උවිඳු විජේවීර උල්කාපාතයක් ද නැතිනම් විජේවීරියානු පරමාදර්ශයේ විපරිවර්තනයක් ද

උවිඳු විජේවීර උල්කාපාතයක් ද නැතිනම් විජේවීරියානු පරමාදර්ශයේ විපරිවර්තනයක් ද

18 September 2020 07:00 pm

යටත් විජිත කාලය තුල සිට පැවත ආ වාම දේශපාලනය වරින් වර කඩින් කඩ වඩ දිය බා දියට මුහුණ දී ඇති බව ඉතිහාසය විසින් කියා දී තිබේ. හැම කාලයකම සමාජ සංසිද්ධීන්ගේ ඇති සුවිශේෂී ගුණයන් නිසා ඉතිහාසය නැවත ගොඩ නැංවීමෙන් ගොඩ නැංවීමක් සිදුකිරීම විප්ලවීය තත්ත්වයක් බවට පත් කිරීමට වාම දේශපාලනය උත්සාහ ගත්තා වුවත්, එහි දැකිය හැකි දෙය නම්, අනිත්‍යතා ධර්මය ප්‍රකට කිරීම යි. උත්පාද ඨිථි භංගයි. මේ ටික අදට ගලපා කීමට සිදු ව ඇත්තේ, වෙනස් වන ධර්මතාව අවබෝධ කර ගෙන වෙනස් වීමට නො හැකි කමින් වම යනුවෙන් යමක් ඇත්නම් එය දේශපාලනිකව කෞතුක වීම සිදු වෙමින් යන නිසා ය. සිතක ජීවිත කාලය “ක්ෂණයක්” යැයි කියන්නේ අභි ධර්මයේ ය. නමුත් ක්ෂණයකින් නැති වන සිත තවත් සිතක අල්ලා ගැනීමක් සිදු වන නිසා සිත පවතිනාවා යැයි අපි හිතන්නෙමු. එහෙත් ක්ෂණයකට පෙර පැවැති සිත නොව ඊ ලඟ ක්ෂණයේ පවතින්නේ. එය සිතට පමණක් නොව සිතට ආරම්මනය වන සතර මහා භූතයන්ට ද අදාල ය. එකම ගඟකට දෙවරක් බැසිය නො හැකි ය කියන්නේත් මෙයම යි. මේ වගේ වාම දේශපාලනය යනු ද එමයම ය. පවතිනවා යනුවෙන් පැවැතියත් පවතින්නේ පෙර පැවැති දෙය නොව. මෙම වෙනස් වීම හඳුනා ගන්නේ නැතිව භාහිර වෙනස් වීම් වෙනස් කිරීමට නො හැකි වේ. මාක්ස් ෆොයබාර් තීසිසයේ ගෙන එන දර්ශනවාදීන් විසින් කරනු ලැබුවේ ලෝකය විවරණය කිරීම වුවත් අවශ්‍ය වන්නේ එය වෙනස් කිරීම නම් එම වෙනස් කිරීමට වෙනස් වීම තේරුම් ගත යුතු ය. මේ කතාව වෙනම සාක්ච්ඡා කළ යුතු ඥාණ විභාගාත්මක කොටසක්. නමුත් මෙතැනින් අපි තරමක් සහ සම්බන්ධයක් ඇති කාරණයකට ගමන් කරන්නේ වෙනස් කිරීම සහ වෙනස් කිරීමේ මාර්ගයත්, වෙනස් කිරීමේ හේතුවත් ඇති ශඛ්‍යතාවයක් හඳුනා ගැනීමට සහ එම ශඛ්‍යතාවය ද ඇත්තටම වෙනස් කිරීමේ විභවයක් දැයි පරීක්ෂා කිරීමට පොඩි කවුලුවක් විවර කර ගැනීමට යි.

