කෝවිඩි-19 වෛරසය මිනිස් චර්යාව මත කෙබඳු වෙනස්කමක් සිදුකරනු ඇත්ද? - අධිකරණ වෛද්‍ය විශේෂඥ HTDW ආරියරත්න

කෝවිඩි-19 වෛරසය මිනිස් චර්යාව මත කෙබඳු වෙනස්කමක් සිදුකරනු ඇත්ද? - අධිකරණ වෛද්‍ය විශේෂඥ HTDW ආරියරත්න

2 June 2020 04:04 pm

මේ වසර තුල ‘කොරෝනා’ හා ‘කෝවිඩි-19’ තරම් මිනිස් සිතට තදින් කාවැදුනු වෙනත් වචන දෙකක් නැතැයි කීවොත් එය වඩාත් නිවැරදිය. එමෙන්ම, මිනිසා 21 වන සියවස තුල මුහුණ දෙන වඩාත් භයානකම අභියෝගය මෙම වසංගත තත්ත්වය වීමටද බොහෝ දුරට ඉඩ ඇත. මෙම තත්ත්වය මත මෙම වෛරසය පිළිබඳ පොදු ජනතාවගේ අවධානය යොමුකිරීමේ වැදගත්කම සලකා විශයකරුනු ඉතා සරලව දක්වමින් මෙම ලිපිය සැකසේ. 
 
 
කොරෝනා වෛරස් කාණ්ඩය වෛද්‍ය විද්‍යාව හදාරන ඕනෑම වෛද්‍ය ශිෂ්‍යයෙකුට මෙන්ම අතුරු වෛද්‍ය  විද්‍යා විශයන් හදාරන ශිෂ්‍යයන්ටද තම අධ්‍යයනවලදී මුලදීම හමුවන වෛරස් විශේෂයකි. එය බොහෝ හුරුපුරදු වෛරස් කාණ්ඩයකි. මෙම වෛරස් කාණ්ඩයට මෙම සුවිශේෂිත නම ‘Corona’ ලැබීමට හේතුව වූයේ එම වෛරසයේ දර්ශීය රූපය, කිරීටයක රැස්වළල්ල ආකාරයෙන් දිස්වීමය. එම වචනය ඉංග්‍රීසි භාෂාවේ ‘Crown’ යන වචනය පදනම්ව නිර්මාණය වී ඇත. මෙම කෝවිඩ්-19 (Covid-19) යන නම ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇත්තේද ඉතාම සරල ආකාරයකිනි. එනම් ‘කොරෝනා වෛරස් ඩිසීස්-2019, Corona Virus Decease-2019’ යන්න කෙටි කිරීම මගින්, කෝවිඩ්-19 ලෙස නිර්මාණය කිරීම මගිනි. 
 
ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව යටතේ වෛද්‍ය විද්‍යාවේදී හැදෑරීමට ලක්වන ‘Microorganism’ ප්‍රභේද තුනකි. එය පාසැල් දරුවන්ද හොඳින්ම දන්නා කරුණකි. එනම් දිලීර, බැක්ටීරියා හා වෛරස යනුවෙනි. මේ තුනම බොහෝ අවස්ථාවලදී මිනිස් සිරුරට රෝගකාරක වන්නා සේම සමහර දිලීර හා බැක්ටීරියා විශේෂ මිනිසා ඇතුළු සතවයන්ට හිතකර ප්‍රතිඵලද ඇතිකරයි. එහෙත් වෛරස මිනිස් සිරුරට සිදුකරන බලපෑම බඩාත් බරපතල ස්වභාවයක් ගනී. ඊට හේතුවන්නාවූ හේතු ගණනාවකි. 
 
