මහැදුරු සරච්චන්ද්‍රයෝ යුග පුරුෂයෙකි

මහැදුරු සරච්චන්ද්‍රයෝ යුග පුරුෂයෙකි

5 June 2020 03:39 pm

(2020.06.03 දිනට යෙදුනු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ 106 වන ජන්ම සංවත්සරය අනුස්මරණය නිමිත්තෙනි)

- ජ්‍යේෂ්ඨ නීතිඥ සුනිල් ජයරත්න

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ආරාධිත දේශකයකු ලෙස දේශන මාලාවක් පැවැත්වීම සඳහා පැමිණි මහැදුරු සරච්චද්‍රයන් මට මුල්වරට හමුවන්නේ මා පේරාදෙණියේ දර්ශනය හදාරන විද්‍යාර්තියකුව‍ සිටි 1983 සමයේය.

එතුමා දෙවන වර මට හමුවූයේ මාගේ නීති විද්‍යාල සගයකු වූ රන්ජිත් අමරකීර්ති පලිහපිටිය සුමිතුරාණන් සමග එතුමාගෙන් ‘ශ්‍රී ලාංකීය කලාවේ නව ප්‍රවණතා’ පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම පිණිස කෝට්ටේ එපිටමුල්ල පාරේ පිහිටි එතුමන්ගේ කලානිකෙතනයට 1987 වසෙර් ගිය අවස්ථාවේදීය.

එම අවස්ථා දෙක හැරෙන්නට දීර්ඝ ඇසුරකට අවස්ථාව නොලැබුණද එම හමුවීම් නිසා මා  භාග්‍යවන්තයෙකු වී යයි මට හැඟේ. ඒ තරුණ  වියේදී සාහිත්‍ය කලාව පිලිබඳ දැඩි ලොල්බවක් දැක්වූ මම සරච්චද්‍රයන්ගේ නිර්මාණයන් තුළින් ඔහු තුළ තිබූ මානවවාදී ගුණයන් හා ඔහුගේ ගැඹුරු ජීවන දැක්ම ස්පර්ශ කොට තිබු  නිසාය. 

ඔහුගේ ‘මළගිය ඇත්තෝ’ හා ‘මලවුන්ගේ අවුරුදු දා’ වැනි සාහිත්‍ය නිර්මාණ කියවීමෙන්ද, ‘නාට්‍ය  ගවේෂණ’, ‘සිංහල  ගැමි නාටකය’ වැනි නාට්‍ය පර්යේෂණ කෘති ඇසුරේ සිංහල නාට්‍ය කලාව පිළිබඳ අවබෝධයක්‌ ලබමින් මනමේ සිංහබාහු වෙස්සන්තර වැනි නාටක  නැරඹීමෙන් ද, සාහිත්‍ය විද්‍යාව, සිංහල නවකතා විචාරය වැනි භාෂා සාහිත්‍ය කෘති හැදෑරීමෙන්ද විද්‍යාර්ථියකු ලෙස විෂයාන්තර ඥාණ ගවේෂණයේ යෙදීමට මා සිත තුළ වූ නිරන්තර පෙළඹීම ඔස්සේ මා දුටු සරච්චන්ද්‍ර විසින් මිනිස් දිවියෙහි ගැටුමින් යුත් ගැඹුරු තැන් විශ්ලේෂණය කොට තේරුම් ගැනීමට මට මග පෙන්වීය.

මට කිසිදු පෞද්ගලික ඥාතිකමක් හෝ හිතවත් කමක් නොවූ මහැදුරු සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය  රඟමඬලේ කෙළවර මිහිරි හඬින්  වීණා වයනු  දැක්ම මා  ඇතුළු පොදු රසික සිත් තුළ ජනිත කළ අපූර්ව  චමත්කාරය මා මනසේ තවමත් රැඳී තිබෙන්නේ එහි වූ නාට්‍ය රසයට නොදෙවෙනි ලෙසිනි.

