රාජාණ්ඩු, විදේශාණ්ඩු හා නිදහසින් පසු ආණ්ඩුවල ක්‍රියාකාරකම්

රාජාණ්ඩු, විදේශාණ්ඩු හා නිදහසින් පසු ආණ්ඩුවල ක්‍රියාකාරකම්

4 August 2020 05:30 pm

අගෝස්තු 05 දා ශ්‍රී ලංකාවේ තවත් මහ මැතිවරණයක් පැවැත්වේ. එය නිදහසින් පසු 18 වැනි අගමැති තෝරන මහමැතිවරණයකි. ඒ වන විට රටේ 8 වැනි ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් රට පාලනය කරමින් සිටි නිදහසින් පසු 8 වැනි ජනපතිට එක්වන 18 වැනි අගමැති තෙක් වසර 72ක කාලයක් තුළ ශ්‍රී ලංකාව රට තුළ හා ලෝකය තුළ ලබා ගත් ආර්ථික හා සමාජ ප්‍රගතිය පිළිබඳවත් එහි වැදගත්කම සාපේක්ෂව මැන බැලීමට ඊට පෙර පැවති රාජාණ්ඩු හා විදේශාණ්ඩු කාලයේ ආර්ථික වගතුගත් කථා කිරීමටත් අදත් අප හමු වුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ආර්ථික විශේෂඥයෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ආර්ථික විශේෂඥයෙකු,අධ්‍යක්ෂවරයෙකු හා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු ආර්ථික විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු වන ග්‍රන්ථ 65ක කතුවරයෙකු වන (එම ග්‍රන්ථ 65ට වසර 2600ක ආර්ථික වංශ කථාව ග්‍රන්ථය ද ඇතුළත්ය)ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාය. එතුමා අප ඇසූ ප්‍රශ්වලට පිළිතුරු දුන්නේ මෙසේය.

විදේශාණ්ඩු මෙරට පාලනය කරන තෙක් මෙරට පාලනය කළ රජදරුවන් දවසේ සිදු වූ ආර්ථික හා සමාජ පුනර්ජීවනයන් කෙටියෙන් දක්වන්න පුළුවන්ද?

සිංහල රාජාවලියේ ප්‍රථම රජු විජය වූ අතර වර්තමාන සිංහල ජාතියේ ආරම්භය ඒ නිසාම සිදුවීම. ඒ නිසාම අදත් සිංහල ජාතියට මුල් තැන දී කථා කරනවා පෙනෙනවා. දේවානම්පියතිස්ස රජු දවස මහින්දාගමනය සිදු වී බුදුදහම මෙරට ප්‍රමුඛ දහම බවට පත්වුණා. ඒ නිසාම අදත් බෞද්ධාගමට ප්‍රමුඛ තැන දීමට උත්සුක වෙනවා. 12 හා 13 වන සියවසේ මෙරට මුස්ලිම් ජනතාව පැමිණියා. ඒ නිසාම අද වන විටත් විටින් විට සිංහල මුස්ලිම් ගැටුම් ගැන කථා කරනවා. 1650 දී ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව ඇති වීම සමඟ ලංකාවට දමිළ ජාතිකයින් පැමිණීම බහුල වුණා. අද වන විටත් සිංහල දෙමළ නොසන්සුන්තා ගැන කථා කරනවා. අනුරාධපුර, පොළොන්නරුව,දඹදෙණිය,කුරුණෑගල,ගම්පොළ,කෝට්ටේ හා මහනුවර යන ප්‍රදේශවල ඇත වූ ආර්ථික හා සමාජ පුනර්ජීවනයන් රැසක් මෙසේ දක්වන්න පුළුවන්.

