බෂීර්, විදුලි පුටුව, ශවේන්ද්‍ර සහ උදයංගගේ නීතිය - සුනන්ද දේශප්‍රිය

බෂීර්, විදුලි පුටුව, ශවේන්ද්‍ර සහ උදයංගගේ නීතිය - සුනන්ද දේශප්‍රිය

21 February 2020 06:07 pm

ඒකාධිපති ඕමාර් හුසේන් අහමඩ් අල්-බෂීර් තිස් වසරක් සුඩානය යකඩින් සහ ගින්නෙන් පාලනය කළේය. තිස් වසරක් යනු එක් පරම්පරාවක් වියපත්ව නව පරම්පරාවක් යෞවයන කරා ළඟා වන තරම් කාලයකි. එතරම් කාලයක් ඒකාධිපතියාගේ ස්තෝත්‍ර ගායක ගායකාවන් විසින් මොළ සෝදමින් සමාජයම සිය මතවාදී අණසක යටතට ගැනීමට උත්සාහ කළෝය. එසේ නමුත් අවසානයේදී බෂීර්ට සත්‍යය මුණ ගැසුණි. මහජන කැරැල්ලකින් 2019 වසරේදී ඔහු පෙරළා දැමිණ. නඩු අසා දෙවසරකට සිරගතද කෙරිණ. ඒ වනවිටත් අන්තර්ජාතික යුද අධිකරණය හමුවෙහි බෂීර් 2009 සිටම චූදිතයකුව සිටියේ ජන ඝාතනය ඇතුළු බරපතල මානව හිමිකම් කෙළෙසීම් වෙනුවෙනි. දැන් සුඩානයේ නව රජය ඕමාර් හුසේන් අහමඩ් අල් -බෂීර් අන්තර්ජාතික යුද අධිකරණයට බාරදීමට කටයුතු කරගෙන යයි.

තිස් වසරක් පුරා අයෝමය හස්තයකින් රටක් පාලනය කරන ඒකාධිපතියෙක් සෑම විටම සිතනු ඇත්තේ තමා සහ තම පවුලේ පාලනය සදාකාලික වනු ඇතැයි කියාය. නමුත් ඉතිහාසය එක තැන නතර වන්නේ නැත. තිස් වසරක සැප, දැන් බෂීර් සිරගෙදර සිට ආපසු ගෙවමින් සිටී.

යුද්ධය දිනූ ජනාධිපති රාජපක්ෂ දස වසරකදී පරාජය වනු ඇතැයි සිතුවේ කව්ද ? කව්රු සිතුවත් රාජපක්ෂවරුන් නම් එළෙස සිතුවේ නැත. ඔහු ලඟා වෙමින් සිටියේ ජීවිත කාලයම ජනාධිපති විය හැකි අර්ධ-ඒකාධිපති පාලනයක් කරාය. නමුත් ඔහු පෙරළිණි.

ඒ පෙරළීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් වෙනුවට තවත් මංකොල්ල කල්ලියක කූටෝපා දේශපාලනයක් බවට පෙරළා ගත්තේ රනිල් වික්‍රමසිංහය. 2015 ජයග්‍රහණය කාබානීසියා කිරීමේ වරදට සිරිසේනට තඩි බෑම ගැරඬි මරා පවු පුරවා ගැනීමකි.

ඒ කෙසේ වෙතත් 2015 වෙනස විසින් ඇතිකරන ලද ගතිකත්වයන් විසින් රාජපක්ෂ සමයේ සිදුකරන ලද මහා පරිමාණ වංචා මෙන්ම මනුෂ්‍ය ඝාතන ගැනද නොබිඳිය හැකි සාක්ෂි සොයා වර්තා කර ගැනුණි. එම සාක්ෂි දැන් ඉතිහාසයයි. එමෙන්ම මෙම සාක්ෂි දේශසීමා තුළ කොටු කළ නොහැකිය. එබැවින්ම ඒවා මකා දැමිය නොහැකි අතර නිසි කළ අපරාධකරුවන් සොයා ගමන් කරනු ඇති බවද නිසැකය. බෂීර්මෙන් එකී අපරාධකරුවන්ට තිස් අවුරුද්දක් නැත. දැටමත් අධිකරණය හමුවේ බඩවැල් මෙන් එකී දූෂණ එළියට එමින් තිබේ.

