පරිසර දිනයට පමණක් කතා කරන ‘නකල්ස් හදවත’ (ඡායාරූප)

පරිසර දිනයට පමණක් කතා කරන ‘නකල්ස් හදවත’ (ඡායාරූප)

6 June 2020 10:22 am

නකල්ස් කියන්නේ පුදුමාකාර පරිසර පද්ධතියක්. අතිශයින් සංවේදී දේශගුණික කලාපයක්. දුර්ලබ මෙන්ම ආවේණික සත්ත්ව සහ ශාක වලින් පිරුණු බිමක්. විශේෂයෙන් මාතලේ, රත්තොට හරහා රිවස්ටර්න් මැදින් යන ඕනෑම අයෙක්ට ලංකාවේ තිබෙන දේශගුණික තත්ත්වයන් සියල්ලම වගේ එකවර විදින්නට පුලුවන් තැනක්. කලාපයේ හොදම පතන් බිමක් ලෙස සැලකෙන ‘පිටවල පතන’ අතිශයින් සුන්දර දසුන් මවන්නක්.

රිවස්ටර්න් අවට තිබෙන ඇටන්වල, වල්පොලමුල්ල, රත්කිද, ඉලුක්කුඹුර ආදී කුඩා ගම්මානවල ඉතිරිව තිබෙන සාම්ප්‍රදායික පැවතුම් කොරෝනා කාලේ අපට ලොකු පාඩම් කියා දෙනවා. අවට තිබෙන කැළේ විනාශ කලේ නැත්නම් හැමදාටම ගලා බසිනා කුඩා දියඇලි 'හැමදාමත්' දකින්න පුලුවන්. මිනිස්සු විසින් පරිසර පද්ධතියට හානි නොකරා නම් අදත් හැමදාමත් 'කූඩැල්ලා' කකුල් සිප ගන්න බලාගෙන ඉන්නේ නකල්ස්වල තිබෙන එක් ලකුණක් විදිහට. රිවස්ටර්න් මුදුනෙදි මීදුම තුරු හිස් වෙලාගන්නකොට වැටෙන හීං පින්නෙන් ඇගේ හිරිගඩු පිපෙනකොට දැනේන්නෙ අපි ඉන්නේ වෙනත් ලෝකෙක කියලා. තව බොහෝ දේවල් ඇය ගැන කියන්නට පුලුවන්. ඒත් ඒ බොහෝ දේ, අද අඩුවෙමින් යනවා. සමහර දේවල් ඇයගෙන් සදහටම උදුරාගෙන. ඇයව ලස්සන කරපු බේබි රෝස අද දකින්නේ ඉතාමත් කලාතුරකින්. ඒ එක් අතුරුදහන් කිරීමක් පමණයි. ලංකාවේ සිදුවෙච්ච මිනිසුන් අතුරුහන් කිරීම්වලට වගේම, මේ අතිශයින් සංවේදී පරිසර පද්ධතිවල ඇතැම් ශාක සහ සත්ත්වයින් අතුරුදහන් කිරීමටත් වගකියන්න ඕන අවුරුදු 70ක් රට පාලනය කරපු මේ අසංවේදී පාලකයන්. පාලන ක්‍රමයන්. ඒත් මේ පරිසර පද්ධතිවල සුන්දරත්වය විදින්න යන මිනිසුන්ගේ අසංවේදී හැසිරීමුත් මේ සියලු විනාශයන්ට වගකියන්න ම ඕන. අඩුම තරමින් තමන් අරං යන කිසිදු දෙයක් ඒ පරිසරයට මුදා හරින්නේ නැතිව පා සළකුණු පමණක් ඉතිරිකර ආවා නම්, ඇතැම්විට මේ තත්ත්වයන් ටිකක් හෝ වෙනස් වෙන්න ඉඩ තිබ්බා. ඒත් ඒක එහෙම උනේ නෑ. වෙන පාටකුත් නෑ. අඩුගානේ කොරෝනා වසංගතය තුළින්වත් පාඩම් ඉගෙන ගෙන, මේ අතිශයින් සංවේදී, සුන්දර පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීමටත්, සංරක්ෂණය කිරීමටත් ලෝක පරිසර දිනය 'නමට' හෝ සමරන විට සිතා ගමු. එයට උදව්වට 2019 නොවැම්බරයේදී රිවස්ටන් හී අප කැමරාවේ සලකුණු වූ ඡායාරූප කිහිපයක්, එහි මිනිසුන්ගේ අදහස් ගොන්නකුත් සමග අමුණමු. නකල්ස් 'හදවත' සුවපත් කරමු.