මහ වැව් ඉදිකිරිම, මහා දාගැබ් ඉදිවීම, ජල සම්පාදන ආශ්‍රිත වී ගොවිතැන, යකඩ වැඩ, මැණික් හා මුතු, කුඹල් කර්මාන්තය, කැටයම් කලාව, මූර්ති කලාව, දේශීය හා විදේශීය වෙළෙඳාම, නාවික ප්‍රවාහන කටයුතු, අධ්‍යාපන හා සෞඛ්‍ය සංවර්ධන කටයුතු, ගෘහ නිර්මාණ කටයුතු. 

1505 දී පෘතුගීසි ජාතිකයින් 1650 දක්වා ශ්‍රී ලංකාවේ වසර 153ක් පාලනය කරලා තිබෙනවා. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ සිදු වූ ආර්ථික හා සමාජ ප්‍රවණතා කොයි වගේද?

ශ්‍රී ලංකා ආර්ථිකයට "වාණිජ පදනම''එක් වීම සිදුවන්නේ මේ කාලයේදී ඒ නිසාම වෙළෙන්දාම ප්‍රවර්ධනය වුණා. ජනයාගේ ජීවනෝපාය වී ගොවිතැන බවට පත්වීම හා ''භාණ්ඩ හුවමාරු ක්‍රමය''(Barter System)ප්‍රචලිත වුණා. රෝමානු කතෝලික ආගම ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වුණා. පෘතුගීසි සංස්කෘතික ලක්ෂණ උරුම වුණා. ප්‍රනාන්දු,සිල්වා,පෙරේරා, මැන්දිස් වැනි පෙළපත් නම්ද අල්මාරි,බංකු,මේස,කෝප්ප පීරිසි,වීදුරු,කමිස,කලිසම්,ලේන්සු යන වචන ආවෙත් පෘතුගීසින් නිසා, ඒ වගේම මිෂනාරී අධ්‍යාපනය ව්‍යාප්ත වුණා.

1658 - 1796 දක්වා වසර 158ක් ශ්‍රී ලංකාවේ පාලනය කරලා තිබෙනවා. එම කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ ආර්ථික හා සමාජ ප්‍රවණතා දක්වන්න පුලුවන්ද?
රෝම ලන්දේසි නීතිය රට තුළ තහවුරු වීම නිසා ශ්‍රී ලංකාවේ නීති පද්ධතියක් ඇති කිරීමට පුරෝගාමී වුණා. රෙපරමාදු ධර්මය ව්‍යාප්ත කිරීම තුළින් තවත් අළුත් ආගමක් රට තුළ ව්‍යාප්ත වුණා. මොරටුවේ වඩු කර්මානත්ය,කැළණියේ උළු කර්මාන්තය,මුද්‍රණ කර්මාන්තය හා ලංකාවේ කෝපි වගාව හා පොල් වගාව ආරම්භ කිරීමේ පුරෝගාමීන් බවට පත් වුණා. ශ්‍රී ලංකාව වාණිජ්‍යයට බර රටක් බවට පත් වුණා. නිරිත දිග ප්‍රදේශවල ගමනා ගමනයත්, නැව් ගමනාගමනයත් ඇලවල් කැපීමත් සිදු වුණා. ගාල්ල,යාපනය හා මාතර බලකොටු බිහි වුණා.

1796 සිට 1948 දක්වා ශ්‍රී ලනකව නිදහස් රටක් වනතුරු වසර 152ක් රට පාලනය කළේ බ්‍රිතන්‍ය ජාතිකයින්. ඔවුන්ගේ කාලයේ ලංකාවේ ආර්ථික හා සමාජ වශයෙන් සිදු වූ විපර්යාසයන් සැකෙවින් දැක්වුවොත්?

