නිදහස සඳහා මානව අභිලාශය: කතා තුනක් - සුනන්ද දේශප්‍රිය

නිදහස සඳහා මානව අභිලාශය: කතා තුනක් - සුනන්ද දේශප්‍රිය

8 August 2020 12:57 pm

ජාතික දින උද්ඝෝෂකයින් සිරගෙට

ඔව්හු සිය රටෙහි ජාතික දිනය දා කතා කිරීමේ නිදහස ඉල්ලා සාමකාමී උද්ඝෝෂනයක් සංවිධානය කළහ. ඔවුන් සිය කණ්ඩායම හඳුන්වා ගත්තේ “ව්‍යවස්ථා කණ්ඩායම” ලෙසය. නමුත් උද්ඝෝෂනය පැවැත්වීමට ඉඩ ලැබුණේ නැත. එය ආරම්භවීමත් සමඟ පොලීසිය ඔවුන් අට දෙනෙකු අත් අඩංගුවට ගත්තේය.

එරට ව්‍යවස්ථාවෙහි 25 වන වගන්තිය විසින් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස සහතික කර තිබේ. 2017 ජුනි මාසයේදී පිහිටුවා ගන්නා ලද මෙම “ව්‍යවස්ථා කන්ඩායම” සංවිධානය වූයේ එම අයිතිය ඉල්ලා සාමකාමී උද්ඝෝෂනයක් පැවැත්වීමටය. අත් අඩංගුවට ගත් අට දෙනාටම “ජාතික ආරක්ෂාව” අනතුරේ දැමීයැයි නඩු පවරන ලදී. නඩු විභාගය මහජනයාට විවෘත කරන ලද නමුත් ඊට සහභාගිවීමට නැරඹීමට ඔවුන්ගේ ඥතීන්ට අවසර නොලැබුණි.

සාමකාමී උද්ඝෝෂනයක් මගින් “ජාතික ආරක්ෂාව” අනතුරේ හෙලීයැයි ඔවුන් අට දෙනාටම වසර දෙහමාරේ සිට වසර අට දක්වා බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කරන ලදී. ඔවුන් කරදර ඇතිකිරීමට කු‍මන්ත්‍රණය කළ බවටත් රාජ්‍ය ආයතනවලට බාධා කළ බවටත් අධිකරණය තීන්දු කළේය. සිර දඬුවම් නියම වූ ඩොන් තී හොන්ග් තෙවස් වියැති දියණියකගේ මවකි. ඒ අතර මුල් පෙළේ විසංවාදීයකු වන හියන් ති කිම් අට වසරකට සිරගත කෙරුණි.ඔවුන් එකී උද්ඝෝෂණය සංවිධානය කරන අවස්ථාව වන විට එම සංවිධානයේ තවත් පිරිසක් දීර්ඝකාලීන සිර දඬුවම් විඳිමින් සිටියහ.

එරට නම් වියට්නාමයයි. එහි ජාතික දිනය සැප්තැම්බර් 02 දාය. වියට්නාමයේ සිරගත කර සිටින හෘද සාක්ෂියේ සිරකරුවන් සහ සිරකාරියන් ප්‍රමාණය 238 දෙනෙකි. 

නමුත් විසංවාදීහු තවමත් නිදහස සඳහා ලියති. කියති.

නාඩියා ටොලිකොනිකෝවා - අරගලය අත නොහැරි ගැහැනියක්

ඇය පසුවන්නේ තිස්වැනි වියෙහි මුල් භාගයේය. එනමුත් ඇය සිය විසංවාදී ක්‍රියාකාරිත්වය වෙනුවෙන් නොවිඳි ගැහැටක් නැති තරම්ය. විසංවාදී කලා හවුලකට බැ‍ඳෙන විට ඇයට වසය 16 කි. පසුව ඇය පුසි රයිට්ස් (එය පූසියන්ගේ කැරැල්ල හෝ යෝනි කැරැල්ල ලෙස අර්ථ දැක්විය හැකිය) නම් විසංවාදී පන්ක් රංගන එකතුවට එක්විය.

රුසියානු ඕතොඩොක්ස් කතෝලික දේවස්ථානයක අනවසරයෙන් පැවැත්වූ “දෙවි මෑණියනි, පුටින් පළවා හරින්න” නම් පොප් ගී ගායනය මගින් ඔවුහු චිරප්‍රසිද්ධියට පත් වූහ. නාඩියා දෙවසරකට සිරගත කරන ලද්දේ ඒ නිමිති කොට “කඩකප්පල්කාරී” චෝදනාව යටතේය. ඒ වනවිටත් ඇයට දියණියක සිටියාය. සයිබීරියාවෙහි සිට මොස්කව් කරා ඇය පැමිණියේ විශ්ව විද්‍යාලයේ දර්ශනය හැදෑරීම පිණිසය. කලාකරුවකු සහ ක්‍රියාධරයකු වූ සිය පියාගෙන් තමා අභාශය ලැබූ බව ඇය කියයි.