පශ්චාත් යටත් යටත් විජිත දේශපාලන ඉතිහාසය තුල මෙම වෙනස් කිරීම් සලකුණු කළ සමාජ දේශපාලන හා සංස්කෘතික අවස්ථාවන් 1948 සිට 2020 දක්වා විවිධාකාරයෙන් හඳුනාගත හැකි වේ. 2019 හා 2020 යන්නත් එක් සුවිශේෂී අවස්ථාවකි. එය වෙනස් වීමකි. වෙනස් කිරීමකි. වෙනස් වීමක් සිදු වුවත් වෙනස් කිරීම යන්න යහපතේ දිශාවට වෙනස් කිරීමක් ද යන්න නිර්ණය කළ හැකි ද? එයට තවත් කාලයක් දිය යුතු ද? නමුත් මෙම වෙනස් වීම හා වෙනස් කිරීම යන දෙකම ගෙන අලුත් තත්තවයක් ලෙස සලකා බැලිය හැකි වුවත්, එය ඇත්තටම අතීතයේ පරිණාමීය කොටසක ඉදිරි පරිවර්තනයකි. මෙම පරිවර්තනය විපරිවර්තනයක් කිරීමට ලංකා සමාජයේ සියලුම අංගයන් ව්‍යුහාත්මක හා දාර්ශනික වෙනස් කමකට ලක් කළ හැකි ද යන ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ අභියෝගයක් ලෙස ය. එය දැනට මතු වී ඇති දේශපාලන කාරණා පමණක් සැලකිල්ලට ගැනීමෙන් පමණක් නොව, නිර්මාණය වී ඇති නව දේශපාලන ප්‍රභූ සංස්කෘතියට සමාජයක් හා රටක් ලෙසත්, ගෝලීය තත්ත්වයන් තුල ලංකාව පිහිටුවන්නේ කුමන ආස්ථානයක ද යන්න මතත් ඇති ගැටුලු සහ අභියෝගයන් ය. මෙම මහා ආඛ්‍යාන දේශපාලන සංස්කෘතිය එක් ධහරාවක් ලෙස බලය හා සම්බන්ධ වෙමින් ගමන් කරන විට, ඊට ප්‍රතිමුඛව විකල්ප නමින් චූල අඛ්‍යානික දේශපාලනය උත්සාහ කරන්නේ මහා අනෙකාට නො හැකි යහපත තමන් විසින් ලබා දෙන්නේ කෙසේද යන්න ය. එය හිතනවාටත් වඩා අසාර්ථක වී ඇති අවස්ථාවක, මෙම අවස්ථාව සඳහා එක් එක් සමාජ ඇටවිසමයන් පැමිණෙන්නේය.

අපි දන්නවා මෑත කාලයේ දී සිදු වූ දෙයක් වූයේ එක් වරම උතුරෙන් අලුත් වැස්සකට පිපිණු හත්තක් වගේ දෙමළ තරුණයෙක් මතු වීම ය. ඔහු අරුලානන්දම් අරුන් නම් විය. ඔහු නිමේෂීය දකුණේ මාධ්‍ය (Momentary hero) වීරයා බවට පත් ව උල්කාපාතයක් බවට පත් විය. විචාර ප්‍රති විචාර දක්වා වර්ධනය විය. ඔහු ඕපපාතික ද නැතිනම් ඔහුට දේශපාලන ජාතකයක් තිබේ ද. ඒ ගැනත් නො යෙක් කතා ඇති වුණත්, එයත් යටපත් විය. එය මීට වසරකට දෙකකට ආසන්න කාලයක දී සිදු වූවක් ය. ඉන්පසු 2019 අග දී තවත් තරුණයෙක් දකුණෙන් මතු විය. ඔහු ද මාධ්‍ය වීරයකු බවට පත් වූයේ උතුරේ තරුණයා පරිද්දෙනි. නමුත් ඔහු ඕපපාතිකයෙකු නොවේ. ඔහුට උරුමයක් මෙන්ම ජාතකයක් තිබේ. නමුත් එම උරුමයට අයත් නැති දෙයක් වන්නේ පශ්චාත් යටත් විජිත ප්‍රභූ උරුමයේ ප්‍රාග්ධනයය. නමුත් ඔහුට දේශපාලනික පියෙක් ඇත. වෙනසක් සිදු කිරීමට මැරුම් කෑ අතිත උරුමයක් සහිත වටිනාකමක් ඇත. මේ නිසා පියාට සංකේත ලෝකයේ ප්‍රාග්ධනයක් ඇත. එම ප්‍රාග්ධනය මත ජීවත් වන මොහු ද ඇතුලත්ව පුත්‍රයන් පරම්පාරාවක් ඇත. එම ප්‍රාග්ධනයට ව්‍යුහයන් ඇත. දෘෂ්ටිවාදයන් ඇත. ඉතිහාසයන් ඇත. චලනයන්, විනාශනයන් ගොඩනැංවීම් හා පසුබැසීම් ඇත. නමුත් මෙම තරුණයා මේ සියල්ල තුලින් මතු වන්නට වූයේ විපරිවර්තනීය තරුවක් ලෙස ය. එය උල්කාපාතයක් යැයි සිතන්නට අවස්ථා ගෙන දුන්නත්, එය මේ මොහොත දක්වා එසේම නො වීය. ඒ ඔහු ඕපපාතික නො වූ නිසා ය. මොහු අන් කවරෙකුවත් නොව රෝහණ විජේවීරගේ පුත්‍රයා වූ උවිඳු විජේවීරය. මෙතැන් සිට අපි ඔහුව “ උ. විජේවීර ලෙස නම් කරමු” ඔහු පියාගේ සංකේත තොප්පිය පැළැඳ මුල්ම කරනම ලංකා දේශපාලන කරලියේ රඟදක්වා බලා සිටින්නන්ට අනාගත සිනාරියෝවක් සිත්වලට කාවද්දා නැවත ගමන් කරන්නට විය. නමුත් ඔහු නැවත පැමිණ ඇත.

