ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කල්ලිවාදී උගුලක - CID විමර්ශනයක අවශ්‍යතාවත් මතුවෙයි

ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කල්ලිවාදී උගුලක - CID විමර්ශනයක අවශ්‍යතාවත් මතුවෙයි

30 August 2020 09:31 pm

ජාතියේ මහා පහන් ටැඹ ''ලංකා බැංකුව'' යළි යළිත් කල්ලිවාදයේ ගොදුරක් වී ඇති බවට ලංකා නිවුස් වෙබ් පසුගිය 28 වැනිදා  පුවතක් පළකරමින් පැවසුවෙමු. රාජ්‍ය වාණිජ බැංකු අතර ප්‍රමුඛ ස්ථානයක පසුවෙන ලංකා බැංකුව මේ වන විට අභ්‍යන්තරික වශයෙන් අර්බුදයන්ට මුහුණ දෙමින් සිටින අතර ඒකාධිපති නිලධාරිවාදය විසින් එය ඉතා පහළ ස්ථානයකට රැගෙන යමින් පසුවෙයි. 

ඒ අනුව අපි ඔබට පැවසුවේ මෙම කල්ලිවාදය සම්බන්ධයෙන් ඔබට සවිස්තර වාර්තාවක් ගෙන එන බවය. එහි මුල් අදියර මෙලෙස ඔබට සමීප කරන්නෙමු. 

තනතුරු මෙන්ම ඒවායේ වරප්‍රසාදයන්ට ගිජුකමින් සියල්ල තම පාලනයට නතු කර ගැනීමට උත්සහ දැරීම කිසිදු අයුරකින් කිසිදු පුද්ගලයෙකුට යෝග්‍ය  නොවන ලැජ්ජා සහගත තත්ත්වයකි. ඒ වෙනුවෙන් කල්ලියක් නඩත්තු කිරීමත් ඊට සමස්තය නතු කරගැනීමට සැලසුම්කිරීමත් කල්ලිවාදය විසින් පෝෂණය කරන කුමන්ත්‍රණයන්ය. අද ලංකා බැංකුවට අත්විදින්නට සිදුව ඇත්තේද  මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකටය. 

හිටපු සාමාන්‍යාධිකාරී සෙනරත් බණ්ඩාර මහතාගේ සේවා කාලය නිමවීමෙන් පසු එම තනතුරට පත්විය යුතු තැනැත්තා සහ පත්වීමට උත්සහ ගත්  තැනැත්තා ලෙස බැංකුවේ අභ්‍යන්තර ගැටුමක් පැවති නමුත් රජයේ මැදිහත්වීමෙන් එනම් කැබිනට් අනුමැතියෙන් සුදත් ගුණසේකර මහතා ඊට පත්කරන ලදී. ඒ අනුව ලංකා බැංකුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස සුදත් ගුණසේකර මහතා පත් වූයේ පසුගිය මාර්තු මස 05 වැනි දිනය. 

එම පත්වීමේ පටන් අද දවස දක්වාම සුදත් ගුණසේකර සාමාන්‍යාධිකාරීවරයාට එරෙහි ලංකා බැංකුවේ කල්ලිවාදය ක්‍රියාත්මක වෙමින් පවතී.
එහි මුල්ම පියවර ලෙස ඔහුගේ පත්කිරීමෙන් පසු අද දවස වන තෙක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම පත්වීමට අදාළ ලිපිය නිකුත් කර නැත. එහෙයින් ඔහු තවදුරටත් වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරමින් හිඳියි. ඔහු වැඩ භාරගන්නා දවසේද ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ හොඳ අඩව්වක් අල්ලා තිබුණු අතර කිසිදු දිනෙක්  නොවුණු ලෙස ඉහළ තනතුරු විසින් ආයතනය තුළ කළු කොඩි දමා  එම පත්කිරීමට විරෝධය පළකර තිබුණි. කුමන සාධාරණ පදනමක් ඊට තිබුණා ද යන්න ඇත්ත ඇති සැටියෙන්ම දන්නේ ඊට නායකත්වය දුන්නෝම පමණි. 

