මට හුස්ම ගන්නට බැහැ !

මට හුස්ම ගන්නට බැහැ !

9 July 2020 04:30 pm

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ‍්‍රී ලංකා නියෝජිතවරිය හා මාලදිවයින් දේශයේ කළමනාකාරවරිය වන රිට්සු නකේන් විසිනි.

කොවිඩ්-19 පාලනය සදහා පැනවූ ඇඳිරි නීතියට ගරුකරමින් මාත්, මගේ පවුලේ අයත් ශ‍්‍රී ලංකාවේ අපේ නිවසේ රැඳී සිටිද්දී මට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඒ හඬ ඇසිණි. ඉන් පසු දිනවලදී, ඔහුගේ ප‍්‍රජාවේ වේදනාව ලොව පුරා දෝංකාර දෙන අයුරු අපි දුටුවෙමු. මම ජපන් ජාතිකයෙකු වන්නෙමි. ජපානයේ සංස්කෘතිය මහජන විරෝධතා ගැන එතරම් සුබවාදීව නොසිතයි. එහෙත්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය නිමිති කරගෙන මගේ රටේ ජනයා, ටෝකියෝ, ඔසාකා සහ කියෝටෝ වීදිවල රැස්වී 'මට හුස්ම ගන්නට බැහැ' සටන් පාඨය කියමින්, සංක‍්‍රමණිකයන්ට හා සුළුතර ප්‍රජාවන්ට එරෙහි පොලිස් ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතා දක්වනු මම දුටුවෙමි. ගෝලීය වසංගතයක් හා රටවල් වසාදමන (ලොක්ඩවුන්) තත්වයක් මැද පවා කළු ජාතිකයන්ගේ ජීවිතද වැදගත් බව හඩගා කියූ බ්ලැක් ලයිව්ස් මැටර් (Black Lives Matter) ව්‍යාපාරය විසින් ලෝකය අවදි කරනු ලැබීය. දැන් ඒ හඬ ලොව පුරාම ඇසෙමින් තිබේ.

'මට හුස්ම ගන්නට බැහැ' යන වැකිය පොලිස් ප‍්‍රචණ්ඩත්වයට එරෙහි සටන් පාඨයකට සීමා නොවී, එක රැයකින් තවදුරටත් ඉදිරියට ගොස් ඇති බව පෙනී යයි. එය, අප වර්තමානයේ මුහුණ දී සිටින අර්බුද සියල්ල වෙන් කළ නොහැකි අන්දමින් එකට ගැට ගැසී තිබෙන ආකාරය සහ, අපගේ ජීවිත හා ප‍්‍රජාවන් වෙනුවෙන් අප සියලු දෙනාටම යුක්තිය අවශ්‍ය වී තිබෙන ආකාරය පිළිබඳව, එක්ව හඬ නැංවීමට කෙරෙන කැඳවීමක් බවට පත්ව ඇත.

මෙම වසංගතය තුළදී සංඛ්‍යාත්මකව වැඩිපුර මරණයට පත්වෙමින් සිටින සියලු සුළුතර ප්‍රජාවන්ට, 'මට හුස්ම ගන්නට බැහැ' යන පාඨය, ඔවුන් විසින් පරම්පරා ගණනාවක් තිස්සේ සිට අද දක්වා වෙනස්කොට සැලකීමට සහ අසමානතාවන්ට ලක්ව, නිසි සෞඛ්‍යාරක්ෂක පහසුකම් නොමැතිව වී සිටින ආකාරය හා එහි භයංකරභාවය පිළිබඳ දැනුවත් කරන ආයාචනයක් විය.

ගෘහස්ථ හිංසනයෙන් හා අපයෝජනවලින් පීඩාවට පත් වින්දිතයන්ට, 'මට හුස්ම ගන්නට බැහැ' යන පාඨය, තමන් මුහුණ දෙන හිංසනයන් කොතරම් වැඩි වුවත් ඒම හිංසකයා සමගම නිවසේ සිරවී සිටීමට සිදුවීම සහ සමාජ ක‍්‍රමයේ පවතින අනුපකාරී බව පිළිබද ප‍්‍රකාශනයකි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ජීවය වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින පෘථිවියට, 'මට හුස්ම ගන්නට බැහැ' පාඨය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිහි ගන්වන්නේ, නගරාශ‍්‍රිත වායු දූෂණය ක‍්‍රමයෙන් අපගේ හුස්ම සිර කරන ආකාරයයි. නැතිනම්, දැනටමත් නියඟයෙන් බැටකමින් සිටින බිම් ගිලගනිමින් පැතිරෙන ලැව්ගිනි නිසා ඇති වූ දුමින් වැසී ගිය නගර පිටින් ජනයා හුස්ම අයැදින ආකාරයයි.