උගත යුතු පාඩම පැහැදිළිය. රාජ්‍ය පාලකයින් විසින් කරනු ලබන අපරාධ කවර කළෙක හෝ පඩිසන් දීම ලෝක යථාර්ථය බවයි. ඒ තාක් කල් එවැනි අපරාධයන්ට වගකිව යුතු පුද්ගලයින් ස්වකීය හෘද සාක්ෂියේ සිරකරුවන් ලෙස දිවි ගෙවිය යුතුය.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ (බෂීර්ට අත්විය හැකි) අන්තර්ජාතික යුද අධිකරණයෙහි විදුලි පුටුවට යැවීමට කුමන්ත්‍රණ කළ බවට මහා ඝෝෂාවක් තිබුණි. රාජපක්ෂ සමඟ ආප්ප කා රනිල් වික්‍රමසිංහගේ සහායෙන් ජනාධිපති වූ සිරිසේන, රාජපක්ෂ විදුලි පුටුවෙන් බේරා ගත්තේ තමා යැයි තවත් ඝෝරනාඩුවක් කළේය.

අන්තර්ජාතික යුද අධිකරණය කිසිවකුට මරණ දඬුවම දෙන්නේ නැත. විදුලි පුටුව තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රටේය. ඒ කෙසේ වෙතත් මෙම විදුුලි පුටු කතාවෙහි සංකේතාත්මක වැදගත්කමක් තිබුණි. රාජපක්ෂවරුන් චෝදනා කළේ එල්ටීටීඊය සමඟ වූ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ ප්‍රශ්නය අන්තර්ජාතික තලයට විශේෂයෙන්ම ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ගෙනයෑම පිළිබඳවය. ඔවුන් කියා සිටියේ එමගින් යුද්ධයේ සියලුම ආරක්ෂක හමුදාවන්ට අණදෙන සෙන්පතියා වූ රාජපක්ෂ අනතුරෙහි හෙළීමට උත්සාහයක් පවතින බවයි.

සිරිසේන ඊටත් වඩා මංගල සමරවීර කියා සිටියේ 2015 යහපාලන ආණ්ඩුව විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී වගවීම, සංහිඳියාව සහ මානව හිමකම් සඳහා වූ යෝජනාවකට සම දායකත්වය දීම මගින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික තලයෙහි යහපත් තත්වයක් ලබාගත් බවයි. ඒ තාක් දුරට මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබුණේ ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනා පමණය.

2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ජය ගත්තේ නම් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට තිබුණි. ඒ වනවිටත් යුරෝපා සංගමයේ ජීඑස්පී සහනය නැති වී තිබූ අතර යම් මට්ටමක වෙනත් සම්බාධක ශ්‍රී ලංකාවට එරෙහිව පැනවීමේ අනතුරක් මතුව තිබුණි. මන්ද යත් රාජපක්ෂ ආණ්ඩුව අවසන් යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වමින් සිටියේ සහමුලින්ම නිශේධාත්මක පිළිවෙතක් නිසාය. මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාවට අත්ව තිබුණේ මානව හිමිකම් සම්බන්ධයෙන් දුෂ්ඨයකුගේ භූමිකාවකි.

ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද තහනම, ඒ පිටුපස වෙනත් හේතු තිබිය හැකි වුවද එය අප සළකා බැලිය යුතු වන්නේ එම පසුබිමෙහිය. ශ්‍රී ලංකාවේ වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් පිළිබඳ 2012 ප්‍රථම යෝජනාව සම්මත කරනු ලැබූයේ ඇමෙරිකාවෙහි මූලිකත්වයෙනි. ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයේ නැති වුවද අද පවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එහි ජිනීවා දූත මණ්ඩලයේ අවධානයෙහි කිසිදු අඩුවක් වී නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුල සිටම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ජිනීවා ක්‍රියාවලියට විරුද්ධ වූවෙකි. ඔහු බලයට පත් වූ පසු එම පිළිවෙත ප්‍රකාශ කළේය. 13 වන සංශෝධනය මගින් මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දියයුතු බවට මෝදි රාජපක්ෂවරුන් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටින ලද නමුත් ඒ දෙදෙනාම එය එක එල්ලේම ප්‍රතික්ෂේප කළෝය. දේශපාලන විසඳුමක් ලබාදීමද 30/1 ජිනීවා යෝජනාවට අඩංගුය.

රාජපක්ෂවරු එක් අතෙකින් යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් ප්‍රතික්ෂේප කරන අතර අනිත් අතින් මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම ප්‍රතික්ෂේප කරයි. එමගින් එය ඉන්දියාවේ සිට ඇමෙරිකාව දක්වා වන දැවැන්ත අන්තර්ජාතික පරාසයක සතුරන් ඇති කර ගනියි. එපමණක්ද නොවේ, ගෝඨාභය රාජපක්ෂ 19 වන සංශෝධනය ඉවත් කරන බවටද දිව්රා කියයි.

එයද එක්තරා අන්දමකට 30/1 යෝජනාව නොසළකා හැරීමකි. ඇත්ත වශයෙන්ම නම් ශවේන්ද්‍ර සිල්වාට පැනවූ තහනම අඬන්න සිටි අහවලාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් පමණය. 30/1 යෝජනාවෙන් තමන් ඉවත් වන බව ඒ වනවිටත් සිය භාවිතය මගින් රාජපක්ෂ ආණ්ඩුව අන්තර්ජාතික ප්‍රජාවට පෙන්නුම් කර තිබුණි.

යුද්ධයේ අවසන් භාගයෙහි දෙපාර්ශවයම විසින් බරපතල මානව හිමිකම් කෙළෙසන ලද බවට වන චෝදනා ශ්‍රී ලංකා ආණ්ඩුව නිසි අපක්ෂපාතී පරීක්ෂණයකට ලක් නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාකය වනු ඇත්තේ අන්තර්ජාතික මට්ටමෙන් වන ශවේන්ද්‍ර තහනමටත් එහා යන මැදිහත්වීම්ය. එය 2015 වනවිට ඇතිව තිබූ තත්වයමයි.

ශවේන්ද්‍ර තහනමට විරුද්ධව සජිත් ප්‍රේමදාසට තිබුණේ සරම උස්සා මුහුණ වසා ගැනීම නොව යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයන්හි වැදගත්කමත් ඒ අරභයා යහපාලන ආණ්ඩුව ගත් සාධනීය පියවර පෙන්වා දීමත්ය. දේශපාලන හය හතරවත් නොතේරෙන ඇත්තම ඇත්ත තොත්තම තොත්ත දේශපාලන බබෙකු බව ගතවන සෑම දිනක් පාසාම පෙන්වන ප්‍රේමදාසට හැක්කේ ශ්‍රී ලංකාව ආපස්සට මිසක් ඉදිරියට ගෙන යාමට නොවේ.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව දැන් පුරසාරම් කියා ඇති පරිදි 30/1 යෝජනාවෙන් ඉවත්වීමට නම් එය අක්‍රීය කළ යුතුය. ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලයේ ඊට විරුද්ධ යෝජනාවක් ගෙනැවිත් එය සම්මත කර ගත යුතුය. මෙම 24 දා ආරම්භ වන 43 වන සැසිවාරයට එවැනි යෝජනාවක් ඉදිරිපත් කළහොත් ශ්‍රී ලංකාණ්ඩුවට අත්වනු ඇත්තේ පරාජයකි. එවැනි විපාකයක් විසින් තත්වය තවත් නරක්වනු මිස යහපතක් සිදුවන්නේ නැත.

