මේ රංජන් හැර වෙනත් රංජන්ලා සිටිත්ද ? - සුනන්ද දේශප්‍රිය

මේ රංජන් හැර වෙනත් රංජන්ලා සිටිත්ද ? - සුනන්ද දේශප්‍රිය

17 January 2020 11:07 am

රංජන් සිර ගෙදරය. ඔහු කොපමණ කලකට සිරගතවනු ඇත්දැයි කියන අනාවැකිකරුවෝ වැහි වැහැලාය. නීතියේ පාලනයට අනුව සිදුවන අධිකරණ ක්‍රියාදාමයන්ට හදිසියක් නැත. ඒ නිසා අනාවැකි කියන නෝනා මහත්වරු තව ටිකක් ඉවසා හිටියොත් හොඳය.

රංජන්ගේ හඬපට තලුමරමින් අහමින් ඔහුට බැණවදින හැම දෙනෙකුම මතක් කර ගත් යුත්තේ කිසා ගෝතමියගේ කතාවය. ඇයට නොමළ නිවසකින් අබ ඇටයක් සොයා ගැනීමට බැරි විය. රංජන් යෙදුණු පුද්ගලික පිළිසඳර තලුමරමින් ප්‍රකාශයට පත් කරන සහ අසමින් ස්වයං වින්දනයේ යෙදෙන සියලු දෙනා අසා ගත යුතු එක් ප්‍රශ්නයක් තිබේ. එනම් ජීවිතයේ කවර අවස්ථාවක හෝ තමන් ඒහා සමාන පිළිසඳරක යෙදී නැත්ද යන්නයි. අඩුම වශයෙන් තමන් සමඟ හෝ එවැනි පිළිසඳරක යෙදී නැත්ද යන්නයි.

කරුණාකර තමන් සම්බන්ධ එම පරීක්ෂණය කර ගැනීමෙන් පසු රංජන්ගේ ‘අශ්ශීල’ කතා සම්බන්ධයෙන් නිගමනයට එළඹෙන්න. අන්තර්ජාලයෙහි ලිංගික චිත්‍රපට බැලීම අතින් ලෝකයේ පළමුවැනි තැන ගන්නා ශ්‍රී ලාංකිකයෝ බොහොමයක් රංජන්ගේ පුද්ගලික පිළිසඳර අසා ලබන්නේද එවැනිම වින්දනයකි. බොරු සුචරිතවාදය වනාහී කපටියාගේ ජීවන දැක්මය. රංජන් යනු මෙරට සමාජයේ කැඩපතකි. මේ රංජන් හැර කොතරම් රංජන්ලා මෙරට සිටිනු ඇත්ද ?

පුද්ගලික පිළිසඳර පටිගත කර ගැනීම මහත් වරදකි. නමුත් අද උඩ පනින බොහෝ ජනමාධ්‍යකරුවන්ද එයම කරන බව නොදන්නේ කව්ද ? එක් වරදක් තවත් වරදකින් වැසී නොයන්නේය. රංජන් වැරදි නම් ඒ් පුද්ගලික හඬපට සම්බන්ධ අධිකරණ තීන්දුවකට ඉඩ නොතබා ඒ්වා ප්‍රකාශයට පත් කළ රාජපක්ෂවාදී ජනමාධ්‍ය වැරදිකරුවන් නොවනු ඇත්ද ? එබැවින් රංජන්ට ලැබෙන දඬුවම ගැන අනාවැකි කියනවාට වඩා තමන් දෙස හැරී බැලීම එකී මාධ්‍යවලට වටින්නේය.

කුඩු ජාවාරම්කාරයකු බවට චෝදනා ලබන්නාවූත් මිනීමරුවකු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කරන ලද්දාවූත් පුද්ගලයකු සිය නායකයා විය යුතු යැයි කියන්නට ජනයා පෙළ ගස්වන සමාජයක කුමන සදාචාරයක්ද ? එම මිනීමරුවා ජනාධිපති සමාවක් දී නිදහස් කරන තුරු උපවාස කරන බවට තර්ජනය කරන රාජ්‍ය අනුග්‍රහය ලබන සිංහල බුදුදහමේ නූතන නායකයින් වන භික්ෂූන් සිටින රටක කුමන නීතියේ පාලනයක්ද ?