2012 අගොස්තුවේදී සිරගත කළ ඇයට අනේක වධ හිංසාවන්ට මුහුණ දීමට සිදුවිය. ඇය රඳවා තිබුණේ දුෂ්කර තත්වයන් ඇති සිර ගෙදරකය. මෑතදී ඇය බීබීසී හාඩ් ටෝක් වැඩසටහනකට එක්විය. වැඩසටනෙහි ප්‍රශ්නකරු ස්ටීවන් සැකර් “ඔබ රුසියාව ගැන කතා කරන්නේ රටින් පිට සිටනේද ?” යැයි ඔලොක්කුවට ඇසුවේය. “මගේ භූගෝලීය ස්ථානය හෙළිදරව් කරන්න මා සූදානම් නැහැ” යැයි ඇය ගත් කටටම පිළිතුරු දුන්නේය. ඇය වරින්වර පුසි රයිට්ස් කන්ඩායම සමඟ රුසියාවෙහි විරෝධතා කලා ක්‍රියාකාරකම්වලට සහභාගි වුවද ජීවිතාරක්ෂාව සඳහා යටිබිම් ගතව ජීවත් වෙයි.

“ඔබ සිරගෙදර බොහෝ දුක්වින්දා. නමුත් රුසියානු ජනතාවගෙන් සියයට 60 ක් තවමත් පුටින්ට පක්ෂපාතයි. ඉතින් ඔබ හිතනවාද සිරගත වී වන්දියක් ගෙවන්නට තරම් ඔබේ කලා විරෝධතාවය වටින දෙයක් කියලා ? ඔබට පසුතැවීමක් නැද්ද ? දේවස්ථානයෙහි ඔබ මුහුණ ආවරණ පැළඳ කළ ගායනය ප්‍රයෝජනයක් වුණාද ? ජනයා ඊට විරුද්ධ වුණා නේද ?” යැයි ස්ටීවන් යළි ඇසුවේය.

නාඩියා ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “පුටින්ගේ ජනප්‍රියත්වය ගැන මට කියන්න තියෙන්නේ නාසි ජර්මනිය දෙස ආපහු බලන්න කියල විතරයි. මට පසුතැවීමක් නැහැ. මා හිතන්නේ කලා විරෝධතාවයන් විසින් කරන්නේ ජනයා අවධි කිරීමක් කියලයි. ජනයා ඒකට කැමැති කරවා ගන්න නොවෙයි අපට ඕන. අප කලා විරෝධතා ක්‍රියා පටන්ගත්ත 2008 විතර කව්රුත් විරෝධතාවයන්ට කැමැත්තක් තිබුණෙ නැහැ. දැන් 2020 බලන්න. විරෝධතාකාරියක හෝ විරෝධතාකරුවකු නොවන යෞවනයකු නිකමෙක් වගෙයි සැළකෙන්නේ.”

මෑතක පැවැති ඡන්ද විමසීමකින් පුටින් සිය ජනාධිපති ධුරකාලය 2036 දක්වා පවත්වා ගෙන යා හැකි ලෙස ව්‍යවස්ථාව වෙනස් කර ගත්තේය. ස්ටීවන් ඒ ගැන ප්‍රශ්න කළවිට නාඩියා මෙසේ කීවාය. “ඇත්ත මේක හද කකියවන වර්ධනයක්. ඡන්දයට කලින්ම ව්‍යවස්ථා වෙනස පොතක් විදිහට ගහලා විකුණන්න තිබ්බා. පුටින්ට දිගටම බලයේ නොහිට බැහැ. ඒ ඔහු දැනටමත් අපරාධකරුවකු නිසා.”

සිරගතව සිටියදී සිය කණ්ඩයෙමට දවසකට පැය 16 ක් වැඩ කිරීමට තිබූ බවත් නිවාඩු තිබුණේ මසකට එකම එක දවසක් බවත් අය කියයි. එනිසාම 2013 වසරෙහි සිරගෙදරින් නිදහස් වී පැමිණි ඇය සිරකරුවන්ට නීති ආධාර දීමට සංවිධානයක්ද විකල්ප මාධ්‍ය ආයතනයක්ද ආරම්භ කළාය.

