බේරුට් ඛේදවාචකය සහ අපි, සුදු මල් රැගත් ගැහැණු, ආසනයක් නිසා අපායට යෑම සහ තවත් කතා – සුනන්ද දේශප්‍රිය

බේරුට් ඛේදවාචකය සහ අපි, සුදු මල් රැගත් ගැහැණු, ආසනයක් නිසා අපායට යෑම සහ තවත් කතා – සුනන්ද දේශප්‍රිය

15 August 2020 04:30 pm

බේරුට් ඛේදවාචකය සහ අපි

පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට් වරායෙහි දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේ වනවිට 200 ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක් තරම් පිරිසක් තුවාල ලබා තිබේ. විනාශයට පත් ගොඩනැගිලි සංඛ්‍යාවද 6000 ක් තරම් වෙයි. අසරණභාවයට පත් ජනයා දසදහස් ගණනාවකි.

මෙම මහා ඛේදවාචකයෙන් සුන්බුන් බවට පත් වරාය අසළ නගරය පිරිසිදු කිරීමට ස්වෙච්ජාවෙන් සහාය වන අතරම එහි ජනයා තවත් පියවරක් තැබූහ. එනම් මේ මහා විනාශයට වගකිය ආණඩුව ඉල්ලා අස්විය යුතු බවට උද්ඝෝෂණය කිරීමයි. විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියන්ගෙන් වීදී පිරී ගියේය. ටික දිනක් කල් මැරූ ආණ්ඩුව එක් ඇමැතිවරයකුගේ ඉල්ලා අස්වීමෙන් පසු සමස්තයක් ලෙසම ඉල්ලා අස්වීමට තීරණය කළේය. ආන්ඩුවට ඉල්ලා අස් නොවී සිටීමට බැරි තැකට වැඩ සැළසුනේ මෙම පිපිරීමට සති දෙකකට පෙර ඒ පිළිබඳව අනතුරු අඟවා අගමැතිවරයාට යවන ලද ලිපියක් ජනමාධ්‍ය විසින් හෙළිදරව් කිරීම නිසාය.

බේරුට් වරායෙහි ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් වසර හයක් පුරා ගබඩා කර තිබුණි. ඇමෝනියම් නයිට්‍රේට් යනු රසායනික පෙහොර සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක් වුවද එහි ඇති නට්‍රජන්, ඹක්සිජන් සහ හයිඩ්‍රජන් අනු ගිනි දැල්ලකට හසු වූ විට ගිනිගෙන පුපුරා යයි. රසායනික පොහොර ලෙස භාවිත කිරීම පිනිස ඇමෝනියම් නයිට්‍රේට් වෙනත් රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කළ යුතුය.

වරායෙහි ගබඩා කර තිබූ මෙම ඇමෝනියම් නයිට්‍රේට් පුපුරා ගියහොත් දැවැන්ත විනාශයක් වනු ඇතැයි ආරක්ෂක නිලධාරීහු ඉහත කී ලිපිය මගින් අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට දන්වා තිබුණි. එවැනි පිපරීමකින් බේරුට් නගරයම වුව විනාශ වී යා හැකි බව ජූලි 20 දා යවන ලද එම ලිපියෙන් ඔවුහු අනතුරු අඟවා තිබුණි. එසේ නමුත් දූෂණයෙන් අගතැන්පත් ලෙබනන් ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැත. ඒසා මහා විනාශයක් වනතුරු ඔවුහු නිදිවැද සිටියහ.

බහුවාර්ගික සහ බහු ආගමික රටක් වන ලෙබනනයේ ජනයා කිසිදු වෙනසකින් තොරව ආන්ඩුවට විරුද්ධව නැගී ගත්හ.

අප රටෙහි සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන නායකයින්ද ආරක්ෂ අංශ ප්‍රධානීන්ද කල්තබා දැන සිටි බව දැන් රහසක් නොවේ. නමුත් ඉන් කවරකු හෝ ඉල්ලා අස්වීද ? ඒ වෙනුවට සිදුවූයේ නීතිය අතට ගත් දාමරිකයින් විසින් මුස්ලිම් ජනයා තලා පෙළා අහිංසක මුස්ලිම් පියකු සිය දරුවන් ඉදිරියෙහිම ඝාතනය කරනු ලැබීමය. එම විනාශයට වගකිව යුතු ප්‍රධානියා වන සිරිසේන ලක්ෂයට අධික ජනතා ඡන්දයෙන් දැන් යළි පාර්ලිමේන්තුවට පත්ව තිබේ. අනෙක් ප්‍රධාන වගකිය යුත්තා වන වික්‍රමසිංහට එම වරප්‍රසාදය ලබා ගැනීමට බැරි වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා නොව සජිත් ප්‍රේමදාසගේ ප්‍රහාරය නිසාය.