පියාගේ උරුමයේ අවිච්ඡින්න දේශපාලන ප්‍රාග්ධනයට උරුම කියන්නට නො ගිය ද පියාගේ සංකේත ප්‍රාග්ධනය නිර්මාණය කරමින් නැවත පැමිණීම යනු ස්වකැමැත්ත මත සිදු වන්නක් ද, අන් කැමත්තක් මත සිදු වන්නක් ද යන්න විවෘත ය. නමුත් උ. විජේවීර යනු කවුද මොනවද කරන්නේ යන කාරණයේ දී, කවුද යන ප්‍රශ්නය තුලින් මොනවද කරන්නේ යන්න හඳුනා ගැනීම වැදගත් හා ප්‍රවේසම් සහගත විය යුත්තේ, මේ දෙක අතර ඇති සම්බන්ධයේ පරමාර්ථය ගැන සිතමින්ය. යහපත් පරමාර්ථයකින් යුතුව කවුද මොනවද කරන්නේ යන්න ගැන දෙවිදියකට තේරුම්ගත හැකි වන්නේ ය.

1. සිය උරුමය හා අභිලාෂය තුල ඇතිවන රට පිළිබඳ, ජනතාව පිළිබඳ හා සමස්ථයක් ලෙස මානව සමාජය පිළිබඳ ඇති උදාර හැඟීම.

2. ඉහත සංකේත උරුමය විසින් ගෙන දී ඇති අනන්‍යතාව උපයෝගීකොට ගෙන භාහිර විසින් යහපත යන්න ගොඩ නැංවීමකට ලක් කිරීමට භාවිතා කිරීම. කෙටියෙන් කිවහොත් “පාවිච්චි කිරීම”

මෙම කාරණා දෙක දේශපාලනයේ දී අතිශය බැරෑරුම් වේ. දියෙන් කිරි වෙන් කර ගැනීම අසීරු වන තරමට මේ දෙක නූතන දේශපාලනය හා සම්බන්ධ වන්නේ යම් විටක කතෘ පවා නො දැනුවත්වය. මේ දෙක තුලම යහපත යන්න අන්තර්ගත ය. වෙනස ඇත්තේ, යහපත මෙහෙයවන්නේ කවුද කෙසේද යන්න මත ය. යහපත තුල ඇති මායාව හා යක්ෂයා සැඟව ඇත්තේ කෙසේද යන්න මත ය. යක්ෂයකුගේ බැල්මෙන් යුතුව යහපත රැගෙන ආ අවරතාරයක් නම් එය දෙවැනි කාරණයට අයත් වන්නේ ය. නමුත් රටක පුරවැසියෙකු ලෙසත් මානව සමාජයට ආදරය කරන අයෙකු ලෙසත් තමන්ගේ අභිලාෂයන් ස්ව කැමැත්ත සහ තමන්ට උරුම සංකේත වටිනාකම ද එකතු කරගෙන හොඳ දෙයක් වෙනුවෙන් කැප වීම ද කළ හැකි වන්නේ ය. එය ඔහුට ඇති අයිතියක් මෙන්ම එය ගෞරවයට පාත්‍රවිය යුත්තක් ද වන්නේ ය.