“ගැහැණුන්ට හැමෝම කියන්නේ සම්ප්‍රදාය අනුගමනය කරන්න කියලා. ඒ නිසා තමයි අපි කෙල්ලන්ගේ එකතුවක් හදා ගත්තේ මේ ප්‍රශ්්‍න ඉස්මත්තට ගේන්න” යැයි කියන නාඩියා ටොලිකොනිකෝවා “මං හිතන්නේ හැම කෙනෙක්ම කාලාකාරියක් හෝ කලාකරුවෙක් කියලයි. අන්න ඒ නිසා තමයි පණිවිඩයක් දෙන්න නම් කාගේ වුණත් ඇස්‍ දෙක දිහා හරියටම බලන්න ඕන. අප විරොධතා කලාවෙන් කරන්නේ ඒ වගේ දෙයක්” යැයි කියයි.

ව්ලැඩිමිර් පුටින් 2036 දක්වා බලයේ සිටීමට සියල්ල සූදානම් කරගෙන තිබේ. ඔහුගේ ඔත්තු සේවා සහ මර්දන යන්ත්‍රය අති බලසම්න්නය. එහෙත් මේ ගැහැණිය අරගලය අත් හැරීමට සූදානමක් නැත.

“විරෝධතා කලාව වැදගත්. නමුත් වෙනසක් වෙන්න නම් මහජන ව්‍යාපාරයක් ඇතිවෙන්න ඕන. අප වැනි පිරිස් කරන්නේ ඒ සඳහා ජනයා කීද්දීමක්. කවදද කියන්න බැහැ. ඒත් නිදහස කියන වචනය ජනයා කැඳවන මන්ත්‍රයක් වන දවසක් ඒවි” ඒ ඇගේ ප්‍රාර්ථනයයි.

එසේම වේවා !

ට්සිටිසි ඩෙන්ගෙරෙන්බා - ත්‍යාගලාභි නවකතාකාරිය අත්අඩංගුවට

ට්සිටිසි ඩෙන්ගෙරෙන්බා ලෝ පසිඳු ත්‍යාගලාභී නවකතාකාරියක්. මෙම වසරේ බූකර් ත්‍යාගය සඳහාත් ඇයගේ නමත් යෝජනා වී තිබුණා. ඇයට වයස 61 ක්. ඇය කලින් ගුරුවරියක්. පසුව සිම්බාබ්වේ සරසවියේ දර්ශනය පිලිබඳ කථිකාචාර්යවරියක් ලෙස සේවය කලා. සුදුවර්ගවාදී පාලනයක් යටතේ රොඩේශියාව යැයි එරට නම් කර තිබූ අවදියේ ප්‍රථම වරට උපාධියක් ලබා ගත් කලුජාතික ගැහැණිය ඇගේ අම්මා.

ඇය කලාවට බර වී නාට්‍ය කරන්න පටන් ගත්තා. ''ඒ කාලයේ නාට්‍ය ලිව්වේ සුදු ජාතික පිරිමි විතරයි. කලු ජාතික ගැහැණුන්ට වේදිකාවේ කිසිම තැනක් තිබුණෙ නැහැ. අන්න ඒ තත්වය වෙනස් කරන්න තමයි මම නාට්‍යකරණයට ආවේ” යැයි ඇය කියා තිබුණි.

පසුගිය ජූලි 31 වෙනිදා ඒ කියන්නේ ගිය සතියේ දූෂණ විරෝධී උද්ඝෝෂනයක් සිම්බාබ්වේ අගනුවර වන හරාරේහි සංවිධානය කර තිබුණා. සටන් පාඨ පුවරු රැගෙන මිතුරියක් සමග ඩෙන්ගෙරෙන්බාත් එම උද්ඝෝෂනයට ගියා. හදිසියේම කඩාවැදුණු වාහනයකට ඇයත් ඇගේ මිතුරියත් ඇද දමාගෙන ගිය පොලීසිය ඇය සිරගත කළා.

ඇයගේ නවකතා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. නමුත් දූෂිත මර්දනකාරී පාලකයින්ට ඇය කවරකුද යන්න ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන්ට ඕනෑ විරෝධතා බලහත්කාරයෙන් නතර කිරීම පමණයි. ඇය තවමත් සිර ගෙදර. ආන්ඩුව කියන්නේ විරෝධතාවය තහනම් කරේ නව කොරොනා වසංගතය නිසා බවයි.

අහපු කතාවක් වගේ නේද ? මර්දනය එනකොට කව්ද කියලා බලලා නොවෙයි එන්නේ.