1) එයින් එක් හේතුවක් වන්නේ වෛරස ප්‍රමාණයෙන් ඉතා කුඩාම ස්වභාවයක් ගැනීමත්, 
2) එම කුඩා වෛරසද බොහෝ අවස්ථාවලදී වෙනස් වෙමින් හා විකෘර්තී වෙමින් වෙනත් වෛරස ප්‍රභේද ඇති කිරීමත් (Virus Strain),
3) වෛරස බොහෝ අවස්ථාවලදී වෙන්වෙන්ව නොව වෛරස සියගණනක කාණ්ඩ ලෙස පැවතීමත්,
4) මේ හේතූන් නිසා වෛරස හඳුනාගැනීම වෛද්‍ය විද්‍යාත්මකව අතිශය අපහසු කටයුක්තක් වීමත්,
5) මෙම හේතු නිසාම මෙම වෛරස වලට එරෙහිව ක්‍රියාත්මක වන්නාවු ප්‍රතිදේහයන් නිර්මාණයද අවශ්‍යයෙන්ම දුෂ්කර වීමත් නිසාය.
 
මෙම ‘වෛරස’ කෙතරම් කුඩාදැයි කිවහොත්, නූතන විද්‍යාව විසින් දැනට ලෝකයේ නිර්මාණය කර ඇති ඉතාම දියුණුතම ඉලේක්ට්‍රොනික අන්වීක්‍ෂයකට පවා ලොව ඇති බොහෝ වෛරසයන් දැකගැනීම තබා අනෙක් වෛරසයකින් තවත් වෛරසයක් ලෙස වෙන් කොට හඳුනාගැනීම පවා දුෂ්කර වනතරම් මෙම වෛරස ඉතාම ක්‍ෂුද්‍ර මට්ටමේ පවතී. 
 
ලොවපුරා කොතරම් වෛරස් වර්ගයන් ඇතිදැයි යමෙකු ඇසුව හොත් ඊට පිළිතුර, එය ට්‍රිලියන හෝ ක්වාඩ්‍රිලියන ගණනකටත් වඩා වැඩිවනවා මෙන්ම, එය මිනිසා මෙතෙක් නොදන්නා කරුණක් යැයි කීම වඩාත් යෝග්‍යය. එය මිනිස් සිරුර තුල පමණක් නොව, සත්ව සිරුරු තුල, ශාක කොටස් ආශ්‍රිතවද පවතී. එමෙන්ම පසේ මෙන්ම පෘථිවියේ බොහෝ ස්ථාන ආශ්‍රිතව පවතී. නමුත් එක් දෙයක් අපට පැහැදිලිව පැවසිය හැක. විශ්වයේ වෙනත් ග්‍රහලෝක ආශ්‍රිතව කුමන වෛරස පැවතියත්, ඒවාට පෘථිවියේ වායුගෝලය හරහා එය විනිවිද සජීවීව පෘථිවියට පැමිණිමේ හැකියාවක් නොමැති බවය. එම නිසාවෙන් මෙම වරින් වර අපේ ලොව තුලින් සොයාගනු ලබන කෝවිඩ්-19 වැනි වෛරසයන් මේ පෘථිවියේම පවතින වෛරසයක්ම හෝ එවැනි පැවති වෛරසයක, ඇතිවූ විකෘර්ති තත්ත්වයක් මත නිර්මාණය වූ නව ප්‍රභේදයක් ලෙස අපට පැවසිය හැක. 
 
එමෙන්ම වඩාත් බරපතල ප්‍රශ්ණය වන්නේ මෙම වෛරස එක ස්ථානයක නිසොල්මනේ නොපැවතීමයි. එමෙන්ම එම වෛරස බොහෝ දුරට මිනිස් සිරුරට, සත්ව සිරුරට මෙන්ම ශාකවලට පවා හානිදායක ලෙස ක්‍රියාත්මක වීමයි. මෙම වෛරස් බොහෝ වේගයෙන් ව්‍යාප්තවන හා වැඩෙන ලක්‍ෂණයෙන්ද යුක්තය. ඒවා බොහෝ දුරට ජලය, දියර වර්ග, මිනිස් සිරුර මාධ්‍යයක් කොටගෙන පැවතීමද දැකිය හැකිය. එහෙත් බොහෝ වෛරස විවිධ මාධ්‍යන් හා පාරිසරික තත්ත්වයන් මත ජීවත්වීමේ හැකියාවන්ගෙන් යුක්ත වේ.
 