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමය ක්‍රමවත් කොට දිස්ත්‍රික් උසාවි,ශ්‍රේෂ්ඨාධිකරණය වැනි වැනි උසාවි ක්‍රම බිහිකිරීම,ඉංග්‍රීසි අධ්‍යාපනය රට තුළ ප්‍රචලිත කිරීමට ඉංග්‍රීසි පාසල් රට තුළ ඇති කිරීම,කොළඹ සිට මහනුවරට, මහනුවර සිට ත්‍රිකුණාමලයට පාරක් ඉදිකිරිම,රට පුරා සැතපුම් 736ක පාරවල් ඉදිකිරිම,අශ්ව කෝච්චියක් ධාවනය කිරීම තුළින් ප්‍රවාහන ක්‍රම සංවර්ධනය කිරීම,රට තුළ බැංකු ක්‍රමය දියුණු කිරීම,(1841 ලංකා බැංකුව බිහිවීම)රාජකාරී ක්‍රමය අහොසුඉ කිරීම,රට තුළ පළාත් 9ක් බිහිකිරීම,ලනකවට ඩොමිනියන් තත්ත්වය ලබා දීම වගේම 1896ප්‍රථම වරට රබර් වගාව ඇති කිරීම දක්වන්න පුළුවන්. ඒ සමඟම ශ්‍රී ලනකව තුළ තේ,රබර් හා පොල් නිපදවා එම වැවිලි බෝග අපනයනය කරන රටක් ඒ මුදල් වලින් භාණ්ඩ ආනයනය කළ රටක් බවට පත්වීම සමඟ රට තුළ සම්ප්‍රදායානුකූලව පැවති ගැමි ආර්ථිකය සමඟ ද්විත්ව ආර්ථිකයක් (Dual Economy) බිහි වුණා. ශ්‍රී ලංකාවේ වතුකරය බිහිකිරීමට ඉන්දියානු ජාතිකයින් විශාල සංඛ්‍යාවක් වතුවල වැඩට ගෙන්වා ගැනීම වගේම ආර්ථික පොදු කාර්ය පහසුකම් රැසක්,කොටස් වෙළෙඳපොළක්,විදේශ සංචිත ඉහළ යාමත් වාර්තා වෙනවා.  

අගෝස්තු 05 පැවැත්වෙන්නේ  නිදහස ලබා වසර 72ක් ගත වූ පසු පැවැත්වෙන මහ මැතිවරණයයි.1982 සිට ජනපතිවරණ 08ක් ද පැවතුණා. ගත වූ වසර 72ක කාලය තුළ බලයට පත් අගමැතිවරුන්, ජනපතිවරුන් යටතේ ශ්‍රී ලංකා ආර්ථිකයට ශ්‍රී ලංකාවේ සමාජ සන්වර්ධනයාට් සිදු වූයේ කුමක්ද යන්න විමසීම වැදගත් යයි අපි සිතනවා. මුලින්ම අපට කියන්න මේ දක්වා බලයට පත් වූ ආණ්ඩුවල කැපී පෙනෙන ආර්ථික ප්‍රතිපත්ති මොනවාද? සහ ඒවායේ ලක්ෂණ ගැන

නිදහසින් පසු වසර 72ක් ගත වී තවත් අළුත් ආණ්ඩුවක් බිහි වන මේ අවස්ථාවේ අප දකින්නේ 1948 සිට 2020 දක්වා එකිනෙකට වෙනස් වූ ආර්ථික ප්‍රතිපත්ති 9ක් බිහි වූ බවයි.

1948 - 1956 දක්වා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නායකයන් වන D.S. සේනානායක,ඩඩ්ලි සේනානායක,සර් ජෝන් කොතලාවල මහතුන් යටතේ ''විවෘත ආර්ථිකය සමඟ සුභසාධන රැඳී ආර්ථික ප්‍රතිපත්ති '' (යටත් විජිතවාදී නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක්) ක්‍රියාත්මක වීම.

