71 කැරැල්ලේ බෝල සමරේ - රුවන් එම්. ජයතුංග

71 කැරැල්ලේ බෝල සමරේ - රුවන් එම්. ජයතුංග

16 January 2020 10:50 am

බෝල සමරේ මිය ගිය බව ආරංචි විය.බෝල සමරේ 2007 වසරේ මට හමුවූ අතර ඔහු මාගේ 71 කැරැල්ල පොතට තොරතුරු ලබා දුන්නේය. පහත දැක්වෙන්නේ ඔහු පිලිබඳව සටහනකි.

71 කැරැල්ලේ අමතක කළ නොහැකි චරිතයක් ලෙස බෝල සමරේ චරිතය සනිටුහන්වී තිබේ. ඔහුගෙ නියම නම ජේ සමරතුංග වුව ද ඔහුව දන්නේ බෝල සමරේ නමිනි. මට ඔහුව හමු වුයේ නාරම්මල ඔහුගේ නිවසේ දී ය. දක්ෂ ගොවියෙකු වන සමරතුංග මහතාගෙ වත්ත පුරා කෘෂි බෝග දැකිය හැකි ය. මා ඔහුගෙන් ඇසූ මුල්ම ප්‍රශ්නය වූයේ ඔබට බෝල සමරේ කියන්නේ මන් ද ? යන්නයි. එවිට ඔහු කීවේ මෙයයි. ‘මට බෝල සමරේ කිව්වේ ඒ කාලේ මම මහත නිසයි. දැන් මගේ ශරීරය කෙට්ටු වෙලා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මම සිංහල, ආර්ථික විද්‍යව ඉතිහාසය යන විෂයයන් හැදෑරුවා. මම මුලින් ම දේශපාලනය කළේ ෂන්මුග දාසන් එක්ක එක පිලේ. මම විශ්වවිද්‍යාලයේ සරත් විජේසිංහගේ සමකාලිනයෙක්. අපි සමාජවාදි ශිෂ්‍ය සංගමය ඇරඹුවා. නිහාල් ඩයස් ඉවත්වීමෙන් පසු ව මම සරත් විජේසිංහ සමඟ ඉතා කිට්ටුවෙන් සංගමයේ කටයුතුවල නියැලුනා. විජේවීර අපිට සම්බන්ධ වුණේ ලොකු අතුල හරහා. 1967 මුල් කාලයෙ විතර මාවනැල්ලේ වීරරත්නගේ ගෙදර අපි විජේවීර සමඟ සාකච්ඡා කළා. විජේවීර තමන්ගේ ව්‍යාපාරය ආර්ථික අර්බුදය ගැන එහෙම කථා කරලා. එම සාකච්ඡාව අවසානයේ දී මට හිතුනා අපි විජේවීර සමඟ එකතු වුණොත් හොඳ බව. ඒත් සරත් විජේසිංහ තවම හිටියේ තීරණයක් නොගෙන. ආපහු මාවනැල්ල   සිට පේරාදෙණිය දක්වා බස් එකේ එන කොට මමයි සරතුයි මේ ගැන විවාද කළා. අපි පේරාදෙණියේ බහින කොට සරතුත් එකඟ වුණා විජේවීරත් එක්ක කටයුතු කරන්න. 