මා මෙම සටහන තබන මොහොතේ අප ලෝක ජනගහන දිනය සමරන්නේ මගේ පරම්පරාව විසින් මින් පෙර අත් නොදුටු තත්ත්වයක් තුළයි. කොවිඩ්-19 ගෝලීය වසංගතය අනපේක්ෂිත අර්බුදයකැයි මම සිතමි. එබැවින් එය විසින් ඉල්ලා සිටිනු ලබන්නේද මින් පෙර නොගන්නා ලද ක‍්‍රියාමාර්ගයන්ය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මගේ කණ්ඩායම සහ මා, දිගු කලක් තිස්සේ නිරීක්ෂණය කර, අත්දැක සහ සාකච්ඡා කර ඇති කරුණක් වන්නේ අප මුහුණ දෙන අභියෝගයන් එකිනෙක සමග බැඳී ඇති ආකාරයයි. මානව හිමිකම් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය සඳහා වන සටන, ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍යය ළඟාකර ගැනීම සමග වේවා, අධ්‍යාපනය සමග වේවා, නව යෞවනයින් සහ ඔවුනට හිමි වන අවස්ථා සමග වේවා, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගල සමග වේවා, එපමණක් නොව, සමස්තයක් ලෙස ගත්කළ ජනගහනය හා සංවර්ධනය සම්බන්ධ ගැටළු සමග ඉතා සමීපව සම්බන්ධ වන ආකාරය අප දනිමු.

මෙම ආකාරයෙන් බලන කල, මෙම ගෝලීය වසංගතය එකක් පසුපස එකක් ලෙස සිදුවන විපර්යාස මාලාවක ආරම්භය බව පෙනේ.

ගෝලීය වසංගතය හේතුවෙන් ඇතිවන උග‍්‍ර ආර්ථික අවපාතය හේතුවෙන්, පිරිමින්ට වඩා කාන්තාවන් රැකියා විරහිතභාවයට ගොදුරු විය හැති අතර, ගෙදරදොර කටයුතුවල හා රැකබලා ගැනීමේ කාර්යයන්ගේ වැඩි බරක් කරට ගන්නට සිදුවන්නේද ඔවුන්ටය. ගතානුගතික සමාජයන්හි, පෙර සිටම නිවෙස්වලටම සීමා වී සිටින ගැහැණු ළමයින්ට, මෙම වසංගත තත්ත්වය හේතුවෙන්, වැඩිදුර අධ්‍යාපනයට හෝ ආර්ථික ස්වාධීනත්වය ලබාගැනීමට තිබෙන සුළු අවස්ථා ප‍්‍රමාණයත්, තවදුරටත් අහිමි වනු ඇත. කරුණු එසේ වුවත්, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ විශේෂිත අවශ්‍යතාවයන් පිළිබඳව, ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට සහ සැලසුම්කරුවන්ට ඇත්තේ ඉතා අල්ප අවබෝධයකි.

අසල්වැසි මාලදිවයින සලකා බලන කල, ඉදිරි මාස කිහිපයේදී මාලදිවයිනේ අනපේක්ෂිත ගැබ්ගැනීම්වල ඉහල යාමක් අපේක්ෂා කෙරේ. එමගින් ඇතිවන ආර්ථික පීඩනය පවුල්වලට හා පුද්ගලයන්ට දීර්ඝකාලීනව දැඩි බලපෑම් ඇති කරනු ඇත. එමගින් දැනට සිටිනා දරුවන් සාදා ගැනීමට ඇති ආදායම් තවදුරටත් හීන වී යන අතර, එම පවුල් තවදුරටත් දිළිඳුභාවය වෙත තල්ලු කෙරෙනු ඇත.

