Covid 19 බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට තල්ලු කරන අළුත්ම ආර්ථික විරුවා!

Covid 19 බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට තල්ලු කරන අළුත්ම ආර්ථික විරුවා!

12 July 2020 05:10 pm

2020 ජූලි මාසයේ ලෝක බැංකුව ලෝකයේ රටවල් වර්ග කිරීමේදී 2018 ඉහළ මැදි ආදායම් රටක්ව තිබූ ශ්‍රී ලංකාව 2019 ඒක පුද්ගල ආදායම පදනම් කරගෙන වසරක් තුළදී යළි පහළ මැදි ආදායම් කාණ්ඩයට තල්ලු කිරීම ගැන මීට පෙර ගැඹුරු විග්‍රහයක් කළ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාව අප යළි මුණ ගැසුණේ එසේ තල්ලු වූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි ඉදිරියට තල්ලු කරීමට නොහැකිද යන්න ගැන කතා බහ කිරීමටය. ඒ පිළිබඳව කතා කිරීමටද අප එතුමා තෝරාගත්තේ ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු,අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර 30කට වැඩි කාලයක් කටයුතු කළ නිසාත් ජ'පුර සරසවියේ සිසුන්ට ආර්ථික විද්‍යාව පිළිබඳ දේශනා පැවැත් වූ බාහිර කථිකාචාර්යවරයෙකු නිසාත් දැයේ දරුවන්ට ග්‍රන්ථ 65ක් දායාද කොට දරුවන්ගේ දැනුම ඉහළ නැංවීමට දායක වූ කෙනෙකු නිසත්ම නොව මේ වන විට එතුමාගේ අත්දැකීම් වලින් වැඩක් ගැනීමට කොළඹ ව්‍යාපාරික සංගමය නමින් අළුතින්ම බිහි වූ සංගමයක් ගෞරවනීය උපද්ශක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උපදෙශයෙකු ලෙස එතුමාව පත් කර ගෙන තිබෙන බව එම සංගමය 2020 ජුනි මස නිකුත් කළ "ව්‍යාපාරික පුවත්" පුවත් පතේ පළමු කලාපය හරහා අප දුටු නිසාය.

මේ කොළඹ ව්‍යාපාරික සංගමය ගැන වැඩිදුර කතා බස් කිරීමට එහි ජ්‍යෙෂ්ඨ උපදේශක වින්සන් මර්වින් ප්‍රනාන්දු  මහතා හමු වූ අප එතුමාගෙන් ඇසූ ප්‍රශ්නවලට එතුමා දුන් පිළිතුරු මෙසේ දක්වමු.  

Covid 19 නිසා ලෝක හා ශ්‍රී ලංකා ආර්ථිකය බිඳ වැටීම දළ වශයෙන් දක්වමින් ඒ තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට ඉදිරිපත් වී සිටින කොළඹ ව්‍යාපාරික සංගමයේ  (Colombo Business Association) අරමුණු,ඉලක්ක හා දැක්ම ගැන මුලින්ම හඳුන්වා දෙන්න පුළුවන්ද?

ඒ ගැන හඳුන්වා දීමට පෙර කරුණු දෙකක් සඳහන් කළ යුතු වෙනවා. එයින් එක් කරුණක් තමයි මෙම සංගමයේ ගෞරවනීය උපදේශක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස මා පත්කර ගැනීමට විශාල කාර්ය භාරයක් කළ දිනමිණ පුවත් පතේ ජයසිරි මුණසිංහ සහ සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන චමින්ද විදානගමගේ යන මහත්වරුන්ට මගේ අවංක ස්තූතිය මේ අවස්ථාවේ පිරිනමනවා. මේ සම්බන්ධයෙන් 2020 ජූනි මස 15 දා කොළඹ නව ලෝක රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවති එම සංගමයේ කමිටු රැස්වීමට සහභාගී වී එම සංගමයේ ඉදිරි වසර දෙකේ අනාගත සැලැස්ම (Future CBA Plans  for Two Years 2020-2022) පිළිබඳ අවබෝධයක් ලබාගත් අතර 2020 ජුනි මස 26 කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වී සංගමය ගැන වැඩිදුර තොරතුරු දැන ගත්තා.