මේ ප්‍රතිපත්තියේ අප දකින විශේෂ ලක්ෂණ කිහිපයක් තමයි,

විදේශ වෙළෙඳාම මත දැඩිව රඳා පැවතුණු වැවිලි ආර්ථිකය සමඟ සම්ප්‍රදායික කෘෂි අංශය ලෙස ප්‍රධාන ආර්ථික අංශ දෙකක් (එනම් ද්විත්ව ආර්ථිකයක් - Dual Economy)ක්‍රියාත්මක වීම.මුළු අපනයන වලින් 95%ක් තේ පොල් රබර් යන වැවිලි භෝග. එසේම ඒ ආශ්‍රිතව දියුණු බැංකු,රක්ෂණ,නාවික ප්‍රවාහන කටයුතු අංශ ද වුණා. 1948-56 කාලය තුළ ජනගහනය මිලියන 7.0 සිට 8.9 දක්වා මිලියන 1.9 න් වැඩි වූ අතර එම ජන පිරිසට නිදහස් සෞඛ්‍යය,නිදහස් අධ්‍යාපනය හා විවිධ සහනාධාර මාලාවක් ක්‍රියාත්මක කළා.

ගල් ඔය ව්‍යාපෘතිය සහ ගොවි ජනපද යෝජිත ක්‍රම රැසක් බිහිවීම,ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය (Currency Board System) වෙනුවට " ශ්‍රී ලංකා මහ බැංකුව 1950 දී ස්ථාපිත කිරීම සුවිශේෂ සිදුවීමක්. ලෝක බැංකුවේ බලපෑම් ප්‍රථම වතාවට ආර්ථිකය මත පතිත වීමද මේ කාලයේ සිදු වුණා. ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය බැලීමට සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ ශ්‍රී ලංකාවට ආවේද මේ කාලයේ දීමයි. එහෙත් ඔහු පැමිණෙන විට එනම් 1957 දී හර්තාලයක් පැවතුණා.

1956 - 1965 අභ්‍යන්තරාවලෝකන ආර්ථික ප්‍රතිපත්තියක් හෙවත් පාලිත ආර්ථිකයක් (Control Economy)සමඟ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයක් හෙවත් රාජ්‍ය ධනවාදයක් (State Capitalism)බිහි වීම.

එක්සත් ජාතික පක්ෂ රජය බිඳ දම මහජන එක්සත් පෙරමුණ නමින් සභාග රජයක් S.W.R.D.බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් පිහිටවූවා. එතුමා ඝාතනය වීම නිසා මාස 06ක කාලයකට විජයානන්ද දහනායක මහතා අගමැති වුණා. 1960 දී නිදහසින් පසු සිව්වන මැතිවරණය පවත්වා ඩඩ්ලි සේනානායක යළි අගමැති වුවද ඔහුගේ ධූර කාලය මාස එකහමාරක් පමණක් වුණා.මේ නිසා යළිත් 1960 පස්වන මහ මැතිවරණය පැවැත් වූ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය ලෙස පත් වුණා. 1965 දක්වා පැවති මෙම ආණ්ඩුවල විශේෂ ලක්ෂණ කිහිපයක් දක්වන්න පුළුවන්.

දේශීය කාර්මීකරණය ඉලක්ක කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් දියත් කොට ''ආනයන ආදේශන කාර්මීකරණ ප්‍රතිපත්තිය (Import Substitution Industrial Policy -ISI) ක්‍රියාත්මක කිරීම හා රාජ්‍ය අංශයේ මහා පරිමාණ කර්මාන්ත බිහි වීම.

1957 රාජ්‍ය කාර්මික සංස්ථා පනත හැඳින්වීම.

1959 -1968 දස අවුරුදු සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීමට තැත් කළත් අගමැතිතුමා ඝාතනය වීම නිසා එම සැලැස්ම ක්‍රියාත්මක වීම ඇණ හිටියා.

පෞද්ගලික අංශයේ වත්කම් ජනසතු කිරීම (උදා 1957 පෞද්ගලික බස් සේවාව ජනසතු කිරීම,1958 වරාය ජනසතු කිරීම,1962 දී ඛනිජ තෙල් බෙදා හැරීම ජනසතු කිරීම,රක්ෂණ සමාගම් ජනසතු කිරීම)

1956 මැයි 01 දා ''ලෝක කම්කරු දිනය'' රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම.