අනෙත් අතට රංජන් රාමනායක අත් අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණයට බලපෑම් කළේය යන චෝදනාව යටතේය. ඔහු අධිකරණය බලපෑම් කරන ලද්දේ නම් නිසි නීතිමය දඬුවමක් ලැබිය යුතුය. එවැනි නඩුවක් අපූරු දේශපාලන අවස්ථාවක් වනු ඇති බව නිසැකය.

එවැනි වරදක් කරන ලද පුද්ගලයකු ශ්‍රී ලංකාවේ නීතිය අනුව මහාධිකරණය විසින් ජූරි සභාවක් නොමැතිව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට එක් අවුරුද්දක් දක්වා දීර්ඝ විය හැකි කාලසීමාවකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට
හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දඬුවම් දෙකටම හෝ යටත් වන්නේය. ඊට අමතරව එසේ වරදකරු කරනු ලැබූ දින සිට ඒ තැනැත්තාගේ ප්‍රජා අයිතිය අවුරුදු හතක් නොඉක්මවන කාලයකට අහෝසි කළ හැකිය.

මෙවැනි ඉරණමට සිරිමා බණ්ඩාරනායක, සිරිසේන කුරේ යනාදීහුද ලක්ව තිබේ. දඬුවමක් වශයෙන් එය එතරම් කජ්ජක් නොවේ. රටක් වටිනා ප්‍රශ්නය මෙයයි. මේ වනාහී මෙරට අධිකරණයට බලපෑම් කරන ලද ප්‍රථම අවස්ථාවද යන්නය. වෙනත් වචනයෙන් කියන්නේ නම් අධිකරණයට බලපෑම් කළ, තවමත් කරන රංජන්ලා කොතරම් මෙරට සිටීද යන්නයි.

අශිෂ්ඨ දේශපාලන ක්‍රියාදාමයක් මගින් නෙරපා හරින ලද මෙරට ප්‍රථම අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක විසින් ලියා පළ කර ඇති (Hold Me Contempt) ඇයගේ මතක සටහන් මෙරට අධිකරණයට රාජපක්ෂ සමාගම විසින් කරන ලද ඍජු සහ වක්‍ර බලපෑම් පිළිබඳ වාර්තාවක් වැන්න.

මෙම බලපෑම් ආරම්භ වූයේ ඇය අගවිනිසුරු ලෙස දිව්රුම් දුන් දිනයේමය. එනම් 2011 මැයි 19 දාය. දිව්රුම් දීමෙන් පසු කතාවක් ඇති බැවින් නතර වන ලෙස රාජපක්ෂ ඇයට කීවේය. පස් හය දෙනෙකු පිරිවරාගෙන අගවිනිසුරුවරියට කතා කළ රාජපක්ෂ ඇසුවේ එකම ප්‍රශ්නයකි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් පත් කරන්නට යන්නේ කවරෙක්ද කියාය. එය නොඇසිය යුතුව තිබූ ප්‍රශ්නයකි. මන්ද යත් එම පත්කිරීම අධිකරණ සේවා කොමිෂම විසින් ගත යුතු වූ තීරණයක් නිසාය. ඒ් වනවිට පුරප්පාඩු වී තිබූ එම තනතුරෙහි වැඩ බැලුවේ නියෝජ්‍ය ලේකම් වූ මංජුල තිලකරත්නය. කොමිසම විසින් ලේකම්වරයකු පත් කැරෙන තුරු ඔහු වැඩ බලනු ඇතැයි ශිරාණි බණ්ඩාරනායක කීවාය.

රාජපක්ෂ පුපුරු ගසන තරම් කේන්තියට පත් විය. රාජපක්ෂ පිටුපසට වී කනට කොදුරමින් සිටියේ අධිකරණ නිලධාරීන් සමඟ සබඳතා පවත්වන්නේයැයි පැමිණිලි ලැබී තිබූ නිළධාරියෙකි. ඔහු සෑමවිටම අගවිනිසුරිය කතාවට අල්ලා ගැනීමට උත්සාහ ගත් පුද්ගලයෙකි. (ඔහුගේ නම පොතෙහි සඳහන් නොවේ) පිළිගත් සම්ප්‍රදාය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ජනාධිපති ලේකම්වරයා සමඟ පමණක් ගනුදෙනු කිරීමය.

ජනාධිපති රාජපක්ෂ කේන්ති ගන්නට ඇත්තේ තමා විසින්ම පත්කළ අගවිනිසුරුවරිය තීරණ ගැනීමට පෙර ඔහු නොවිමසීම ගැන බව තමා දැන සිටියේ යැයි ශිරාණි බණ්ඩාරනායක කියයි.

