ග්‍රීක බැඳුම්කරය සහ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීම - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 16 කොටස

ග්‍රීක බැඳුම්කරය සහ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීම - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 16 කොටස

2 October 2020 08:47 am

සමහරු මෙම ලිපි පෙළ දැක නොසන්සුන් වෙති. කබ්රාල් ‘ඉස්සීමට‘ ලියන ලද්දක් යැයි සිතති, කියති. කමෙන්ට් කරති. සැබවින්ම එසේ සිතන, කියන, ලියන බොහෝ අය මේ ලිපි පෙළ ‘කියවන්නන්‘ නොවේ. එක්කෝ ඔවුන්‘ බැඳුම්කරය‘ යැයි කියූ සැණින් සහේතුකව හෝ අහේතුකව කුපිත වන්නන් ය. නැතිනම් ‘කබ්රාල්‘ යැයි කියූ සැණින් කුපිත වන්නන් ය. එසේ වීමට ඔවුන්ට ඇති අයිතියට හිස නමා ආචාර කරන අතරම, ඔවුන්ට අප විසින් කිව යුත්තක් ද තිබේ. 

කබ්රාල් ගැන නොලියා බැඳුම්කරය ගැන ලියන්නට ශක්‍රයාටවත් බැරි ය!

 2015 පෙබරවාරි 27 දා බැඳුම්කර වංචාව සිදුවූ පසු එය සෙවීමට නොව එය වසං කිරීමට කරන ලද සකලවිධ මෙහෙයුම්වල පරම ඉලක්කය කබ්රාල් නමැති තනි පුද්ගලයෙකු වූ විට සහ, බැඳුම්කරය ගැන සෙවීම වෙනුවට ඔවුන් සියලු දෙනා කබ්රාල් ගැන සෙවීමට යාමේ උත්ප්‍රාසය අපගේ පාඨකයන් සබුද්ධික ව වටහාගත යුතුය. කබ්රාල් ගැන නොලියා බැඳුම්කරය ගැන ලිවිය නොහැකි තත්වයට ඕනෑම ශක්‍රයෙකු පත්වන බව වටහාගැනීමට කළ යුත්තේ බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමට පත් කළ කමිටු, කොමිෂන් සභා හෝ වෙන යම් ඕනෑම පරීක්ෂණයක හෝ විමර්ශනයක වාර්තාවක් කියවීමයි.

එනිසාම යහපාලන සමයේ සහ ඉන් පෙර මහබැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් කබ්රාල්ගේ භූමිකාව, බැඳුම්කර වංචාව සිදුවී වසර 5කට පසුව, එයින් සිදුව ඇති හානිය පෙනෙන්නට තරම් ප්‍රමාණවත් කාලයකට පසුව සොයාබැලීමේ වගකීමක් අපට පමණක් නොව, බැඳුම්කර වංචාවේ මාධ්‍ය සන්දර්ශනයට දායක වූ මේ රටේ සෙසු මාධ්‍යයන්ට ද තිබේ.

* * * *

 වහා ඇවිළෙනසුලු ය

ඔවුන් ට හොයන්නට කිව්වේ යහපාලන බැඳුම්කර වංචාව ගැන ය. ඔවුන් හෙව්වේ යහපාලනයට පෙර සිදුවූ මහබැංකු වංචාවන් ගැන ය. එහි අරමුණ සිදුවූ වංචාව, පෙර වැරදි සෙවීමෙන් වසං කර දැමීමයි. නමුත් පුදුම සහගත දෙය වන්නේ එසේ සෙවීමෙන් පසුවත්, වෝහාරික විගණනයක් කිරීමෙන් පසුවත් එවැනි දෙයක් හමු නොවූ අතර, ඒ වෙනුවට මාධ්‍යයට උණු කැවුම් මෙන් විකිණිය හැකි පුවත් මැවීමක් පමණක් සිදුවිය. ඒ කිසිදු චෝදනාවක් සනාථ කිරීමට කොමිෂන් සභා හෝ වෝහාරික විගණනය සමත් වූයේ ද නැත. ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව එයින් එකකි.

ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කිරීම වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමක්ද?

2020 ජනවාරි 28 වැනිදා ඩේලි එෆ්ටී පුවත්පතේ The great ‘forensic audit allergy’ යන ලිපිය, වෙනත් කරුණු අතර මෙසේ සඳහන් කරයි.

‘‘ඔහු 2006 සිට 2014 දක්වා කාලයේ සිදුවූ බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් පවිත්‍රතා සහතිකයක් (clean certificate) තමන්ට දී ගනියි. මේ කාල පරිච්ඡේදය තුළ සිදුකළ බැඳුම්කර නිකුතු වෝහාරික විගණන වාර්තාවලින් ආවරණය වන අතර, පුදුම සහගත කරුණු ඉදිරියේදී හෙළිවනු ඇත..‘‘

මෙම ලිපිය ලියූ ලේඛකයා සැබවින්ම වෝහාරික විගණනයෙන් හෙළි වූ කරුණු ගැන නොව, එයින් කිසිදු කරුණක් හෙළි නොවීම ගැන පසුව පුදුමයට පත් වන්නට ඇත. මෙහි ‘ඔහු‘ යනු අන් කිසිවෙකු නොව කබ්රාල් ය.

මේ ලිපියේ මෙසේ ද සඳහන් වේ.

‘‘කෙසේ නමුත් ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කබ්රාල් වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීම නුවණට හුරු නොවේ..‘‘

ඒ අනුව මේ ලිපියෙන් විමසා බැලෙන්නේ ග්‍රීක බැඳුම්කරයේදී සැබවින්ම සිදුවුණේ කුමක්ද යන්න පිළිබඳව ය. 

ග්‍රීක බැඳුම්කරය ගැන බැඳුම්කර කොමිසම කීවේ මොනවාද?

කොමිෂන් සභා වාර්තාවේ එයට අදාළ 42 - 44 ඡේද මෙසේ ය.

42. එච්.ඒ. කරුණාරත්න මහතා පැවසූ ශ්‍රී ලංකා මහබැංකුව විසින් යුරෝ මිලියන 30 කට ආසන්න මිලකට ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හේතුවෙන් විගණකාධිපති විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 15.6 ක පාඩුවක් සිදුවී ඇත.

43. එච්.ඒ. කරුණාරත්න මහතා සඳහන් කළේ මෙම මිලදී ගැනීම එවකට මහබැංකු අධිපතිවරයා විසින් අනුමත කළ, නමුත් මුදල් මණ්ඩලයට පූර්ව අනුමැතිය සඳහා ඉදිරිපත් නොකළ, ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ‘හමුවකදී ‘හෝ ‘අවිධිමත් රැස්වීමකදී‘ ගනු ලැබූ අවිධිමත් තීරණයක ප්‍රතිඵලයක් බවයි.

44. මේ කරුණ සම්බන්ධයෙන් එච්.ඒ. කරුණාරත්න මහතාගේ සාක්ෂියෙන් අපට පෙනී යන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයාට සහ ඇතැම් ඉහළ නිලධාරීන් හට පැවරී තිබූ අත්‍යාවශ්‍ය නිසි කාර්යපටිපාටිවලට අනුගත නොවී අතිශය සුවිශේෂී තීරණ ගැනීමට තිබූ බලයයි. එවැනි තීරණ මගින් ඇති විය හැකි ආශ්‍රිත කරුණු, ප්‍රතිපත්ති සහ දිගු කාලීන ප්‍රතිවිපාක පිළිබඳව පළමුව ප්‍රවේශමෙන් හා විචක්ෂණ ලෙස තක්සේරු කිරීම අවශ්‍ය වේ.

මෙම බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේම 1 වන ඡේදයේ සේනසිංහ එ. කබ්රාල් මූලික අයිතිවාසිකම් නඩුවේදී ද සඳහන් කළ ශ්‍රීපවන් (පසුව අගවිනිසුරු වූ) විනිසුරුගේ විනිශ්චය උපුටා දක්වා තිබේ. ඒ අනුව බැඳුම්කර කොමිසම මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන දැන සිටි බවට කිසිම සැකයක් නැත. නමුත් ඒ නඩුව දැන සිටි කොමිසමට, ග්‍රීක බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇති බව අමතක වූයේද?