මිනිස් ශිෂ්ඨාචාරයට වෛරස මගින් සිදුකල භයානක බලපෑම්
 
මෙතරම් කථාබහට ලක්වන ‘වෛරස’ කෙතරම් ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුගේ සිරුම තුල හා ඒමත පවතීදැයි යමෙකු විමසුව හොත් වෛද්‍ය විද්‍යාත්මකව ඊට දියහැකි පිළිතුර වන්නේ, වෛරස් වර්ග මෙන්ම වෛරස් ප්‍රමාණයද ට්‍රිලියන ගණනක් විය හැකි බවත්, එය ගණනය කල නොහැකි බවත්ය යන්නය. එමෙන්ම, මෙතරම් සුවිශේෂි වන ‘වෛරස’, වෛද්‍ය විද්‍යාව තුල මෙතරම් වැදගත් ස්ථානයක් ගනුලබන හේතුව කුමද්ද? යන්න විමසීම ඉතා වැදගත්ය. 
 
මිනිස් ශිෂ්ඨාචාරය තුල මිනිසා මුහුණ දුන් ඉතාමත් භයානකම රෝගී තත්ත්වයන් රාශියක් විවිධ වෛරස් වර්ගයන් පසුබිම්ව ඇතිවී තිබේ. ඒ අතරින් ඇමරිකා මහාද්වීපය තුල පැවති මායා ශිෂ්ඨාචාරය (Mayan Civilization) හා ඉන්කා ශිෂ්ඨාචාරය (Incan Civilization) ශිෂ්ඨාචාරයන් ලොවින් මුළුමනින්ම පාහේ නැතිවී යන තරමට එම ජනතාව සමූල වශයෙන් මියයෑමට (Smallpox) වැනි වෛරස් මගින් ඇතිවන රෝගී තත්ත්වය හේතුවිය.  එමෙන්ම දකුණු ඇමරිකානු ස්වදේශික ජනතාව යුරෝපීය දේශගවේශකයින් එම මහාද්වීපට ඇතුළු වීමත් සමගම එම යුරෝපීයානුවන්ගෙන් ඇතිවූ ඉන්ෆුළුවෙන්සා (Influenza) වැනි වෛරස් රෝගීතත්ත්වයන්ට ගොදුරුවීමෙන් මුළුමනින්ම මෙන් විනාශවී යෑමක් සිදුවිය. එමෙන්ම, වසූරිය (Smallpox), කම්මුල්ගාය (Mumps), පැපොල (Chickenpox), ඉන්ෆුළුවෙන්සා (Influenza), කොලරාව (Cholera), ගලපටලය (Diphtheria), ටයිපස් උණ (Typhus),  සරම්ප (Measles), පෝලියෝ (Polio) තවත් එවැනි රෝගී තත්ත්වයන්ය. එමෙන්ම මිනිස් ශිෂ්ඨාචාරයේ අතිවිශාල සංඛාවලින් මිනිසුන් මියයෑමට තවත් හේතුවූයේ ක්‍ෂය රෝගය (Tuberculosis), ලාදුරු (Leprosy), වැනි රෝගී තත්ත්වයන් වෛරස හා බැක්ටීරියා හා එම දෙදෙනා අතර රෝගකාරය මගින් ඇතිවේ. මෑත ඉතිහාසය ගෙන බලන විට ස්පාඤ්ඤ උණ (Spanish flu) රෝගය නිසාවෙන් වර්ෂ 1918 දී ලොවපුරා මියගිය සංඛ්‍යාය ආසන්න වශයෙන් මිලියන 500 බවට ගණන් බලා ඇත. එමෙන්ම 1957 වර්ෂයේ දී ඈත පෙරදිගින් විශේෂයෙන් චීනය ආශ්‍රිතව ආරම්භව පැතිර ගිය ඉන්ෆුළුවෙන්සා (Influenza) රෝගී තත්ත්වය නිසා ලොවපුරා මියගිය ගණනද මිලියන ගණනක් බවට බීබීසී මාධ්‍යය ඒකාලයේම වාර්තා කොට තිබුණි. 
 