'ඉස්සර යායට තිබ්බ බේබි රෝස දැන් බෙහෙතකටවත් හොයා ගන්න නැති තරං'

'ඕන පායන කාලෙක ට පොඩ්ඩක් හරි වතුර තිබ්බ පොඩි දිය ඇලි, අව්වකාලෙට හිදිලාම යනවා. මේවට වග කියන්න ඕන කැලෑ පාළුවො සහ උන්ට උදව් කරපු දේශපාලකයෝ'

'පිටවල පතනේ සුදු ගෝනෙක් හිටියා. දැන් එයා නෑ. ආරංචි උනා එයා මරාගත්තා කියලා'

'මොරගහකන්ද හදපු හිංදා වල් අලි ගං වදින්න පටන් අරං. අපි උනේගේ බිම උදුරගත්ත හිංදා. ඒ විතරක් නෙමෙයි. තිබිච්ච පරිසරය ගොඩක් වේගෙන් වෙනස් උනා කියලා අපිට දැනෙනවා'

'තියන පොඩි හරි වතුර පාරකට අඩියක් තියන්න බෑ. බෝතල් කුඩු කරලා දාලා. අපි බොනවට විරුද්ධ නෑ. ඒත් මේක විනාශ කරන්න දෙන්න බෑ'

'තියන කැලැව ඇතුලෙ සිද්ධ වෙන දේවල් දැක්කාම වන සංරක්ෂණේ තියෙන්න මොකටද කියලා හිතෙනවා. වනජීවිය තියෙන්නේ මොකටද කියලා හිතෙනවා'

'තියන ටිකවත් ආරක්ෂා කර ගත්තෙ නැත්නම් ඉතා ඉක්මනින් මේ ලස්සන නැතිවෙලා යනවා. අනිවාර්යෙන්ම...'

'මේවා විනාශ වෙන්න දීලා බලං හිටපු පාලකයෝ තමයි අපිට හැමදාම හිටියේ. ඒ කවුරුත් මේවා විනාශ කරන එක 'අපරාධයක්' කියලා දැක්කේ නෑ. පරිසර විනාශය 'අපරාධයක්' කියලා හිතන කිසිදු පාලකයෙක් තවමත් අපිට නෑ. ඒක අපේ අවාසනාව'

'සේර ඇල්ලෙ කවදාවත් වතුර හිදුනේ නෑ. දැන් කාලයක ඉදලා වතුර චුට්ටම චුට්ටයි එන්නේ. ඇත්තටම එන්නේම නැති තරං. කෝ ඒ තිබිච්ච වතුර?'

'අපේ මිනිසුන්ට වඩා ඒ දවස්වල හිටපු විදේශික මිනිස්සු මේක පරිස්සං කරා...'

'රත්තොට ඉදලා රිවස්ටර්න් හරහා බර වාහන යන්න එපා කියලා තියනවා. ඒත් හැමදාම දොර දෙකේ බස්, වැලි ලොරි යනවා. යන්නෙ පොලීසිය ළගින්මයි. කෝ නීතිය.? දැන් ඒවා ගිහිල්ලා පාරත් ඉවරයි'

 - විකල්ප