ලෝක බැංකුව ශ්‍රී ලංකා ආර්ථිකය පසුපසට තල්ලු කරයි

ලෝක බැංකුව ශ්‍රී ලංකා ආර්ථිකය පසුපසට තල්ලු කරයි

5 July 2020 08:40 pm

2020 ජූලි මාසය ආරම්භ වීමත් සමඟ අසන්නට ලැබුණු කණගාටුදායක පුවතක් වූයේ ලෝක බැංකුවේ නවතම වර්ගීකරණයට අනුව ලෝකයේ රටවල් ඒක පුද්ගල ආදායම අනුව වර්ග කිරීමේදී 2019 දී ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වූ ශ්‍රී ලංකාව නවතම වර්ගීකරණය අනුව යළිත් පහළ මැදි අදායම් රටක් ලෙස ආපසු තල්ලු කිරීමය. මෙසේ කළේ ඇයි? එසේ කිරීමේ වාසි මොනවාද? අවාසි මොනවාද?යන්න ගැන කතා බස් කිරීමට අදත් අප හමුවුණේ ආර්ථික විශේෂඥයෙකු ලෙස දිවයිනේ නමක් තබා තිබෙන මේ වන විට ලංකා නිවුස් වෙබ් පාඨකයන්ද ඉතා සමීප ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු,අධ්‍යක්ෂවරයෙකු වන ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු ආර්ථික විද්‍යා කථිකාචාර්යවරයෙකු මෙන්ම ආර්ථික විද්‍යාව හා කළමනාකරණය ආශ්‍රිත ග්‍රන්ථ 65ක් එළිදැක්වූ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාවය. 

ලෝක බැංකුවේ උක්ත තීරණය සම්බන්ධයෙන් අප යොමු කළ ප්‍රශ්නවලට වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා දුන් පිළිතුරු මෙසේ දක්වමු. 

ලෝක බැංකුව ලෝකයේ රටවල් ඒක පුද්ගල ආදායම අනුව වර්ග කරන ආකාරය සහ එහි අළුත්ම වර්ගීකරණය තෙක් ශ්‍රී ලංකාව ගමන් කළ ආකාරය ගැන මුලින්ම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? 

රටක ඒක පුද්ගල ආදායම (Per Capita Income) එනම් රටක වාර්ෂික ජාතික ආදායම,ඒ රටේ මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදා ගණනය කරන ආදායම පදනම් කරගෙන ලෝක බැංකුව 1978 සිට තම ලෝක සංවර්ධන වාර්තාව ලෝකයේ රටවල කාණ්ඩ හතරකට බෙදා දක්වනවා. 

1. පහළ ආදායම් ලබන රටවල් (LICs) 
   Low Income Countries
2. පහළ මැදි ආදායම් ලබන රටවල් (LMICs)
   Low Middle Income Countries 
3. ඉහළ මැදි ආදායම් ලබන රටවල් (UMICs)
   Upper Middle Income Countries 
4. ඉහළ ආදායම් ලබන රටවල් (HICs)
   High Income Countries 

මෙම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව 1997 වන තුරු පසු වූයේ පළමු කාණ්ඩයේ එනම් පහළ ආදායම් ලබන කාණ්ඩයේ රටක් ලෙසයි. ඒ කාලයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 905ට අඩු රටවල් LICs රටවල් ලෙස සැලකුවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට 1948 නිදහස ලැබෙන විට පැවති ඩොලර් 120ක් වූ ඒක පුද්ගල ආදායම ඩොලර් 905ක් වීමට හරියටම අවුරුදු 50ක් ගියා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව අවුරුදු 50ක්ම (මුලින් අවුරුදු කිහිපයක් හැර)ලෝකයේ දුප්පත් රටක් ලෙස තමයි ක්‍රියා කළේ. කෙසේ හෝ 1997 දී තමයි ශ්‍රී ලංකාව පහළ ආදායම් කාණ්ඩයේ (LICs)සිට පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් (LMICs) බවට පත් වුණේ. ඒ කියන්නේ 1977 අගදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරලත් වසර 20ක් ගත වුණාට පස්සේ තමයි පහළ මැදි ආදායම් රටක් (LMICs) බවට පත් වුණේ. ඒ පසු බැසීමට රට තුළ පැවති ජනවාර්ගික අර්බුද,ත්‍රස්තවාදී ගැටළු,බලපෑම් කළා.