Covid 19 දරුණු වසංගතය නිසා 2020 ලෝක දළ දේශීය නිෂ්පාදන වර්ධනය සෘණ (-)4.9%ක් වන බවත් ශ්‍රී ලංකාවේ වර්ධනයද සෘණ මට්ටමකට පත්වන බවත් ලෝක ඇස්තමේන්තුවල දක්වා තිබෙනවා. ඇමරිකාව යුරෝපා සංගමයේ රටවල් 27ම හා චීනය හා ඉන්දියාව වැනි ශ්‍රී ලංකාවට වෙළෙඳ ගණුදෙනු සිදුකරන හැම රටක්ම 2020 පළමු කාර්තුවේම වර්ධන වේගය -1% සිට -6% අතර මට්ටමේ තිබෙන අතර වාර්ෂික වර්ධනයද සෘණ වනු ඇතියි.  එහෙත් ශ්‍රී ලංකාවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ වන විටත් ශ්‍රී ලංකාවේ පළමු කාර්තුවේ වර්ධන වේගය පවා ප්‍රකාශයට පත් කොට නැහැ. එය -2%ත් -3% අතර මට්ටමකට පත්වේය යන්න අපගේ නිගමනයයි. වසර 21ට පසු 2018 පහළ මැදි අදායම් කාණ්ඩයෙන් ඉහළ මැදි ආදායම් කාණ්ඩයට පත් වූ ශ්‍රී ලංකා ආර්ථිකය යහපාලන රජයේ අවසන් වසර එනම් 2019 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල අදායම ඩොලර් 227කින් පහළ ගිය නිසා යළි පහළ මැදි ආදායම් රටක් බවට ලෝක බැංකුව පත් කළා. වැටුණු රට ගොඩ ගැනීමට "සෞභාග්‍යයේ දැක්ම" ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් ජනපති ධූරයට පත් වුණා. 