වඩාත් මෑත ඉතිහාසය තුලදී වාර්තා වූ ඒවියන් ෆ්ළු (Avian Flu) (H2N2) නම් කුරුළු උණ රෝගය හා පසුව අවස්ථා ගණනාවකදී වාර්තා වූ වෙනත් කුරුළු උණ (Bird Flu) (H1N1) විශේෂයන් ලෙස හඳුනාගත් උණ වසංගත තත්ත්වයන් නිසාවෙන්ද ලොවපුරා දහස් ගණනක ජනතාව මියයන ලදි. ඒ සමගම එම රෝගතත්ත්වයන් පැතිරී යෑම සිදුව අවස්ථාවන් හීදී ලොවපුරා මිලියන ගණනින් මරාදමන ලද කුකුළන්, පාත්තයන්, තාරාවන් වැනි සත්වයන්ගේ ප්‍රමාණයන් අතිවිශාලය. තවද, ඌරු උණ (Swine Flu) තවත් වෛරස් විශේෂයක් නිසාවෙන් ඇතිවූ තත්ත්වයකි. එයද විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලි ගැනීමට මෙන්ම සත්ව ගොවිපොලවල් ප්‍රදේශ හෝ රටවල් මට්ටමින් සමූල ඝාතනයන් කිරීම දක්වා වර්ධනය වූ අවස්ථාවයන්ය. 
 
එබොල්ලා (Zaire Ebolavirus-Ebola Virus) ද තවත් එවැනිම බලපතල වසංගත රෝගී තත්ත්වයකි. අප්‍රිකානු මහාද්වීපය පුරා මෑතක් වනතුරුම පැතිරීගිය එම වසංගත තත්ත්වයද බරපතල බලපෑමක් මිනිස් ශිෂ්ඨාචාරයට සිදුකරන ලදි. 
 
මීට අමරතව, චීනයේ ග්වන්ග්ඩොන්ග් (Guangdong) ප්‍රදේශය පදනම්ව ආරම්භ වූ සාර්ස් වෛරසය (SARS-Severe Acute Respiratory Syndrome), මෙන්ම මැදපෙරදිග අරාබි ප්‍රදේශයන් පදනම්ව ආරම්භ වූ මර්ස් (MRSA-Methicillin-Resistant Staphylococcus Aureus) එවැනිම රෝග තත්ත්වයක් වුවද එයට පදනම්වූයේ බැක්ටීරියාවක් නිසාවෙන් ඇතිවූ වසංගත තත්ත්වයක් වූ අතර ඒ නිසාවෙන් ද සියගණනක් මිනිසුන් මියයන ලදි. 
 
මෙවැනි වෛරස වසංගත තත්ත්වයන් මිනිස් ජීවිතවලට කොතරම් කාලයක් බලපෑමක් සිදුකරනු ඇත්ද?
 
මිනිසාට වැළඳෙන වෛරස් රෝගී තත්ත්වයන් ගෙන බලන විට බොහෝ වෛරස් රෝගයන් පහසුවෙන් සුවවී අවසාන වන බව දැකිය හැකිය. එයට හොඳම උදාහරණය වන්නේ, වෛරස් උණ, ඉන්ෆුළුවෙන්සා, ෆළු (Flu), වෛරස් ආසාදනයක් සමග බැක්ටීරියා ආසාදනයක් ලෙස ඇතිවන උගුරේ ඇතිවන ප්‍රදාහය (Sore Throat), චිකන්ගුන්යා (Chikungunya Virus) වැනි රෝග තත්ත්වයන් මිනිස් සිරුරේ ඇතිවී ඉතා කෙටිකාලයකින් සුව අතට පත්වේ. 
 
එහෙත්, සමහර වෛරස් ආසාදනයන් මිනිස් සිරුරේ පවත්නා ස්වභාවික ප්‍රතිශක්තිය මත කිසිසේත් සුවකල නොහැකි රෝගතත්ත්වයන් බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇත. ඊට හොඳම උදාහරණය වන්නේ, ඒඩ්ස් රෝගයයි, HIV/AIDS (Human immunodeficiency virus infection and acquired immune deficiency syndrome).  එම රෝගය මිනිස් සිරුරේ කිසිසේත්ම පූර්ණ සුව තත්ත්වයකට පත්කල හැකි බව විද්‍යාත්මකව සොයාගෙන නැත. එමෙන්ම වෛරස් මගින් ඇතිවන හර්පීස් (Herpes-HSV (herpes simplex virus) වැනි සමහර ලිංගාශ්‍රිත රෝගද, පූර්ණ සුව තත්ත්වයකට පත්කල නොහැක. 
 