1997 පහළ මැදි ආදායම් රටක තත්ත්වයක සිට ඉහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වයට (UMICs)පත් වූයේ 2019 ජූලි මාසයේ ලෝක බැංකුවේ වර්ගීකරණයට අනුවයි. ඒ වර්ගීකරණයට අනුව ඒක පුද්ගල අදායම ඩොලර් 1025ක් හෝ ඊට අඩුනම් ඒ රට LICs රටක්. 1026-3995 අතර ඒක පුද්ගල ආදායමක් වාර්තා කළ රටවල් LMICs රටවල්. එක පුද්ගල ආදායම 3996 -12375 ක් දක්වා වූ රටවල් UMICs රටවල් ලෙස වර්ග කළා. 12376 ට වැඩි රටවල් ඉහළ ආදායම් ලබන රටවල් (HICs) ලෙස නම් කළා. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල අදායම 2018 වර්ෂයේදී ඩොලර් 4079ක් වාර්තා කරමින් ලෝක බැංකුවේ 2019 ජූලි වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් (UMICs)බවට පත් වුණා. ඒ කියන්නේ පහළ මැදි ආදායම් රටක් බවට පත් වූ 1997 වර්ෂයේ සිට බලන විට වසර 21ක් ගියාට පසු තමයි ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් (UMICs)බවට පත් වුණේ. 

2018 ඉහළ මැදි ආදායමක් ලැබීමට හේතු වුණ කරුණු ටිකක් පැහැදිලි කළොත්?

මෙහිදී අප අමතක නොකළ යුතු දෙයක් නම් 2018 ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදයම් රටක් බවට පත් වුණේ 2004 වසරේදී සිදු වූ දරුණු සුනාමිය ව්‍යසනයත්,2009 දක්වා පැවති සිවිල් ගැටුම් තත්ත්වයත්,අතිශයින් අහිතකර කාලගුණ තත්ත්වයක් හා ස්වභාවික ආපදා රැසක් මැද බවයි. එසේම 2009 න් පසු ඉහළ ඒක පුද්ගල ආදායමක් ලබා ගැනීමට 2010 සිට 2014 දක්වා හැකි වූ නිසා ඒ තත්ත්වය ළඟා කරගත් බව පහත දැක්වෙන සංඛ්‍යා ලේඛනයෙන් පැහැදිලි වෙනවා. එහෙත් 2015 සිට 2018ට එය වැඩි වුණේ ඉතා මන්දගාමීව බවත් මෙම සංඛ්‍යා වලින් පැහැදිලි වෙනවා. 

වර්ෂය            ඒක පුද්ගල ආදායම (ඇ.ඩො)
2004               1063
2009                2054
2010                2074
2011                3125
2012                3351
2013                3609
2014                3819
2015                3842
2016                3886
2017                4077
2018                4079
2019                3852

කෙසේ  වුවද 2018 ශ්‍රී ලංකාවට ඉහළ මැදි ආදායමක් ලබා දීමේ ගෞරවය හිමි වුණේ යහපාලන රජයට වුවද ඒ තත්ත්වයට රට එසවීමට මුල සිටම කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ රජය බව සංඛ්‍යා දෙස බලන විට පෙනී යයි. කෙසේ වුවද ඉහළ මැදි ආදායම් රටක් බවට ශ්‍රී ලංකාව 2019 දී පත් වුවත් එම යහපාලනයේ නොහැකියාව නිසාම 2019 වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉතිහාසයේ ප්‍රථම වරට 227ක විශාල අගයකින් වර්ෂයක් තුළ අඩුකර ගත් නිසාම 2020 ජූලි 01දා ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවට යළි ආපස්සට යෑමට සිදු වුණා. අල්ජිරීයාවත්,සුඩානයත් ශ්‍රී ලංකාව සමඟ පහතට දැමූ අනිත් රටවල් දෙකයි. නමුත් දකුණු ආසියාතික රටක් වූ නේපාලය අඩු ආදායමේ සිට පහළ මැදි අදායම් ගොඩට ඉහළට ගිහිල්ලා.

2020 ජූලි 1 දා ලෝක බැංකුව සිදුකළ වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව ආපසු පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් බවට පත් කළ බව පෙනෙනවා. අපට කියල දෙන්න මොකක්ද මේ අලුත්ම වර්ගීකරණය. ඇයි අප ඒ වර්ගීකරණයට අනුව යළි ආපස්සට ගියේ?