1956 ජුනි 15 ද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම ( මේ නිසාම උතුරේ ජනයා කෝපයට පත් වී ''ශ්‍රී'' අකුරු ඇති වාහන වල ශ්‍රී අකුරට තාර ගෑම හරහා 1958 දී ''ජාතිවාදී කෝලාහල වලට මුලපිරීමෙන් ජීවිත හා දේපළ බොහොමයකට හානි සිදු වන නිදහසින් පසු ප්‍රථම ගැටුමට මුල පිරුවා.

1958 මාර්තු 1දා කුඹුරු පනත ක්‍රියාත්මක කොට ගොවීන්ට සහන ලබා දීම වලවේ ගංගා නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කොට කෘෂි සංවර්ධනයට අත දීම.

සමාජවාදී රටවල් සමඟ විදේශ සබඳතා ගොඩ නැංවීම 1961 මිෂනාරී පාසල් රජයට පවරා ගැනීම.

යළිත් සීමිත ප්‍රමාණයක නිර්බාධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූ 1965 -1970 කාලයේ එක්සත් ජාතික පක්ෂය ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව.

පාලිත ආර්ථිකය යළි ලිහිල් කිරීමේ මෘදු ප්‍රයත්නයක් ගැනීමට ආනයන පාලන ලිහිල් කිරීම සහ නම්‍යශීලි සැලසුම්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දීම සහ රාජ්‍ය ව්‍යාපාර ආරම්භ කිරීම අවම කිරීම.

පෞද්ගලික අංශයට සක්‍රීය කාර්යභාරයක් පැවරීම හා නිෂ්පාදනය හා බෙදාහැරිමට මිල හා වෙළෙඳපොල යාන්ත්‍රණය යොදා ගැනීම.

1967 දී රුපියල ''අවප්‍රමාණය'' කිරීම හා ද්විත්ව විනිමය අනුපත් ක්‍රමයක් හඳුන්වා දීම.

''වවන්නෝ දිනන්නෝය'' යන තේමාව පදනම් කරගෙන 1966 - 70 කාලය තුළ ''කෘෂි සංවර්ධන යෝජනා වැඩසටහනක්'' ක්‍රියාත්මක කිරීම හා එය '' හරිත විප්ලවය'' ලෙස ගොඩ නැගීම. මේ නිසා 1961 -65 දී 14% කින් ඉහළ ගිය කෘෂි නිමැවුම 1965 -70 කාලයේදී 55%කින් වැඩි වීම.

යළිත් 1970 - 77 බලයට පත් වූ සමඟි පෙරමුණ රජයේ නායකත්වය ගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මාක්ස්වාදී පක්ෂ සමඟ එක්ව යළිත් සංවෘත ආර්ථිකයක් සමඟ ආනයන ආදේශන කාර්මීකරන ප්‍රතිපත්තිය ආරම්භ කිරීම.

මෙම කාලපරිච්ජේදය ශ්‍රී ලංකාවේ නිදහසින් පසු රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයේ උච්චතම අවධිය වීම, විදේශ විනිමය අර්බුදය උග්‍ර වීම,ග්‍රාමීය ආර්ථිකය එක තැන පල්වීම,ආර්ථික වර්ධනය අඩු වී විරැකියා අනුපාතිකය වැඩි වීම,පෞද්ගලික අංශයේ ව්‍යාපාර රජයට පවරා ගැනීම,ශුභ සාධනය පුළුල් කිරීම හා ආදායම් ව්‍යාපෘති විෂමතා අඩු කිරීම,පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාවට නැංවුවද එය අසාර්ථක වීම,මිල පාලනය ආනයන පාලනය ආදායම් සීමා පැනවීම ජනසතු කිරීම,රාජ්‍ය සංස්ථා බහුලව පිහිටුවීම.