 
එහෙත්, වර්තමාන විද්‍යාත්මක සොයාගැනීම් අනුව කෝවිඩ්-19 රෝගය ගැනෙන්නේ වෛද්‍ය ප්‍රතිකාරයක් මගින් සුව කල නොහැකි එහෙත් ස්වභාවික තත්ත්වයන් මතම සිරුර විසින් පූර්ණ සුව තත්ත්වයකට පත්කර ගන්නා වෛරස් රෝගයක් ලෙසින්ය. එහෙත් ගැටළු කාරී තත්ත්වය වන්නේ මෙම වෛරසය මිනිස් සිරුරට ඇතුළු වී එය සුවභාවයට පත් නොවී මරණයට පත්වන ප්‍රතිශතය 1% සිට 2% දක්වා මට්ටමක පැවතීමය. මෙහි භයානකත්වය පෙන්නුම්කරන්නේ මේ වන විට ලොවපුරා මිලියන 4 කට ආසන්න පිරිසකට මෙම රෝගය ආසාදනය වීමත්, එයින් ලක්‍ෂ 3 කට අධික පිරිසක් මියයෑමත්  යන කරුණුය. එය මෙම වෛරසයේ රුදුරුභාවය මොනවට පැහැදිලි කරයි. 
 
වෛරස් ආසාදනයක් මිනිස් සිරුරට ජයගත හැක්කේ කෙසේද? 
 
මිනිසාට වැළඳෙන වෛරස් ආසාදනයන් ආකාර කිහිපයකින් සුවයට පැමිණේ. 
 
1) ස්වභාවිකවම වෛරසය පරිසරයෙන් විනාශවී යාම මගින්,
2) ජනතාවගෙන් විශාල ප්‍රතිශතයකට හර්ඩ් ප්‍රතිශක්තිකරණය ලැබීම මගින් (Herd Immunity),
3) වෛරසයට එරෙහි එන්නතක් මිනිස් සිරුරට එන්නත් කිරීම මගින් එම වෛරසයට එරෙහි ප්‍රතිශක්තියක් සිරුර තුළ ජනනය කිරීම මගින් යන ආකාරයන් මගිනි. 
 
ඉන්ෆුළුවෙන්සා හා චිකන්ගුන්යා වැනි වෛරස් රෝගී තත්ත්වයන් ගෙන බලන විට පෙනී යන්නේ එම රෝග එක් කාලයකදී ඇතිවී, කාලගුණික හා දේශගුණික තත්ත්වයන් වෙනස්වී යනවාත් සමගම එම වෛරස් ආසාදනයන්ද ලෝකයෙන් පහව යයි. එහෙත් නැවත වෙනත් කාලයකදී එම රෝග ඇතිවේ. හර්ඩ් ඉමියුනිටි යනුවෙන් අදහස් වන්නේ යම් වෛරස් රෝගී තත්ත්වයක් සමස්ථ ජනගහනයෙන් 70% හෝ 80% පිරිසකට ඇතිවූ පසුව එම පිරිසේ සිරුරු තුල ස්වභාවිකවම වෛරසයට එරෙහි තත්ත්වයක් උද්ගතවිමත් එම තත්ත්වය මත වෛරසය සමස්ථ සමාජයෙන්ම පහව යාමයි. 
 
