අනේ මැතිඳුනි,බොරු කියන එවුන්ගෙ කටවල් වහන්න. (ඉලෙක්ෂන් වියදම කියල දාන්න) - අනුර හෑගොඩ

අනේ මැතිඳුනි,බොරු කියන එවුන්ගෙ කටවල් වහන්න. (ඉලෙක්ෂන් වියදම කියල දාන්න) - අනුර හෑගොඩ

8 August 2020 03:48 pm

ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ඝතම රස්තියාදුව සිදුවූ නාමයෝජනා සහිත මැතිවරණය අහවර විය. ගරුතර සත් ගුණවත් මැතිඳුන් දෙසිය විසිපස් දෙනෙක් පුබ්බේත කතපුණ්යතා හේතුවෙන් වසර පහක් සිටීමේ බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු යනවා ඇත. ඔවුන් සැමට අපගේ අප්‍රමාණ ගෞරව පුර්ව ප්‍රණාමය පුදමි. ගැත්තාට ක්ෂමාවන සේක්වා! 

එහෙත් ගරුතර මැතිඳුනි, අපහට කෑම බීම, ඉඳුම් හිටුම්, රැකියා විරැකියා, ගමන් බිමන් ප්‍රශ්න මෙන්ම තව දැවෙන ප්‍රශ්නයක් තිබේ. එහෙත් මෙය ඇසීමට පෙර අපේක්ෂිත ඇපකරයක් කොළඹ උසාවියෙන් ලබාගත්තොත් හොඳ යැයි මේ පිළිබඳව මා සාකච්චා කළ මිතුරෙක් මට පැවසීය. ඔහුට පිස්සුය. අපේ මැතිඳුන්ගෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට චන්දය දෙන අපට අවසර ඇත. ඔහුට කේන්ති යන්නේ නැත. ඔහු නිත්ය වශෙයන්ම සාමකාමීව එයට උත්තර දෙනවා ඇත. 

ප්‍රශ්නය නම් මෙයය. මැතිඳුනි, මේ මැතිවරණයට ඔබතුමා කීයක් වියදම් කළා ද? සල්ලි ලැබුණේ කොහෙන් ද? වියදමට වඩා වැඩිපුරත් ලැබුණා ද? 

අපට සේවය කරන්නට ඔබතුමා මොන තරම් වෙහෙසක් ගන්නවා ද? රෑ දහවල් නිදි නැතිව, ඇඟට හරි කෑමක් බිමක් නැතිව ඔබතුමා අප වෙනුවෙන් සටන් කරන්න, අපේ අයිතිවාසිකම් ලබාදෙන්න පාර්ලිමේන්තු යන්න මහන්සි වෙන හැටි දැක්කාම අපිට රොටි කෑල්ලක් කාල කහට ටිකක් බීල නින්දට යන්නවත් හිතෙන්නේ නෑ. ඔබතුමා ගැන මතක් වෙනකොට නින්ද අහලකට එන්නෙත් නෑ. 

අනික ගිය පාර පාර්ලිෙම්න්තු යනකොට වැටේ වන්නන්න පුළුවන් සයිස් එකට හිටපු ඔබතුමා බදන්න බැරි කොස් ගහක් විතර වුනේත් අපේ වාසනාවට. බලන්න ඕන ඔබතුමා මොනතරම් මුදලක් වැය කරනවා ද? ඔබතුමාගේ සුකුමාල මුහුණ තියෙන පෝස්ටර් වලටම කීයක් යන්න ඇද්ද? ටීවී ඇඩ් වලට, රේඩියෝ ඇඩ් වලට, පත්තර දැන්වීම් වලට, ගෙවල් වලට බෙදන දැන්වීම් පත්ර වලට, පැට්රෝල් වලට, අපිට කන්න බොන්න දෙන්න, අරක්කු වලට, අතට මිට මොලවපු ගණනට වුනත් කී ලක්ෂයක් යන්න ඇත්ද ?. අපි කොහොමද  දෙවියනේ මේවා දන්නෑ වගේ අහක බලාගෙන ඉන්නෙ. 

එංගලන්තේ නම් මැතිඳුනි, මාර සවුත්තු මැතිවරණ නීති රීති තියෙන්නෙ. 1707 ඉඳන් ලිඛිත ව්‍යවස්තාවක් වත් නැතිව වැඩ කරන්නෙ. අනේ මන්දා ඔය හොඳට කරගෙන යනවා කියල කියන්නෙ. බොරු වෙන්න ඇති නේද? එහෙ මැතිවරණය තියෙන දවසෙ එහෙම දෙයක් තියෙනවා කියල පේන්න කිසිම දෙයක් නෑ 'චන්ද පොළ' කියල ගහල තියෙන බෝඩ් ඇරුණහම. පෝස්ටර් නෑ, කටවුට්  නෑ කොඩි නෑ මාර පිස්සුවක් තියෙන්නෙ. ප්‍රජාතන්ත්‍ර වාදයයි, පාර්ලිමේන්තු ක්‍රමයයි එංගලන්තෙන් ලංකාවට එනකොට ඉතිරි ටික නාවෙ හොඳ වෙලාවට. අනික එහෙ රජයයි, ආණ්ඩුවයි කියන්නෙ දෙකක්ලු. හොඳ වෙලාවට මැතිඳුනි අපි ලංකාවෙ රජයයි ආණ්ඩුවයි කියල දෙකක් තියා ගන්නෙ නැතුව එකක් කර ගත්තෙ. මැතිඳුන්ලට කොච්චර ලේසි ද දෙකම එකට තියෙන කොට.  වියදමත් අඩුයි නෙ. අනික එංගලන්තෙ රාජකාරි වාහන තියෙන්නෙ අගමැතිටයි, මුදල් ඇමතිටයි විතරයි ලු. අනෙක් ඇමතිලා වාහන පූල් එකට කෝල් කරලලු රාජකාරී ගමනක් යන්න වහනයක් ගෙන්න ගන්න ඕනෙ. එක වෙන්න ඇති එහෙ මැති ඇමතිලා හුඟ දෙනෙක් බස්වලයි කෝච්චිවලයි යනව කියල කියන්නෙ. 

