රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම

රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම

4 August 2020 04:42 pm

ඒ වන විට කථානායකවරයා වූයේ චමල් රාජපක්ෂ මහතා ය. අවසානයේ 2015 මැයි 22 දා කෝප් කමිටුවක් පත් කෙරුණේ නැග එන මහජන කැළඹීමටද ප්‍රතිචාරයක් ලෙස ය. 

වැරදි කළ අය ඒවා ප්‍රශ්න කරන විට වැඩියෙන් කෝප වෙති. එය ලෝක ස්වභාවයයි. නැගී එන මහජන විරෝධය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කෝපාවිෂ්ට වී සිටියේය. ඔහුට කෝපය ඉවසාගත නොහැකි වුණේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීම සඳහා පත් කළ නීතීඥ තුන්කට්ටුවගේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වීම නිසා ය. 

ඉතින් දැන් ඔහු මහජන ව්‍යවසාය පිළිබඳ කමිටුවට තමන්ගේ සහයෝගය ලබා දේවිද?

කෙසේ නමුත්, මේ පළමු කෝප් කමිටුව හැඳින්වූයේ එහි සභාපතිත්වය දැරූ. එහි සභාපතිතිත්වය ඩී.ඊ. ඩබ්ලිව් ගුණසේකර විසින් දරනු ලැබිණි. සාමාජිකයන් වූයේ පා.ම. සුසිල් ප්‍රේමජයන්ත, පා.ම. රාජිත සේනාරත්න, පා.ම. ලසන්ත අලගියවන්න, පා.ම. සුනිල් හඳුන්නෙත්ති, පාම. අර්ජුන රණතුංග, පා.ම. හසන් අලි, පා.ම. එරාන් වික්‍රමරත්න, පා.ම. මහාචාර්ය රජීව විජේසිංහ, පා.ම. සුජීව සේනසිංහ, පා.ම. වීරකුමාර දිසානායක, පා.ම. ඊ. සරවනභවන් සහ පා.ම. රෝසි සේනානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්/වරියන් 13 දෙනෙකි. 

කෝප් කමිටු සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක්, ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරියෙකුට එරෙහි විශේෂිත වූ චෝදනාවක් විමර්ශනය කිරීම සඳහා පත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා මහබැංකුව, ලංකා බැංකුව, එහි බාහිර විගණනකරුවන් වන අර්න්ස්ට් ඇන්ඩ් යන්ග් සමාගම, මුදල් අමාත්‍යාංශය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සෙලාන් බැංකුව, මහජන බැංකුව, සේවක අර්ථසාධක අරමුදල, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, HSBC බැංකුව, සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරන නිලධාරීන් 40කට අධික සංඛ්‍යාවකගෙන් සාක්ෂි සටහන් කර ගන්නා ලදී. 

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද කෝප් කමිටුව ඉදිරියේ ප්‍රකාශයක් කළේ එහි සභාපතිවරයාගෙන් ඒ සඳහා අවස්ථාව ඉල්ලා සිටීමෙන් අනතුරුව ය. 

එහි විමර්ශනය අවසන් වීමට ආසන්න වෙමින් තිබිණි.

කිසියම් ආකාරයකින් සහ, දෛවෝපගත ලෙස එහි විමර්ශන අවසන් වී අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, එහිදී සිදුකළ සොයාගැනීම් කිහිපයක් මාධ්‍ය වෙත ‘ලීක්‘ විය. එය දෛවෝපගත සිදුවීමක් යැයි කියන්නේ, එසේ නොවුණා නම් කිසිදාක මේ පළමු කෝප් කමිටුව සොයාගත්තේ මොනවාදැයි මහජනතාවට දැනගැනීමට නොහැකි වීමටත් ඉඩ තිබූ නිසා ය. 

එයට හේතුව, පාර්ලිමේන්තුවට එහි අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න තිබියදී, පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හැරිය නිසා ය!

කෙසේ නමුත් එයින් මූලික වශයෙන් සොයාගෙන තිබුණේ මොනවාද?

මහබැංකු අධිපති මහේන්ද්‍රන් සහ බැඳුම්කර වංචාව අතර පැවති සෘජු සම්බන්ධයයි.

රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරෙයි - පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි

කෝප් කමිටු වාර්තාව කථානායකවරයාට 2015 ජූනි 26 දා ඉදිරිපත් කළ යුතු විය. අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරෙමින් සිටියේ උමතුවෙන් මෙනි. 7 වන පාර්ලිමේන්තුව වාරාවසාන වන්නටත් පෙර විසුරුවා හැර මේ අකල් මරණයෙන් බේරෙන්නට පවා ඔහු සූදානම් ව සිටියේය. ඒ සඳහා කුමන හෝ දහම් ගැටයක් දමා ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද කැමති කරවා ගත්තේය. 