නිදහසින් පසු ආණ්ඩුවකට එරෙහිව තරුණ නැඟිටීමක් එනම් “1971 ත්‍රස්තවාදී කැරැල්ලක්’’ JVP මගින් මෙහෙයවීම සිදු වූයේද මෙම වාමාංශික ආණ්ඩුවක් යටතේම වීම සුවිශේෂ සිදුවීමක්.

1978 – 2004 කාලය තුළ රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්.ජයවර්ධන මහතා 1977 – 82 අගමැති ලෙස 1982 – 1988 දක්වා කාලය තුළ ප්‍රථම විධායක ජනපති ලෙසත් රණසිංහ ප්‍රේමදාස මහතා 1989 – 1993 කාලයේ දෙවන ජනපති ලෙසත්, පොදු ජන එක්සත් පෙරමුණ යටතේ නායකත්වයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියත් 1994 – 2000, 2001 – 2004 කාලය තුළ අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව එකදිගටම වසර 17ක් අනුගමනය කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය (පසුව නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ලෙස හඳුන්වන ලද්දේ ද මෙයමයි). මෙහි ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා.

ආණ්ඩුවේ දැඩි පාලනයෙන් නිදහස් වූ පෞද්ගලික අංශය දිරිමත් කළ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියක් ලෝක බැංකුවේ හා මුල්‍ය අරමුදලේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වීම.

ආර්ථික වර්ධනය පෙර යුගවලට සාපේක්ෂව වැඩි වීම, ඒකපුද්ගල ආදායම ඉහළ යෑම, සේවා වියුක්ති ප්‍රතිශතය අඩු වීම, අපනයන ප්‍රවර්ධනය වීම, විදේශ විනිමය අර්බුද විසදීමට රුකුලක් වීම. 1997 දී ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් රටක් බවට පත්වීම

අපනයනයට යොමුවූ කාර්මිකරණ ප්‍රතිපත්තියක් (Export Oriented Industrial Policy – EOI) අනුගමනය කිරීම, ආනයන වෙළෙදාම හා විනිමය ගනුදෙනු ලිහිල් කිරීම. විදේශ ආයෝජන දිරිගැන්වීම (විදේශීය සෘජු ආයෝජන + විදේශීය කළඹ ආයෝජන සහ ආයෝජන ප්‍රවර්ධන කලාප පිහිටුවීම.නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය (Flexible Exchange Rate System) හඳුන්වා දීම.මිල පාලනය ඉවත් කිරීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට පූර්ණ බලතල ඇති විධායක ජනාධිපති ධුරය හඳුන්වා දීම.

1983 ජන වාර්ගික අර්බුදයක් ඇති වූ අතර එය වසර 30 ක කාලයක් තිස්සේ විසඳීමට අපොහොසත් වීම නිසා ආර්ථිකය සිතූ පරිදි ප්‍රවර්ධනය කිරීමට බාධා පැමිණීම. ඒ අතරම දෙවන වරටත් 1989 තරුණ ත්‍රස්තවාදී කැරැල්ලක් ඇති වීම නිසා රට තුළ ත්‍රස්තවාදී ගැටුම් දෙකක් එකවර ඇති වී ආර්ථික හා සමාජ ප්‍රගමනයට දැඩි බාධා ඇති වීම. නව ලිබරල්වාදී ක්‍රියාවලියේ ‘දෙවන රැල්ල’ 1989 සිට ආරම්භ වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ව්‍යුහාත්මක ගැලපුම් ණය වැඩපිළිවෙළක් (Structural Adjustment Programme) ද හඳුන්වා දීම. ඒ යටතේ රාජ්‍ය අයවැය හිඟය පාලනය කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වීම. ඒ යටතේ සහනාධාර ඉවත් කිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය, තීරු බදු අඩු කිරීම, දිළිඳුකම පිටු දැකීමට සමාජ ආරක්ෂණ ජාලයක් ලෙස ‘ජනසවිය’නමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සිදු විය. 1995 දී ජනසවිය වෙනුවට සමෘද්ධි වැඩසටහන ඉදිරි පියවරක් ලෙස හඳුන්වා දීම.

