දම්මික....! - සමන් අතාවුදහෙට්ටි

දම්මික....! - සමන් අතාවුදහෙට්ටි

15 August 2020 07:34 pm

ගෙවී ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ මත්තෙගොඩ සම්බුද්ධි වත්ත මාවතේ නිවෙසේ සිට දම්මිකව ඔසවා ගෙන සුදු වාහනයක දමා රැගෙන යනු අපි බලා සිටියෙමු.

මීට වසර ගණනාවකට කලින් එක්තරා හැන්දෑවකදී දම්මිකව ගෙදරින් ඔසවාගෙන සුදු වාහනයක දමා රැගෙන ගියේ කාටත් හොර රහසිනි. ඊළඟට නියමිතව තිබුණේ අතුරුදහන් කරවීමය. ඒ අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නූලෙනි.

ඒ අනතුරුදායක දිනයට පෙර දිනයේ ඔහු රාත්‍රිය ගත කළේ මීගමුවේ අපේ ගෙදරය. අපි සැහැල්ලුවෙන් කයිවාරු කෙළිමින් සකෙ බීවෙමු. බෙහෝ කලෙකට පසු හෙළි වුණේ එදිනද දම්මිකගේ සුදු වෑන් රථය අපේ ගේ අසළ එළිවෙනතුරුම කුරුමානම් අල්ලා ඇති බවය.

ඔහු මරණය අද්දරටම ගොස්, මරණයේ උණුසුම බාගෙට විඳ ජීවිතය බේරා ගැනීමට වාසනාව ලද්දෙකි. මේ මාරාන්තික අත්දැකීම ගැන ඔහු මුලින්ම විස්තර කළේ තිගැස්මෙනි. නමුත් ටික දිනක් යද්දී ඒ අත්දැකීම රස විඳින්නට පමණක් නොව, රස කර කියන්නටද ඔහු හිත හදා ගත්තේය. ඒ දම්මිකගේ හැටිය.

ඔහුව අකල් මරණයකට ගොදුරු කළ පිලිකාවද ඔහු මැදිහත් සිතින් පිළිගත්තේය. මහරගම අපේක්‍ෂා රෝහලේ සේවය කරන අපේ හිතවත් වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මා සමග කීවේ, ජීවිත කාලය තුළ තමන් ඇසුරු කළ රෝගීන් අතරින්, රෝගය ගැන, රෝගය කළමනාකරණය කර ගැනීමේ ප්‍රතිකාර ගැන, ඖෂධ ගැන පමණක් නොව, කෙටි කලෙකින් තමන්ට හිමිවන ඉරණම ගැන පූර්ණ අවබෝධයක් තිබූ එකම පුද්ගලයා දම්මික කියාය.

වසර හතරක විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික සේවාවක් නිම කොට ඔහු ජපානයේ තානාපති ධුරයෙන් සමුගෙන ලංකාවට ආයේ පසුගිය දෙසැම්බර 31 වනදාය. ජපානයේ ඔහු ගත කළ අවසන් දින කීපයේ දෙසැම්බර් 29 වනදා දක්වා ඔහුට තනි රැක්කෙමි.

එවිට දීර්ඝ රාජකාරි ජීවිතයකින් විශ්‍රාම ලබා සිටි මට ඔහු කීවේ ලියන කියන දේට අමතරව යූ ටියුබ් නාලිකාවක් අරඹන ලෙසය. ඊට මාස කීපයකට කලින්ද දම්මික මට මේ යෝජනාව ඉදිරිපත් කළේය.

‘ලංකාවට ආවාම මමත් උදව් වෙන්නම්. මේ වැඩේ ඉක්මණින් පටන් ගන්න.’ ඔහු කීයේ ඇල්කොහොල් රහිත බීර උගුරක් බී කජු මදයක් හපමිනි. වෛද්‍ය උපදෙස් මත සෑහෙන කාලයක සිට ඔහු මදුපැනක් තොල ගෑවේ නැත. ඊට පසු ඔහු මෙහෙමත් කීවේය.

‘හැබැයි මාර්තු විතර වෙද්දි මේ ලෙඩේ ටිකක් අවදානම් පැත්තකට හැරෙන්න ඉඩ තියෙනවා’

දුමින්ද අර කතාව කියද්දී මට සිහියට ආයේ දෙසැම්බරයේ දම්මික මට කී මේ කතාවය.