පසු කළක ඉහත කී මංජුල තිලකරත්න අධිකරණ සේවා සභාවේ ලේකම්ව සිටියදී අපකීර්තිමත් යතුරුපැදි මැර බලකායක ප්‍රහාරයකට ලක් විය. එම මැරයෝ තවමත් යහතින් සිටිති. ඒ රාජපක්ෂවරු අහක බලා ගත් නිසාය. එම පහරදීම් බලපෑම් නොවේද ?

අමාත්‍ය බැසිල් රාජපක්ෂ යටතට බලතල රාශියක් ලබා ගැනීම පිණිස සකස් කරන ලද දිවි නැඟුම පනත පිළබඳ ශේෂ්ඨාධිකරණ තීන්දුව 2012 ඔක්තෝම්බර් 31 වන දින ජනාධිපතිවරයාට සහ කතානායකවාරයාට යැවීමට නියමිතව තිබුණි. ඊට පෙර දින අගවිනිසුරුවරිය එම පනත විමසා බැලූ
අනෙක් විනිසුරන් දෙදෙනා සමඟ සාකච්ජා කරමින් සිටියේය.

මේ අවස්ථාවෙහිදී ඇයට හදිසි දුරකතන ඇමැතුමක් දුන් ඇයගේ ලේකම්වරිය කියා සිටියේ ඇය හමුවීමට අධිකරණ ඇමැතිවරයා පැමිණ සිටින බවයි. මෙම හමුව කලින් සූදානම් කරන ලද එකක් නොවුවද අධිකරණ ඇමැති ජී.එල්. පීරිස් හමුවීමට අගවිනිසුරුවරිය තීරණය කළාය. වාඩිවීමට කරන ලද ඇරයුමට ස්තුති කිරීමට හෝ පමා නොවූ පීරිස් කියා සිටියේ නාස්ති කිරීමට වේලාවක් නැති බවයි. ඉතාම හදිසි සහ වැදගත් කරුණක් සඳහා දැන්ම ජනාධිපති හමුවීමට යාමට එන්නැයි පීරිස් අයැද සිටියේය.

තමා වැදගත් නඩු තීන්දුවක් අවසන් කරමින් සිටින බවත් තවද මෙම අවස්ථාවෙහි ජනාධිපතිවරයා හමුවීම යෝග්‍යයැයි තමා නොසිතන බවත් ඇය අධිකරණ ඇමැති ජී.එල්. පීරිස්ට කියා සිටියාය. පීරිස්ගේ මුහුණ කලු වී මළානික විය. ඒ මුහුණ පුරා ලියැවී තිබුණේ බිය යැයි ශිරාණි බණ්ඩාරනායක සිය මතක සටහන්හි ලියා තිබේ.

එවකට රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරයෙකු වූ රිෂාඩ් බදුර්දීන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද බලපෑම්ද දීර්ඝ වශයෙන් එහි සඳහන් වෙයි. ඒ 2012 ජූලි මාසයේදීය. දෙමළ ධීවර ගම්මානයක නිවෙස් ගණනාවක් ගිනි තැබීම සම්බන්ධයෙනි. එකී අපරාධයට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියෝග කළ මහේස්ත්‍රාත් එල්ටීටීඊ හිතවාදියකු යැයි කියමින් බදුර්දීන් පාක්ෂිකයෝ අධිකරණය වට කළහ. රිෂාඩ් බදුර්දීන් යැයි කියාගත් අයකු විසින් අධිකරණය ගිනි තබන බවට තර්ජනය කළේය. ජූලි 18 වනදා අධිකරණය වට කළ පිරිස් ගල් ප්‍රහාර එල්ල කරමින් එයට ගිනි තැබූහ. මහාධිකරණ විනිසූරුවරයාට මේසය යට සැඟවීමට සිදු විය. මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවෙහි මහේස්ත්‍රාත් ජෙසුදාසන්ට කතා කළ ඇමැති රිෂාඩ් බදුර්දීන් යැයි හදුන්වාගත් පුද්ගලයා ‘ මා මේ තර්ජනය කලේ නැත්ද ?’ යැයි විමසා සිටියේය.

මේ සම්බන්ධ පරීක්ෂණයේදී රිෂාඩ් බදුර්දීන් කියා සිටියේ සිය ජංගම දුරකතනය එම අවස්ථාවෙහිදී තිබුණේ සිය සහෝදරයා ළග බවය. එහෙත් මහේස්ත්‍රාත්වරයා තමාට තර්ජන කළේ රිෂාඩ් බදුර්දීන් බවම කියා සිටියේය. කෙසේ වෙතත් මේ කිසිවක් නිසි පරීක්ෂණයකට යොමු කැරුණේ නැත. ඒ වනාහී අද බොහෝ දෙනෙකුට අමතක වී ඇති රාජපක්ෂ සමයේ දේශපාලනයයි.

තම සැමියාට විරුද්ධව අල්ලස් නඩුවක පවරන ලද්දේද තමා බිය ගැන්වීමට හෝ යටත් කර ගැනීමට යැයිද ශිරාණි බණ්ඩාරනායක සඳහන් කරයි. මේ අතර දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා එල්ල වී තිබූ විනිසුරුවරයකුගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව
2012 සැප්තැම්බර් 11 දා පියවර ගත්තේය.

ඊට පසුදාම ජනාධිපති රාජපක්ෂගේ ලේකම් වූ ලලිත් වීරතුංග දුරකතන ඇමැතුමක් දෙමින් අධිකරණ සේවා කොමිසම එනම් අගවිනිසුරුවරිය සහ අනෙක් කොමසාරිස්වරුන් දෙදෙනා හමුවීමට ජනාධිපතිට අවශ්‍ය බව කියා සිටියේය. විශ්මයට පත් වූ ඇය එම ඉල්ලීම ලිඛිතව එවන ලෙස දන්වා සිටියේ එවිට එම ඉල්ලීම කොමිෂන් සභාවෙහි සාකච්ජා කළ හැකි බව කියමිනි. ශිරාණි බණ්ඩාරනායක එයට පෙර සිව් වසරක් එහි කොමසාරිස්වරියක ලෙසද 2011 සිට එහි සභාපතිනිය ලෙසද කටයුතු කර තිබූ නමුත් කිසිදු විටෙක කොමිසම ජනාධිපතිවරයා හමුවට කැඳවා තිබුණේ නැත. මේ කරුණු සළකා බැලූ කොමිසම ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඒ බව දන්වා යැවුවේය.

රාජ්‍ය ගුවන් විදුලි සේවාව වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදෑසන වැඩසටහනක් මගින් මෙම කාලයෙහිම අධිකරණයටද විනිසුරුවරුන්ටද දරුණු ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන තිබුණි. එහි බස අශිෂ්ඨ විය. කරුණු අසත්‍ය විය. ස්වරය අපහාසාත්මක විය. එමගින් අධිකරණය විහිලුවට සහ හෑල්ලුවට ලක් කෙරුණි.

හිටපු අගවිනිසුරිවරිය කියන්නේ මේ වනවිට ‘අධිකරණය ප්‍රහාරයට ලක් කිරීම’ ඇරඹී තිබූ බවයි. මෙම තත්වය යටතේ රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යනු ලබන ප්‍රහාර සම්බන්ධයෙන් 2012 සැප්තැම්බර් 18 වන දින පුවත්පත් ප්‍රකාශයක් නිකුත් කළ අධිකරණ සේවා කොමිෂන් සභාව ‘බලපෑම්, තර්ජන සහ විවේචන මගින් බිය ගැන්වීමට ඉඩ නොතබා කොමිෂන් සභාවේද අධිකරණයේද ස්වාධීනත්වය රැකගැනීම සිය වගකීම වේ’ යැයි කියා සිටියේය. එදා කටයුතු සිදුවුණේ එහෙමය.

ඉහත සඳහන් වන්නේ රාජපක්ෂවරුන් විසින් අධිකරණය කරන ලද බලපෑම්හි එක් පැතිකඩක් පමණකි. අවසානයේදී අගවිනිසුරුවරියට අපහාස කරමින් ඇය පළවා හරින ලද්දේ මෙම ක්‍රියාදාමයේ උච්චතම අවස්ථාව ලෙසය. ඒ වනාහී අද අධිකරණයට බලපෑම් කලේ යැයි රංජන්ට විරුද්ධව උඩ පනින රාජපක්ෂවරුන්ගේ දේශපාලනයයි.

ඒ අතින් ජයවර්ධනලාගේ සහ වික්‍රමසිංහලාගේ දේශපාලනයත්, කුමාරතුංගලාගේ සහ රාජපක්ෂලාගේ දේශපාලනයත් අතර වෙනසක් නැත.

මේ රංජන් හැර වෙනත් රංජන්ලා නැත්දැයි දැන් කල්පනාකර බලන්න.