කබ්රාල්ට, මුදල් මණ්ඩලයට සහ තවත් කිහිප දෙනෙකුට එරෙහිව 2012 වසරේදී  මෙම මූලික අයිතිවාසිකම් නඩුව (අංක 457/2012) (Fundamental Rights Case No: 457/2012) පැවරුවේ ෆුට්නෝට් කල්ලියේ නායක, බැඳුම්කරය ගැන කුඩා පොතක් ද ලියා රනිල් වික්‍රමසිංහට පවිත්‍රතා සහතිකයක් දුන් ලියූ සුජීව සේනසිංහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා විසිනි.

මෙහිදී සුජීව සේනසිංහ වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය පෙනී සිටි අතර, මහබැංකුව වෙනුවෙන් පෙනී සිටියේ නීතිපතිවරයා ය.

මෙම බැඳුම්කර කොමිසමේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ ප්‍රසන්න ජයවර්ධන විනිසුරු සහ ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ට ද හවුල් ඉතිහාසයක් තිබිණි.

2013 සහ 2014 වසරවලදී උපුල් ජයසූරිය නීතීඥ සංගමයේ සභාපතිවරයා විය. එවකට නීතීඥයෙකු වූ ප්‍රසන්න ජයවර්ධන ඒ කාලයේදී නීතීඥ සංගමයේ උප සභාපතිවරයා ය.  යහපාලන ආණ්ඩුව බලයට පැමිණි වහා එනම් 2015 ජනවාරි මාසයේදී උපුල් ජයසූරියට ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුර ලැබුණේය. නීතීඥ ප්‍රසන්න ජයවර්ධන 2016 සැප්තැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරට උසස් කරන ලද්දේය. ඔහුව බැඳුම්කර කොමිසමේ සාමාජිකයෙකු බවට පත් කරන ලද්දේ එයින් මාස 3 කට පසුව 2017 ජනවාරි මාසයේදී ය.

මේ ආගිය කතා පසෙක තබා ග්‍රීක බැඳුම්කරයන්වල මුදල් ආයෝජනය සහ 2015 පෙබරවාරි 27 දා සිදුවූ ලංකා ඉතිහාසයේ බරපතළම ආර්ථික වංචාව අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බලමු. 

ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව බැඳුම්කර කොමිසම විසින් ඇදගන්නේ ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා දී තිබියදී ඒ බව සහමුලින්ම අමතක කර දමමිනි! පුදුමය නම්, එසේ කරන කොමිසමේ විනිසුරුවරයෙකු ද සාමාජිකත්වය දැරීමයි. 

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම වසර 2 ක් තිස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇදි ඇදී ගියේය. අවසානයේ වාර 17කට පසුව 2014 සැප්තැම්බර් 18 දින තීරණය වන්නේ එය විභාගයට නොගෙන ඉවත දමන්නට ය. ඒ ඇයි? එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ කුමක්ද? ඉවත දැමීමට හේතු මොනවාද? ඒ විනිශ්චයාසනයේ හිටියේ කවුද?

පසුව අගවිනිසුරුවරයෙකු බවට පත්වූ කේ. ශ්‍රීපවන්,ආර්. මාරසිංහ සහ එස්. ද ආබෘෘ යන ත්‍රිපුද්ගල විනිශ්චයාසනය විසින් එය විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ මෙසේ ද නියෝග කරමිනි.

‘‘ආශ්‍රිත කරුණුවල සාකල්‍යභාවය සැලකිල්ලට ගැනීමේදී ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමට තීරණක් ගැනීමේදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් අත්තනෝමතික ලෙස, අසාධාරණ ලෙස සහ වංචනික ලෙස ක්‍රියා කර ඇති බව පිළිගැනීමට හැකියාවක් නැත‘‘.

එයින් සරල ලෙසම අදහස් වන්නේ මුදල් මණ්ඩලය හෝ මහබැංකුව මේ සඳහා වගකිව යුතු නැති බව ය.