එතැන් පටන් මෙකී කඩාකප්පල්කාරී කල්ලිය විසින් සුදත් ගුණසේකර මහතාව පමණක් නොව සමස්ත බැංකු ක්‍රියාවලියම අකර්මන්‍ය කරමින් පසුවෙයි. බැංකු ඉතිහාසය තුළ සමස්ත ගණුදෙනුකරුවන් දැඩි අපහසුතාවට පත්කරමින් එකී කල්ලිය විසින් සියලුම ශාඛා දිනක් වස තැබීමටද කටයුතු කළේ රාජ්‍ය ආයතනයක් බව හෝ අමතක කර දමමිනි. 

වැඩ භාර ගෙන මාස පහයි - සුදත් ගුණසේකරට තවමත් පත්වීමේ ලිපිය නැහැ 

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.වී.ජයතිලක,සහකාර සාමාන්‍යාධිකාරීවරුන් වන සම්පත්,ප්‍රියන්ති සහ රෝහණ කුමාර යන අයගේ ප්‍රධාන මෙහෙයවීමෙන් ලංකා බැංකුවේ Banking System  එක උපයෝගී කරගනිමින් සමස්ත බැංකු ක්‍රියාවලියටම පටහැනිව, නීති විරෝධීව,විනය විරෝධීව සෙසු ශාඛාවල සේවකයන් විරෝධතාවට පෙළගස්වා තිබේ. බැංකුවේ Banking System එක පවතින්නේ රාජකාරීමය කටයුතුවලට පමණක් වන අතර එමඟින් වීඩියෝ හමුවක් කැඳවා නව සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව සමස්ත ලංකා බැංකුව අවභාවිත කිරීමට මෙම කණ්ඩායම කටයුතු කර තිබුණේ රජයේ තීන්දුවද හෙළා දකිමිනි. යම්  වැරද්දක් වී ඇත්නම් ඊට විරෝධය පළකිරීමට අයිතියක් තිබේ. එහෙත් මේ සිදුවන්නේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට අවශ්‍ය පරිදි අත්තනෝමතික ලෙස සියල්ල පාලනය කිරීම නම් ඊට එකඟවීමට හෝ එය සාධාරණීකරණය කිරීමට කිසිදු අවශ්‍යතාවක් මතුවන්නේ නැත. ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකාගේ  පෞද්ගලික අවශ්‍යතාවන් ඉටුකර ගැනීම උදෙසා ඔහුගේ උක්ත කල්ලිය විසින් සමස්ත බැංකුවම මෙහෙයවමින් තිබෙන පසුබිමක ආයතනික මට්ටමින් හෝ විනය පරීක්ෂණයක් කැඳවීමට අපොහොසත් වීම තුළින්ම මෙම ෆොන්සේකා කල්ලියේ බලවත්කම පෙන්වා තිබේ. 

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදත් ගුණසේකරගේ සාමාන්‍යාධිකාරී පත්වීම වළක්වාලීමට ආරම්භයේ පටන්ම රසල් ෆොන්සේකා මැදිහත් වී තිබුණද එකී වෑයම පරදා සුදත් ගුණසේකර සාමාන්‍යාධිකාරී තනතුරට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. එහෙත් අදටත් රසල් ෆොන්සේකා සිය න්‍යාය පත්‍රය හකුළා නැත. එහි ප්‍රතිඵලයක් ලෙස සුදත් ගුණසේකර තවදුරටත් වැඩබලන සාමාන්‍යධිකාරී තනතුරේය. එපමණක් නොව සති පතා පැවැත්වෙන බැංකුවේ රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් පවත්වන රැස්වීම් පවා ෆොන්සේකා කල්ලිය ඔවුන් වර්ජනය කරමින් පවතින හෙයින් බැංකුවේ කටයුතු යහපත් පරිසරයක පවත්වා ගෙන යාමට හැකි වී නැත. 

සුදත් ගුණසේකර මහතාගේ නව පත්වීමෙන් මාස පහකට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇතත් මෙම අර්බුද විසඳාගැනීමට නොහැකිවීම එක්තරා  අයුරකින් රජයේද දුර්වලතාවයකි. තවදුරටත් රජයේ ආයතනයක් මෙලෙස කල්ලියකට නතුවීමම කණගාටුදායක කරුණකි. 

අනතර්ජාතික වශයෙන්ද පිළිගැනීමක තිබෙන රාජ්‍ය බැංකුවක් තුළ මෙලෙස කූටෝපායයන් ක්‍රියාත්මක වීම හොඳ නැත්තේ රටේ අනාගතයට බව වගකිව යුතු රජයේ පාර්ශවයද වටහා ගත යුතුව තිබේ. 

