ඔවුන් ඇහුවේ සී.ටී. ප්‍රනාන්දුලගේ, සුනිල් සාන්තලගේ ගීත. ඒකයි වැළපුම් ගීවලට ඔවුන් අකමැති වුනේ. නමුත් ජෝතිපාල තමයි ඒ යුගයේ ජනප්‍රියම ගායකයා. මිනිසුන්ගේ ගායකයා.

ජෝතිපාල කියන්නෙ අති දක්ෂ ගායකයෙක්. 1960 දී විතර පටිගත කෙරුණු ජෝතිපාලගේ ගීත මම අහලා තියෙනවා. ඒක පුදුම කටහඬක්. නමුත් පස්සෙ පස්සේ විවිධ හේතු නිසා (වස දීලා කියලත් කියනවා, බොරුද දන්නෑ) ඔහුගේ හඬ පිරිහිලා, ඇඬිල්ල වැඩිවෙලා, අනුකාරක ගීත වැඩිවෙනකොට මම ඒකට එච්චර කැමති වුනේ නෑ. ඉතින් මට හිතෙනවා 70/80 මිනිස්සු ඔවුන්ගේ විවේචනය එල්ල කළේ පදනමක් ඇතුව වෙන්න ඇති කියලා. විවේචනය කරපු ඔවුන් දැන් එළියට එන්නෙ නැති නිසා මීඩියාවලින් ඔවුන්ට දීලා අදිනවා උඩ පැන පැන.

විරහව කියන හැඟීම එහෙම බීගෙන, මූණු මිරිකගෙන, බෙර ගගහ, නැත්නම් ළඟ ඉන්න එකාට ගගහ ගයන්න ඕන එකක් නෙමෙයි. විරහව ගයන්න අඬන්න ඕන නෑ කියන එක පේනවා මල්ලවාරච්චිගෙන් (හැබැයි කඳුළු පනින සින්දු තියෙනවා, නැත්තෙ නෑ) අනිත් පැත්තෙන් පැට්‍රික් දෙනිපිටිය, ක්ලැරන්ස් විජේවර්ධන, ස්ටැන්ලි පීරිස්, රූකාන්ත ගුණතිලක වගේ සංගීතඥයෝ දාපු මිහිරි තනුත් ඒකට හේතුවක්. "මිහිරි තනු" කිව්වේ "ලස්සන" කියන එක නෙමෙයි, මේජර් කෝඩ්ස්වල යන සරල තනු. "දුක ගයන්න මයිනර් කෝඩ්ස් අනිවාර්යෙන්ම ඕන" වගේ මතයක් දැන් තියෙන නිසයි මම ඒක කිව්වේ. ඒ තනුවලින් නොකියා කිව්වේ "දුක නිකන් හප හපා ඉන්න දෙයක් නෑ, අපි එයාට සතුටින් සමුදෙමු" කියලා. ඒවා විරහ වුනත් පාටිවලට පවා ඔබින ගීත. නමුත් එතන හිටපු ප්‍රේක්ෂකාගාරය නියෝජනය කළේ උසස් මැද පන්තිය. ඒ බහුතරය නෙමෙයි. බහුතරය හිටියේ ජෝතිපාල එක්ක. නමුත් වැඩිපුරම බැනුම් ඇහුවෙත් ජෝතිපාල. අජිත් මුතුකුමාරණ වගේමයි.

ලංකාවේ වැඩිපුරම හිටියේ පහළ මැද පාන්තිකයෝ. උග්‍ර ජෝතිපාල රසිකයන් වුනේ ඒගොල්ලෝ. ඒ නිසා ආණ්ඩුවලින් පවා කරතියාගෙන ගියේ ජෝතිපාලලාව තමයි. ගම්උදාව, මහපොළ වගේ ලොකුම සංගීත සංදර්ශනවල හිටියේ ජෝතිපාලලා. "දුප්පතාගේ ගායකයා" ආදී වශයෙන් ඔහුව ඉස්සුවා. ඒක දේශපාලනිකයි. අද ෆ්ලෑෂ් බැක්ලා, B&Sලා ආණ්ඩුවේ ෂෝස් ටික ගහගෙන ගහගෙන යනවා වගේ තමයි. එතන තියෙන්නෙ පන්ති දෙකක හැඟීම්වල වෙනස. ප්‍රදේශවල නම් කිව්වට තරහ වෙන්න එපා, දෙහිඅත්තකණ්ඩියේ කොල්ලෙක් අඬන ගමන් "ටජ්මහලක් තනවන්න නෑ මට" කියලා බේසමකට තල තල කියන එකයි, නුගේගොඩ කොල්ලෙක් පුටුවක සැපට ඉඳගෙන පුටු ඇන්දට තට්ටුවක් දදා "ඉවුරු තලා ගංගා බැස යනවා" කියන එකයි හැඟීම් දෙකක්. හැබැයි දෙන්නටම වෙලා තියෙන්නේ කෙල්ල දාලා ගිය එක.