2015 අගෝස්තු 17 වැනිදාට තවත් මහ මැතිවරණයක් පවත්වන්නට නියම විය.  

සත්වන පාර්ලිමේන්තුව යටතේ පිහිටවූ සියලු කමිටු ද පාර්ලිමේන්තුව විසුරුවා හරින විට අකර්මණ්‍ය සහ අවලංගු වන හෙයින් ඩී.ඊ.ඩබ්ලිව් කමිටු වාර්තාව (බැඳුම්කර වංචාව පිළිබඳ පළමු කෝප් කමිටු වාර්තාව) කිසිදාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ නැත.

එය සදාකාලිකව යටපත් කෙරුණේය.

අගමැති රනිල්, කෝප් උප කමිටුව සඳහා වැය කළ මිලියන ගණනක් මහජන මුදල් සහ, තවත් මහමැතිවරණයක් පැවැත්වීමට යන මිලියන ගණනක් මහජන මුදල් කාබාසිනියා කර දැමුවේ එසේ ය. 

 කෝප් වාර්තාව පිටවෙයි - රනිල් කෝප වෙයි !

අවසන් කෝප් වාර්තාව අවසානයේ රනිල් වික්‍රමසිංහ ගේ අකල් මරණය වළක්වාලීමට බිලි වුණත් ජනමාධ්‍යය මෙහිදී දේවදූතයෙකු සේ එයට පණ පිම්බේය. වාර්තාවේ පිටු 19 ක් පමණ මාධ්‍ය අතට පත්ව තිබුණේය.

ඒ අනුව එහි තිබුණේ මොනවාදැයි මහජනතාව සවිස්තරාත්මකව දැකගත්හ, දැනගත්හ. 

එමගින්  2015 පෙබරවාරි 27 දා මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවේදී මහබැංකු අධිපති මහේන්ද්‍රන් සහ PTL අතර ‘එකිනෙකට සම්බන්ධිත පාර්ශව ගනුදෙනුවක්‘ සිදුවූ බවට නිගමනය කර ඇති බවක් පෙනී ගියේය.

2015 පෙබරවාරි 27 දා ශ්‍රී ලංකා මහබැංකුවේ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත දේශීය ණය කළමනාකරණ කමිටුවේ (DDMC) රැස්වීමක් පවත්වා ඇති බව ද එයින් හෙළි වුණේය. තවද, වැදගත්ම කාරණය එමගින් ඔවුන් නිර්දේශ කර තිබුණේ රුපියල් බිලියනයක් පමණක් ණයට ගන්නට  මිස අර්ජුන මහේන්ද්‍රන් කියූ පරිදි බිලියන 30 ක් ණයට ගන්නට නොවේ!

මෙම වාර්තාව වැඩිදුරටත් සඳහන් කළේ අවසානයේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මහබැංකු අධිපති මහේන්ද්‍රන්ගේ නියෝගයට අවනත වූයේ, එම දෙපාර්තමේන්තුවේ සුපිරින්ටෙන්ඩන්ට් වරයා විසින් ‘‘ආණ්ඩුවේ අතිරේක මුදල් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් රු. බිලියන 10 දක්වා අරමුදල් ඉහළ නැංවීමට මහබැංකු අධිපතිවරයා උපදෙස් දුන්නේය‘‘ යනුවෙන් සටහනක් යෙදීමෙන් පසුව මිස එයට පෙර නොවන බව ය. අප මීට පෙර සඳහන් කළ, මහබැංකුවේ ටයිටේනියම් කශේරුකා හිමි නිලධාරීන් එවැනි සටහනක් යෙදීමට තරම් ප්‍රඥාවන්ත වී තිබුණේ මහේන්ද්‍රන් එන පොට හොඳ නැති බව ඔවුන්ට කලින්ම වැටහී තිබූ නිසා විය යුතුය. 

එයින් හෙළිදරව් වී තිබුණේ මහේන්ද්‍රන් වෙන්දේසිය සිදුවූ දින උදෑසන 10.45 ට (ලංසු තැබීමේ කාර්යාවලිය සිදුවෙමින් පවතින විට) වෙන්දේසිය සිදුකළ කාමරයට ගොස් ඇති බව ය. එපමණක් නොව, දෙවැනි වරට එනම් ලංසු තැබීම අවසන් වූ නියෝජ්‍ය මහබැංකු අධිපතිවරුන් දෙදෙනෙකු ද සමග දහවල් 12.30ට ද එහි ගොස් තිබේ. මෙම දෙවැනි ගමනේදී මහබැංකු අධිපතිවරයා පෞද්ගලිකවම ලංසු පත්‍රිකාව බලා තිබේ ! රුපියල් බිලියන 20කට සරිලන සියලු ලංසු පිළිගන්නා ලෙසට නිලධාරීන්ට ඉන්පසු උපදෙස් ලබා දී තිබේ !

