කුඩු බළලා සමග විශේෂ පිළිසඳර - පකට පුඟුලා හාඩ් ටෝක්

කුඩු බළලා සමග විශේෂ පිළිසඳර - පකට පුඟුලා හාඩ් ටෝක්

4 August 2020 10:41 pm

“මාව ජාතික ලැයිස්තුවෙන් දානව කිව්වනේ පාර්ලිමේන්තුවට ඒකයි මම පැන්නේ!” පකට පුඟුලා සමග හාඩ් ටෝක් පිලිසඳරකට මුලපුරමින් ඔහු හිස නමා ආචාර කරයි. 

මඳක් තරබාරු, තද දුඹුරු වයිරන් කිහිපයකින් සිරුර පුරා විහිදුණු ලා පැහැති ලෝම කබාය සරසා සිටි හෙතෙම, සැටි පුටුවට බරදී පුළුන් වලිගය අඹරවයි. ගෙල වටා පැළඳි කුරහන් පටියේ ජප කරන ලද ඇට කිහිපයක් එල්ලෙමින් තිබිණ. 

“රිස්ක් එකක් අරගෙන හරි හම්බවෙන්න තීරණය කළේ මේ මොහොතේ වැදගත් යමක් කිව යුතු නිසා. මොකද, ළඟදි පත්තරේක තිබුණ අපේ කෙනෙකුටත් කොරෝනා තිබිල හොයාගත්ත කියල. ෂුවර් එකට සීයක් වත් හම්බෙලා ඇති එකෙක් කියල පත්තරේට ප්‍රකාශ කරන්න.”

“මල්ලෙන් එලියට පැනල ගිහිං ආයෙත් ආවෙ?”

“වැඩ කීපයක් තිබුණ හදිසියේ කරගන්න. ඔක්කොටොම ඉස්සෙල්ල අල්ලපු වත්තේ ගාමන්ට් ප්‍රෙස් එකේ ගහල තිබුණ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝදනය බලාගන්නයි විශේෂයෙන්ම ගියේ. ......... අනික මං වගේ පුසෝ කොච්චර ඉන්නවද? දැන් අහුවෙලා ඉන්නේ මමමද කියලා කවුද දන්නේ? අත් අඩංගුවට ගත්තට ඇඟිලි සලකුණු ගත්තේ නෑනේ. (දකුණු අත යට තිබූ අයි ෆෝනය වමට බරකරමින් මදක් ඇල වී අත්ල පෙන්නමින්), මුකුත් නෑ ... ඔක්කොම පිච්චිලා.

පුඟුලා නළල රැළි කර උපැස් යුවල ඔසවා බළල් අත පිරික්සයි. 

“එක එක්කෙනාට කොස් ඇට බාවන්න ගින්නට අතදාල......  අනෙක මරණීය දණ්ඩනයට නියමිත වුණත් චන්දෙ ඉල්ලන්න මැකෝ ඉඩ දීල තියෙනවනේ. හිරේ ගියත් ඉන්නේ කුඩුවේ නෙමෙයි රෝහලේ. පොහොට්ටුවේ පුසෙක් නිසා මම හිරේ ගියාම අගමැතිතුමාගේ මනාප වැඩි වෙනවා...... හිරේ නොගිය, බළල් පැටව් අපචාරයට ලක් නොකරපු, කොමිස් නොගහපු, කොයි සිව්පාවෙකුටවත් ඊළඟ සැරේ නොමිනේසන් නෑ. මේක වියත් මඟේ තීරණයක්.”

“දේශපාලනයට එන්නද බලාපොරොත්තුව?”

“මුන් දන්නැද්ද මම රට වෙනුවෙන් සටන් කරපු හමුදා පූසෙක් බව?”

“රණ විරු බිළාලයෙක්?”

“සුනාමි ආපු වෙලාවේ ‘හෙල්පින් යටියන්තොට’ කියල මීයෝ දහස් ගානක් එකතු කරෙත්, යුධ බිමේ විපතට පත් බළල්ලුන්ට දී කිරි දෙන්න ‘අපි වෙනුවෙන් තොපි’ සංවිධානය ......”

“ෂා!!”

“ඕනනං අහල බැලුවොත් අපි එකතු කරපු දී කිරි ගැන, ඕන බළලෙක් සාක්කි දෙයි!”  

“ඒ කියන්නේ මාලිමාවේ ජවිපාවුන් පොහොට්ටුවේ සිවුපාවුන්? හෙරොයින්, සිම් කාර්ඩ් වලට අමතරව මෙමොරි කාඩ් එකක් තිබුණේ?”