2005 - 2015 කාලය තුළ ජනපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්වූ අතර ඒ කාලය තුළ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප වී ස්වදේශික වූ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනැගීමට පියවර ගත්තා. මෙම යුගයේ කැපී පෙනෙන ලක්ෂණ මෙසේ දක්වන්න පුළුවන්.

2005 දී ‘මහින්ද චින්තන’ දස මස් වැඩසටහන හඳුන්වා දුන් අතර එමගින් දේශීය කෘෂි කර්මාන්තය සහ ග්‍රාමීය යටතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි ප්‍රමුඛතාවයක් දී තිබෙනවා. ඒ හරහා ‘ජාතික ආර්ථිකයක්’ ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණා. එමගින් ‘දිළිඳු හිතකාමී’ (Pro Poor), ‘වර්ධන හිතකාමී’ (Pro Growth) සහ ‘ප්‍රාදේශීය හිතකාමී (Pro Regional) යන අංශ වෙත වැඩි අවධානය යොමුකරා.

යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදීම. මෙම වැඩසටහන ‘රන් දොර’ ලෙස හැඳින්වුවා. ජාතික මට්ටමේ ක්‍රියාත්මක වූ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති වූයේ මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, දක්ෂිණ සහ කටුනායක අධිවේගී මාර්ග, බලශක්ති ජනනය, විශාල ජල සම්පාදන යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛ තැනක් ලබා දීම සිදු වුණා. එසේම ‘ගමනැගුම’, ‘මගනැගුම’ හා ‘ගැමිදිරිය’ යන වැඩසටහන් ග්‍රාමීය ක්ෂේත්‍රය යටිතල පහසුකම් සංවර්ධනය යටතේ ක්‍රියාත්මක වුණා. එසේම ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ලෙස ‘උතුරු වසන්තය’, ‘නැගෙනහිර නවෝදය’ වැනි වැඩසටහන් යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරුණා.

2009 මැයි මාසයේදී වසර 30ක් තිස්සේ පැවති ත්‍රස්තවාදී යුද්ධයට තිත තැබීමද මෙම යුගයේ විශේෂිත සිදුවීමක්. ඒ නිසාම 2010 - 2012 කාලය තුළ 8%කට වැඩි වර්ධනයක් පිට පිට වාර්තා කිරීමට හැකි වුණා. අපනයන ප්‍රවර්ධනය මන්දගාමී වීම, විදේශ ණය බර සාපේක්ෂව ඉහළ යෑම. (එහෙත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයන් ලෙස 2004 දී 103% ක් වූ ණය බර 2014 බලයෙන් ඉවත් වන විට 72% කට අඩු කරගෙන තිබුණා)

2015 – 2019 දක්වා පැවති ‘යහපාලන ආණ්ඩුව’ යටතේ (ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා/ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා) දැනුම් කේන්ද්‍රීය සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් වෙත යොමු වන බව පැවසීම. මෙම කාලයේ රටේ ආර්ථික හා සමාජ ප්‍රගතියේ විශේෂ ලක්ෂණ මෙසේ දක්වන්න පුළුවන්.

2017 - 2020 රාජ්‍ය ආයෝජන වැඩසටහන හඳුන්වා දෙමින් පළාත් අතර විෂමතාව අවම කිරීමට,පරිසර ආරක්ෂාවට විශේෂ අවධානයක් යොමු කිරීමට,මානව සම්පත්වල ගුණාත්මක බව ඉහළ නැංවීමට, රාජ්‍ය වියදම් ඉහළ නැංවීමට,විදේශ ආයෝජන ප්‍රවර්ධනයට,වාර්ෂික ණය සේවා බර අඩුකර ගැනීමට රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම හා රාජ්‍ය වියදම් අඩු කිරීම 2025 ආර්ථික දැක්මක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව 2025 පොහොසත් රටක් කරන බව පැවසීම.