ඒ ඇයි?

ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය සඳහා ගත් තීරණය කබ්රාල්ගේ බවත්, එනමුත් මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතිය සඳහා ඉදිරිපත් නොකළ බවත්, මහබැංකුවේ සමහර ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් ‘හමුවකදී‘ හෝ ‘අවිධිමත් රැස්වීමකදී‘ ගනු ලැබූ ‘අවිධිමත් තීරණයක‘ ප්‍රතිඵයක් ලෙසත් නිගමනය කිරීමට බැඳුම්කර කොමිසම සාහසික වූයේ ඇයි?

දැන්, කොමිසමේ වාර්තාව පමණක් කියවා, ‘‘ඒක තමයි මේක කබ්රාල් තමයි කළේ‘‘ කියනවාට වඩා, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බැරි බැරි ගාතේ හෝ කියවා ගැනීම යහපති. එහි මෙසේ සදහන් වේ.

‘‘ග්‍රීක ආණ්ඩුවේ බැඳුම්කරවල ආයෝජනය තුළින් මහබැංකුව පාඩුවක් ලැබූ බව විගණකාධිපතිවරයා විසින් සඳහන් කර ඇතද, 2011 වසර තුළ අන්තර්ජාතික සංචිත කළමනාකරණයෙන් මහබැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 430.2 ක සමස්ත දළ ලාභයක් උපයා තිබේ.....‘‘

කොමිසම කියන දේ නැවත කියවන්න. ඔවුන් කියන්නේ මහබැංකුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ අවිධිමත් කළමනාකරණය තුළින් මෙය සිදුවූ බව ය. නමුත් මහබැංකුව ඒ නිලධාරීන්ගේම කළමනාකරණය හරහා එදාමෙදාතුර ශ්‍රී ලංකා මහබැංකුව විසින් වාර්තා කළ අන්තර්ජාතික සංචිත කළමනාකරණයේ ඉහළම ලාභය වාර්තා කරයි.

මහබැංකුව මේ දළ ලාභය වාර්තා කරන්නේ ග්‍රීක බැඳුම්කර ආයෝජනයෙන් හටගත් පාඩුව පියවා ගැනීමෙන් පසුව බව ද අමතක නොකරන්න. 

අපි මහා අකෘතඥ ජාතියකි. 

මෙයට සාපේක්ෂව රනිල් ගෙනා මහබැංකු අධිපති මහේන්ද්‍රන් කළේ කුමක්ද?

මහේන්ද්‍රන් විසින් මහබැංකුව පාලනය කළ 2015 වසරේදී මහබැංකුව සංචිත කළමනාකරණයෙන් ලද ලාභය ඇ.ඩො. මිලියන 111 ක් වූ අතර, 2016 දී එය බාගයකට බැස්සේ ය. ඒ අනුව 2016 වසරේදී එම ආදායම ඇ.ඩො. මිලියන 53 ක් පමණක් විය!

ග්‍රීක බැඳුම්කර අයෝජනයෙන් සිදුවූ පාඩුව ගැන කබ්රාල්ගේ පරම්පරාව සිහිකරන කිසිවෙක්, මහේන්ද්‍රන්ට දොස් කියන්නේ නැත. හේතුව ඔවුන් කරුණු දැන නොසිටීමයි. ඔවුන්ට තොරතුරු වැඩක් නැත. ඉලක්කම් වැඩක්ම නැත. යහපාලනය බලයට ආ විට රනිල් සිතුවේත් එලෙසම ය!

හරිනම්, 2015 න් පසුව අන්තර්ජාතික සංචිත කළමනාකරණයෙන් මහබැංකුව මෙතරම් අඩු ලාභයක් ලැබුවේ මන්දැයි වෙනම කොමිසමක් පත් කර සෙවිය යුතුය.

ශ්‍රේ්ෂ්ඨාධිකරණය කීවේ කුමක්ද?

‘අවදානම් රහිත ආයෝජන තිබෙන්නේ කොහිද?‘‘

සේ අසන්නේ අප නොව ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහි තීන්දුවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් අප මෙහි දක්වන්නේ සිංහල පාඨකයන්ගේ පහසුව පිණිස ය.