යම් වෛරසයකට එරෙහිව එන්නතක් ඇති කිරිම යනු ඉතා දුෂ්කර එහෙත් වෛරස් ආසාදනයට එරෙහි, වඩාත්ම ශක්තිමත්ම පිළිතුර වේ. එහිදි කරුණු දෙකක් මූලිකවම සිදුකල යුතුය. එනම් පළමුව වෛරසය හා එහි ක්‍රියාකාරීත්වය මැනවින් හඳුනාගත යුතුය. කෝවිඩ්-19 වෛරසය ගත හොත් මහජන චීන සමූහාන්ඩුවේ වෛද්‍ය පර්යේෂකයින් විසින් රෝගය හඳුනාගෙන මාස කිහිපයක් ගතවීමට ද ප්‍රථම වෛරසයත්, එහි ලක්‍ෂණනත් මැනවින් හඳුනාගනු ලැබීය. එහෙත් ගැටළුව උද්ගතවී ඇත්තේ එම වෛරසයට එරෙහිව එන්නතක් සොයාගැනීමයි. ඊට ඇති බරපතලම බාධාව බවට පත්ව ඇත්තේ, මෙම කෝවිඩ්-19, කොරෝනා වෛරසය, වෛරස් සියගණනක ඛාණ්ඩ ලෙස සමූහයක් පැවතීමත්, මෙම වෛරසයේ විකෘර්ති වීම් හා වෙනස්වීම් මත ඇතිවී ඇති ප්‍රභේද විශාල සංඛ්‍යාවක් පැවතීමත්ය. උදාහරණයක් ලෙස චීනයේ ඇතිවූ වෛරසයත්, ඇමරිකාවේ හා යුරෝපයේ හමුවන ප්‍රභේදයත්, ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව තුල දී හමුවන, මෙම  කෝවිඩ්-19 වෛරසයේ, ප්‍රභේදයත් වෙන් වෙන් ලක්‍ෂණ පෙන්නුම්කරයි. මෙම තත්ත්වය වෛරසයට එරෙහි ඒකාත්මික එන්නතක් නිර්මාණය කිරීමට බරපතල අපහසුතාවයන් ඇතිකර ඇත. 
 
මානව චර්යා රටාවන් සඳහා කෝවිඩ්-19 සිදුකරනු ලබන බලපෑම
 
මිනිසා අනෙක් මිනිසුන් සමග සිදුකරන චර්යා රටාවන් කෙරෙහි මෙම කෝවිඩ්-19 වෛරස තත්ත්වය දැඩි බලපෑමක් සිදුකරනු ඇත. එනම්, අනාගතයේදී, මිනිසුන් එකිනෙකා සිපගැනීම (Kissing), එකිනෙකා බදාගැනීම (Hugging), තුරුලු කොටගැනීම (Cuddle), අතට අත දීම (Hand shaking), දරුවන් වඩාගැනීම, ලඟින් වාඩිවී යෑම (Sitting together), තොල් සිපගැනීම (Wet Kissing), පොදු ප්‍රවාහනයේදී ඉතා ලඟින් ගමන් කිරීම (Standing Together), අධික ජන සහභාගීත්වයෙන් සිදුකරන රැස්වීම් පැවැත්වීම (Organizing Public Rallies), මහජන උද්ගෝෂණ සංවිධානය (Organizing Public Protest and March) වැනි සමාජ ක්‍රියාවන් හා මිනිස් චර්යාවන් තවදුරටත් සිදුකිරීම බොහෝ සේ අපහසු වනු ඇත. 
 
කෝවිඩ්-19, වෛරසය ලිංගාශ්‍රිතව බොවෙන රෝගී තත්ත්වයක් ලෙස මේදක්වා විද්‍යාත්මකව තහවුරුකොට නොමැත. එහෙත් චීනයේ පැවැත්වූ පර්යේෂණයක් මගින් සොයාගෙන ඇත්තේ, කෝවිඩ්-19 ආසාදිත හා ආසාදිතව සුවවූ පිරිමි පුද්ගලයන්ගේ ශුක්‍රාණු තුල 16% පමණ ප්‍රතිශතයකින් වෛරසය පැවති බවයි. එහෙත් එය තවදුරටත් ලිංගාශ්‍රිත ක්‍රියාමගින් මෙම වෛරසය බොවෙන බවට සොයාගැනිමක් සිදුකොට නොමැත. 
 
කෝවිඩ්-19 හා රූපලාවන්‍යය
 
ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වා සිටින ආකාරයට, මෙම වෛරස තත්ත්වය සමග ජීවත්වීමේ දී නිරන්තර සිදුකල යුතු කාර්යයන් කිහිපයකි. මුහුණ, ඇස්, නාසය ස්පර්ශ නොකිරීම මෙන්ම අතට අත නොදීමද අතිශය වැදගත්ය. එමෙන්ම සමාජ දුරස්ථභාවය මෙන්ම මුහුණු ආවරණ පැළඳීමද දැඩිව අවශ්‍යවන කරුණකි. මෙම තත්ත්වය මත, තොල් ආලේපන, මුහුණේ සමමත කරන අලේපන, ඇස් පිහාටු මත කරන ආලේපන කෙරෙහි ඇති වැදගත් කම දැඩිලෙස අඩුවීමක් දක්නට ලැබේ. එමෙන්ම එම රූපලාවන්‍ය ක්‍රියා කෙරෙහිවන ඉල්ලුමද දැඩි ලෙස අඩුවීමටක භාජනය විමක් සිදුවනු ඇත. තවද, රූපලාවන්‍යයට අදාල ක්‍රියා දෙනෙකු ඉතා සමීපව සිදුකරනු ලබන ක්‍රියාවන් වීමත්, එවැනි ස්ථාන විශාලවශයෙන් ආගන්තුක පිරිස් ඉතා කෙටි කාලයක් තුල පැමිණෙන ස්ථාන වීමත් මත මෙම ස්ථාන වඩාත් විමසිලිමත්ව භාවිතා කිරීමට ජනතාව අනාගතයේදී කටයුතු කරනු ඇත. 
 
කොරෝනා වෛරසය හා සතුන් සුරතලයට ඇති කිරීම
 
සායනික සිදුකල වෛද්‍ය විද්‍යාත්මක සංඛ්‍යාලේඛන විග්‍රහකිරීමේ දී තහවුරුවන කරුණක් වන්නේ සුරතළයට ඇතිකරන සතුන් මගින් මිනිසාට විශාල වශයෙන් වෛරස් රෝග තත්ත්වයන් ඇතිවන බවයි. එමෙන්ම, විවිධ දිලීර ආසාදන මෙන්ම කීටයින් මගින් ඇතිවනර රෝගයන් ද විශාල වශයෙන් ඇතිවේ. ඒ අතරින් මිනිසාට වැඩිම බලපෑම සිදුකරන්නේ රේබීස් වෛරසය මගින් ඇතිකරන (Rabies Virus-Lyssavirus: Rabies Virus) රෝගී තත්ත්වයන්ය. මෙම රෝග තත්ත්වයන් මෙන්ම සුරතල් සතුන් ඇසුරින් ඇතිවන ක්‍ෂුද්‍ර ජීවී තත්ත්වයන් නිසාවෙන් මිනිසාට ඇතිවන බහුවිධ අභ්‍යන්තර ඉන්ද්‍රියන් මත සිදුකෙරෙන ප්‍රදාහය (Septicaemia) මගින් මරණීය තත්ත්වයන් සිදුවීම බහුලව වෛද්‍ය විද්‍යාත්මකව වාර්තාවන තත්ත්වයකි. 
 
එහිදී සමහර සතුන් මත ජීවත්වන වෛරස හා බැක්ටීරියාවන් මිනිස් ශරීර සෞඛ්‍යයට සිදුකරනු ලබන්නේ අතිභයංකර බලපෑමක්ය. සමහර වෛරස හා බැක්ටීරියාවන් මිනිසුනට මාරාන්තික බලපෑමක් සිදුකරයි. උදාහරණයක් ලෙස ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා ජාවා ඝර්මකලාපීය වනාන්තර ආශ්‍රිව ජීවත්වන කොම්බෝ (Komodo Dragon) නම් උරග විශේෂයේ මුඛයෙන් ශ්‍රාවය වන කේටය මත ජීවත්වන මාරාන්තික බැක්ටීරියා (highly septic bacteria) මිනිසුනට හෝ වෙනත් සත්වයකුගේ ශරීරයේ ස්පර්ශවුව හොත් එය ශරීරයට ඇතුළුව දින කිහිපයක් තුල එම සත්වයා වහා මරණයට පත්වේ. සත්වයින් මත ජීවත්වන සමහර වෛරස හා බැක්ටීරියා මිනිසාට මාරාන්තික බලපෑමක් සිදුකරන්නේ ඒ ආකාරයටයි.
 
කොරෝනා වෛරසය හා සත්ව මාංශ ආහාරයට ගැනීම
 
ඒඩ්ස් රෝගය පිළිබඳ දැනට සිදුකර ඇති පර්යේෂණ මගින් උපකල්පනය කරනු ලබන්නේ, අප්‍රිකාවේ වනාන්තර වල වෙසෙන ගෝරිල්ල් ආශ්‍රිතව මිනිසුන් සිදුකල ලිංගික ක්‍රියා මගින් ඒඩ්ස් රෝගය මිනිසාට ආසාදනය වූ බවයි. සාර්ස් රෝගය පිලිබඳව ඇති පිළිගත් මතය වන්නේ එය චීනයේ ග්වන්ග්ඩොන්ග් පළාතේ සත්ව මාකට් මගින් විකුණන ලද කළවැද්දන්ගේ මාංශ අනුභව කිරීම මගින් වැළඳුණු බවයි. එමෙන්ම කෝවිඩ්-19 වෛරසය මිනිසාට වැළඳීම පිළිබඳවද දැනට ඇති පිළිගැනීම වන්නේ එය බොහෝ දුරට චීනයේ වූහාන් පළාතේ සත්ව මාංශ වෙළඳාම් සිදුකරන ස්ථානයන් හී අලෙවිකල නාගයන් (Chinese Cobra) හා කළවැද්දන් (Palm Civet or Paradoxurus Zelanicus) මගින් මිනිසාට ආසාදනය වූ බවයි. 
 
මෙම තත්ත්වයන් මත ඉතා පැහැදිලිව පෙනීයන කරණ නම් මිනිසාට බහුල ලෙස වෙනත් සත්ව මාංශ අනුභව කිරීම මගින් මිනිස් සිරුරට භායානක වූ වෛරස් ආසාදන මෙන්ම බැක්ටීරියා ආසාදනයන්ද ඇතිවීමේ දැඩි අවධානමක් උද්ගතවන බවයි. මෙවැනි තත්ත්ව මත මිනිසා නැවත නැවතත් අනාගතයේදී සත්ව මාංශ අනුභවය වැනි ක්‍රියාවන් කෙරෙහි නැවත සිතාබැලීමේ කාලය උදාවී ඇතිබව නම් නොකියාම බැරිය. මෙවන් තත්ත්වයන් මත, බුදුදහම මගින් හා ජෛන ආගම මගින් මිනිසාට ඉගැන්වූ සියලු සත්වයන් කෙරෙහි අවිහිංසාව පැතිරවීමේ අවශ්‍යතාවයේ විශ්වීයභාවය (Universality) මැනවින් පැහැදිලිවන බවත් එය මිනිසා තම ජීවිතවලට හුරුකර ගැනීමේ අවශ්‍යතාවයත් මෙම මිනිසා මුහුණදුන් රුදුරු වසංගත තත්ත්වයතුලදී ද අපට මතකර දෙයි. 
 
කෝවිඩ්-19, අභියෝගය මිනිසා විසින් ජයගැනීමට නම්
 
අවසාන වශයෙන් කිව හැක්කේ, මිනිස් ශිෂ්ඨාචාරය වෙත කෝවිඩ්-19 වෛරසය, වර්තමානයේ දී බරපතල අභියෝගයක් ඉදිරිපත් කොට ඇති බවයි. එක්කෝ අප එය ජයගැනීම සඳහා ඹෟෂධයක් හෝ එන්නතක් සොයාගත යුතුය. එය දුෂ්කර බව වෛද්‍ය විද්‍යාත්මකව නොකිව මනාය. නොඑසේනම් මෙම වෛරසය සමග ජීවත්වීම සඳහා පෙරකී ලෙසට මිනිසා තමාගේ පුද්ගලික ජීවිත රටාවන් හා සමාජයක් ලෙස පොදුවේ සමාජයේ මානව ජීවන චාර්යා රටාවන් වෙනස් කර ගත යුතුය. නොඑසේනම් මෙම අභියෝගය ජයගැනීම මිනිසාට අපහසු වනු ඇත.