ඒ ඒ ප්‍රදේශවල සියදිවි නසාගැනීම් ප්‍රතිශත ගත්තත්, මරාගන්න ප්‍රතිශත ගත්තත් ඕක පන්ති දෙකක වෙනසක් බව පේනවා. ගම්වල පහළ මැදපාන්තිකයෝ හරි හැඟීම්බරයි. ඔවුන්ට චිත්ත සංවේදනා පාලනය කරගන්න අමාරුයි. පාරේ වාහනයක් හැප්පුනත් ඒක පේනවනේ. එළියට බහින්නේ කුණුහරුප කියාගෙන. මිනිහෙකුට ශාරීරික වේදනා දරාගත හැකි මට්ටමෙන් ලංකාවේ පහළ මැද පන්තිය ඉහළින් ඉන්නවා. නමුත් මානසික වේදනා දරාගැනීමේදී පහළ මැද පන්තිය ඉන්නෙ පහළම තමයි. මේ වගේ සමාජ විද්‍යාත්මක කරුණු සංගීතය වගේ ආට් එකක් ඇතුළේ තියෙනවා කියලා හිතන්නැති එකම රටක් හැටියට අපේ අඩුපාඩුවක්.

70/80 වෙද්දිත් ඉන්දියාවේ තිබුනා දියුණු සංගීතයක්. දියුණු සංගීතයක් තියෙනකොට හැඟීම් ගයන්න වෙන වෙනම රාග, කෝඩ්ස්, දවසේ කාල තෝරාගෙන ඉවරයි. "ගායන සමය" ගගා රාගවල තියෙන්නෙ ඒවානේ. ඒවා හරි ෆෝමල්. ඒකයි හින්දි තනු අනුව ගයපු ජෝතිපාලගේ ගීත ගොඩක් වැළපුම් වුනේ. එහෙම නැති ගීතත් තියෙනවා. ජෝතිපාල ගයපු නැති හින්දි තනුවක් නැති තරම්. ඒත් ලංකාවේ වැඩිපුර ජනප්‍රිය වුනේ ඔහුගේ විරහ ගීත. හවසකට සෙට් වුනත් මම නම් අකමැතිම ජෝතිපාලගේ විරහ ගීත ටික කරලියට එන එකට. 

නමුත් බටහිර එහෙම ෆෝම්ස් නෑ, ෆෝම්ස් කඩන එක තමයි එයාලගේ ක්‍රමේ. ඒ නිසා මේජර් කෝඩ්ස්වලින් වුනත් විරහව කියල දාන්න පුළුවන්. වැළපෙන්නේ නෑ. ඉතින් ඒක හොඳ නැද්ද ? මම ඒකයි ඉන්දියානු ගැත්තෙක් වෙනවට වඩා එංගලන්ත-ඇමරිකා ගැත්තෙක් වෙන්න කැමති. ඕක කාලීන උදාහරණයකින් කිව්වොත්, සුද්දෝ ඇවිල්ලා කොළඹ අයිතිකර ගන්නවා වගේ නෙමෙයි චීනා ඇවිල්ලා කොළඹ අයිතිකර ගන්නවා කියන එක. සුද්දා සංස්කෘතිය කැඩුවට උගෙ යම්කිසි හැදියාවක් තියෙනවා. ඒකෙන් අනිත් මිනිහට කරදර වෙනවා අඩුයි.