මේ නිසා උ. විජේවීර යනු ඇත්තටම කවුද සහ ඇත්තටම මොනවද කරන්නේ යන්න ලංකාවේ දේශපාලනයට වැදගත් වේ. දැන් අපි, දැනට හා ඔහුගේ අඩිතාලමේ ස්වභාවය අනුව ඔහු නටන්නට හදන නැටුම ගැන පරිකල්පනයක් කළ යුතු ය. මෙම නිසා ය. මේ පරිකල්පනය අපට කැමැති හෝ මනෝ භ්‍රාන්තික පරිකල්පනයෙන් ඔබ්බට ප්‍රත්‍යක්ෂ සහ හේතු ඵල පරිකල්පනයක් බවට පත් කර ගැනීම දේශපාලනික සදාචාරය ආරක්ෂා කිරීමක් ලෙස අප හිතන්නෙමු. මේ නිසා මෙහි වැදගත්කම සාරංශකර දක්වතොත් එය උපන්‍යාස කිහිපයක් ඔස්සේ කතා කළ හැකි වේ.

1.ජවිපේ උරුමයෙන් මෙතෙක් පැවත ආ දේශපාලනය රෝහණ විජේවීර ආත්මය තුලින් සුසමාදර්ශයක් බවට පත් කිරීම

විජේවීර ආත්මය යනු ලංකා සමාජයට විප්ලවීය දේශපාලනය නවාකාර ලෙස හඳුන්වාදීමකි. එය ලංකානු මොඩලයක් වේ. මෙම මොඩලය උරුමයක් ලෙස පසු විජේවීර දේශපාලනය විසින් භාවිතා කරනු ලැබුවත්, එය වෙනස් වීම තුල වෙනස් කිරීමට විජේවීර පරම්පාරවට නො හැකි විය. ඒ වෙනුවට වක්‍ර හා සෘජු සේවයක් ප්‍රභූ දේශපාලනයට සිදු කරන්නට විය. කිසිවිටක විජේවිරියානු පරමාදර්ශය සුසමා දර්ශයක් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට හෝ ඉන් ගැලවුණු කිසිදු කණ්ඩායමකට හැකි වී නැත.
මෙම නො හැකියාව හැකියාවක් කිරීම විජේවීරියානු දේශපාලනයේ සුසමාදාර්ශය වන්නේ ය. සුසමාදර්ශයට පරමාදර්ශයේ ඇති අඩුපාඩුකම් මෙන්ම නො හැකියාවන් ද අන්තර්ගත ය. උ. විජේවීර පැරණි උරුමයේ සුසමාදර්ශය කරා ගමන් කරන්නේ ද යන්න උපන්‍යාසය වේ.

3. දකුණේ වම- දකුණ සඳහා සිංහල අනන්‍යතාවක් ගෙන දීම.

උ. විජේවීරගේ දැනට පෙන්නුම්කරන සමාජ භාවිතාව හා ඔහුගේ දාර්ශනික පදනම කේන්ද්‍ර වී ඇත්තේ බුදු දහම පදනම් කර ගත් මානව දිශාවකට ය. මෙය ගෝඨාභය ව්‍යාපෘතියම වන්නේ ය. සිංහල සමාජයට තම අනන්‍යතාව හා සංස්කෘතිය සම්බන්ධව සැකයක් හෝ දෙගිඩියාවක් නැති කර විශ්වාසයක් ගෙන දීමට ගෝඨාභයට වසර පහක කාලයකට ජනවරම ලැබී ඇති අතර එහි ප්‍රතිවාදී දයලෙක්තික සම්බන්ධය තුලින් අනාගතයේ දී විශ්වාස වන්ත සහවාදයක් ඇති කරමින් සිංහල අන්‍යතාවය ඔහුට නියෝජනය කිරීමේ දෙවැනි පරම්පරාව බවට පත් විය හැකි වේද?