“ඒ අර ඉරාජ් ගෙ වීඩියෝ එක නෙ. අපිට වගේම තමයි ඉරාජ්ට වුණත් ගල උඩ පැහැරුනොත්, ගල ඇතුගල වුණත් අසුචි, අසූචි මයි. නිතර බලු වැඩ කරනව වගේ ලේසියෙන් හැමදාම බළල් වැඩ කරන්න බෑ. වහන එකත් අමාරුනේ. ගඳ නොඑන්න වහනවා නං, වැල්ලවත්තේ වැඩේ කරලා වැලි වහන්න ගල්කිස්සට යන්න වෙනවනේ. ... 

.....  අනෙක අපේ ජනනායක ටිවුසන් සර් කිව්වා වගේ පිරිසිඳු සිංහල ජාන තියෙන්න එපාය. මටත් පොඩි ගැටළුවක් තියෙන්නේ, ඉරානෙට කවුරු හරි බෝම්බ ගැහුවම පොඩ්ඩක් ඇඟේ මයිල් කෙලින් වෙනව. ... අපේ මුත්තාච්චි පර්සියන් පූසෙක් එක්ක මීයෝ අල්ලලා තියෙනවා. මගේ  ලේ වල පර්සියන් ජාන! .... ඒ හින්දා නේ කොයි බුවාගේ රජ සබාව කැඩුවත් මගේ සරීරෙ කිසි දෙයක් කෙලින් වෙන්නේ නැත්තේ. ඉතිං අපි රෑ වුන තැන ලගින පුසොනේ !!!! හිට්ලර්ගේ පූස ට වගේ සුපිරිසිඳු උතුම් ජාතියේ සුපිරි ජාන අපට කොයින්ද?” 

“උකුස්ස එක්ක කුඩු බිස්නස් කරේ ......!!?”

“රටේ ඉන්න හොඳම රහස් පරීක්ෂකයා හිරේ දාල උකුස්සයි මායි කුඩු බිස්නස් කරණව කියල ෂේප් වෙන්නයි යන්නේ. ඉලෙක්ෂන් එකෙන් පස්සේ සමාව දීල ගෙදර එනකන් මේ සුමාන දෙකට මල්ලිත් එක්ක පොඩි ආතල් එකක් ගන්න කියල රෙවෙනවෝ සිල්වා මීයන්ට දුන්න කුඩු.”

“......කොහොමද මුලින්ම බන්ධනාගාරයට ගියේ?”

“මීයො කරන පාවා දීම් වල ප්‍රතිපල තමයි. මගේ ඇඟේ ගැට ගැහුවට ඒ කුඩු මල්ල ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ. මම ඒ ගැන මුකුත් දන්නෑ. මේවා පිස්සු වැඩ. මීගමු හිරගෙදර කට්ටිය කවදාවත් පූසන්ට හිරිහැර කළාද? කලින් සැරේ මාව අල්ලන්න ආපු වෙලේ අගමැති තුමා හෙලිකොප්ටෙර් එකෙන් ඇවිල්ල මාව බදා ගත්තේ. ....... තමුසෙලා වගේ මාධ්‍ය කාරයෝ හිතන විදියේ පිස්සු පූසෝ ගානට අපිව දාන්න එපා. මම වියත් මගේ සාමාජික බළලෙක් ....... අයිසේ! ෆ්‍රිජ්, මයික්‍රෝවේව්, චීස්, බටර්, හැම්, බේකන් ඔක්කොම ගේන්න පුළුවන් එකේ බළලුන්ගේ පිටේ කුඩු ග්‍රෑම් තුන හතරක් බන්ධනාගාරයට ගෙන්න ගන්න තරම් පිස්සු පූසෝ ඉන්නේ කොහේද ඕයි?  ”

“කවුද අත් අඩංගුවට ගත්තේ?”

“සිවුපානෝ කට්ටියේ පට්ටම නායකයා ජොනී ..... එයාට අපි කියන්නේ ‘බේබි පව්ඩර්’ කියල ‘කුඩු ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ බේබි පුයර වගේ. එයා අපහසුතාවයට පත්වෙයි කියල මමයි භාර වුණේ.  ජනාධිපති තුමා මාව බේරාගනී.”

හාඩ් ටෝක් දාන්න ගොස් හාඩප් භාවයට පත් පුඟුලා ට සිතුනේ සක්කරයාට වත් මේ රටට පිහිට වෙන්නට හැකි වේද යන සිතුවිල්ලයි.

“අනේ සකෝ බල ලෝ!” 

සීතාවක රාජසිංහ රජතුමාගේ කාලයේ කොළඹ කොටුවේ සිටි මුන්ගේ මුතුන් මිත්තන් ට පරංගි කළ දේ ගැන සිතමින් යාන්තමින් සිත සනසාගත් පකට පුඟුලා කළුවරේම පාරට බැස්සේ, බළලුන් වැනි ප්‍රාණ නවයක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට නොමැති බව සිහියට ගනිමිනි.