නමුත් චීනාට ලොකු සංස්කෘතියක් තියෙනවා, හැබැයි බල්ලෙකුටවත් පාරේ බැහැලා යන්න අමාරුයි. කෙල ගහනවා, කෑගහනවා, ගේම ඉල්ලනවා, බිව්වහම පිස්සු නටනවා, එළිපිට පරපීඩකත්වය තියෙනවා. සුද්දගේ ඔය ඔක්කොම තියෙන්නේ හිත අස්සේ. ඒ නිසා චීනා 70% ක් අනතුරුදායක නම් සුද්දා 50% ක් අනතුරුදායකයි. මේ වෙනකොට අපේ කලාව අල්ලාගෙන ඉන්න ඉන්දියානුවා කියන එකා කොහොම එකෙක්ද කියලා දන්නවද ? ඌට තියෙන්නෙත් මහා සංස්කෘතියක්. හැබැයි අවස්ථාව ලැබුනොත් කක්කි දාන්නෙත් පාරේ. එබැවින් ලෙට්ස් ගෝ ෆො සුද්දා !

"දිල්වාලෙ පුච්නේ දිකා..." කියලා හිනාවෙලා, දිල්වාලේ පුච්නේ දිකා තනුවටම හදපු පොළොවේ පස් කකා අඬන ගීත අහලා ඔළුව ගහගෙන දුක් විඳිනවා. සියදිවි නහගන්නවා. ඒක අප්සට් එකක්. සංගීත ඥාණයේ පිරිහීමක්. මීඩියා හිනාවෙන්න කිව්වහම හිනාවෙනවා, මීඩියා අඬන්න කිව්වහම අඬනවා. ඒ කියන්නෙ දැන් තියෙන්නෙ තනිකරම මැෂින්. මීඩියා හදන ෆැන්ටසි ඔක්කොම අපි පිළිගන්න ඕන නෑ. ඒක තමයි ලිපියේ පදනම. ඒකට මම යොදාගත්තෙ එච්.ආර්. ජෝතිපාල කියන ගායකයාව සහ අජිත් මුතුකුමාරණ කියන ගායකයාව.

අද වගේම තමයි. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද වගේ අයගේ සින්දු ජනප්‍රියත්වයේ ඉහළම රැදුණු කාලේ රූකාන්ත ගුණතිලක, රාජ් සෙනවිරත්න, ආත්මා ලියනගේ, අතුල අධිකාරි වගේ ගායකයෝ ලෝකෙත් එක්ක යන වෙනම විදිහක සංගීතයක් හෙව්වා. නමුත් ඒක ජනප්‍රියම එක වුනේ නෑ. අද ආපහු හැරිලා බලද්දී තමයි අපට පේන්නේ ඒ ඒ සින්දු සංගීතමය වශයෙන් තියෙන ලෙවල් එක. පස්සේ කාලෙක ජෝතිපාල ගයපු ගීත ටික රූකාන්ත ගුණතිලක විසින් නැවත ගායනා කරලා පෙන්නලා තියෙන්නේ ඒ ලෙවල් එක තමයි.

ඊට පස්සේ අජිත් මුතුකුමාරණ ජනප්‍රියම ගායකයා වුණු කාලෙදිත් එහෙමයි. අලුත් අලුත් වැඩ කරලා බලපු කසුන් කල්හාර, නදීක ගුරුගේ වගේ තරුණයෝ හිටියා. එතනදි කසුන්ලා නදීකලා ජනප්‍රියම අය වුනේ නෑ. ඒකෙදි වෙන්නෙත් අනාගතයේ දවසක අජිත් මුතුකුමාරණ ලෙජන්ඩ් කෙනෙක් වෙන එක. ඉහළ මැදපාන්තිකයෝ ටික සහ අලුතින් හිතන උන් ටික කසුන්ලා ළඟ නවතින එක.

මේ වෙනකොට පොළොවේ පස් කකා අඬන අතිශය ජනප්‍රිය ගායකයෝ ඉද්දිත් ලෝකෙට යන්න පුළුවන් සංගීතයක් හොයන තරුණ තරුණියෝ ඉන්නවා. ඒත් ඒ දෙක දිහාත් අපට හැරිලා බලන්න වෙන්නෙ අනාගතයේදී. හැමදාම කැරකෙන්නේ ධර්ම චක්‍රය වගේ එකම දෙයක් තමයි. රසවත්ම දේ තමයි තව අවුරුදු 10 ක් 15 ක් යනකොට අද වැළපෙන ගායකයොත් ලෙජන්ඩ්ස්ලා වෙන එක. ඔවුන්ව මීඩියාවලින් උස්සන එක. ඒ නිසාම අර පහළ මැද පන්තිය මීඩියා එකට දපනේ වැටෙන එක.