නමුත් Covid 19 දරුණු වසංගතය නිසා ආර්ථිකය ගොඩ ගැනීම කෙසේ වෙතත් පැවති තත්ත්වයෙන් පහළට යෑමක් සිදුවුණා. කෙසේ වුවත් මුළු ලෝකයම Covid 19 නිසා මතු වූ සෞඛ්‍ය වසංගතයෙන් ලක්ෂ ගණන් ජනතාව මිය යන විට ශ්‍රී ලනකවේ මරණ සාපේක්ෂව 11කට සීමා කර රට ගොඩ ගැනීමේ ගෞරවය ජනපති ,අගමැතින ඇතුළුව ඊට දායක වූ අංශවලට හිමිකර ගැනීමට හැකි වුවත් ආර්ථික වශයෙන් රට ගොඩ ගැනීම දුෂ්කර වී තිබෙනවා. ළඟ එන මැතිවරණයෙන් 2/3ක බලයක් ලබා ගත්තත් පවතින දුර්වල ලෝක ආර්ථික වාතාවරණය හමුවේ ආර්ථික වශයෙන් රට ගොඩ ගැනීමේ දරුණු අභියෝගයට මුහුණ දීමට ජනපතිට හා අලුතින් පත්වන රජයට සිදුවෙනවා. එවැනි අවාසනාවන්ත පසුබිමක පසුවන ශ්‍රී ලංකා  ආර්ථිකය ගොඩගැනීමට අළුතින්ම බිහිවන ''ආර්ථික විරුවා'' ලෙස ''කොළඹ ව්‍යාපාරික සංගමය'' (CBA) හඳුන්වා දෙන්නේ ඉතාම ආඩම්බරයකින්. කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවී බලයට පත්වන  ඕනෑම පක්ෂයක,ඕනෑම නායකයෙකුගේ ආශීර්වාදය ලබා ගෙන කටයුතු කරන මෙම කොළඹ ව්‍යාපාරික සංගමය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරය පදනම් කරගෙන පිහිටුවා තිබෙන ලාභ නොලබන ප්‍රමුඛ ව්‍යාපාරික සංගමයක්. මේ වන විට එම සංගමයට අනුබද්ධ සංගම් 41ක් නියෝජනය කරන සාමාජිකයින් 265,000ක් සිටිනවා. එම සංගම් අතරට කර්මාන්ත,නිෂ්පාදන,සේවා අංශවලට සම්බන්ධ විවිධ ව්‍යාපරික සංගම ඇතුළත්. ඊට අමතරව අන්තර්ජාතික සාමාජිකයන්ගෙන්ද මෙම සංගමය සමන්විතයි. මෙම සංගමයේ මූලික අරමුණ (Objective) ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය දියුණු කිරීම හා සංවර්ධනය කිරීමයි. මෙම සංගමයේ මූලික ඉලක්කය (Mission) නිරන්තරයෙන් වෙනස්වන ව්‍යාපාරික වාතාවරණ යන්ට සහ අභියෝගයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම,සූදානම් කිරීම,හා දිරිමත් කරමින් සහයෝගය දැක්වීමයි. මෙම සංගමයේ දැක්ම (Vision) වනුයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනයට පහසුකම් සැලසීම සඳහා රජය හා පෞද්ගලික අංශය අතර ව්‍යාපාරවලට සහය දැක්වීමේ ක්‍රියාවලිය විධිමත් කොට ව්‍යාපාරවලට වටිනාකමක් හා වර්ධනයක් එක්කරමින් රට ඉදිරියට ගෙන යාමයි.

ඔබ දැන් සඳහන් කළා රට විරුවන්, රණ විරුවන්, සුව විරුවන් අතරට අළුතින්ම එක්වන ආර්ථික විරුවා බවට පත්වන්නේ මේ කොළඹ ව්‍යාපාරික සංගමය කියල. වැටුණු ආර්ථිකය පණ ගැන්වීමට මෙම කොළඹ ව්‍යාපාරික සංගමය මොනවගේ යෝජනා මාලාවක් ද ඉදිරිපත් කරලා තියෙන්නේ?

සුවිශේෂී අරමුණක්,ඉලක්කයක්,දැක්මක් ඇති මෙම සංගමය 2020 ජුනි මස 15දා කොළඹ නව ලෝක රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ කමිටු රැස්වීමේදී ඉදිරි වර්ෂ දෙක (2020-2022) සඳහා වැටුණු ආර්ථිකය පණ ගැන්වීමට "නව වැදෑරුම් යෝජනා මාලාවක්'' ඉදිරිපත් කොට සම්මත කර ගත්තා. එම යෝජනා මෙසේ දැක්විය හැකියි.

1. සාම්ප්‍රදායික කෘෂිකර්මය තුළින් ව්‍යවසායකත්වය (Entreprenurship through traditional agriculture)