3. විජේවීරියානු භාවිතාව ආදර්ශ මොඩලයක් කර ගැනීම

විජේවීරියානු භාවිතාව යනු කැපකිරීම හා කැපවීම නම් වූ දුෂ්කර ක්‍රියාවයි. එය පසු විජේවීරියානු උරුමය තුල පවා ප්‍රකට කරන්නට වුවත් අද වන විට මෙම කැපවීම හා කැප කිරීම යන්න ගැන ඔවුන්ට ඥාණ විභාගයක් නැත. ඒ වෙනුවට ජනප්‍රිය හා මාධ්‍යට කැපවීම යන්න ඔවුන් තුල අධිවිශ්චය වී ඇති නිසා මෙම අවකාශය භාවිත කිරීමට උ. විජේවීරට හැකි වේ ද

4. බටහිර නො වන වන දේශීයත්වයක අසාර්ථක සිහිනයේ අනාගතය නියෝජනය. එනම් මහින්ද ගෝඨාභය විමල් යන්නන්ගේ දිශානතියේම පැත්තකින් ගමන් කිරීම

ගෝඨාභය කඳුවුර වර නඟන සභ්‍යත්ව රාජ්‍යය යන්න දේශියත්වයට ද බුදු දහමට ද සංස්කෘතියට ද මුල් තැන දෙන්නක් වන අතර, අද දවසේ භෞතික දේශපාලනය එයම විකල්පය වන්නේ ය. මින් පරිභාහිර විකල්පයක් නැති බැවින් බලය හා විකල්පයත්, අනුමැතියත් ඇත්තේ මෙම කඳවුරටම වන නිසා මෙම මං තීරුව තුල දේශපාලනය සිදු කිරීමට උ. විජේවීරට සමාන්තරවත් වෙනස් ලෙසත්, වේගය හා අනෙකාගේ වේගය හඳුනා ගැනීමටත් හැකි වේද

5. පිය උරුමයේ පාර්ශවකාර ජවිපේ හා පෙසපේට සම්මුඛ තරඟයකින් හෝ ප්‍රතිවිරෝධාත්මක ගැටුමකින් තොරව අහෝසි කිරීමට සිය භාවිතාව විසින් සිදු කිරීම.

ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය උ. විජේවීරගේ අනෙකා නොවන්නේ වුවත්, විජේවීරියානු උරුමයේ පාර්ශවකාරුවන් වන ජවිපේ හා පෙසපට උ. විජේවීර අනෙකෙකු වීම සිදු වන්නේ ගැටුමකින් තොරව ය. එහිදී, විජේවීරියානු උරුමය ජනතාකරණය කිරීමට ඇති ශඛ්‍යතාව ඇත්තේ උ. ටය.

රෝහණ විජේවීර සහ උ. විජේවීර

සිය පියා මෙන්ම රුසියාවේ අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණෙන පුතා රුසියාවෙන් එන්නේ අධ්‍යාපනය අවසන් කර හෝ ඊට විවෘත අවකාශයක් ඇතිව ය. පියාට නැවත රුසියාවට ගමන් කිරීමට නො හැකි වන දේශපාලන පරිසරයක් බිහි වන අතර එම හේතුවත් අහම්බ කාරණාවක් ලෙස සිය දේශපාලන ඉරනම විසඳා ගන්නට මග නිර්මාණය කර ගන්නේ ය. පියා මාක්ස්වාදය ලෙනින්වාදය මාවෝවාදය ඇතුලු වාම දේශපාලන දර්ශනය ලංකාවට ගැලැපවීම සඳහා පැවැති වාම සම්ප්‍රධායෙන් වෙනත් ක්‍රමවේදයක් වෙත හැරීම හරි වැරද්ද කෙසේ වුව ද, එය වෙනම වෙනස් නැටුමක් ය. එහි උරුමය වෙනස් වීමේ ධර්මතාව මත මේ වන විට විවිධ පාර්ශව කැටුව යන්නේ නමුත් එය කයිසාරුවත්තේ මුහන්දිරම් වලව්ව පරිදිය.
විජේවීරගේ පුතා වන උ. විජේවීර මෙම වලව්වට පැමිණෙන්නේ නැති හේතුව විජේවිර උරුමයේ ඇති අනන්‍යතාවේ ස්වභාවය ලෙස පෙන්වා දුන්නත්, ඔහුට ඊට උරුමකම් කීමට හැකියාවක් නැතැත්, ඔහු ඊට කැමැත්තක් දක්වන්නේ ද නැත. එම නිෂ්ක්‍රියත්වය ඔහුට වෙනස්ව හිතන්නට ආදර්ශයක් ගෙන දී ඇත්තේ සිය පියාගේම උරුමයේ විපරිවර්තනීය කොටසක් ලෙස ද නැතිනම් පියාට දොර වැසෙන රුසියාව පුතාට විවෘතව එය භූ දේශපාලනයේ උපාය උපක්‍රමයක් ලෙස ද යන්න ය.

රෝහණ විජේවීර සහ ජවිපේ

විජේවීරියානු දේශපාලනය විජේවීරගෙන් පසුව ලංකා දේශපාලනය තුල භාවිතයට නගන අවස්ථාවන්වලදී, එහි සාර්ථක හා අසාර්ථකත්වයන් න්‍යායික හා භාවිතාව අනුව ඔහුගේ අනුගාමික ජවිපේ විසින් යුක්ති සහගත කරන්නේ එය විජේවීරයන් පවා බලාපොරොත්තු වූවාක් විය නො හැකි ලෙසට ය. මෙය මිය ගිය තැනැත්තෙකු පිළිබඳව කරන අභව්‍ය පරිකල්පනයක් වුවත්, රෝහණ විජේවීර ජීවත්ව සිටියේ නම්, මෑත ඉතිහාසය තුල ජවිපේ විසින් කළ දේශපාලනික මැදිහත් වීම් ඔහුගේ නායකත්වය යටතේ වුවද සිදු වන්නට ඉඩ තිබුණේ ද යන්න ගණන් බැලිය හැකි වන්නේ ජවිපේ දේශපාලන දර්ශනය හා ලංකාව පිළිබඳව ඇති දෘෂ්ටිවාදය තුල ය. එය සංයුක්තව කියන්නේ නම්, ජාතික ප්‍රශ්නය හා දෙමල ජනයාගේ නිදහස සම්බන්ධ කාරණාවය. විජේවීර විසින්ම ලියන ලද මේ සම්බන්ධ කාරණය ජවිපේ සහ පෙසපේ විසින් සුසංවාදයකට හෝ විපරිවර්තනයකට ලක් කර නැති නිසා මෙම දෙපිරිසගේම සාධාරණීයකරණ විභාගය වනු ඇත්තේ “විජේවීර සහෝදරයා ජීවත්ව සිටියා වුවත් ස්ථාවරයේ වෙනසක් සිදු නො වන බවයි”

මෙම කාරණය සම්බන්ධයෙන් ජවිපේ සහ පෙසපෙ සිටින විජේවීරියානු ආස්ථානයේ අන්තයට ගමන් කරමින් උතුර දකුණ පවත්නා පරිදිම තෝරා ගැනීම කරන්නේ ද නැතිනම් රටක් ලෙස මෙතෙක් දේශපාලනයන් අනුගමනය කරන්නා වූ ප්‍රතිපත්ති හා භාවිතාවන්ගෙන් වෙනස් නියම බුදු දහම සිංහල බුදු දහමින් ගලවා පෙන්විය හැකි වන්නේ ද යන්න සිතීමට හැකියාව උ. විජේවීරට තිබිය හැකි ද?

සමස්තයක් ලෙස වාම දේශපාලනය තුල විප්ලවීය අර්ථයෙන් රෝහණ විජේවීර යනු පර්වතයක් අස්වැද්දූ මිනිසෙකි. කොපමණ විවේචන හා අඩුපාඩුකම් පැවැතිය ද ලංකා පොළොවට නිර්මාණාත්මක දේශපාලනික සුසමාදර්ශයක් ගෙන දුන් තැනැත්තෙකි. එහි ඓතිහාසික ඵලයන්ගේ ශක්තිය විවිධ දැනුම්වලින් වුවද, විවිධ මතවාදයන්ගෙන් වුවද ලංකාවේ තවමත් දිග හැරෙන්නේ ය. විකල්ප පත්තර, රාජ්‍ය නො වන සංවිධාන, විශ්ව විද්‍යාල හා කාලාව සහිත්‍ය තුල පවා මෙම පරාවර්තනය අදටත් දෘශ්‍යමානය. නමුත් එම වෙනස වෙනස් කරමින් ඉදිරියට යෑමට විජේවීරයන්ගේ උරුමය ගත් ජනතා විමුක්ති පෙරමුණට හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හෝ හැකියාව ලැබී තිබේද මතුවට පවා හැකි වේද යන්න ඉදිරයේ දී සාක්ෂි සපයන්නට අලුතින් ඉදිරිපත් වී ඇත්තේ උ. විජේවීර ය.