එසේ නොවේ නම් ශ්‍රී ලංකාණ්ඩුවට කළ හැක්කේ තමන් මෙම යෝජනාවෙහි අඩංගු කිසිදු පියවරක් තවරදුරටත් ක්‍රියාත්මක නොකරන බවට එළඹෙන සැසිවාරයේදී ප්‍රකාශයක් කිරීමයි. එවැනි ප්‍රකාශයකින් වුව ශ්‍රී ලංකාවට වාසියක් ලබා නොදෙනු ඇත. කවර හෝ ලෙසකින් මානව හිමිකම් කවුන්සිලයේ සම්මතව ඇති යෝජනා ප්‍රතික්ෂේප කළහොත් ඒ විසින් යුරෝපා සංගමයේ ජීඑස්පී සහනය යළි සළකා බැලීමක් පවා සිදු විය හැකිය.

පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන එන ලද රාජපක්ෂ ඥාති උදංයග විරතුංග සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති පොලීසිය ක්‍රියත්මක වන ආකාරය විසින්ද පෙන්වන්නේ ශ්‍රී ලංකාව නීතියේ පාලනය වෙනුවට පොලිස් පාලනයක් කරා ගමන් කරන බවයි. එයද ඇත්ත වශයෙන්ම අන්තර්ජාතික ප්‍රජාව හමුවෙහි ශ්‍රී ලංකාව දී ඇති පොරොන්දු කඩකිරීමකි. උදයංග වීරතුංග නඩුව සම්බන්ධයෙන් පමණක් නොව ත්‍රී'මලය නාවික හමුදා කඳවුරෙහි කරන ලද ඝාතන සහ වැළිකඩ හිරගෙදර ඝාතන නඩු සමිබන්ධයෙන් පොලීසියේ සහ ජනාධිපති කොමිෂන් සභාවන්හි වත්මන් ක්‍රියාකලාපය ඉදිරියට සිදුවිය හැක්කේ කුමක්දැයි පිළිබඳ නිමිත්තකි. සිය ඥතීන් සහ තමන් අධිකරණයෙන් බේරීම පිණිස රාජපක්ෂවරු වෙනුවෙන් උදයංග නඩුවෙහිදී කළඑළියේම නීතිය නවන අන්දමින් පෙනේන්නේ අප හිතුවක්කාර චෞර පාලනයක් කරා ළගාවෙමින් සිටින හැටිය.

පෙනෙන හැටියට රාජපක්ෂවරුන් තේරුම්ගෙන නැත්තේ සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙන බවයි. මානව හිමිකම් කවුන්සිලයේ එළඹෙන 43 වන සැසිවාරයට මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රි ලංකාව පිළිබඳ ඉදිරිපත් කර ඇති වාර්තාවේ මෙසේ සඳහන එම ඇත්ත පිළිබඳ මතක් කර දීමකි.

“අතීත මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම සහතික කිරීමට අපොහොසත් වීම සහ එම උල්ලංඝනයන්ට පදනම සපයන ව්‍යූහයන් විසුරුවා හැරීම සඳහා පුළුල් ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම යන කරුණු විසින් යළි ප්‍රචන්ඩ ක්‍රියා ඇති නොවන බවට ශ්‍රී ලංකාවේ ජනතාවට සහතිකයක් ලබා නොදෙනු ඇත. එවැනි අසාර්ථකත්වයන් විසින් වින්දිතයින් සහ ඔවුන්ගේ ප්‍රජාවන් හුදකලා කර රජය කෙරෙහි අවිශ්වාසයක් ඇති කරයි. එවැනි තත්වයක් විසින් ප්‍රචන්ඩත්වයේ විෂම චක්‍රයට උල්පන්දම් දිය හැකිය.”

රාජපක්ෂවරුන් ගමන් කරනනේ ස්වකීය බලය නැමැති කුහරය තුළින් බැවින් ඔවුන්ට එම යථාර්ථය පෙනෙන්නේ නැත.