අවසානයේ මේ දූෂිත බැඳුම්කර නිකුතුව නිසා ආණ්ඩුවට ආසන්න වශයෙන් රුපියල් මිලියන 688 ක් අහිමි වී ඇති බව ද කෝප් කමිටු වාර්තාවේ තවදුරටත් සඳහන්ව තිබුණේය. 

අගමැති රනිල් නැවත වරක් පුපුරා හැළුණේය. කෝප් කමිටුව කළ ස්වාධීන පරීක්ෂණය ඔහුව කෝප ගන්වන්නේ ඇයි? අනිවාර්යයෙන්ම මේ අපරාධය සමග ඔහුගේ අපසහායකත්වයක් තිබූ නිසා ය. ඔහුගේ කෝපය එල්ල වූයේ කෝප් කමිටුවේ සභාපතිවරයාට ය. ඔහු විසින් එය මාධ්‍යයට හොර රහසේ ලබාදී ඇතැයි රනිල් වික්‍රමසිංහ බැණ වැදුණේය. 

එය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් යැයි ද රනිල් වික්‍රමසිංහ පොළොවේ අඩි හප්පමින් කෑ ගෑවේය.  

කෝප් කමිටු සභාපතිවරයාගෙන් මාධ්‍ය හමුවක්

2015 ජූලි 3 වැනිදා, එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව කෝප් කමිටු සභාපති ඩී.ඊ.ඩබ්. ගුණසේකර මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී ඔහු හෙළිදරව් කරන්නේ කෝප් වාර්තාවේ සොයාගැනීම්වලට දැඩි සේ විරෝධය පළ කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ගැන ය. තවද ඔහු එහිදී එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම ගැන ද  ඔහු සිය අපේක්ෂා භංගත්වය පළ කරයි. ඇමිණුම් සමග වාර්තාව පිටු 447 කින් සමන්විත බවත් 40 දෙනෙකුට අධික පිරිසකගේ සාක්ෂි සටහන්වලින් යුක්ත බවත්, එසේ වුවත් පාර්ලිමේන්තුව අනපේක්ෂිත අන්දමින් විසුරුවා හැරීම නිසා එය නිල වශයෙන් නිකුත් කිරීම වැළැක්වුණු බවත් ඔහු පැවසුවේය. 

කෝප් කමිටු සභාපති ඩී.ඊ.ඩබ්ලිව් ගුණසේකර

පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මෙම වාර්තාව ඉදිරිපත් කිරීම වැළැක්වීමට බවත් සභාපති ගුණසේකර එහිදී සෘජුවම චෝදනා කළේය.  

මේ ගැන මාධ්‍ය  හමුවක් පවත්වමින් අගමැතිවරයා කීවේ කෝප් සභාපති ගුණසේකර දේශපාලන වාසි ලබාගන්නට උත්සාහ කරන බවයි. 

‘‘පුළුවන් නම් සුජීව සේනසිංහ එක්ක මේ ගැන විවාදයකට එන්න‘‘ යැයි ද එහිදී අගමැතිවරයා  ඩී.ඊ.ඩබ්. ගුණසේකර ට අභියෝග කරයි. 

මේ අනුව ඉදිරියේදී සුජීව සේනසිංහ අගමැතිවරයාගේ සෙවණ යට කළ කී දෑ සඳහා ද මේ ලිපි මාලාවේ එක් ලිපියක් වෙන් වනු ඇත.

දැන් ඉතින් බැඳුම්කර වංචාවේදී සිදුවූ දෑ නීත්‍යානුකූලව සොයන්නට නම් තවත් කමිටුවක් හෝ කොමිසමක් පත් කළ යුතු ය.දෙවැනි කෝප් කමිටුවක් මෙන්ම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ද අනතුරුව පිහිටුවන්නේ ඒ අනුව ය.  

ප්‍රකට ප්‍රහසන නළු විල්සන් ගුණරත්න එක්තරා දේශපාලන මහාචාර්යවරයෙකු අනුකරණය කරමින් ලංකාවේ මතභේදාත්මක කාරණා සම්බන්ධයෙන් වැඩකටයුතු සිද්ධ වෙන ආකාරය ගැන වේදිකාවේ නිතර කියන විහිළු කතාවක් තිබේ. ඒ කතාව මෙසේ ය. 

‘‘දැනට පවතින තත්වය යටතේ අපිට කොමිසමක් පත්කරන්න වෙනවා මේ ගැන සොයාබලන්ට... යම් විදියකින් ඒ කොමිෂම අසාර්ථක වුණොත් තවත් කොමිෂමක් පත් කරනවා ඒ ගැන සොයා බලන්ට..‘‘

සිදුවෙමින් පැවතියේ එයයි. 

(බලන්න, 4.22 සිට 4.32)

- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි

සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපි

කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම

‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස