වාසි වුණත් අවාසි වුණත් ශ්‍රී ලංකාවට MCC ලබා ගත හැකිද?

වාසි වුණත් අවාසි වුණත් ශ්‍රී ලංකාවට MCC ලබා ගත හැකිද?

30 June 2020 05:30 pm

මේ දිනවල කවුරුත් කතා කරන මාතෘකාවක් බවට පත්ව ඇති MCC ගැන ආර්ථික විවරණයක් ලබා ගැනීමට අපි කල්පනා  කළෙමු. ඒ සඳහා රටම පිළිගත් ආර්ථික විශේෂඥයෙකු මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු හා ග්‍රන්ථ 65ක් රටට දායාද කළ විද්වතෙකු වන වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාව අපි හමු වීමු. අප ඇසු ප්‍රශ්නවලට එතුමා දුන් පිළිතුරුයි මේ,

ඇයි මේ දිනවල MCC ගැන යළිත් කතා කරන්නේ?

පසුගිය ජනාධිපතිවරණයේදී දැඩි ලෙස විවේචනයට ලක් වූ "සහශ්‍රක අභියෝගතා සමායතනය'' හෙවත් MCC (Millennium Challenge Corporation) ගැන කතා කිරීම යළිත් කරළියට පැමිණියේ ඒ පිළිබඳව විමර්ශනය කොට වාර්තාවක් ලබා දෙන්නැයි නව රජය පත් කළ කමිටුව තම වාර්තාව  2020 ජුනි 23 ද නිකුත් කිරීමත් සමඟයි.

මොකක්ද මේ MCC කියන්නේ ? ඊට සම්බන්ධ වීමට අවශ්‍ය කරුණු මොනවාද?

MCC යනු "ඌණ සංවර්ධිත රටවල දිළිඳුකම පිටුදැකීම හා ආර්ථික වෘද්ධිය ඉදිරියේ ඇති සංරෝධක (බාධක) ඉවත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍යාධාර පිරිනැමීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ 2003 සහශ්‍රක අභියෝගතා පනතින් 2004 බිහිකළ මූල්‍ය ආධාර ගෙවීමේ නව ඒජන්සියක්. මෙම ආයතනයේ ආධාරය ලබා ගැනීමට අදාළ රට කරුණු දෙකක්  සම්පූර්ණ කර තිබිය යුතුයි.

1.අදාළ රටේ ඒක පුද්ගල ආදායම පිළිබඳව සීමාවක් දම තිබෙන ආතර් එම සීමාවට අඩු මට්ටමක් වාර්තා කරන රටක් විය යුතුයි. (එනම් ඉහළ මැදි ආදායම් ලබන රටක මට්ටමට වඩා අඩු ආදායමක් ලබන රටක් විය යුතුයි)

2.MCC හි ප්‍රදාන ලැබීමේ සුදුසුකම් සපුරා තිබිය යුතු වීම. (ආර්ථික නිදහස,යුක්තිසහගත පාලනය,ජනතාව වෙනුවෙන් ආයෝජනය කිරීම එයින් ප්‍රධාන සුදුසුකම් 3වන අතර ඒ යටතේ කරුණු 20ක් පරීක්ෂා කරනවා)

MCC 2004 පටන්ගත්තා කියල ඔබ කිව්වා. 2004 ඉඳල 2020 දක්වා අපි මේ ගැන මොනවද කරලා තියෙන්නේ?

2004 - 2020 දක්වා MCC ගමන් මඟ

1. ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ 2003 දී සම්මත වූ පනතකට අනුව 2004 ස්ථාපිත කළ ආයතනයක් වීම.
2.2004.02.11 දින ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් වෙත ලිපියක් යොමුකරමින් MCC ප්‍රදානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදුසු බව දන්වා සිටීම. (ඒ වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 1063ක් විය.
3. 2005 සිට 2015 වන තෙක් රජය MCC ප්‍රදානය ලබා ගැනීමට කිසිදු  පියවරක් නොගත් බව අළුත්ම කමිටු වාර්තාවේ දක්වා තිබීම
4.2015 යහපාලන රජය බලයට පැමිණි පසු MCC සාකච්ජා නැවත වරක් ඇරඹීම.
5.2017 මාර්තු මාසයේදී MCC කටයුතු සම්බන්ධීකරණය සඳහා ව්‍යාපෘති කාර්යාලයක් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ ස්ථාපිත කිරීමට පියවර ගැනීම. ඒ යටතේ පහත දැක්වෙන ක්ෂේත්‍ර  09 විමසුමට ලක්කිරීම.

ඉඩම් සඳහා ප්‍රවේශය
ප්‍රවාහන ක්ෂේත්‍රය
බදු ප්‍රතිපත්ති අස්ථාවරත්වය
ජලය
අධ්‍යාපනය,විදුලි බලය
කම්කරු රෙගුලාසි
ප්‍රාග්ධන මූල්‍යායතන ප්‍රවේශය,
සෞඛ්‍ය 
යනු එම ක්ෂේත්‍රයි.