2019 අගවන විට ශ්‍රී ලංකාවේ වැඩකරන ලක්ෂ 82ක ජන පිරිසෙන් ලක්ෂ 21 ක් එනම් මුළු සේවා නියුක්තියෙන් 25%ක් රැකියා කරනුයේ කෘෂිකර්මාන්ත අංශයේ. එම කෘෂි ආර්ථික කටයුතුවලට කටයුතු 16ක් අයත් වෙනවා. (උදා:වී වගාව,එළවළු වගාව,පළතුරු වගාව,වන වගාව,යනාදිය)
විශාල පිරිසක් රැකියා කළත් 2019 රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කර දුන්නේ 7% ක් තරම් අඩු නිමවුමක්. එනම් එක් කෘෂි නිමවුම්කරුවෙකුගේ ඵලදාව (Productivity) 0.3කට වැඩ අඩුයි. එසේම ශ්‍රී ලංකාවේ මුළු අපනයනවල කෘෂි අපනයනයේ දායකත්වය 2019අගවන විට 21%ක්. Covid 19 සමඟ වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට රජයේ දැඩි අවධානය දේශීය කෘෂිකර්මය නැංවීම වෙත යොමු වී ඇති මේ අවස්ථාවේ කොළඹ ව්‍යාපාරික සංගමයේ පළමු ආර්ථික සැලසුම් යෝජනාව ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කෘෂිකර්මයට ව්‍යවසායක ඥානය එක්කිරීම  සහ තාක්ෂණය සම්බන්ධ කිරීමට පියවර ගැනීම අද මූලිකම අවශ්‍යතාවයක්.  ඒ හරහා අද රට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදයට,විදේශ විනිමය අනුපාතිකයේ අගය ක්ෂය වීමේ (Depreciation) ගැටළුවට පිළියමක් ලබා දෙනු ඇති බව විශ්වාස කරනවා.

2. දේශීය ව්‍යවසායකයින්ට ව්‍යාපරික විද්‍යුත් හැඳුනුම්පත් කාඩ් පතක් (Business E - Identity card) හඳුන්වා දීම.

2019 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ මුදල්මය වශයෙන් සිදුකරන ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 7624ක්. ශ්‍රී ලංකාවේ සිදු වූ ගෙවීම් හා පියවීම් ගණුදෙනුවල වටිනාකම තිබෙන රුපියල් බිලියන 133,810ක්. එනම් ශ්‍රී ලංකාවේ මුළු ගෙවිම්වලින් 95%ක් සිදුවන්නේ විද්‍යුත් ක්‍රමවලටයි. මේ බව තේරුම් ගත් අප සංගමය (CBA) ශ්‍රී ලාංකික ව්‍යාපාරික,ව්‍යවසායික ප්‍රජාව රට තුළ හෝ විදේශ රටවලදී ගනුදෙනු කිරීම පහසු කිරීමට මෙවැනි ව්‍යාපාරික  හැඳුනුම්පතක් (EIC) හා CBA ප්‍රතිලාභ කාඩ් පතක් හඳුන්වා දී තිබෙනවා. ඒ හරහා ව්‍යවසායික හා ව්‍යාපාරික අංශය, රාජ්‍ය අංශය සමඟ විදේශ අංශය සමඟ සම්බන්ධ වී ශ්‍රී ලාංකික ව්‍යාපරික පන්තියට යම් පිළිගැනීමක් ලබා දී රටේ අලෙවිකරණය ප්‍රවර්ධනය කිරීමටත් රුකුලක් වී Covid 19 නිසා වැටුණු ආර්ථිකයට නව ජීවයක් ලබා දෙනු ඇතැයිද විශ්වාසයක් තිබෙනවා.

3. සාර්ක් (SAARC) වෙළෙඳ ප්‍රදර්ශන (Trade Fair) පැවැත්වීම

2019 අගවන විට ශ්‍රී ලංකාවේ වරණීය වෙළෙඳ ගිවිසුම් යටතේ සිදුකරන අපනයනවලින් 56%ක් සිදු වූයේ GSP+ ක්‍රමය යටතේ යුරෝපය සමඟයි. 27%ක් සිදුවුණේ GSP යටතේ ඇමරිකාව සමඟ. එහෙත් Covid 19 සමඟ මෙම වෙළෙඳ ගිවිසුම් යටතේ සිදුකරන අපනයන අඩපණ මේ අවස්ථාවේ CBA සංගමය SAARC වෙළෙඳ ප්‍රදර්ශන හඳුන්වා දීම යුගයේ අවශ්‍යතාවක්. ඒ යටතේ ශ්‍රී ලාංකික නිෂ්පාදන සියල්ල අන්තර්ගත කොට දකුණු ආසියානු කලාපීය රටවල වෙළෙඳ ප්‍රදර්ශනයක් සෑම වසරකටම වරක් හෝ දෙවරක් හෝ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමේ නව යෝජනා සැලැස්මද Covid 19 නිසා බිඳ වැටුණු ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වැඩි කරගෙන විදේශ ණය අඩුකරගෙන විදේශ විනිමය ශක්තිමත් කර ගැනීමට රුකුලක් වනු ඇති.