1996 වසරේදී වසර 82 ක් (1914-1996) ආයු වළඳා අභාවයට පත් පින්බර සරච්චන්ද්‍රයන්ගේ දේහයට  බුහුමන් දැක්වීමට එතුමන්ගේ එපිටමුල්ල පාරේ නිවසට දුරගමන් ගෙවා ගොඩවැදුනේ එතුමන්  විසින් ශ්‍රී ලාංකීය කලාවේ හා සංස්කෘතියේ ප්‍රගමනයට දුන් දායකත්වයෙන් මා ලද ආශ්වාදය අනුපමේය වන  නිසා වන අතර බුහුමන් දැක්වීමට නොයාම බලවත් අකෘතඥකමක් සේ මට හැඟුණු නිසාය.

ශ්‍රී ලාංකීය මිනිසාගේ චිත්ත සන්තානය තුළ සාරධර්ම පෝෂණයට හා කලා රසඥතාව වර්ධනයට මහැදුරු සරච්චන්ද්‍රයන් කළ මෙහෙය අනුපමේය වන බැවින් හා ඔහුගෙන් පසු එවන් පරිපුර්ණ සේවාවක් කළ වෙනත් ප්‍රඥාවන්තයකු මා නොදුටු බැවින් මම ඔහු යුග පුරුෂයෙකැයි හඳුන්වමි.

ඔහුගේ 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' ස්වයං චරිතාපදානයෙන් හෙළි වන පරිදි බෞද්ධ සාරධර්ම  වලින් පෝෂණය ලද තම ජීවිත පරිඥානය වර්ධනයේ ලා ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය වැනි රටවලින්ද, තම සංස්කෘතික මූලයන්ට නෑකම් ඇති පෙරදිග රටවලින්ද ආභාසය ලබාගත් බව එතුමන්ගේ පර්යේෂණ කෘති වල තොරතුරු  අපට පහදයි.

'මළවුන්ගේ අවුරුදු දා' 'හෙට එච්චර කළුවර නෑ' වැනි නවකතා වලින් මිනිසා කවර ජන සංස්කෘතියකට හිමිකම් කීවද ඔහුගේ චේෂ්ඨාවන්හි හා ආදරය, කරුණාව, මෛත්‍රිය, අත්පත් කරගැනීමේ ආශාව වැනි හැංගීම්වල පොදුබවත් මිත්‍රත්වය, සහෝදරත්වය මෙන්ම පුහුදුන් මිනිසාගේ  ජාගර සිතෙහි පවත්නා වෛරය, තරහව, පළිගැනීමේ චේතනාව හා වේදනාව වැනි මනෝභාවයන්හි ඇති සංකීර්ණ බවත් නිරුපණය කරමින් 'මනුෂ්‍යත්වය'යනු කවරක්දැයි චිත්‍රණය කරන්නේ අතිශය යථාර්ථවාදී ලෙස වන අතර එහිදී සරච්චන්ද්‍රයන් සෝවියට් කතාකරු දොස්තෝව්සිකිට නොදෙවනිය.

‘කොග්ගල මහා ප්‍රාඥයා‘ යන විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ඇසුරු කරමින් ගල්කිස්සේ සාන්ත තෝමස් කොලීජියෙහි ගුරුවරයෙකු ලෙස සේවය කරන අතරතුර දර්ශන සාහිත්‍ය විචාර සම්මර්ශනයෙහි යෙදෙමින් සිංහල සාහිත්‍ය කලාව පෝෂණයට දායකත්වය ලබාදුන්  සරච්චන්ද්‍රයන් 'සිංහල නවකතා විචාරය', 'සාහිත්‍ය විද්‍යාව' ආදී රචනා මගින් සිංහල  සාහිත්‍ය කලාවේ නිම්වළලු පුළුල් කිරීමට මග හෙළි කළේ පේරාදෙණි ගුරුකුලයේ පුරෝගාමියා වෙමිනි.