රටක නායක නායිකාවන් බිහිවන්නේ ජනතාවගේ හැටියටය. මීනිමරුවන් ජයසක නංවන්නේ ඒ නිසාය.

තවත් ජනාධිපති ඡන්දයක්

ඒ කලකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන හිතවතකු යැයි පෙනෙන්ට තිබූ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කො විසින් මේ වනවිට වසර 25 ක් පාලනය කර ඇති බෙලරුස් නම් රටෙහිය. 2013 වසරෙහිදී බෙලරුස්හි නිල සංචාරයක යෙදුනුු රාජපක්ෂට එරට මහත් පිළිගැනීමක් ලැබුණි.

කොව්ඩි 19 වසංගතය පාලනය කිරීමට ලුකෂෙන්කෝ නිසි ක්‍රියා මාර්ග ගත්තේද නැත. ඔහු කීවේ වොඩ්කා බී ක්‍රීඩාවන්හි යෙදීමෙන් හෝ ටැක්ටර් පැදවීමෙන් වසංගතයෙන් බේරී සිටීමට හැකි බවයි. මේ නිසාද රටපුරා අසංතෝශය පැතිර තිබුණි. ජනාධිපතිවරණයට පෙරම විපක්ෂ නායකයා අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු වෙනුවට 37 හැවිරිදි ඔහුගේ බිරිඳ තවත් ස්ත්‍රීන් දෙනෙකෙුගේ සහාය ඇතිව ඉදිරිපත් වූවාය. විපක්ෂ රැස්වීම්හි ජනයා පොදි කෑහ. නමුත් මැතිවරණ ප්‍රතිඵලයට අනුව ලුකෂෙන්කෝ සියයට 80 ක ඡන්ද ලබා ගෙන ජය ලබා තිබුණි.

මෙම ප්‍රතිඵලය පිළිනොගත් විපක්ෂ පිරිස් සාමකාමී විරෝධතා උද්ඝෝෂණ දියත් කළහ. ලුකෂෙන්කෝගේ හමුදාව ඊට පිළිතුරු දුන්නේ ජීව උණ්ඩ මගින් වෙඩි තබමින් හය දහසකට වඩා හේතු විරහිතව අත්අඩංගුවට ගනිමිනි. අත්අඩංගුවට ගත් දෙදෙනෙකු වධහිංසා නිසා මේ වනවිට මියගොස් තිබේ. විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය භාවිත නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුත්රේස් මෙන්ම යුරෝපා සංගමයද ඉල්ලා සිටියේය. ප්‍රවන්ඩ ප්‍රහාර නවත්වන සේ ඉල්ලමින් සිය ගණනාවක් තරුණ ස්ත්‍රීහු සුදු ඇදුමින් සැරසී මල් පොකුරු රැගෙන නගරයේ සංචාරය කළහ. උත්සන්න වන මර්දනය හමුවේ වඩ වඩා ගැහැණු සාමකාමී උද්ඝෝෂනයන්ට එක්වූහ.

එසේ නමුත් රුසියානු ජනාධිපති පූටින්ගේ සහාය ලබන ලුකෂෙන්කෝ ඒ කිසිදු ආයාචනයකට සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීය. විපක්ෂ අපේක්ෂිකාව රටින් පලා ගියාය.

සියයට 80 ඡන්ද ලබාගත් බව කී නමුත් ජනාධිපති ලුකෂෙන්කෝ වෙනුවෙන් මේතාක් කිසිවකු පාරට බැස නැත. අන්තිමේදී පෙළීම් කුරිරුකම් ගැන සමාව ඉල්ලූ ලුකෂෙන්කෝ සිය ස්වදේශ කටයුතු ඇමතිවරයට ඉල්ලා අස්වන සේ කියා සිටියේය. ජනතා නැගිටීම තවම අවසන්ව නැත. 

පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නේ මේ නිසාය. හරියට වසර 25 ක්ම නායකත්වයේ සිටි රනිල් වික්‍රමසිංහ පීචං වුණා වගේය.