කොවිඩ්-19 වසංගතය වෙත වැඩි සමාජ අවධානයක් යොමු වී, ඒ කෙරෙහි වැඩි සම්පත් ප්‍රමාණයක් ඇදී යද්දී, ස්ත‍්‍රී ලිංගේන්ද්‍රිය ඡේදනයට එරෙහි ව්‍යාපාර මෙන්ම ළමා විවාහ අවම කිරීම සම්බන්ධයෙන් එරට සිදු වූ කාර්යයන්ගේ කැපීපෙනෙන පසුබෑමක් සිදු වී තිබේ. එවැනි හානිකර සම්ප‍්‍රදායන් හේතුවෙන් දරුවන්ට බරපතල සෞඛ්‍ය සංකුලතා ඇති විය හැකි අතර, එවැනි කාර්යයක් සිදු කිරීම සඳහා අවබෝධයෙන් යුතුව කැමැත්ත ලබා දීමට හැකියාවක් ළමුන්ට නොහැකි බැවින්, ඒවා ඔවුන් මත බලෙන් පැටවීම නොකළ යුතුය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදුකළ අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ, ස්ත‍්‍රී ලිංගේන්ද්‍රිය ඡේදනය සහ ළමා විවාහ හේතුවෙන් කාන්තාවන්ගේ ජීවිත හානිකර තත්ත්වයන්ට ලක් වන බවයි. එමෙන්ම කාන්තාවකට යම් දෙයක් සිදු වේද, එය එම කාන්තාවගේ පවුලේ අයටද බොහෝ විට සිදු වන බවද පෙන්වා දී තිබේ. කාන්තාවට සෞඛ්‍ය පහසුකම් හා ස්වාධීනත්වය සීමා කළ විට, ඇගේ දරුවෝ ද ඒ හා සමාන අභියෝගවලට මුහුණ දෙති. එසේම, ඔවුහුද ඒවා ඊළඟ පරපුර වෙත රැගෙන යති.

අපගේ දරුවන්ගේ නීරෝගීභාවය රැකගැනීම ශ‍්‍රී ලංකාවට ද අදාළ ගැටලුසහගත කාරණයකි. සැමට පහසුවෙන් ලබාගත හැකි සෞඛ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව ශ‍්‍රී ලංකාව මේ කලාපයටම ආදර්ශයකි. මාතෘ හා නවජාත බිළිඳු සෞඛ්‍යය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ඉහළම තත්ත්වයට ළඟාවෙමින් තිබේ. කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගතය සමග, මෙම වැඩසටහන්වලට හදිසියේම දැඩි දුෂ්කරතා මතු වී තිබේ. සේවා ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පවතින ප‍්‍රාදේශීය අසමානතාවනට පිළියම් යොදන අතරතුර, ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින්, වසංගතයට අත්‍යාවශ්‍ය ප‍්‍රතිචාර ලෙස සිය යටිතල පහසුකම්, පුහුණුව සහ උපකරණ සැපයන අතර, ඔවුන් විසින් නිරතුරු කරන ජීවිත බේරාගැනීමේ කාර්යය දිගටම බාධා විරහිතව කරගෙන යාමද කළ යුතුව ඇත.

මේ අතර මෙම සමාජ විවිධත්වයේ අනෙක් කෙළවරෙහි සිටින්නේ වැඩිහිටි ජනතාවයි. ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන් ම වර්ධනය වෙමින් තිබෙන වැඩිහිටි ජනගහනයක් සිටින රටක් වන අතර,. කොවිඩ්-19 ට ගොදුරු වීමේ වැඩිම අවදානම තිබෙන අය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බව අපි දන්නෙමු. මෙම ජනගහණ කාණ්ඩය අතුරින්ද, වැඩිහිටි කාන්තාවන් රෝගයට ගොදුරු වීමේ අවදානමට පිරිමි අයවළුන්මෙන් දෙගුණයකින් වැඩිය. වැටුප් නොගෙවන ශ‍්‍රමය වෙනුවෙන් පිරිමින්ට වඩා කාලය වැය කර තිබෙන ඔවුන් දිළිඳුභාවයට පත්වීමේ අවස්ථාව වැඩිය. අවශ්‍ය සම්පත් හා අවස්ථා ලබාගැනීම සඳහා ඔවුන්ට අරගල කරන්නට සිදු වී තිබේ.