‘ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය සහ එහි වෙළඳාම අවදානම් කළමනාකරණ ක්‍රමෝපායේ කොටසකි. සියලු ආයෝජන අවදානම් රහිත ලෙස පවත්වා ගන්නේ නම් ආයෝජනවල ප්‍රතිලාභ නොසලකා හැරිය හැකි වනු ඇත. මේ අනුව මහබැංකුව විසින් අඩු අවදානම් සහ අවදානම දරන ආයෝජනවල මිශ්‍රණයක්, සාධාරණ ඉහළ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් තෝරාගත යුතුය.‘‘

‘‘එබඳු බැඳුම්කරවල ආයෝජනය කිරීමට ගත් තීරණයට පදනම් වූයේ විවිධ අවදානම් අතර වෙළඳාම සහ, මහ බැංකුව සිය කළඹේ ඉතා සුළු කොටසකින් වැඩි අවදානමක් සඳහා ඉවසා සිටීම මත ය...‘‘ 

‘‘ඉහළ ඵලදාවක් සහිත ස්වෛරී පත්‍රිකාවක ආයෝජනය කිරීම ලෝකයේ බොහෝ අරමුදල් කළමනාකරණයේ සංගෘහිත කොටසක් වන අතර, මහබැංකුව ද සිය සම්පත්වලින් දරාගත හැකි කොටසක් (0.6%ක්) ග්‍රීක රජයේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් සමාන භාවිතාවක් අනුගමනය කර තිබේ‘‘

 

ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙන්නට යන බව ලංකාව දැන සිටියාද?

 ග්‍රීක බැඳුම්කර ආයෝජනය සිදුකරන්නේ 2011 අප්‍රේල් මාසයේදී ය. එහිදී ග්‍රීසියේ අන්තර්ජාතික අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීම “BB+” විය. මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ 2019 නොවැම්බරයේදී ශ්‍රී ලංකාවේ  ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීම “B” වූ අතර, 2017 දෙසැම්බරයේදී එනම් කොමිෂන් සභා වාර්තාව අවසන් වශයෙන් ගොනු කරන විට එය B+ වූ බව ය. ඒ අනුව ඒ වන විටත් ග්‍රීසිය පැවතියේ ලංකාවේ 2019 අගභාගයේ පැවති ආර්ථිකයට වඩා හොඳ මට්ටමක ය.  (“BB+”ට පසුව ඇති ශ්‍රේණිගත කිරීම් වන්නේ BB, BB-, B+, B සහ B- වේ). ලංකාව තබා ලෝකයේ කිසිම ආර්ථික විශ්ලේෂක ජගතෙක්, මෙම ආයෝජනය සිදුකළ 2011 අප්‍රේල් වන විට ග්‍රීසියේ ආර්ථිකයේ මේ අවදානම හඳුනාගෙන තිබුණේ නැත.

ඒ අනුව ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය සම්බන්ධයෙන් කොමිසම විසින් ශ්‍රී ලංකා මහබැංකුවට එල්ල කරන විවේචනය, ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන ආණ්ඩුවේ සුරැකුම් ආයෝජන (එනම් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර සහ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර) සම්බන්ධයෙන් ද එල්ල කළ යුතුය. නමුත් ඒවා කොමිසමට අදාළ වුණේම නැත. 

අවසානයේ බැඳුම්කරය ගැන සොයන්නට පත් කළ කොමිසමට වඩා අතිශය විචක්ෂණ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වෙළඳාම් සංකල්පය වටහාගෙන තිබිණි. 

ලෝකයේ කිසිදු මහබැංකුවක් පේන කියන්නේ නැති බව ඔවුන් දැන සිටියා විය  යුතුය. මේ අනුව ග්‍රීක බැඳුම්කර ආයෝජනයෙන් සිදුවූ පාඩුව ‍ඊළඟ වසරේදීම පියවා ගෙන තිබියදී, එයින් වසර 5කට පසුව කොමිෂන් සභාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයට ද අපහාස කරමින් කිසිදු විෂය දැනුමකින් තොරව මහබැංකුවට මඩ ගැසුවේ එසේ ය. 