පේරාදෙණි සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ඇදුරකු ලෙස සේවයට එක්වූ සරච්චන්ද්‍රයන් පසුව සිංහල අංශයේ සේවය කරමින් විශ්ව විද්‍යාලයීය සන්දර්භයට ඉපැරණි දේශීය ශාන්තිකර්ම,  නාඩගම් හා භාරතීය නාට්‍ය කලාවේ අංග එකිනෙක මුසු කරමින් ශෛලීගත සම්ප්‍රදාය හඳුන්වා දුන්නේ යටත් විජිත ආකල්පවලින් මැඬුණු ඉංග්‍රීසිය කරපින්නාගත් අනුකාරක මනසින් යුත් දේශීය මධ්‍යම පන්තිකයාගේ හාස්‍යයට හා උපහාසයට ලක්‌ වෙමිනි.

1956 'මනමේ' ප්‍රථම රංග ගත කිරීමේදී නළු කැළ සඳහා බෙදීමකින් තොරව සරසවියෙහි අනධ්‍යයන  සේවකයන් පවා යොදවාගැනීමට විවෘත මනසකින් කටයුතු කළ සරච්චද්‍රයන්ට ඉංගිරිසියෙන් සිංහල උගත් අනුකාරක සිසුකැලගේ හා සමකාලීන උගතුන්ගේ සහයෝගය ඊට ලබා ගැනීමට අපහසු වූ බව තැනෙක හෙළිකරයි.

වෙල්ලවැහුම්, කපුවා කපෝති, එලොව ගිහින් මෙලොව අවා, හස්තිකාන්ත මන්තරේ වැනි සරල සම්ප්‍රදායේ නාට්‍ය වලින් ශෛලිගත සම්ප්‍රදායට අතික්‍රමණය වෙමින් තම සංස්කෘතික උරුමයන් සොයායාමට උත්සුක වූ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය විශ්ව සම්භාවනාවට පාත්‍රවන්නේ දේශීය රසිකයාගේ රසඥතාවන් කුලුගන්වමිනි. එංගලන්තයේ ශේක්ස්පියර්ට සමකළ හැකි අපේ සම්භාව්‍ය නාට්‍ය කරුවා සරච්චන්ද්‍ර ලෙස අපට අභිමානයෙන් හැන්දිවිය හැකි වේ.

නාට්‍ය  අංග රචනය සඳහා නෝ, කබුකි  වැනි ජපන්  නාට්‍ය  වලින් ලද  අභාශයද, බලි තොවිල් ශාන්ති කර්ම හා නුර්ති නාඩගම් ආදියෙන් ලද සංගීතාභාශයද, භරත සම්ප්‍රදායෙන් ලද රංගනභාශයද සරච්චන්ද්‍රගේ නිර්මාණ කෞශල්‍යය හා සංකලනය වී නැවුම් නාට්‍ය කලාවක් සිරිලකට උරුමවුයේ සරච්චන්ද්‍රගේ නිර්මාණ කුසලතාවය  නිසාය.

පේරාදෙණි ඇදුරකු වූ ලුඩොවෛක් වැනි රංගන විද්වතෙකුගෙන් මෙන්ම අම්පේ නෝමන් ගුණසිංහ වැනි ගැමි නාඩගම් කරුවකු සොයා ගොස් ඔහුගෙන්ද තම අද්‍යාශය මුදුන් පමුනුවා ගැනීම සඳහා තම ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා මුසු කොට සත්තාභ්‍යාස කිරීමෙන් ස්වකීය රංග කැල සමග ඉදිරිපත් කළ  නැවුම් දෘශ්‍ය කාව්‍ය වල ගී රසිකයන්ගේ සිත් වල රැව් පිළිරැව් දෙන බැවින් ඔවුහු ඒවා පොදු වින්දනය සඳහා නොයෙක් ප්‍රීති අවස්ථාවල ගයනා කරන අතර මිය ගිය සරච්චන්ද්‍ර ඔවුන් සිත්වල නොමියව ලැගුම් ගෙන සිටී.