රෝගී තත්වය මුල්ම හෝඩුවාව ලැබුණේ ජපානයේ තානාපති ධුරය බාර ගෙන යන්න ඔන්න මෙන්න කියා තිබියදීය. අයිටීඑන් සභාපති ධුරයෙන් සමුගැනීමේ කතාව ඔහු කළේ ඊට පසුදාය. ඒ කතාවේ යටි පෙළ සැබැවින්ම ඔහුගේ අනාගත ඉරණම බව දැන සිටියේ අයිටීඑන් කාර්ය මණ්ඩලයේ එක් කෙනෙකු පමණි. ඒ අවසන් මෙහොත වනතුරුම දම්මික උපස්ථානයෙහි ලා කැපවූ ලාල් මාවලගේය.

දම්මික අකුරුවල රහ යසට මතු කර ලියන්නට හපනෙකි. පැණි වළලු තීරු ලිපිය ඊට කදිම උදාහරණයකි. මට මතක හැටියට මුල්ම කාලයේ ඔහු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගැන ලියා තිබූ එක් වැකියක් මට තවම මතකය. සුනන්දගේ මුළු මහත් හැසිරීම් රටාවම දම්මික එක වැකියකට කොටු කළේ සූර ලෙසය. ‘මහාචාර්ය සුනන්ද බෙල්ල උරුක් කොට මං දිහා බැලූවා.’ සුනන්ද බලන ආකාරය ගැන මීට වඩා ලියන්නට හොඳින් ලියන්නට කිසිදු ජගතෙකුට බැරි බව සුනන්ද හා සමාගමයේ යෙදුණෝ දනිති.

මුලදී සිනමාව හා සන්නිවේදනය පිළිබඳව පොත් කීපයක් ලීවද, පසුව දම්මික ඒ රස ලියැවිල්ල පැණිවළල්ලට සීමා කරගත්තේය. පැණි වළල්ලට මුල පිරුවේද මහචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ වදයෙන් බේරීමට බැරි තැනය. ඒ ගැන පැණි වළලු පෙරවදනේ දම්මික සඳහන් කරන්නේ මෙහෙමය.

‘පැණි වළලු ලිවීමටත්, එය පොතක් වශයෙන් පළ කිරීමටත් පීඩනය සැපයීමෙන් නොනැවතී උදව් උපකාර කළ තවත් කෙනෙක් සිටිති. ඔහු මට "ලියන්න ලියන්න” කියමින් මගේ ජීවිත කාලය පුරාම කරදර කළේය. මා කිසිවක් නොලියන කල උකටළීව පැත්තකට විය. ඒ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාය. ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතාද, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාද, නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණියද නිතර නිතර පැණි වළලු රස ගැන කතා කළෝය. නම් ලියා කෙළවර කළ නොහැකි තවත් එබඳු අය බොහෝ වෙති.’

කාර්ය බහුල රාජකාරි ජීවිතය අතර කෙසේ හෝ ඉඩ කඩක් සොයාගෙන වෙනත් නිර්මාණ කාරියකට අත ගසන්න යැයි බොහෝ මිතුරෝ ඉල්ලා සිටියද ඔහු පැණි වළල්ලේම එල්ලී සිටියේය.

ලියන්නට විතරක් නොවේ. ඔහුට කතා කරන්නටද හැකිය. අති දක්‍ෂ කථිකයෙකි. තැනේ හිටියට ඇණේ ගසමින්, සභාවේ අවධානය මුල සිට අග දක්වාම එක සේ රඳවා ගැනීමේ බුහුටිකමින් පරිපූර්ණ වූවෙකි. සිංහල බසින් පමණක් නොවේ. ජපන් බසින්ද එසේමය. ‘දම්මික සෙන්සෙ අපිට වැඩිට හොඳට ජපන් කතා කරනවා’ කියා ජපන්නු කියති. ඇත්තෙන්ම දම්මික ජපන් බස හැසිරවීමෙන් ජපනුන්නට වඩා හපන්ය.

ජපන් අධිරාජයා සමග සමාගමයේ යෙදෙමින් හයිකු කවි ගායනා කිරීමේ දුර්ලභ අවස්ථාව ඔහුට උදාවුණේ ඒ නිසාමය.