කොමිෂන් සභා සාමාජිකයන් පමණක් නොවේ. එවකට අගමැති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ ඇතැම් මාධ්‍ය ද මේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ මතය සහමුලින්ම අමතක කර දැමුවේය.

කාලාන්තරයක් තිස්සේ මාධ්‍ය කලාව තුළ ගෞරවයට පාත්‍ර වී සිටි ප්‍රධාන පෙළේ මාධ්‍ය පවා ඒ කොමිසමේ ‘සොයාගැනීම්‘වලින් ප්‍රමුදිතව මෙසේ කතුවැකි ලිව්වේය.

‘‘ඔවුහු සේවක අර්ථසාධක අරමුදලේ (EPF) පුද්ගලික අංශයේ සිය දහස් ගණන් සේවකයන්ගේ ඉතුරුම් පාවිච්චි කරමින්, කමකට නැති ග්‍රීක බැඳුම්කර සමග සිය මුදල්වලින් සූදු කෙළිමින් සහ, ‘ pump and dump’ විපත ලෙස දැන් කුප්‍රකට වී තිබෙන පරිදි, කොටස් වෙළඳපොළ කෘත්‍රිම ලෙස පුපුරුවා හරිමින් තමන්ගේ මූල්‍ය හිතවතුන් කිහිප දෙනෙකුට එක රැයෙන් කෝටිපතියන් වෙන්නට ඉඩ සලසමින් යකා නැටූහ.‘‘ - (2018 සැප්තැම්බර් 23සන්ඩේ ටයිම්ස් කතු වැකිය) 

ඉතින්, මේ කතුවැකිය නම් ලිව්වේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සිංහ රත්නතුංග යැයි අප නම් සිතන්නේ නැත.

කොහොම වුණත් අදටත් තත්වය එසේ ය. ලංකාවේ පොදු ජන චින්තනය හැඩ ගස්සවන්නේ ප්‍රධාන වශයෙන්ම මාධ්‍ය විසිනි. ලංකාවේ සිටින්නේ උදේට තෙරපී බස්එකේ ගොස්, හවසට තෙරපී බස් එකේ ගොස්, රෑට විකෘති කළ ප්‍රවෘත්ති සහ මෙගා ටෙලි බලා නින්දට යන ජනතාවකි. එක අතකින් මේ ජනයාට ‘අකෘතඥයන්‘ යැයි දොස් කියා ද වැඩක් නැත. උන් කිසිවක් දන්නේ නැත.! උන්ට ඒවායින් වැඩක් ද නැත!

- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් ලියයි (අවසන් කොටස මීළඟ ලිපියෙන්)

සංස්කාරක සටහන - මෙහි පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

 

 පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස
මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම
‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම
කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම
රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම
හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස
සුජීව සේනසිංහ කතා වස්තුව සමග බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 9 කොටස
හදවතින්ම සිරි ලාංකික - ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසම‘: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 10 කොටස
හදවතින්ම ‘සිරි‘ ලාංකික බැඳුම්කර කොමිසම ‘කබ්රාල් දඩයම‘ පටන් ගත් හැටි : බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 11 කොටස
අලියා බීම සමාගමේ වසර 10 ක් අධ්‍යක්ෂ ධුරය හෙබවූ ප්‍රසන්න ජයවර්ධන, කබ්රාල්ගේ මුදල් මණ්ඩලයේ හතරහමාර සොයයි!: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 12 කොටස
සේවක අර්ථ සාධක අරමුදල (EPF) : මහේන්ද්‍රන්ගේ භක්ෂණය සහ කබ්රාල්ගේ රක්ෂණය - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 13 කොටස
මහබැංකුවේ බැඳුම්කර වංචාව ගැන මහබැංකුවම වෝහාරික විගණනයක් කරගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 14
හුදී ජනයාට මොන ‘උපලබ්ධි‘ ලාභද? - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 15 කොටස