ලංකා බැංකු වෘත්තීය සමිතියත් ෆොන්සේකාගේ බළල් අතක්ද? 

රසල් ෆොන්සේකාගේ ලංකා බැංකුව තමන් අතට නතුකරගෙන මෙහෙයවීමේ ක්‍රියාවලියට ලංකා බැංකු වෘත්තීය සමිතියත් සහය දක්වමින් පසුවන බවයි අප වෙත වාර්තා වන්නේ. බැංකු ක්ෂේත්‍රයේ බලසම්පන්න වෘත්තීය සමිතියක සහය පවා කල්ලියක් විසින් දිනා තිබීම තුළ ලැජ්ජා විය යුත්තේ කවුරුන්ද? එය තීරණය කිරීම ඔබටම භාරකරමු.

රාජ්‍ය බැංකුවක් මෙලෙස අනතුරට හෙළීම යනු රටේ මුල්‍ය පද්ධතිය අස්ථාවර කිරීමකි. එය සෘජුව ආර්ථිකයට බලපාන කරුණක් වන හෙයින් මේ කල්ලියක් කටයුතු කරන්නේ රටේ ආර්ථිකයම හතරගාතෙන් වැට්ටවීමට ප්‍රයත්න දැරීමකි. අත්තනෝමතික ලෙස බැංකුව සතුව පවතින රජයේ සහ මහජනතාවගේ මුදල් තම තමන්ට වාසි අත්වන පරිදි යෙදවීමට හැකි වන්නේ තමන්ගේ අතට බලය කේන්ද්‍ර වූ විටය. ෆොන්සේකා කල්ලිය වෙහෙසෙන්නේ ඒ වෙනුවෙනි. 

ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මෙම තනතුරට අමතරව බැංකුවේ ක්‍රියාපටිපාටියට පටහැනිව එහි ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුරද හොබවමින් සිටියි. එහෙත් අනාවරණ පරිදි බැංකුවේ කොඳු නාරටිය බඳු ආයතනික ශාඛාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර දැරීමට කිසිදු සුදුසුකමක්ද නැති බවට දැන් චෝදනා එල්ල වෙමින් තිබේ. ඊට හේතුව වී ඇත්තේ ඔහු වැඩි කලක් සේවය කර ඇත්තේ බැංකු අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වන අතර ආයතනික ශාඛාවේ මුළුමණින්ම පාහේ සිදුවන්නේ ප්‍රධාන පෙළේ ණය කටයුතු සහ පාරිභෝගිකයින් සමඟ ගණුදෙනු කිරීම වීමයි. එවැනි පසුබිකම රසල් ෆොන්සේකා වන්නෙකු මෙවැනි බලවත් තනතුරු දෙකකටම පත්කිරීම කෙතරම් අමනෝඥ ක්‍රියාවක්ද යන්න දැන් බැංකුව අභ්‍යන්තරයේම විවේචනයට බඳුන්ව ඇත. 

රසල් ෆොන්සේකා සම්බන්ධ මෙම කාරණය අපි මිට ඉහතදීත් පෙන්වා දී ඇත්තෙමු. 

සබැඳි ලිපි :පහන් ටැඹ පාමුල අඳුර විනිවිදිමු!

                 රසල් ෆොන්සේකා පරල වෙයි!

එහෙත් නොවිය යුතු බොහෝ දෑ සිදුව තිබේ. එහි අනිසි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුව ඇත්තේ ගණුදෙනුකරුවන්ටය. රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් රැසක් ලංකා බැංකුව සමඟ බැංකු කටයුතු සිදුකරමින් සිටින අතර මෙවැනි අභ්‍යන්තර ගැටුම්වලින් අධෛර්යයට පත්වන්නේ ඔවුන්ය. එකී අධෛර්යමත්වීම බලපාන්නේ රටේ ආර්ථිකයට. ඊට රසල් ෆොන්සේකාගේ බැංකු කල්ලිය වගකියන්නේද?

රසල් ෆොන්සේකා ප්‍රමුඛ  බැංකු කල්ලියේ ක්‍රියාපටිපාටිය හේතුවෙන් දැනටමත් ලංකා බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික ගණුදෙනු, ණය යෝජනා ක්‍රම ඇතුළු කර්තව්‍යයන් රැසක් නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙන බව මේ පිළිබඳව තතු දන්නෝ දන්නා කරුණකි. එහෙයින් අද හෙටම මෙම අභ්‍යන්තර අර්බුදය විසඳුමකට පත්කර ගත යුතුව තිබේ. 