මට මුලින් ම පන්ති කළේ ප්‍රේමපාල, විජේවීර හා මිල්ටන්. මම පූර්ණකාලිනයකු ලෙස මොනරාගලට ගියා. මාස 5 විතර වැඩ කරන කොට ධර්මසේකර එක්ක විජේවීර ගැටුනා. ඒ නිසා මාව කුරුනෑගල දිස්ත්‍රික් ලේකම් කලා. කුරුණෑගල හා කෑගළු දිස්ත්‍රික්ක භාරව සිටියෙ ලොකු අතුලයි. අතුල මුල් යුගයේ දැඩි කැප කිරීම් කළා. අපේ යුධ සෙන්පතියා. ව්‍යාපාරය වෙනුවෙන් මුදල් සෙවීම් පවා කළා. ඉලුක් කරපු බදුල්ලේ තැපැල් මුදල් කොල්ල කෑම සම්බන්ධීකරණය කළේ ලොකු අතුල. අනුරාධපුර බැංකුව කැඩීම අසාර්ථක වුණා. ඉලුක් අහු වුණා. මම තමයි ඇප දුන්නේ. සරත් විජේසිංහ කැපී පෙනුනු නායකයෙක්. උයන්ගොඩ. බෝපගේ කුමානායක ව්‍යපාරෙට සම්බ්න්ධ කර ගැනීමට මුලික වුණේ සරත් විජේසිංහ. විජේවීරට සරත් කෙරෙහි බියක් තිබුණා. සරත්ව දේශපාලන මණ්ඩලයට නොගැනීම ගැන සරත් හිටියේ ටිකක් අසතුටින්. තණමල්විල පැවති කඳවුරට සරත් සාමාජිකයන් 60 වගේ විශාල පිරිසක් ගෙනිච්චා. විජේවීර ජනතාව වෙනුවෙන් කැපවූ නායකයෙක් කියලා කියන්න පුලුවන්. ඒත් සතුරු බලවේග තේරුම් නොගැනීමේ නොහැකියාවකින් පෙලුනා. සතුරා මිතුරා අඳුනා ගැනීමට නොහැකි වීම විජේවීරගේ ලොකු අඩුවක්. ලොකු අතුල සමඟ ගැටළු ඇතිවූ විට අපි සැම දෙනා ම ලොකු අතුලගේ මිනිස්සු කියලා එක ගොඩට දමලා තමයි විජේවීර ක්‍රියා කළේ. ඒත් අපි ලොකු අතුලගේ ගෝලයෝ නොවෙයි. මට මතකයි වරක් මමයි සරත් විජේසිංහයි ලොකු අතුලට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කලා විජේවීරට. ලොකු අතුල දේශපාලන වශයෙන් ක්‍රියාශීලි මදියි කියලා. 

1970 මැතිවරණයේ දී විජේවීර “මොකුත් නැතුවට වඩා කැඳ හොඳයි” කියල, සමඟි පෙරමුණට වැඩ කරන්න අපිට අවසර දුන්නා. මම දඹදෙණියේ පී.බී. වෑත්තෑවට වැඩ කළා. මම අවුරුදු  13-14 හිට දේශපාලනය කරපු කෙනෙක්. මම ශ්‍රී.ලං.නි.ප ආර්.ජී. සේනානායකගේ රැස්වීමක කථා කරන කොට මට අවුරුදු 14යි. ඒ නිසා දේශපාලනය මට අමුතු අත්දැකීමක් වුණේ නැහැ. සමඟි පෙරමුණ දිනුවාට පස්සේ ශ්‍රී.ල.නි.ප. කුරුණෑගල තරුණ සංවිධානේ පිළිගැනීමේ කථාවත් කළේ මම. අපිට සන්නද්ධ වෙන්න කියලා දැනුම් දීලා තිබුණේ. අපේ දිස්ත්‍රික්කයේ තුවක්කු 50-60 තිබුණා. ටින් බෝම්බ එහෙමත් තිබුණා. 1971 අප්‍රේල් 5 දා කුරුණෑගල පොලිසියට පහර දෙන එක මට නියමිත වුණා. අපිට 200 විතර පිරිසක් හිටියා. කුරුණෑගල පොලිසියට පහර දෙන්න වාරියපොල මඩගහපොල රම්බඩගල්ල යන ප්‍රදේශවලින් කණ්ඩායම් ඒමට නියමිතව තිබුණා. 