4. Covid 19 නිසා අභියෝගයට ලක් වූ සංචාරක සංවර්ධනයට පිළියමක් (Tourism development due to Covid 19 challenge) වියපත් සංචාරක වැඩපිළිවෙල (Elderly Care Tourism)

2018 ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් මිලියන 4381ක් වූ අතර පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් එම ඉපයීම් ඩොලර් මිලියන 3607ට අඩු වුණා. Covid 19 නිසා ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් මුළුමණින්ම නැති වුණා. මෙයට පිළියම් කල්පනා කළ CBA එම අභියෝගය ජය ගැනීමට යුරෝපය ඇතුළු අනෙකුත් රටවල සිටින විශ්‍රාම සුවය විඳින වැඩිහිටි සංචාරකයින්ට අප රට තුළ දිගු කාලීන සංචාරක පහසුකම් සපයා,ඔවුන්ට අපගේ දේශීය ආයුර්වේද ක්‍රමය,දේශීය ආහාර රටාව,භාවනා ක්‍රම ලබා දී ඔවුන්ට රක්ෂණ ක්‍රමයක්ද හඳුන්වා දීමට තීරණය කිරීම තුළින් වැටුණු සංචාරක කර්මාන්තය වැටුණු වේගයට වඩා වැඩි වේගයකින් ඉහළ නැංවීමට කර තිබෙන  Elderly Care Tourism යෝජනාව අති විශිෂ්ට එකක්.

5. රටේ දේශීය නිෂ්පාදිතවල එකතු කළ අගය ඇති කිරීම (Value Addition in Country's Local Product) සහ 6.Made in Sri Lanka යන සන්නාමය (Brand) ප්‍රවර්ධනය කිරීම.

ශ්‍රී ලංකාවේ 2019 වර්ෂයේ සිදුකළ මුළු අනයනවල වටිනාකම රුපියල් බිලියන 20,000ක්. එයින් බිලියන 1400ක් සහල්,සීනි,කිරි,පරිප්පු හා රස කැවිලි යනාදියයි. බිලියන 3000ක් රෙදි පිළි. තවත් බොහොමයක් දෑ විදේශීය ආයෝජකයින් ගෙන්වාගෙන නිපදවිය හැකි දෑ. මෙසේ මෙරට නිපදවිය හැකි දෑ බොහොමයක් ආනයනය කොට අපේ අපනයන ඉපයීම් මෙන් දෙගුණයක් ආනයනවලට වැය කරයි. මේ ගැන කල්පනා කළ CBA දේශීය නිෂ්පාදන යළි පණගැන්වීමටත් එසේ නිපදවන දේ Made in Sri Lanka යන සන්නාමය යටතේ කාර්යක්ෂම ලෙස හා ඵලදායී ලෙස නිපදවීමට  නව ක්‍රමවේද ඇති කිරීමටත් ඒවා විදේශ වෙළෙඳපොළට යොමු කොට වැඩි වැඩියෙන් විදේශ විනිමය ඉපයීම් වැඩි කර ගෙන විදේශ ගෙවුම් ශේෂ තත්ත්වය ශක්තිමත් කිරීම පමණක් නොව අඩු වීගෙන යන ආර්ථික වර්ධනය ඉහළ නැංවීමටත් ක්‍රියා කිරීම CBA වල ඊළඟ යෝජනා දෙකයි.