ඔහු දැන් වෙනම ගමනකට ඇරඹුමක් දී ඇත. එය සිය පියාගේ අභියෝගය තරම් වූ කර්කෂ හා දුෂ්කර එකක් සේ නො පෙනුනත්, එය මැනිය යුතු වන්නේ සමාජ ලෝක තත්ත්වයන්ට හා කාලයේ වෙනසට අනුව ය. උ. විජේවීර තෝරාගෙන ඇති දේශපාලන මොඩලය බැලූ බැල්මට අලුත් දෙයක් නොවේ. මේ වන විටත් සමාජය තුල ඇති වී විවිධ වේස ගත් හා විවිධ දේශපාලන ව්‍යුහයන් තුල ක්‍රියාත්මක අංගයන් ය. වස විස නැති බෝග මෙන්ම පරිසරය සම්බන්ධ දෑ සමාජයට අලුත් දෙයක් නො වුනට එම ආදර්ශය ජවිපෙන් හා පෙසපෙන් ගිලිහී ගොස් ඇති හා මිනිසුන් අතර ඇති පරතරය ඈත් කරන ලද භාවිතාවන්ට ඇති විකල්පයකි. ගතානුගතික ජනතා වර්ගීකරණය හා කල්ලිවාදී භාවිතාව වෙනුවට ඔහු තෝරාගෙන ඇත්තේ වෙනත් දර්ශනයකි. අවිහිංසාවාදී පරමාදර්ශයන් හා බෞද්ධ දර්ශනය සංස්කෘතික පදනමක් ලෙස ය. මෙම වාසිය ඔහු යොදා ගනු ලබන්නේ පුළුල් හා මානව දැක්මකින් වන්නේ නම්, ඔහුට ඇති අභියෝගය වන්නේ ඔහුගේ දේශපාලනයේ ඇති ස්වාධීනත්වය පෙන්නුම් කිරීම ය. බටහිර වෙනුවට පෙර දිග හා රුසියානු සුළඟින් ලංකාව නම් ධජය ළෙල දීමට සලස්වන්නේ නම්, එය ද ගෝලීය බල දේශපාලනයේ ප්‍රතිපක්ෂ අංගය වන්නේ ය. එය කළමානාකරණය වන්නේ නැවත අනෙකකු විසින් නම්, එය සමාජයට ජනප්‍රිය වීමට හා මූල්‍ය ප්‍රාග්ධනයට පහසුවක් වනු ඇත. නමුත් එය ලෝක දේශපාලනයෙන් නිවැරදිව ස්වාධීනව පැවතීමට නම් යහපතේ බොහෝ දෑ ඈත් කර ගැනීමට බල කරනු ඇත.

මෙම සියවසේ දේශපාන විපරිවර්තනයන් සඳහා තව දුරටත් ලෙනින්ලා අවශ්‍ය නො වන්නේ වුවත්, මහත්මා ගාන්ධිලා ද මාටින් ලූතර්ලා ද මැල්කම් එක්ස් වැන්නන්ගේ මැදිහත් වීම අවශ්‍ය බවට රූපාන්තරය වෙමින් ඇත. එහෙත් මේ අය පවා ධනේෂ්වර ලෝකය විසින් බිහි කරන වීරයන් වන්නේ නම්, සැබෑ ගාන්ධීලාගේ, ලූතර්ලාගේ ආත්මයන් සහිත චේ ගවේරලා ද ලෙනින්ලා ද මාවෝලා ද අවශ්‍ය වන්නේ මාක්ස් බුදුන් සුසමාදර්ශී විප්ලවයන් පිණිස ය. එය ලෞකික ලෝකයේ විමුක්තියත් ලෝකෝත්තර ලෝකයේ විමුක්තියත් පිණිස ඇති මාවතේ අධියර දෙකක් වන නිසා ය.

ටෙරල් අබේසිංහ/ උදය ආර්. තෙන්නකෝන්