ඔහු හොඳ සිත්තරෙකි. ඒත් සිත්තර කර්මාන්තයේ යෙදුණේම නැති තරම්ය. ගෙදර එල්ලා ඇති චිත්‍ර කීපයකින් එහාට සිත්තර කලාව ගෙන ගිය බවක් මා දන්නේ නැත. ඇඳපන් ඇඳපන් කියා අප කීවාට ඇන්දේ නැත.

ධර්මරාජයේ පාසැල් යන අවදියේ විනෝද චාරිකාවන්හි රබන්කාරයා වූයේ දම්මිකය. රබාන, බොංගෝව පමණක් නොව තබ්ලාවටද අත හුරුය. අපස්වර මතු නොවන අයුරින් ගායනා කරන්නටද පුළුවන. පසු කාලීනව මේ සංගීත හැකියාවන් එළි දැක්වුණේ සමන් කුඹුකගේ මිතුරාගේ ගෙදර පැදුරු සාදවලදීය. ජපානයේ සතුටු සාදයකදී ඉඳහිටය. ජපානයේ පැවති සංගීත ප්‍රසංග දෙක තුනකදී මම අත්වැල් ගායනා සඳහා දම්මිකට වේදිකාවට ආරාධනා කළෙමි. නන්දා මාලනී, අමරසිරි පීරිස් සමග පමණක් නොව උමාරියා සමගද ප්‍රසිද්ධ වේදිකාවේ අත්වැල් ගායනා කරන්නට ඔහු ආවේය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා සංනිවේදන අංශයේ ආචාර්යවරයෙකු ලෙස ඔහු ශිල්ප දැනුම දරු දැරියන්ට බෙදා දුන්නේය. සමහර ආචාර්යවරුන්ගේ දේශන ශාස්ත්‍ර දැනුමෙන් පෝෂිතය. එහෙත් නීරසය. එහෙත් ඕනෑම නීරස දෙයක් පැණි වළල්ලක් සේ රස කිරීමේ කලාව දම්මික ප්‍රගුණ කර සිටියේය. ඒ නිසා ඔහුගේ දේශන දැනුමෙන් පමණක් නොව රසයෙන්ද පිරී තිබිණි. ශාස්ත්‍ර ඥාණයත්, ජනප්‍රියත්වයත් එක සේ හිමි කරගත් දේශකයන් අතර දම්මික දෙවැනි වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පමණක් බව මගේ හැඟීමයි.

ජපානයේ විවිධ පළාත්වල සංචාරයේ යෙදෙන විට දම්මික ඊට එක් කරගැනීමට අපි ලොල් වූයේ ඔහු ඕනෑම දේකට ඔරොත්තු දෙන ගමන් සගයෙක් නිසාය. ජපානයේ වෙසෙන ශාන්ත, බුද්ධි හා ක්‍යෝ චං සමග අප ගිය ගමන් කීපයකටම ඔහු එක් විය. හොක්කයිදෝ ගමන ඉන් එකකි. පෙර කී මිතුරන්ට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දිමුතු සහ සංගීතවේදී නවරත්න ගමගේද මේ ගමනට හවුල් කරගන්නට ලැබීම සතුට වඩන්නක් විය.

හොක්කයිදෝ වේ සප්පරෝ නුවර අමු මාලූ අවන්හලක් දෙදරවමින් අපි සිංදු කීවෙමු. රහට සිංදු කියන, වතුර වගේ ජපන් කතා කරන, කරට අතදමා තමන් සමග සෙල්ෆි ගසන තරුණ පෙනුමැති කැරලි කොණ්ඩකාරයා ශ්‍රී ලංකාවේ තානාපති බව අවන්හලේ සේවය කළ ජපන් කෙල්ලෝ දැන සිටියේ නැත.

මේ සියලූ විනෝද ජනක අවස්ථාවන්ට දම්මික සහභාගී වූයේ පිලිකාවට ප්‍රතිකාර ගන්නා අතරතුරය. ඔහු රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් ප්‍රශස්ථ සේවාවක නිරත විය. ආගමික හා සමාජ කාර්යයන් සඳහා එක් විය. ජපානයේ ඇති ලාංකේය විහාරස්ථාන ඔහු තරම් ළඟින් ඇසුරු කළ වෙනත් රාජ්‍යතාන්ත්‍රිකයෙකු නැති තරම්ය. පිලිකාව සමග පොර බදිමින් සිටියද ඔහු සිය සේවාව කාර්යක්‍ෂම හා විශිෂ්ට අන්දමින් ඉටු කළේය.