7. සියළුම දිස්ත්‍රික්කවල දැනට සිටින හා ඉදිරියේදී සම්බන්ධ වන පිරිස්වලට රජයේ ආයතනවලින් ලබා ගත හැකි සේවා (බලපත්‍ර ලබා ගැනීම,EPF සේවා,ETF සේවා ලියාපදිංචි කිරීම්) පිළිබඳව දැනුවත් කිරීමට (Carrying out Awareness Program all around districts) දීපව්‍යාප්ත වැඩමුළු,සමම්න්ත්‍රණ හා මඟ පෙන්වීම් ලබාදීම තවත් වැදගත් යෝජනාවක්. එහෙම කියන්නේ  "තොරතුරු"ව්‍යාපාරික ලෝකයට වැදගත් සම්පත් බව පිළිගන්නා නිසා.

8. පාසල් වියේ සිටම නව දේශීය ව්‍යාපාර බිහිකිරීමට අවශ්‍ය නව ව්‍යවසායකත්ව දැනුම රටේ අනාගතයට ලබා දීමට CBA අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වීම (On behalf of the country's future CBA associating with Education Ministry)

මෙරට පාසල් දරුවන් බොහෝ විට ලබන්නේ "දැනුම"පමණයි. එය ප්‍රමාණවත් නැහැ. "ධනය"ඉපයීමට අවශ්‍ය ව්‍යවසායක ඥානය ද ඔවුන්ට ලබා දිය යුතු වෙනවා. අලුත් දේ නිපදවීමට අවශ්‍ය ශක්තිය ලබා දිය යුතුයි. Covid 19 වසංගතය සමඟ මේ නව නිපැයුම් බිහිකරන පිරිස්වලට විශේෂ තැනක් ලබාදීමටද රජය පියවර ගැනීමෙන් එය පැහැදිලි වෙනවා.

9. විදේශ ව්‍යාපාරික බැංකු ණය හඳුන්වාදීම

මෙරට ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් Covid 19 නිසා මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් වූයේද 4% අඩු පොළියට කාරක ප්‍රාග්ධන ණය ලබා ගැනීම හා දැනට ලබාගත් ව්‍යාපාරික ණය හා කල්බදු ණය ආපසු ගෙවීමට කල් ඉල්ලීම හා ඒවා ලබාදීමේදී බැංකු තරමක් අදිමදි කිරීමයි. ඒ සඳහා අදාළ කටයුතු නිසි පරිදි ඉටු නොකරන බව පවසමින් ජනාධිපතිතුමා මහ බැංකුවටද ප්‍රසිද්ධියේ බැන වැදුනා. මේ මොහොතේදීද අපට ආරංචි වන්නේ 2020 ජූනි 10 ද සිට ක්‍රියාත්මක වන පරිදි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 4.5%ට හා නිත්‍ය පහසුකම් අනුපාතිකය 5.5%ට අඩු කිරීමට මහ බැංකුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බවයි. ඒ හරහා අපට පෙනී යන්නේ CBA අවසාන යෝජනාව ද ක්‍රමයෙන් ඉටුවන ලකුණු මේ වන විටත් පහළ වෙමින් තිබෙන බවයි.

CBA හරහා හඳුන්වා දෙන යෝජනා 09 ක්‍රියාත්මක කිරීමට ජනපතිගේ හා ළඟ එන මහ මැතිවරණයෙන් බලයට පත්වන ආණ්ඩුවේ සහය ලැබුණොත් Covid 19 නිසා ප්‍රපාතයට වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩ ගත් ආර්ථික ආයතන විරුවා බවට කොළඹ ව්‍යාපාරික සංගමය නමක් දිනාගන්නා බව කියන්න ඕනේ. එසේ වුවහොත් එහි ගෞරවයත් උපදෙශයෙකු වන මටත් එම නිලධාරීන්ටත් විශාල සතුටක් ඇති වනවා මෙන්ම ආර්ථිකය බේරාගත් විරුවන් අතරට එක්වීමටද අපට අවස්ථාවක්  ලැබෙනවා.