මහ බැංකුවත් ෆොන්සේකාගේ සාක්කුවේද?

සාමාන්‍යාධිකාරී ලෙස සුදත් ගුණසේකර මහතාට රාජකාරී ආරම්භ කිරීමට ඇති බාධාව වන්නේ මහ බැංකුව විසින් ඔහුගේ පත්වීමට අදාළ ලිපිය නිකුත් නොකිරීමය. එය මාස පහකට අධික කාලයක්  තිස්සේ ප්‍රමාද කරමින් පවතින්නේ ගුණසේකර මහතාට එරෙහිව විවිධ චෝදනා එල්ල කරමිනි. ඒවාට අදාළව පරීක්ෂණ පැවැත්විය යුතු බව පවසමිනි. එහෙත් ඔහුව සාමාන්‍යධිකාරී ලෙස පත්කිරීමට පෙර අවශ්‍ය විගණන ආදී සියල්ල සිදුකර අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා නොවීම තුළ ඔහුගේ පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. එහෙත් දැන් මහ බැංකුවේ ක්‍රියාකලාපය හේතුවෙන් ඒ සියල්ල අභියෝගයට ලක්වෙමින් තිබේ. 

මහ බැංකුවේ මෙම හැසිරීමට ද රසල් ෆොන්සේකාගේ බලපෑමක් ඇති බවට වාර්තා වී ඇත. ඔහුගේ බිරිඳ වන මාලනී ෆොන්සේකා මහ බැංකුවේ සේවය කරන අතර ගුණසේකර මහතාගේ සාමාන්‍යාධිකාරී පත්වීමට අදාළ ලිපිය ප්‍රමාද කිරීමට ඇය සිය දායකත්වය ලබා දෙමින් සිටින බවයි කියවුණේ. හිටපු සාමාන්‍යාධිකාරී සෙනරත් බණ්ඩාර මහතා වෙත එක රැයකින් පත්වීමේ ලිපිය නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකුව සුදත් ගුණසේකර හමුවේ අටුවා ටීකා සොයමින් සිටීම බරපතල ලෙස සැකයට බඳුන් වන්නකි. 

රටේ ආර්ථිකයට යළි යළිත් ඔක්සිජන් සැපයිය යුතු මොහොතක ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් දිනෙන් දින අකර්මණ්‍ය කරමින් මේ සිදුකරන්නේ කුමක්ද? 

මාස පහකට වැඩි කාලයක් තිස්සේ විවිධ උපක්‍රම භාවිතා කරමින් සුදත් ගුණසේකරගේ අසමත්කම පෙන්වීමට ඉතා විශාල පරිශ්‍රමයක යෙදෙන ෆොන්සේකා කල්ලිය මේ දාං අදින්නේ රටේ ආර්ථිකය සමඟිනි. රටේ මූල්‍ය ස්ථායිතාව සමඟිනි. එහෙයින් මේ කල්ලිය වහ වහා නිරාවරණය විය යුතු අතර තවදුරටත් දිගුවක් නොවී අවසානයට පත්විය යුත්තේ රටේ ආර්ථිකය කඩාවැටෙන්නට ඉඩ නොදිය යුතු හෙයිනි. 

ඇලොසියස්ට බිලියන 10 ක් දෙද්දී ෆොන්සේකා කල්ලිය සිටියේ බමන මතින්ද?

මේ වන විට අක්‍රමිකතා සම්බන්ධයෙන් කාරණා මතුකරමින් සිටින ෆොන්සේකා කල්ලිය සහ වෘත්තීය සමිති නියෝජිතයින් 2015 මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධව පර්පෙචුවල් ට්‍රේෂරිස්හි අර්ජුන් ඇලෝසියස්ට ලංකා බැංකුවෙන්  රු. බිලියන 10ක් නිදහස් කරන විට කරමින් සිටියේ කුමක්ද? ඔවුන් එය නොදැන සිටියාද? එවන් තැන්හිදී නිහඬව සිට බැංකුවේ මුදල් ඇලීයාවට යාමට ඉඩ හැර දැන් කුලප්පු අලියන් ලෙස කටයුතු කරමින් හිඳියි. 