අපට කිසිසේත්ම නොතකා හරින්නට බැරි තවත් බරපතල හා බියකරු අවදානමක් තිබේ. එය සැමට අදාළ වන මුත්, අප අතර සිටින වැඩියෙන්ම අවදානමට ලක්වී තිබෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ගත්කළ එහි බලපෑම ඉතා භයානකය. මාධ්‍ය හා සමාජ අවධානය යොමු වී තිබෙන්නේ කොවිඩ්-19 ට වුවද, නිතැතින් සිදු වන දේශගුණික විපර්යාස විනාශකාරී ප‍්‍රතිඵල නිර්මාණය කරමින් තිබේ. පසුගිය 2019 වසරේදී, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව විසින් වායු දූෂණය අවම කිරීම සඳහා සහ අවදානම් ජනගහනයන්ට උපකාර කිරීම සඳහා රටවල් ඒකරාශී කරන ලදී. කොවිඩ් -19 ට එරෙහි සටන, අසමානතාව පිළිබඳ ප‍්‍රශ්න විසඳීම සහ දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා වන අරගලය යන අරගලවල පොදු ලක්ෂණ කීපයක් පවතී.

පළමු පොදු ලක්ෂණය වන්නේ, දැන් ප‍්‍රශ්න ගොඩින් බේරා ගැනීමට හෝ සරල පිළිතුරක් ලබා දීමට නොහැකි ලෙස දුර ගොස් ඇති බවයි. ආර්ථික සංවර්ධනය වෙනුවෙන් පරිසරය කැප කිරීම දරාගත හැකි සීමාව අප පසු කළේ බොහෝ කලකට ඉහතදීය. අප මෙම අභියෝගයන් සමස්ථයක් ලෙස ගෙන සැලකිල්ලට ලක්කළ යුතුය. ඒ වෙනුවෙන් අවශ්‍යව ඇත්තේ වෙනස්වන තත්ත්වයන්ට වහා වහා අනුගත වීමට හැකි ව්‍යුහයකි. දෙවැනි කරුණ වන්නේ එය ගෝලීය ප‍්‍රයත්නයක් නොවුණහොත්, අසාර්ථක වීමට වැඩි ඉඩකඩක් තිබීමයි. මෙය වනාහි බහුපාර්ශ්වීයභාවය ශක්තිමත් කළ යුතු කාලයකි.

එය කිසිසේත්ම දුර්වල නොකළ යුතුය. මෙම අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අපට කිසිදා නොලැබුණු ආකාරයේ අවස්ථාවක් ලැබී තිබේ. වඩාත්ම ඉක්මණින් කළ හැකි දෙය වන්නේ, සාධාරණ, තිරසර සහ යුක්තිසහගත සංවර්ධනය සඳහා ලෝකය පෙළඹවීමයි. ඉදිරියේදීද අපට එකම වැරදි නැවත සිදු කළ නොහැකි ය. වැරදි මූලෝපායන් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකිය. එ්වාට අමතර ශක්තියක් ලබා දෙන්නා වූ ව්‍යුහාත්මක ගැටලු නොසලකා හැරිය නොහැකිය. වාසනාවට මෙන්, අපගේ ප‍්‍රමුඛතා මොනවාදැයි සොයා දැනගැනීම සඳහා අපට ආපසු මුලට යාමම අවශ්‍ය නැත.

වසර 25 කට පෙර, කයිරෝහිදී පැවැත්වුණු ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේදී ලෝක නායකයෝ ගරුත්වය හා මානව අයිතිවාසිකම්, යහපත් සෞඛ්‍යය, ජීවත් වන ස්ථානයේදී හා සංරණයේදී ආරක්ෂාව, යහපාලනය සහ වගවීම අවධාරණය කරන අනාගතවාදී ක‍්‍රියාකාරී වැඩසටහනක් පිළිගත්හ. ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින එම ඓතිහාසික වැඩසටහනට දායක වූ රටවල් 179 අතර විය. පසුගිය වසරේ පැවැත්වුණු නයිරෝබි සමුළුවේදී ඔවුන් විසින් එම මූලධර්ම වෙනුවෙන් තම ඇපකැප වීම යළි තහවුරු කරන ලදී. මේ වනාහි අප සියලු දෙනා ඒ අනුව කටයුතු කළ යුතු කාලයයි.