2020 ජූලි 01 දා ලෝක බැංකුව ලෝකයේ රටවල් 2019 ඒක පුද්ගල ආදායම අනුව අළුතෙන් වර්ග කළේ මෙසේයි. 

මෙසේ වර්ග කිරීමේදී සැලකිල්ලට ගනු ලබන කරුණු 03ක්  වෙයි. ( මෙහි Covid 19 බලපෑම සැලකිල්ලට ගෙන නැහැ)
1. රටවල දේශීය මුදලින් පවතින දළ ජාතික අදායම
2. ඇට්ලස් ක්‍රමය අනුව එම ආදායම ඩොලර්වලට පරිවර්තනය කිරීම
3. රටක උද්ධමනය හා ජාත්‍යන්තර උද්ධමනය අතර වෙනස්කම සඳහා ගලපන ලද විනිමය අනුපාතිකයේ තුන් අවුරුදු ගතික සාමාන්‍යය

2020 ජූලි 01 වර්ගීකරණය මෙසේයි 

රටවල් කාණ්ඩය                      ඒක පුද්ගල ආදායම (2020.07.01)
1. අඩු ආදායම් (LICs)                  <1036
2. අඩු මැදි අදායම් (LMICs)            1036- 4045
3. ඉහළ මැදි අදායම් (UMICs)         4046-12535
4. ඉහළ අදායම් (HICs)                  >12535

මෙම වර්ගීකරණය අනුව ඉහළ මැදි ආදායම් තත්ත්වය රැක ගැනීමට ශ්‍රී ලංකාවේ 2019 ඒක පුද්ගල ආදායම අඩුම වශයෙන් ඩොලර් 4046ක් වත් විය යුතුයි. 

ඒ මට්ටම 2017 හා 2018 වර්ෂවල අප වාර්තා කළත් 2019 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.3%ක් තරම් අඩු මට්ටමකට පත් වීමත්,විදේශ විනිමය අනුපාතිකය 2019 අග වන විට 182 ක් වීමත් නිසා ( මේ සියල්ලටම ප්‍රධාන හේතුවක් වූයේ පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තවාදී කටයුතුය) 2019 ඒක පුද්ගල ආදායම වසර 18කට පසු පෙර වර්ෂයට සාපේක්ෂව අඩු වී ඩොලර් 3852ක් වාර්තා වීම නිසයි. 

Covid 19නිසා අපි ඊළඟ අවුරුද්දෙත් පහළ ආදායම් මට්ටමේම ඉඳිද?

2020 දීත් අපට මේ ඉරණමම අත්වන්නට ඉඩ තිබෙනවා. මන්ද 2020 ආර්ථික වර්ධනයත් සෘණ අගයක් බවට පත් වී ඒක පුද්ගල අදායම තව දුරටත් අඩු විය හැකි නිසා.

ඇත්තටම අපි ඉහළ මැදි ආදායම් ගොඩේ ඉඳලා පහළ මැදි ආදායම් ගොඩට යෑම අවාසියක් කියලද ඔබතුමා හිතන්නේ?

සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙනවාය කියල අප අහල තියෙනවනේ. මං හිතන්නේ Covid 19 ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු අර්බුදයකට ලක්වෙලා තිබෙන මේ මොහොතේ අපි පහළ මැදි අදායම් ගොඩට දාලා තියෙන එක හොඳයි. මොකද ඉහළ මැදි ආදායම් රටක් වුණාම විදේශ රටවලින් සහන ලබා ගැනීමට අමාරුයි. උදාහරණ වශයෙන් GSP+ සහනය ලබා ගැනීමට ඉහළ මැදි ආදායම් රටක් වීම ප්‍රශ්නයක්. එසේම  MCC ගිවිසුමේ අහිතකර වගන්ති ඉවත් කොට එහි හිතකර වගන්ති පමණක් ක්‍රියාත්මක කිරීමට MCC ලබා ගන්න යනවා නම් පහළ මැදි ආදායම් රටක් වෙලා ඉන්න එක හොඳයි. ඒ නිසා ඇති වී තිබෙන තත්ත්වය වෙලාවේ හැටියට හොඳයි කියල කියන්න පුළුවන්.