6.2017 මැයිවලදී අග්‍රාමාත්‍ය කාර්යාලය MCC වෙත යැවුණු සටහනකින් 1.ප්‍රවාහන ක්ෂේත්‍රයේ  සංවර්ධනය 2.ඉඩම් පරිපාලන ක්‍රියාවලියට යන ව්‍යාපෘති දෙක අධ්‍යයනයකට භාජනය කරන ලෙස කියැවීම. මෙම වැඩසටහනගොඩ නැගීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක ප්‍රදානයක් 2017 ජූලි 26 ද ද එය මිලියන 10තෙක් ඉහළ නැංවීමට 2018.06.18 දා ද ගිවිසුම දෙකකට අත්සන් කිරීම.

7. 2018 ජූනි 21 දා MCC ආයතනය විසින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ හා ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් දීමට එකඟ වීම.

MCC අත්සන් කළොත් අපට ලැබෙන්නේ මොනවද? ඒක ලබා ගන්න අපි කළේ මොනවද?

සමස්තයක් ලෙස ගත් කළ MCC මගින් ලැබීමට නියමිත මුළු ප්‍රදානවල වටිනාකම මෙසේ දක්වන්න පුළුවන්.

ප්‍රතිසංස්කරණය                                              US $ මිලියන

ඉඩම් පරිපාලන පද්ධති ප්‍රතිසංස්කරණය                 67.3
ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය                          350.0
ව්‍යාපෘති ඇගයීම් හා අධීක්ෂණය                            12.7
වැඩ සටහන පරිපාලනය                                       50.0
එකතුව                                                            480.0

2018 වසර අගදී මේ ප්‍රදානය ලබා ගැනීමට MCC ගිවිසුම අත්සන් කිරීමට අරමුණු කරගෙන තිබුණා. එහෙත් 2018 ඔක්තෝම්බර් මස අගදී ශ්‍රී ලංකාවේ  ආණ්ඩු වෙනස් වී මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීම නිසා එය මඟ හැරී ගියා.

එහෙත් යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීම නිසා එකඟ වූ කොන්දේසි මත යළිත් MCC අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් 2019 ඔක්තෝම්බර් 29 දා ලබා ගත්තා. එහෙත් ඊට දැඩි විරෝධයක් එල්ල වීම නිසා එය අත්සන් කිරීම යළිත් කල් ගියා.

ජනපතිවරණයේ දී ලක්ෂ 69ක ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් ජනපති ලෙස පත්කර ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණක් වූයේ ද යහපාලන රජය සම්මත කිරීමට ගිය MCC ගිවිසුම අතිශයින් භයානක බව පැවසූ නිසා. එහෙත් බලයට පත් නව රජය MCC ගිවිසුම මුළුමණින්ම ඉවත නොදමා  ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් කිරීමට කමිටුවක්ද  පත් කළා. ප්‍රමාද වී හෝ එම වාර්තාව දැන් නිකුත් කර තිබෙනවා.  එම වාර්තාවේ දැක්වෙන අකාරයට ගිවිසුම අත්සන් කිරීමට මුළුමණින්ම එකඟතාව පළකොට ඇත්තේ 11% ක් පමණයි. එය අත්සන් කරනවාට මුළුමණින්ම විරුද්ධ බව 75%ක් පවසා තිබෙනවා. 8%ක් කියන්නේ මත විමසීමට පෙර සියලු තොරතුරු මහජනයාට විවෘත කර සිටිය යුතු බව. 6%ක් කිසිදු මතයක් දක්වා නැහැ. ජනපති ගෝඨාභය මැතිදුන් පවසන්නේද මෙය ජනතාවට විවෘත කොට ජනතාව කැමති නම් පමණක් ක්‍රියාත්මක කළ යුතු බවක්.

MCC ගැන තිබෙන පක්ෂ හා විපක්ෂ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්ද?

MCC ගිවිසුම පිළිබඳව මේ වන විට පක්ෂව හා විපක්ෂව කරුණු රැසක් ඉදිරිපත්ව තිබෙනවා.

පක්ෂ තර්ක

මෙය ශ්‍රී ලංකා බලධාරීන් MCC යෙන් ඉල්ලුම් කළා මිස අප මත බලෙන් පැටවීමට තැත් කළ එකක් නොවේ.

ප්‍රදානයක් ලෙස ලැබෙන ඩොලර් මිලියන 480න්  350ක් භාවිතා කරන්නේ සංවර්ධනයට බව.