අපි 1971 අප්‍රේල් 5දා රැ 9.30ට කුරුණෑගල ඔරලෝසු කණුව අසළට කණ්ඩායමක් හා පුත්තලං හන්දියට කණ්ඩායමක් එන්න කියලා දන්වලා තිබුණේ. එදා රෑ මමයි ජේ.ඒ. ජයකොඩියි මගේ ඥාතියෙකු වන රොඞ්රීගුයි බෝම්බ උර 3 කරේ තියාගෙන මලියදේව එක අසළ ඇති කුණු කානුව දිගේ අදාළ තැනට ගියා. අපි යන කොට කුල්ටා නොහොත් හේරත්, දොඩංගස්ලන්දේ ධර්මේ, වාරියපොල සේදිරිස් හිටියා. ධර්මසේකර විජේවීර ගැටුමෙන් පසු ජේ.ඒ. ජයකොඩි කපළා තිබුණේ. ඒත් මම ජේ.ඒ. ජයකොඩි නිර්දෝෂි කියන ස්ථාවරේ හිටියෙ. ජයකොඩි විශේෂ කාර්ය භාරයක් කැරැල්ලෙදි කළා. කිසිම වග විභාගයක් නැතුව මිනිසුන් කපා දැමීමට හොඳ නැති බව විශ්වාස කළ නිසයි මම ජයකොඩි අත නොහැරියේ. අපිට තුවක්කු පහකුයි. ටින් බෝම්බ 500 කුයි මොලටොව් 200 විතර තිබ්බා. රෑ 10 ට විතර කුරුණෑගල පොලිසියට ප්‍රහාර එල්ල කළා. අපේ කට්ටිය ආපු බස් එකක් පොලිසිය අසළට ආවා එතකොට පොලිසිය බස් එකට වෙඩි තිබ්බා. ඒකෙන් වික්‍රම කියන සාමාජිකයා මළා. අපි පිරිස 150 විතර පැය 2 පහර දුන්නා. උදේ 4 විතර වෙනකොට ප්‍රහාරය නවත්තලා පසු බසින ලෙසට මම පිරිසට දැන්නුවා. කුරුණෑගල පොලිසිය යටත් කර ගැනීමට බැරි උනත්   කුරුණෑගල පොලිසියෙන් අනෙක් ප්‍රදේශවලට ආධාර යැවීම වැළැක්වීමයි අපේ අරමුණ. ඒ අරමුණත් යම් ප්‍රමාණයකට ඉටු වුණා. උදේ වෙනකොට පිරිස විසිරිලා. උදේ 6ට විතර මමයි ජයකොඩියි, රුද්‍රිගොයි, මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු වූ සාලින්ද දිසානායකයි බස් ස්ටෑන්ඞ් එකේ ඉතුරු වුණා. 

මට තේරුණා මේ වනවිට කැරැල්ල අසාර්ථක බව. අපි හතර දෙනා ආඳාගල කන්දට ගියා. එතනින් මැද්දේගම පන්සල ලඟට ගිහිල්ලා රැදී සිටියා. අපි තුන්දෙනෙක් කැලේ නැවතිලා ඉන්න කොට සාලින්ද ගිහිල්ලා අපිට ඇඳුම් කෑම අරගෙන ආවා. කෑම කෑවට පස්සේ මම දැන් කල යුත්තේ කුමක් ද කියන එක ගැන හිතන්න පටන් ගත්තා. අපි එකට ඉන්න එක සුභ නැහැ. අපි ඔක්කොම තනි තනියම විසිරිලා ගියා. මම ගියේ කිඹුල්වානා ව්‍යාපාරයට. එහේ මගේ යාළුවෙක් හිටියා. මම එයාගේ කඬේ දවස් 3 විතර නැවතිලා ඉදිරියෙ කල යුත්ත සැලසුම් කරන්න පටන් ගත්තා. මට දැන් අවශ්‍ය වුණේ අපේ අනෙක් කණ්ඩායම එක්ක සම්බන්ධ වෙන්න. මම යාළුවාගේ කඬේ අසළ ඉන්නකොට ට්‍රැක්ටරයක 25 විතර පිරිසක් අපේ යුනිෆෝම් ඇඳගෙන සන්නද්ධව මඩහපොල කන්ද පැත්තට ගියා. මම ඉක්මනට කඬේ තිබ්බ බයිසිකලයක් රැගෙන ට්‍රැක්ටරය පස්සේ ගියා. ඒ පිරිස මාව අඳුරගෙන මඩහපොල කඳවුර තියන ඉසව්ව ගැන කිව්වා. මම යළිත් කඩයට ගිහිල්ලා පහුවදා මඩහපොල ට යන්න තීරණය කළා. 

