ලෝකය දුටු අයෝමා ගෙන් ලංකාවේ මැණිකෙලා ඉගෙන ගත්තොත් නරකද?

ලෝකය දුටු අයෝමා ගෙන් ලංකාවේ මැණිකෙලා ඉගෙන ගත්තොත් නරකද?

28 June 2020 05:56 pm

නූතන දේශපාලනය තුළ නීති සම්පාදනය කරන 'උත්තරීතර' පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව නගර සභාව දක්වා දේශපාලන බලය හසුරුවන තැනැත්තන් බොහොමයක් දෙනා පිලිබඳ අපට පවතින්නේ යහපත් සිතුවිල්ලක් නම් නොවේ. ඒ අතීතයේ පටන් ලද අත්දැකීම් තුළින් ටිපිකල් 'ශ්‍රී ලාංකීය දේශපාලඥයා' යනු කවර අන්දමේ චරිතයක් ද යන්න අදහසක් අපට පවතින නිසාත්, ඒ ටිපිකල්කරණයෙන් හැඟවෙන්නේ දූෂිත චරිතයක් මිස සුචරිත පුද්ගලයකු නොවන නිසාත් ය. 

දේශපාලනයේ බල මහිමයෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගොඩ ගොස් නතර වන්නේ නම් ඉවසිය හැක. එහෙත් එම බලමහිමය නිර්ලජ්ජිත අන්දමින් ප්‍රදර්ශනය කරමින් සමාජ ශාලා වල චන්ඩිකම් පෙන්වන ඇමති පුත්තුත්, ඉංගිරිසියෙන් දොඩමින් තම සේවකයන් ගෙන් වහලුන් මෙන් වැඩ ගන්නා මැණිකෙලා පිලිබඳවත් අනන්තවත් අප අසා ඇත්තෙමු.

ඇය නමින් අයෝමා රාජපක්ෂය. නම ඇසූ කළ අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නොවන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ ඈ බැවිනි. නිතරම මෘදු අව්‍යාජ සිනාවකින් මුව සරසා ගෙන සිටින අයෝමා රාජපක්ෂ මහත්මියගෙන් උගනීමට දෑ බොහොමයකි. මහජන පරිශ්‍රයක් තුළ දේශපාලඥයකුගේ බිරිඳක් හැසිරිය යුත්තේ කෙබඳු අන්දමින්ද යන්නට ඈ කදිම නිදසුනකි. 

අයෝමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමාධාරිනියකි. එමෙන්ම එක්සත් ජනපදයේ වෛද්‍ය සායන තොරතුරු වර්ගීකරණ නිලධාරිනියක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකි. බොහෝ මහජන පරිශ්‍ර තුල සිය රියදුරු මහතා සමඟ ගමන් මල්ලක් පමණක් රැගෙන යන අයෝමා රාජපක්ෂ මහත්මිය බොහෝදෙනා ගේ නෙත ගැටී තිබේ. සාප්පුවකට ඇතුල් වූ විට ඈ තනියම සිය ට්‍රොලිය තල්ලු කරගෙන යන්නීය.

අප මජර දේශපාලනයේ කප් ගසන්නන් වෙමු, ජනපති - ඇමති බිරින්දෑවරුන් පමණක් නොව, අමාත්‍යංශ ලේකම්වරුන් හට වාර්තා කරන අණදෙන නිලධාරීන් පවා සිය බිරින්දෑවරුන් වෙනුවෙන් කුණු කසළ බඳුන රැගෙන යාමට ආරක්ෂක නිලධාරීන් යොදාගන්නේ ගෘහ සේවකයින් අන්දමිනි. ඇතැම් විට ඔවුනට තිබෙන්නේ තමාට ඉහළින් සිටින අමාත්‍යංශ ලේකම් ට වත් නොමැති බල ගායකි.

ඒ අතර වත්මන් ජනපති ආර්යාව දහසකින් සම්පතකි. කාන්තා පාර්ශවය පොදු ස්ථාන වල හැසිරිය යුත්තේ කෙසේද යන්නට ඈ කදිම නිදසුනකි. බදු ගෙවීමෙන් බැහැරව ජීවත් වන රජයේ නිලධාරියකුගේ බිරිඳකට ඈ කදිම ආදර්ශයකි. 

බොහෝ දෙනෙකුට අයෝමා රාජපක්ෂ මහත්මිය සිහිපත් කරන්නේ හිටපු ජනපති ජේ ආර් ජයවර්ධන මහතාගේ බිරිඳ එලීනා ජයවර්ධන මැතිණියයි, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියයි. සිය ස්වාමිපුරුෂයින්ගේ දේශපාලන දැක්ම කෙබඳු වූවද, කවදත් අවංක, අව්‍යාජ හා සරල පුද්ගලයින් ලෙස සමාජය විසින් හඳුනාගෙන සිටි මෙම කාන්තාවන් අතරට අයෝමා රාජපක්ෂ මහත්මියද එකතු වෙයි. 

වරක අයෝමා රාජපක්ෂ මහත්මිය රැගත් රථය නැවතූ රථවාහන පොලීසිය පසුපස හිඳින්නේ ජනපති ආර්යාව බව නොදැන දඩකොලයක් නිකුත් කරන ලදී. පසුපස හිඳින්නේ තමා බව නොපවසන ලෙසටත් එකී දඩකොලය භාරගන්නා ලෙසටත් සිය රියදුරු ට උපදෙස් දුන් අයෝමා රාජපක්ෂ මහත්මිය නිවසට පැමිණි පසු සිය සැමි ගෝඨාභය රාජපක්ෂ මහතාට ද සිදුවීම විස්තර කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ දඩය ගෙවා රියදුරු බලපත්‍රය රැගෙන එන ලෙස රියදුරු මහතාට උපදෙස් ලබාදෙන ලෙසයි.

අයෝමා රාජපක්ෂ මහත්මියගේ නිහතමානී බව පසක් වීමට මෙම සිදුවීම ම ප්‍රමාණවත් ය. 

දේශපාලන විරුද්ධවාදීන් පසුපස හඹා යාම වෙනුවට රජය පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජය නිර්දේෂපාලිනීකරණය කිරීමේ වෑයමක නිරත වන බවක් පෙනෙන්නට තිබේ. එය සාධනීය කරුණකි. සිය ධුරකාලය තුළ එම අරමුණ සාක්ෂාත් කර ගනිමින් රජය නිවැරදි මාවතට යොමු කළ හැක්කේ නම් අගනේය. සිය වතුපිටියේ දිවපැන හැදී වැඩුණු, පොළවේ පයගැසූ දේශපාලඥයකුගේ (home-grown politicians) ලක්ෂණය එයයි. 

හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ලෙස පත් කිරීමෙන් ජනාධිපති ඔබාමා තැබූ ආදර්ශය මෙන්, වරක් තේරී පත් වූ පසු සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වීමේ අවශ්‍යතාව ගෝඨාභය රාජපක්ෂ මහතාද පෙන්නුම් කරමින් සිටින බවක් පසක් වේ. ශ්‍රී ලංකාවේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ඔහු සමත්වන්නේ නම් බොහෝ අගනේය. යම්දිනක සිය නාමය රන් අකුරින් ලියවීමට එය තුඩුදෙනු ඇත. මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහසු කාර්යයක් නොවේ. මන්ද, ඉතිහාසය පුරා ලිං මැඩියන් මෙන් හිස් ඒ මේ අත කරකැවූ දේශපාලුවන් මෙන් නොව, වෙනත් රටක ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව ක්‍රියාත්මක වන ආකාරය අත්දුටු පළමු ජනපතිවරයා ඔහුය.