ඒ හරහා 1.බස්නාහිර පළාතේ රථවාහන තදබදය ලිහිල් වීම. 2.කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග 8ක් සංවර්ධනය වීම. 3.ශ්‍රීලංගම හා පෞද්ගලික බස් රථ සේවාවලට ජාල පද්ධති සංවර්ධනය සම්බන්ධ වීම. 4.පිට පළාත්වල වාසය කරන අයට තම නිෂ්පාදන පහසුවෙන් අලෙවිකර ගන්නට ඉඩ ලැබීම

ජාතික ආරක්ෂාවට මැදිහත් වන ප්‍රතිපාදනයක් වාර්තාවේ කිසිම තැනක නොවීම.

රටේ ආර්ථික වර්ධනය වැඩිකරන,දුප්පත්කම අවම කරන,Covid 19 නිසා බිඳ වැටුණු ආර්ථිකය නැංවීමට රුකුලක් වන ගිවිසුමක් බව.

විපක්ෂ තර්ක

මෙය රාජ්‍යයක් අන්තර්ජාතික ගිවිසුමකට පිවිසීමක් වන නිසා මෙවැනි ගිවිසුමකට අත්සන් කිරීමේදී පාර්ලිමේන්තුවේ බහුතර සම්මතයකින් සම්මත විය යුතු බවත් ටිකදෙනෙකුට අවශ්‍ය වන නිසා ක්‍රියාත්මක නොකළ යුතු බව.

වර්තමාන භූ දේශපාලන ආර්ථික සන්දර්භය තුළ සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල් ජාත්‍යන්තර බල කඳවුරුවල ගොදුරු බවට පත්වන කොන්දේසි ඇතුළත් ගිවිසුම්වලට අත්සන් නොකළ යුතු බව.

ගිවිසුමේ ප්‍රතිපාදනයන්හි තිබිය හැකි ප්‍රතිවිපාක මහජනතාවගෙන් වසන් කර තැබීමේ අරමුණින් ගිවිසුම් කෙටුම්පත මහජනයාට ප්‍රසිද්ධ නොකිරීම.

විපක්ෂයෙන් මත භේදයට ලක් වී තිබෙන දෑ සහ ඉඩම් සමුච්චයකරණය, කැබලිකරණය හෝ විදේශීකරණය වැනි අවදානම්කාරී ප්‍රතිඵලවලට තුඩු දිය හැකි ඉඩම් පිළිබඳ වැඩසටහන් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බව

ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව

මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ රටවල් බොහොමයක් ඇමරිකාවේ යුද උපාය මාර්ගවල කොටස්කරුවෙකු වන බව.

දැඩි අවාසි පෙන්නුම් කරමින් එය ක්‍රියාත්මක නොවුණොත් සතුටුවන පිරිසක් මේ ගිවිසුම හරහා මතු වී තිබෙන අතර Covid 19 නිසා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට MCC ගිවිසුම හොඳම අවස්ථාවක් බව දකින පිරිසක් ද සිටිනවා. එහෙත් 2019 ජුනි මාසයේදී ඉහළ මැදි ආදායම් රටක් වූ ශ්‍රී ලංකාවට දැන්නම් MCC හොඳ වුණත් ලබා ගැනීමට හැකිද යන්න සැක සහිතයි. එහෙත් 2018 අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4079සිට 2019 වන විට 3852කට අඩු වුණා. ඒ නිසා ශ්‍රී ලංකාව යළිත් ඉහළ මැදි ආදායම් රටවල් ගොඩෙන් පහළ මැදි ආදායම් ගොඩට වැටෙන්න ඉඩ තිබෙන නිසා ඒක MCC ලබා ගන්න ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්.

MCC හරහා කලින් රජය මුදල් ප්‍රමාණයක්  දැනටමත් ලබා ගත්තා කියල කියන්නේ ඇත්තද?

එසේ සල්ලි දීලා නැහැයි කියල ඇමරිකානු තානාපති කාර්යාලය කියලා තියෙනවානේ. ඇත්තටම එහෙම දුන්නා නම් ඒක රුපියල් ලක්ෂ 5කට වැඩි නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ "මූල්‍ය බුද්ධි ඒකකයට" (FIU) වාර්තා වෙනවා. එහෙම වාර්තා වෙලා නැහැ. ඒ නිසා සල්ලි දීපු කතාව පිළිගන්න බැහැ.

අවසාන වශයෙන් කිව්වොත් ඔබ මොකද MCC ගැන කියන්නේ? ඒක ගන්න එක හොඳද?

මා කියන්නේ MCC හරහා අපට නියම කර තිබෙන රටට අහිතකර යෝජනා ටික ඉවත් කරගන්න කතා කරලා ඉතිරි ටික ක්‍රියාත්මක කරන්න එකඟ වෙන එක හොඳයි. මොකද මේ වන විට Covid 19 න් ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයක තිබෙන නිසා MCC හරහා රටේ සංවර්ධන කටයුතු කරගෙන යනවා නම් හොඳයි. ඒ සඳහා ජනතා කැමැත්ත ලබා ගැනීමට ජනාධිපතිතුමා තීරණය කිරීම සාධාරණයි.