1971 අප්‍රේල් 15 විතර මම මඩහපොල කන්දට ගියා. එතන 150 - 200 විතර අපේ සාමාජිකයන් ඉන්නවා. කුල්ටා හෙවත් හේරත් තමයි ලීඞ් කළේ. සිරිල් හිටියා, වෙඩි වැදිලා. සාමාජිකයන් එයාට උවටැන් කරනවා. මෙතන ඉන්න එක සුදුසු නැති බව මට හිතුනා. භූමිය අනතුරුදායකයි. ආරක්ෂක අංශ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරලා. මම කුල්ටා ගෙන් සාමාජිකයන් 4 දෙනෙක් ඉල්ලගෙන රම්බඩගල්ලට පයින්ම ගියා. රම්බඩගල්ලේ දී මට අපේ තවත් සාමාජිකයන් මුණ ගැසුණා. එතන හිටියා 100 විතර. ධර්මරත්න තමයි නායකයා. රම්බඩගල්ලේ   මම දවස් 2-3 විතර හිටියා. ඊට පස්සේ මම මාවතගම හරහා බලපත්තාවට ගියා. බලපත්තාවේ අපෙ පිරිස ගොඩක් හිටියා. මට හිතෙන්නේ 200 විතර සන්නද්ධව. ලොකු අතුල, තුල්හිරියේ ආරි, බන්ධුල, එතකොට බලපත්තාවේ පොඩි දිසා මට සරත් විජේ්සිංහගේ මරණය ගැන කිව්වා. සරත්ගේ මරණය ගැන ආවේ දුකක්. ඒත් හමුදා ප්‍රහාර අවිනිශ්චිතතා ඉදිරියේ අපිට ශෝකය වගේ හැගිීම්වලට හිතේ ඉඩක් නැහැ. 

කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් අල්ලා ගැනීමේදි සරත් විජේසිංහ, තුල්හිරියේ ආරි, පොඩි දිසා යන අයගේ සන්නද්ධ නායකත්වය විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒත් ලොකු අතුල වගේ සෙන්පතියෙකුගෙන් අපි බලාපොරොත්තු වෙච්ච සන්නද්ධ පෞරුෂය අපි එහිදී දැක්කේ නැහැ. මේ නිසා මට නායකත්වය නිතැතින් ම වාගේ ලැබුණා. අපි කණ්ඩායම දෙකට කැඩුවා. ප්‍රහාර හමුවේ පසු බැසීම සඳහා. පිරිස වැඩියි ඔක්කොම එකට විල්පත්තුවට පසු බැසීම නුසුදුසුයි. ඒ නිසා මම ලොකු අතුල පොඩි දිසා බන්ධු, සුජාතා හඳගම, තුල්හිරියේ ආරි එක කණ්ඩායමකටත් මගේ නායකත්වයෙන් අනෙක් කණ්ඩායම කාගම උපසේනගේ මෙහෙයවීම යටතේත් බෙදා වෙන් කළා. කාගම විශේෂ චරිතයක්. මතු වෙන්නේ ඇසල මුල්ලේ බෝම්බ පිපිරිමත් එක්ක. බෝම්බ කෑලි වැදිලා මුළු ශරීරයම ලේ ගලනවා. කාගම බස් එකක නැගලා ගියා ඩ්‍රැයිවර්ටත් සැර දාලා. විජේවීර මට පණිවිඩයක් එවලා තිබ්බා කාගම ගුණරත්නගේ මඩුවේ බෝම්බ පිපිරීමකට ලක් වෙලා තුවාලයි කියලා. මම තුල්හිරියේ ආරිට කිව්වා අලව්ව පාලම ලඟට කාගමව ගේන්න ඉතුරු ටික මම බලාගන්නං කියලා. ආරි කාගමව අලව්වේ පාලම ලඟට ගෙනාවා. මම නාරම්මල පාක් එකේ හිතවත් ටැක්සි රියැදුරෙක් එක්ක අලව්වේ පාලම ලඟ හිටියා. වහාම තුවාල වෙලා හිටපු කාගම අපේ ටැක්සියේ දාගෙන අලව්වේ ගල්වත්තේ ගෙදරකට ගෙන ගිහිල්ලා බේත් කළා. කාගම කැරැල්ලේ දී මතු වෙච්ච වීර චරිතයක්. ඒත් කාගමගේ කණ්ඩායමට නිසි දේශපාලන නායකත්වයක් ලබා දිය හැකි කෙනෙකු ලබා   නොදීම අපි එදා කරපු වැරැද්දක්. අපේ කණ්ඩායමේ හිටපු දේශපාලන නායකයෝ කාගමගේ කණ්ඩායම එක්ක පසු බැසීමේදි යාවෙන්න තිබුණා. අපිට ඒක අතපසු වුණා කාගම සමඟ සරත් විජේසිංහගේ මල්ලිලා, ජස්ටින් හා කරුනේ ඇතුළු පිරිසක් හිටියේ කාගමගේ කණ්ඩායමේ හොඳ දේශපාලන නායකත්වයක් දිය හැකි කෙනෙක් හිටියෙ නැහැ. ඒ නිසා කාගමගේ මරණයත් එක්ක පිරිස විසිරිලා අත්අඩංගුවට පත් වුණා. කාගම හා අපි බලපත්තාවේ සිට පිටත් වුණා. 