 2019 අගදි ‘සෞභාග්‍යයේ දැක්ම’ ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් රටේ ජනපති වීම හා එය  සාක්ෂාත් කරගැනීමට හා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට 2/3 බලයක් ලබා ගැනීමට අවශ්‍ය ආණ්ඩුවක් පත්කර ගැනීමට 2020 අගෝස්තු 5 මහ මැතිවරණයක් පැවැත්වීම.

                            

                           

දැන් ඔබ ඉතාම පැහැදිලිව 1948 සිට මේ දක්වා රට තුළ ක්‍රියාත්මක වූ ආණ්ඩු ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති, සමාජ සංවර්ධන වැඩසටහන්,යටිතල පහසුකම් හා ඒ ඒ කාලවල සිදු වූ විශේෂ සිදුවීම්,ත්‍රස්තවාදී ක්‍රියා දෙස බලන විට කවර නායකයන් යටතේ පැවති කවර යුගයක ආර්ථික හා සමාජ වශයෙන් වැදගත් කියලද හිතන්නේ?

කවර නායකයෙකු කවර කාලයක් පාලනය කළත් කවර ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කළත් රටකට වැදගත් වනුයේ ඒ රටේ කුටුම්භ අංශයට,ආයතන අංශයට,රජයට හා රටේ විදේශ අංශයට යන ප්‍රධාන ආර්ථික කාරකයන් 4 දෙනාගේ සමස්ත ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට කොතෙක් දුරට දායක වුණාද යන්න විමසා බැලීම. මෙහි පළමු දර්ශකය ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ රටේ ආර්ථික වෘද්ධිය (Economic Growth) එනම් නිශ්චිත භූමී භාගයක් තුළ,ඒ රටේ ජනතාව රට තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඛණ්ඩවම ඉහළ නැංවීමට කොතෙක් දුරට දායක වූවාද යන්න මතයි. එසේම එම ඉහළ ගිය නිමවුමෙන් එක් එක් පුද්ගලයාට ලැබෙන කොටස හෙවත් ඒක පුද්ගල ආදායම (Per  Capita Income) ඉහළ නැංවීමට කොතෙක් දුරට දායක වුණාද? යන්න දෙවන දර්ශකයයි. එසේම රටේ ''මානව සංවර්ධනයට''(Human  Development) කොතෙක් දුරට දායක වුණාද යන්න තෙවැනි දර්ශකයයි.සිව්වැනි දර්ශකය රටක ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයේ අවසාන ප්‍රතිඵලය වන රාජ්‍ය අයවැය හිඟයේ තරම (Budget Deficit) හා රටේ රාජ්‍ය ණය මට්ටම සලකා බැලීමයි. පස්වන දර්ශකය රටේ බාහිර ස්ථායිතාව (Foreign Reserve)හරහා ආනයනය කළ හැකි මාස ගණන හා රටේ විදේශ විනිමය අනුපාතිකය (Exchange Rate)පරීක්ෂා කිරීමයි. අපි දැන් මේ එක් එක් දර්ශකය නිදහසින් පසු එක් එක් ආණ්ඩු යටතේ ළඟා කර ගත් ආකාරය පරික්ෂා කර බලමු. ඒ සංධා පහත දැක්වෙන වගුව ඉදිරිපත් කරනවා.  

අංක 1 ආර්ථික වර්ධනයේ සාමාන්‍ය ප්‍රතිශතය
අංක 2 ඒක පුද්ගල ආදායමේ ඉහළ යාම
අංක 3 මානව සංවර්ධනය මනින ලොව පිළිගත් මානව සංවර්ධන දර්ශකය
අංක 4 සමස්ත අයවැය හිඟය හා මුළු රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස
අංක 5 විදේශ සංචිත මට්ටම හා එහි තරම මනින ආනයන මස ගණන හා විදේශ විනිමය අනුපාතිකය  (ඩොලර් 1 රුපියල්)