අනික එංගලන්තෙ මැතිවරණ කොමිසමෙන් තද නීති රීති දාල තියෙනවා පක්ෂ වලට ලැබෙන ආධාර විමර්ශනය කරන්න. පණතකුත් සම්මත කරගෙන ඒ වැඩේට. කවුරු හරි පක්ෂෙට ආධාරයක් කරන කොට චෙක් කරන්න ඕනෙලු ඒ මුදල භාර ගන්න පුළුවන් ද බැරි ද කියල. හැම පක්ෂෙම භාණ්ඩාගාරික මැතිවරණ කොමිසමේ ලියා පදිංචි වෙන්න ඕනෙ. එයා තමයි කොමිසමට වග කියන්න ඕනෙ පක්ෂෙට ලැබෙන ආධාර මුදල් ගැන. පවුම් පන්සීයට වැඩියෙන් ලැබෙන සල්ලි, දේපොළ හරි වෙනත් ආකාරයේ ආධාරයක් වුනත් කොමිසමට දැනුම් දෙන්න ඕනෙලු. මොංගල්. 

පක්ෂයට ආධාර ගන්න පුළුවන් වෙන්නේ පණතේ අවසර දීල තියෙන අයගෙන් විතරයි. පුද්ගලයෙක් ගෙන් ආධාර ලබනවා නම් ඔහු බ්‍රිතාන්යයේ ලියා පදිංචි චන්ද දායකයෙකු වෙන්න ඕනෙලු. ලියා පදිංචි සමාගමකට, පක්ෂයකට, මිත්‍රත්ව සංගමයකට, වෘතිය සමිතියකට, එංගලන්තයේ ව්‍යාපාර කටයුතු කරන ආයතනයනට පක්ෂයකට සල්ලි දෙන්න පුළුවන්. සීමාවක්  ඇතිව. මොනවා දුන්නත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට දැනුම් දෙන්න ඕනේ. එංගලන්තෙ කිසිම නිදහසක් නෑ අපේ මැතිඳුන්ට වගේ මැතිවරණ කටයුතු කරගෙන යන්න ඕනෑම කෙනෙකුගෙන් සල්ලි අරන්. පුදුමයි නේ. එක අතකින් එංගලන්තෙ මිනිස්සු මන්ත්රීල වෙන්න හදන්නේ මොකටද කියල හිතෙනව. නිකම් රට යන වගේ දේවලට වෙන්න ඇති. 

අපිට සැනසිල්ලට තියෙන කාරණයක් තමයි අපේ මැතිඳුන් කවදාවත් කුඩු කාරයන් ගෙනුයි, හොර අරක්කු කාරයන්ගෙනුයි, මිනී මරුවන්ගෙනුයි තඹ සතයක් වත් කිසිම දේකට නොගන්න එක. සමහරු කියනවනෙ ඉල්ලන්නේ මොකට ද එගොල්ලොමනේ ඒවා කරන්නෙ කියලා. ඒවානම් මඩ සංහාර. අනික ඔබතුමා බිස්නස් කාරයන්ගෙන් වුනත් උදව් ගත්තේ නෑ නේ. ලොකු සැනසීමක්. නැත්තන් චන්දෙ දාට පහු වෙනිදා ඉඳලම උන්ටත් උදව් කරන්න කඹුරන්න වෙනවනේ. පෙන්නේ නැද්ද අපේ මැතිඳුන් සුදු සූට්  එක ගහල ආවහම හරියට ලංකාවට බුද්ධාගම ගෙනාපු කණ්ඩායමේ කෙනෙක් වගේ නේ. සූට් එක සුදු. වාක්යය බෝසත්. 

අනේ මැතිඳුනි, ඔබතුමාට මේ වැඳලා කියන්නෙ. අපේ ගමේ ඉන්න නොසන්ඩාල විපක්ෂිකයෝ කියනවා, ඔබතුමා මැතිවරණයට මේ තරම් වියදම් කළේ ජනතාවගෙන් හොරකම් කරපු , එහෙම නැත්නම් කුඩු කාරයන්ගෙනුයි, කසිප්පු කාරයන්ගෙනුයි, ඔබතුමාගේ උදව් බලාගෙන ඉන්න බිස්නස් කාරයන්ගෙනුයි හම්ඹ වෙච්ච සල්ලි කියලා. එහෙම නෑ කියලා අපි වගේ ගැත්තන් කිවුවට උන් ගණන් ගන්නෙ නෑ. අනේ ඒ නිසා රත්තරනෙ ඔබතුමාගෙ ශ්රී නාමය කෙලසන එවුන්ට දෙන්න හොඳවයින් උත්තරයක්. කියන්න ඔබතුමාට සල්ලි ආපු හැටි නම් ගම් එක්කම අරුන් ගෙ දෙපිටින්ම යන්න. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි ඔබතුමාට අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න.