අපි මාර්ග දෙකක ගමන් කළා විල්පත්තුව ඉලක්ක කරගෙන. රෑට යනවා දවල්ට කැලෑ ඇතුළේ සැඟවිලා ඉන්නවා. අපි ලඟ තුවක්කු, ඩයිනමයිට්, බෝම්බ උස්සාගෙන යාමට අපහසු විදිහට තිබ්බේ. කෑම වතුර හිඟයි. අපි මුලින් ම ගියේ යක්දෙස්සා කන්දට. එතනින් ගියා මඩහපොල කන්දට. මඩහපොල කන්දේ කුල්ටාගේ නායකත්වයෙන් යුත් කුරුණෑගල කණ්ඩායම් ඒ වෙනකොට හිටියා. එතන 50-60 විතර ඒ වෙනකොට ඉතිරි වෙලා හිටියේ. අපි දවස් 3-4 එතන නැවතුණා. ගමේ මිනිස්සු අපිට කෑම බීම දුන්නා. අපි නැවතත් ඉදිරියට යන්න තීරණය කලා. මගේ හිතේ තිබ්බේ මා ඕ සේතුංගේ මහා පා ගමන. හමුදාවට මුහුණ නොදෙන්න තීරණය කළා පිරිසගේ ආරක්ෂාවට ඒ නිසා හමුදාව මඟ හැරලා ගමන් කළා. අපි කුරුණෑගල පල්ලේකැලේ ගල් ගුහාවල සතියක් විතර ගත කෙරුවා. හාල්වලින් බත් ඉව්වා. රොටී පිච්චුවා. වතුරවලවල්වලින් වතුර එකතු කළා. මෙහි දී හමුදාව අපට වෙඩි තිබ්බා. පැට්ට්‍රික් ප්‍රනාන්දුගේ කකුලට වෙඩි වැදිලා එයා අත්අඩංගුවට පත් වුණා. කුල්ටාට වෙඩි වැදුණා. පසු ව මට ආරංචි වුණා කුල්ටාගේ බඩට වෙඩි වැදිලා බඩවැල් එළියට ඇවිල්ලා. කුල්ටා බඩවැල් අතේ තියාගෙන ඉදිරියට යනකොට හමුදාව අත්අඩංගුවට අරගෙන. ඒ පාර කුල්ටා හමුදා වාහනයක් දක්වා පයින් ගිහිල්ලා තියෙන්නේ බඩවැල් අතේ තියාගෙන. ප්‍රහාර නිසා අපේ පිරිස විසිරුනා. සමහරු පැනලා ගියා. අපි ඉතිරි පිරිස අරගෙන ගල්කිරියාගම හරහා කැත්තංහුව ඔස්සේ   පළුගොල්ල දේවාලයට ගියා. රෑ යළි හමුදාවෙන් අපිට වෙඩි තිබ්බා. කණ්ඩායම දෙකට කැඩුනා. පිරිසක් ඉදිරියට ගියා. 