පෙරළා ලංකාවට පැමිණි පසු මා ඔහුට යෝජනා කළේ ඉදිරි ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසය. දම්මික පස්ස ගැහුවේය. දොස්තර ජයන්ත බලවර්ධන මගේ සහෘදයෙකි. මම ඔහුට කතා කොට දිනයක් වේලාවක් වෙන් කර ගත්තෙමි. ඔහු හමුවන ලෙස දම්මිකට බල කළෙමි.

සිය බාල සොහොයුරෙකුට මෙන් දම්මික ඇලූම් කළ සගයා ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරය. දොස්තර බලවර්ධන හමුවීමට දම්මිකව රැගෙන ගියේ ප්‍රණීත්ය. පසුව ප්‍රණීත් කීවේ සිය වෛද්‍ය වාර්තා සැලකිල්ලෙන් නිරීක්‍ෂණය කරන තුරු දම්මික සැහැල්ලූවෙන් බලා සිටි බවය. ඉන් පසු කටහඬ අවදි කළ බවය. ‘ඩොක්ටර් තව කොච්චර කාලයක් මම ජීවත් වෙයිද ? මම මේක අහන්නේ වෙන මොකටවත් නෙවෙයි. සරෝජායි, දුවලා දෙන්නයි වෙනුවෙන් කරන්න අතපසු වෙච්චි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවරයක් කරලා දාගන්න ඕනෑ..’

මා දන්නා තරමට දම්මික ඒ සියල්ලද කළේය. මරණයටද සූදානම් වූයේය. ඇඳුම් පැළඳුම් හා පෙනුම ගැන ඔහු ජීවිතය පුරා බොහෝ සෙයින් සැළකිලිමත් විය. අප මෙන් අතට අහුවෙන මොකක් හෝ ඇඳ පැළඳ ගැනීම ඔහුගේ සිරිත නොවීය. අවසන් ගමන් යන ඇඳුම් කට්ටලයද ඔහු කලින්ම තෝරා ගත්තේය, ටයි පටිය පවා. දේහය තැන්පත් කරන පෙට්ටියේ මෙන්ම බිම එලන පලසෙහි වර්ණයද තෝරා ගත්තේය. දේහය අසළ තබන පින්තූරය සකස් කර ගත්තේය. ජපානයේ ගුරු රස්සාව අතැර දමා තමන් බැලීමට පැමිණීමට සූදානමින් සිටි බාල දියණිය රුචීට නොපැමිණෙන ලෙස බල කළේය. ‘තාත්තා ඔයාගෙන් ඉල්ලන්නෙ එකම එකයි. එන්න එපා.’

මිය යන්නට සුළු වෙලාවකට කලින් වැඩිමහල් දියණිය සකී ළඟට ගෙන ‘මට දැන් යන්න වෙලාව හරි’ කීවේය. සරෝජාත්, සකීත් ඉදිරිපිට සිනාවක් පා යන්න ගියේය.

ජීවිතයේ අන්තිම කාලයේ තවත් මොනවා හෝ ලියන්නට ඔහුට සිතක් පහළ වී තිබුණද ලියන්නට කාලයක් තමන් වෙත ඉතිරිව නැති බව ඔහු අවබෝධ කරගෙන සිටියේය. නමුදු ලිවීමේ ආසාව දුරස් කරගත්තේ නැත. ලිවීම ගැන සිහින මැව්වේය.

‘ආයෙම ලියන එක පටන් ගන්න තැනක් මට අහුවුණා.’ දිනක් රෝහල් ඇඳේ සිට මාවලගේට කිව්වේය. ‘අර මට රිද්දන්නේ නැතුව ඉන්ජෙක්සන් ගහන මිස්. එයාගෙ ඇස්දෙක බුදුහාමුදුරුවන්ගෙ වගේ කරුණාවයි. ඒ ඇස් දෙක ගැන තමයි ලියන්න හිතුවෙ.’ දම්මික කීවේය.

ඒත් ඒ ගැන ලියන්න කලින් දම්මික ඇස් පියා ගත්තේය.

(ඉරිදා මව්බිම - කැපුණු කොටස්ද සමග)