එහෙයින් දැන් රසල් ෆොන්සේකාටත් ඔහුගේ ගෝල බලයන්ටත් තමතමන්ගේ පැටිකිරිය ගැන මුලක සිට සිතීමට කාලය එළඹ ඇති බවද මෙහිදී සඳහන් කරමු. 

අධ්‍යක්ෂ මණ්ඩලයේත් යහපාලන හොල්මන් 

මේ අතර ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළද අභ්‍යන්තර ගැටුම් නිර්මාණයට දායක වන අධ්‍යක්ෂවරු දෙදෙනෙක් සිටින අතර ඔවුන් වහාම අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවට ද බැංකුව බැංකුව අභ්‍යන්තරයේ කතා බහට ලක්ව තිබේ. හසිත ප්‍රේමරත්න සහ ලලිත් විතානගේ යන එම අධ්‍යක්ෂවරු දෙදෙනා යහපාලනය සමයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්ව තිබෙන අතර ඔවුන්ද මේ වන විට අභ්‍යන්තර ගැටුම් අවුළුවමින් හිඳින බව සඳහන්. 

ජාතියේ මහා පහන් ටැඹ පාමුල අඳුර විනිවිදින්නට දැන් සිදුව තිබෙන්නේ මෙකී බැංකුව අභ්‍යන්තරයේ පවතින පරිපාලනමය අර්බුද මුල්කරගෙනය. 

එහෙයින් අනෙකාට ඇඟිල්ල දිගුකිරීමට පෙර තමන් සම්බන්ධයෙන් තක්සේරුවකට පැමිණීම ඉතා සුදුසු බවද අපි මෙහිදී සඳහන් කරන්නෙමු. එසේ පවසන්නේම තමන්ගේ දායකත්වය ආයතනයේ ප්‍රගතියට කොතෙක් දුරට බලපා ඇත්ද යන්න රසල් ෆොන්සේකලා සිතා බැලිය යුතු හෙයිනි. දැන් සිදුවන්නේ දිනෙන් දින ආයතනය පරිහානියට යාම නම් මේ ෆොන්සේකා කල්ලිය ඉන් ලබන තෘප්තිය කුමක්ද? පොදු යහපත හා සාර්ථකත්වය අභිබවා පෞද්ගලික පරමාර්ථ ඉදිරි පෙළට පැමිණීම යනුම තවත් බොහෝ දෙනෙකුගේ අවාසනාව උදාකරන්නකි. ලංකා බැංකුව අරඹයා මෙය අවසාන වශයෙන් හානි පමුණුවන්නේ ගණුදෙනුකාර පාර්ශවය වෙතය. ගණුදෙනුකරුවන් අධෛර්යමත් වීම යනු එය බැංකුවේ පරිහානියයි. ෆොන්සේකා කල්ලියට අවශ්‍ය වන්නේ  ගණුදෙනුකරුවන් අධෛර්මත් කර ලංකා බැංකුව රාජ්‍ය බැංකු පද්ධතිය තුළ කඩා වැට්ටවීමද?

එහෙයින් මේ කල්ලියේ කුමන්ත්‍රණය වහ වහා අනාවරණ කරගත යුතු අතර ලංකා බැංකුව මේ වන විට මුහුණ දී සිටින අභ්‍යන්තර අර්බුදය සම්බන්ධයෙන්  ජනාධිපතිවරයාගේ සිට මුදල්  අමාත්‍යවරයා ලෙස අගමැතිවරයාත්, රාජ්‍ය මුදල අමාත්‍යවරයාත්, ලංකා බැංකුවේ සභාපතිවරයාත් සිය අවධානය යොමුකළ යුතු බවට බැංකුව තුළම සංවාදයට ලක්ව තිබේ. කලක පටන් ක්‍රියාත්මක වන මෙම ෆොන්සේකා කල්ලිය සම්බන්ධයෙන් සත්‍ය අනාවරණ කර ගැනීම සඳහා එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බවටද දැන් අභ්‍යන්තර යෝජනාවක් පැමිණ තිබේ. 

එහෙයින් තවදුරටත් බැංකුව අකර්මණ්‍ය වීමට ඉඩ හරිනවාද යන්න දැන් හෝ රජයේ වගකිව යුතු පාර්ශව දැඩි ලෙස අවධානයට ලක් කළ යුතු බව අප වැඩිදුරටත්  අවධාරණය කරමු.