වසංගතය අවසන් වනතුරු මෙම සාකච්ඡා කල්දැමීමට අපට බැරිය. යුක්තිය, සමානාත්මතාව සහ තිරසරභාවය නොමැති නම්, අපට අනාගතයක්ද නොමැති බව පැහැදිලිය. කොවිඩ්-19 පැරදවීමට අවශ්‍ය නම්, සෑම අයෙකුම පද්ධතියේ කොටසක් බව තහවුරු කරන විශ්වීය සෞඛ්‍යාරක්ෂාවක් අපට අවශ්‍යය. ආරක්ෂිත හා සුසංගත සමාජ බිහි කිරීමට අවශ්‍ය නම්, අප විසින් පද්ධතිය තුළට කාවැදී ඇති ජාතිවාදය, අයුක්තිය, ප‍්‍රවේශ වීමට ඇති බාධක සහ අසමානතාවන්ට විසඳුම් ලබා දිය යුතුය. අලුත් පරම්පරාවක ජීවනෝපාය රැකගනිමින්, අපගේ ලෝකයද ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් අප විසින් හරිත ආර්ථිකයක් වෙනුවෙන් ආයෝජන කළ යුතුය. අපගේ පවුල්, ප‍්‍රජාවන් සහ රටවල් සමෘද්ධිමත්වීමට නම් අප විසින් කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුමය.

බීජිං ක‍්‍රියාකාරී වේදිකාව බිහිකිරීමේ 25 වන සමරුව මෙම වසරේ සැමරීමට යෙදී ඇත. කාන්තා අයිතිවාසිකම් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව පැත්තෙන් අප දිගු ගමනක් පැමිණ තිබෙන මුත්, සැබෑ සමානාත්මතාව අත්පත් කරගැනීම සඳහා අපට තව බොහෝ දුර යාමට තිබේ. ශ‍්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කොවිඩ්-19න් යථා තත්වයට පත් වීමේ සැලසුම් සකස් කරන කාර්ය සාධන බලකායන් තුළ කාන්තාවන් මැනැවින් නියෝජනය වීම තහවුරු කිරීමෙන් එම දෙරටට හොඳ ආරම්භයක් ලබාගත හැකිය. ඇත්තෙන්ම, යථා තත්ත්වය ඇති කිරීමේ අරමුණ ඇති ඕනෑම මූලෝපායක්, ජාතික සැලැස්මක් හෝ ප‍්‍රතිපත්තියක් සාර්ථක වන්නේ එ්වා මගින් කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අවශ්‍යතා හා හිමිකම් සැලකිල්ලට ගනු ලබන්නේ නම් පමණි. මන්ද, ජනගහනයෙන් අඩකට වඩා සමන්විත වන්නේ ඔවුන්ගෙන් වන බැවිනි.

මෙවර ලෝක ජනගහන දිනයේදී, ලොව දහස් ගණනක් ජනයා වෙතින් ඇසෙන 'මට හුස්ම ගන්නට බැහැ' යන පාඨය ලෝකය අවදි කරන අඬහැරයක් විය යුතුය. වඩා සාධාරණ, තිරසර සහ යුක්ති සහගත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප සෑම කෙනෙකුටම සම්බන්ධ විය හැකිවා මෙන්ම එ් වෙනුවෙන් යමක් කළ හැකිය. විපත් සහ වේදනාවන් හමුවේ සියල්ල අතහැර පරාජයට පත් වනු වෙනුවට, ශක්තිමත්ම නැගී සිටීමට සහ එම විපතෙන් මිදීම අප විසින් කළ යුතුය. අප අතර වූ පුහු බෙදීම් යා කරන ශක්තිමත් හා අර්ථවත් හවුල්කාරිත්වයන් හරහා අප එක් වුවහොත්, වඩා දුෂ්කර කාර්යයන් පහසුවෙන් ඉටු කළ හැකිය. අපගේත් අපගේ අනාගත පරපුරේත් හෙට දවසේ ජීවිත රඳා පවතින්නේ, අප විසින් මේ මොහොතේ ගන්නා තීරණ මතයි.