පුහුදුන් මිනිසාගේ ලාලසාවන් පිනවීමට නොව ප්‍රේක්ෂක යාලවා තම ජීවිතයේ ගැඹුරු තැන් පිරික්සීමටත් එසේ පිරික්සන අතරතුර ජීවිත ගැහැටින් විඩාපත් මනස, වයලීනය, සිතාරය, මද්දලය, බටනලාව, බෙරය වැනි පෙරදිග සංගීත භාණ්ඩ ඇසුරින් නිපදවන වූ ඉමිහිරි සංගීත ගයනාවන්ගෙන් මුසපත් කිරීමටත් එමගින් උසස් රසවින්දනය සඳහා ප්‍රේක්ෂකයා හුරු කිරීමටත් එතුමන් සමත් වූයේ තමා තුළ වූ නිසග නිර්මාන කුසලතාව නිසාය. කුටුම්භ  ජීව්තයෙහි කටුක හා ඉමිහිරි අත්දැකීම් රාශියක්‌ද සමගින් ජීවිතයෙන් මුහුකුරාගිය සරච්චන්ද්‍රයන් භාරතීය ‘පද්ම ශ්‍රී’, පිලිපීනයේ ‘මැග්සෛසේ’ ආදී ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට තරම් කීර්තිධර කලාකරුවකු බවට පත් වීමේ ගමන ඇරඹුවේ තම පියාණන් හේවාහැට තැපැල් ස්ථානාධිපති ලෙස සේවය කරමින් එහි  වාසය කරන සමයේ නත්තල් උත්සවය සඳහා කැරොල් ගීතිකා ගයමින් ප්‍රදේශය සිසාරා ගිය  කණ්ඩායමේ අළුයම් වනතෙක් පසු ගමන් ගිය නව යොවුන් වියේ රසිකයකු ලෙසිනි.

මහාචාර්ය තනතුරු අභරණ කොට නොගනිමින් ඔහු කළ අමිල සංස්කෘතික මෙහෙවර නිසා කීර්තිය හා තනතුරු ඔහු පසුපස හඹා ආ අතර ඔහු එවකට පැවති සමගි පෙරමුණු රජය විසින් ප්‍රංශයේ ශ්‍රීලංකා රාජදුතයා ලෙස කටයුතු කිරීමට පත්කරනු ලැබීය. දේශපාලන ගජ මිතුරුකම් මත ලෞකික ආශාවන් මසුරු ලෙස පිනවා ගැනීමට සැදී පැහැදුණු තානාපතිකම් කිමැයි නොදන්නා අද පත්වීම් ලබන ඇතැම් අල්පශ්‍රතයන් මෙන් නොව ඔහු ස්වකීය සේවා කාලය තුළ සැබෑ රාජදුත මෙහෙවරක යෙදීමට දරු උත්සාහය ඔහුගේ ලේඛන වලින් ගම්‍ය වේ. රාජදුත සේවාවෙන් පිටස්තර සංස්කෘතික දූතයකු වූ සරච්චන්ද්‍ර තම අත්දැකීම් පළිබඳ කරන විවරණය එම සේවාවන් පිලිබඳව සාමාන්‍ය පාඨක සිත් තුළ දනවන්නේ විපිලිසර භාවයකි.

කුටුම්භ ජීව්තයෙහි කටුක හා ඉමිහිරි අත්දැකීම් රාශියක්‌ද සමගින් ජීවිතයෙන් මුහුකුරාගිය  සරච්චන්ද්‍රයන් භාරතීය පද්ම ශ්‍රී, පිලිපීනයේ මැග්සෛසේ ආදී ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට තරම් කීර්තිධර කලාකරුවකු බවට පත් වීමේ ගමන ඇරඹුවේ තම පියාණන් හේවාහැට  තැපැල් ස්ථානාධිපති ලෙස සේවය කරමින් එහි වාසය කරන සමයේ නත්තල් උත්සවය සඳහා  කැරොල් ගීතිකා ගයමින් ප්‍රදේශය සිසාරා ගිය කණ්ඩායමේ අලුයම් වනතෙක් පසු ගමන් ගිය නව යොවුන් වියේ සංගීත ලෝලියකු ලෙසිනි.