බෞද්ධ රාජ්‍යය වෙනුවට අපායට හැරීම

ඥණසාර හිමිගේ නායකත්වයෙන් යුතු බොදු බල සේනාවෙහි අරමුණ 'බෞද්ධ රාජයක්' පිිහිටුවීම යැයි කියනු ලැබේ. එම බොදු බල සේනා රාජ්‍යය කරා යන අන්දම ඥණසාර හිමි විසින් විවිධ අවස්ථාවන්හිදී පෙන්වාදී ඇති හැටි අන්තර්ජාලයේ ඇති සමහර වීඩියෝ මගින් පෙනේ. කණගාටුවට මෙන් එම වීඩියෝවන්හි භාෂාව සහ හැසිරීම ආසන්න වන්නේ බෞද්ධ රාජ්‍යකට නොව අපායටය. බුදුන්ට ගල් පෙරලූ දේවදත්ත තෙරුන්ටත් රහත් වන්නට හැකි වී නම් ඥණසාර හිමිට කවර හෝ ආත්මයකදී රහත් වීමට බාධාවක් තිබිය නොහැක. වරක් අපායට ගියත් යළි මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන රහත්වීමට බැරි යැයි කොතැනකවත් කියාද නැත.

නමුත් දැන් ඥණසාර හිමි නායකත්වයෙන් මහ මැතිවරණයට ආ කණ්ඩායමට වී ඇති වින්නැහිය දෙස බලන විට නම් මොකක් හෝ ලොකු වරදක් ඇති බව පෙනේ. මෙම භික්ෂූන් එක් පාර්ලිමේන්තු ආසනයකට කන පොරකෑම ගිහියන්ගේ දේශපාලන පක්ෂයකවත් නැති තරමට නින්දා සහගතය. ස්වකීය සහෝදර භික්ෂුවකට පහරදීමට තරම් මෙම දේශපාලනය නිරයට ලංවී තිබේ.

සිය පක්ෂයේ සභාපතිවරයා මිනීමරුවකු බව නොකියා කියන්නේ තමා මැතිවරණයට අත දිගහැර වියදම් කළ බව කියන රතන හිමිය. මැතිවරණය සඳහා තමා පැළ ලක්ෂයක් බෙදා දුුන් බව පවසන එහිමියන් තමා එමගින් මැතිවරණ නීති කඩකළ බවද නොකියාම කියන්නේය. රතන හිමි එක් ඇත්තක්ද කියයි. එනම් ඥණසාර සහ රතන යන නම්වලට දෙන ඡන්දයක් මෙරට නැති බවයි.

වැරදීමකින් හෝ දෙමළ දේශපාලන පක්ෂ දෙකකින් එකක් තව ඡන්ද සිය ගණනක් ගත්තා නම් බොදු බල සේනාවට මේ ජාතික ලැයිස්තු මංත්‍රීකම ලැබෙන්නේද නැත. තමාට අවශ්‍ය සිංහල (බෞද්ධ) ඡන්ද පමණක් බව කී, ඇමැති ගම්මන්පිළගේ දෙවැනියා ලෙස මළකඩ කෑ කඩු පෙළපාලියේ ආ අහවලා ගම්පහ ආසනයේ බිංදුවේ අගයට බැස්ස බව, ඥණසාර හිමිත් රතන හිමිත් සිහි තබාගත හොත් දේශපාලන අපායෙන් බේරීමට ඉඩ තිබේ.

වෙල්ල වැහුම් !

රාජපක්ෂ ආන්ඩුවේ රාජ්‍ය ඇමැතිකම් මල් හතය. මැටි ඇමති, ගුදම් ඇමති, බතික් ඇමති, ඉස්සෝ ඇමති, කාණු ඇමැති, අලිවැට ඇමැති, කුරුඳු ඇමති, කෝච්චි පෙට්ටි ඇමැති. මිරිස් වෙනුවට මැටි ඇමතිකම දීපු එක නම් කළගුණ නොසළකා හැරීමක් වගෙයි පෙන්නේ.

කොහොම හරි මේ නම්වලට ආදර්ශය ගත්තේ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධනගෙන් කියලයි කියන්නේ. ඒ දෙන්නාට තියෙනවා 'මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්' (කකුළු අමාත්‍යංශය) කියලා මල් හතේ රෙස්ටුරන්ට් එකක්. ජනප්‍රවාදගත ගැමියා වෙල්ල වැහුම් හදාපු හැටි දන්නවද ? රාජ්‍ය අමාත්‍යාංශ නම්කිරිල්ලත් ඒ වගේ කතාවක් !

සෙස්ස පස්සට !