අද බොහෝ උගතුන් ප්‍රාඥයන් ලෙස පෙනී සිටිනා ඇතැම් අල්ප්ශ්‍රතයන්ට වඩා ඔහු බෙහෙවින්ම  ගැඹුරු හා සරල විය. ඔහු මුදල් වෙනුවට ශාස්ත්‍රීය උත්කෘෂ්ඨ භාවය උපයා ගත්තේ අද මෙන් ව්‍යාජ  අධ්‍යාපන සහතික වල පිහිටධාරයෙන් හා දේශපාලන ගජමිතුරන්ට අාචාර්ය උපාධි පිරිනැමීමෙන් නොව නොව අදීන හා නිර්ව්‍යාජ බුද්ධි ගවේෂනයෙනි.

ධනේශ්වර සංවර්ධනය පිලිබඳ සරච්චන්ද්‍ර එදා පෙන්වාදුන් සත්‍යය හා යථාර්තය එදාට වඩා අද ස්පුඨ වී ඇති බවයේ පෙනේ. අද දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, නිලධාරීන් පමණක් නොව පවතින  උවදුරින් රට ගලවාගැනීමට මග පෙන්විය යුතු ව්ශ්ව විද්‍යාල ඇදුරන්, ගුරුවරුන්, විද්වත් වෘත්තිකයන්, වෛද්‍ය හා නීති යුක්ති ප්‍රජාවද වෙළඳපළේ වැඩි ලාභය උදෙසා වැඩිම  මිලට විකිණෙන භාණ්ඩ බවට පත්ව තිබෙන බවට කෙරෙන පොදු සමාජ අපවාදය ඊට කදිම සාක්ෂිය.

දිළිඳු ගොවි කම්කරු ජනතාව, සිසුදරු දැරියන්, ලෙඩුන්,  නඩුහබවල පටලෙන්නන් ඇතුළු සකල විධ  හුදී ජනයා මේ වරප්‍රසාද ලත් පන්තියට අතිශය වාසිදායක වෙළඳපළ අර්ථක්‍රමය නැමැති විෂම  චක්‍රයෙහි  සනාතන ගොදුරුය.

මා වර්ෂ 1983 රුපියල් විස්සක් තරම් සොච්චම් මුදලකට මිලයට ගත් ධර්මිෂ්ඨ සමාජය පොත මට  අමිල වස්තුවකි, සිහිවටනයකි. මන්දයත් එහි කියූ සාරධර්ම බිඳවැටුණු ධර්මයෙන් පිරිහුණු ඊනියා ආශ්චර්යමත් ශ්‍රී ලාංකීය සමාජය අද අප ඉදිරියේ දිස්වන නිසාය.

අද පූජකයෝද, රාජ්‍යතාන්ත්‍රිකයෝද, යුක්තිය පසිඳලන්නෝද වරප්‍රසාද වලට ගිජුව ඇති බවට ප්‍රසිද්ධියේ චෝදනා කෙරෙති. ජනයා ජාති, ආගම්, කුල භේද ඔස්සේ වනචාරී යුගයේ මෙන් භේදව එකිනෙකාගේ දේපල හා අයිතිවාසිකම් කොල්ලකෑමට මාන බලති. අධිපතිවාදිත්වයේ මාර්ගය  ඔස්සේ යළි යළිත් අරාජකත්වයට අත වනති. ගුණදහම් සලකන මිනිසා පාගා දමා බලවතා රැකීමට  ප්‍රශස්ති  ගායනා කරති. සත්‍යය  කියන්නා මඩිති, ගරහති.

එසේ වුවද ධර්මිෂ්ඨ සමාජය පසු කොට යහපාලනය භා ඔස්සේ අනාගත සෞභාග්‍යය දැකීමට සිහින  මවති. නින්දේදීම මියයන මෙම සිහින වලින් ජනයා මුදා ගැනීමට අද සරච්චන්ද්‍රයන් වැනි යුග  පුරුෂයන් අවශ්‍ය වුවද දිවි රඟ මඩලේ ඒ සදහා කැප වුනු සද් පුරුෂයන් සිටින්නේ අතළොස්සකි.

සරච්චන්ද්‍රයන් වැනි ආත්ම පරිත්‍යාගයෙන් යුතු අදීන චින්තකයන් විරල වන බැවින් එතුමන් අගනා යුග පුරුෂයෙකු ලෙස වන්දනයට පාත්‍ර විය යුතු බව නූතන පරපුරට පෙන්වාදීම වටී.