මම පොඩි දිසා ඇතුළු පස් දෙනෙක් කණ්ඩායමෙන් කැඩිලා. එදා රෑ වැස්ස අපි හත් දෙනා වැස්සේ පඳුරු අස්සේ හැංගිලා හිටියා. අපි හැමෝම වැස්සට තෙතබත් වෙලා හීතලයි. බඩගිනියි. යළිත් හමුදාව එන සැකය නිසා එළිය වැටුනු වහාම අපි පිටත් වුණා. උදේ වැස්ස නැවතුණා. අපිට මඟ ඇරිච්ච කණ්ඩායමේ අඩි පාරවල් දැක්කා. අපි අඩිපාරවල් ඔස්සේ ගියා. යනකොට එක තැනක අගේට මඟ ඇරුණු පිරිස කිරි උණු කරලා බොනවා. එතන 50 විතර හිටියා. මම කිව්වා මෙතන වතුර උණු කර කර ඉන්න එක භයානකයි. අපි ඉදිරියටම යමු. කිරි නොබිපු අයට ආරක්ෂිත ස්ථානයකට ගිය වහාම කිරි වීදුරු 2 බැගින් දෙනවා. කිරි හැදුවේ ටින් කිරි ටින් කඩලා උණු වතුරට දමලා. ඒ නිසා ඒ උණු වතුර විසි කරලා හැලිය අරගෙන යළිත් ගමන පිටත් වුණා. අපි යන්නේ මී ඔය දිගේ ආණමඩුව කැලේට. මී ඔය දිගේ අපි යන කොට හමුදාව අපට ඉදිරියෙන් එනවා. අපිව දැකලා හමුදාව වෙඩි තිබ්බා. මම කෑ ගැහුවා වහා බිම වැතිරෙන්න කියලා. සමහරක් බිම වැතිරුණා. සමහරක් දිව්වා. මාත් සමඟ ඉතිරි වෙලා හිටියේ 20 පමණ කණ්ඩායමක්. දිව්ව පිරිස අතර ලොකු අතුල, පොඩි දිසා එහෙමත් හිටියා. පස්සේ මට ආරංචි වුණා ඒ අය අත්අඩංගුවට පත් වෙච්ච බව. අපි ඔය දිගේ බඩගාගෙන ගියා. ක්‍රම ක්‍රමයෙන් වෙඩි හඬ නැවතුණා. අපිට තව ඉදිරියට යන්න ශක්තිය නැහැ. ශරීර වෙහෙස අධිකයි. අපි මැරිලා වගේ ඔහේ ඉවුරේ වැතිරුනා. අපි ඉදිරියේ යාර 200 විතර ඉදිරියේ මහ කැලේ. මට හිතුනා අපේ කට්ටිය කිරි උණු කර කර ඉන්නේ නැති ව දිගටම ආවානං කැලේට නිරුපද්ද්‍රිතව එන්න තිබුනානේ කියලා. අපි කැලේට අවතීර්ණ වුණා. ඒ අසළ ගහක තියනවා මීයක්. ඒක කඩාගෙන බෙදා හදාගෙන කෑවා. අපි මහ කැලේ දවස් 3 විතර ඇවිදගෙන කලා ඔය අයිනටම ගියා. කලා ඔය තරණය කරලා අපෙ ඉලක්කය වූ විල්පත්තුවට ගියා.

  බලපත්තාවේ සිට අපි සැතපුම් සිය ගණනක් පයින්ම ඇවිදලා තිබූ කාලය මාසයකටත් වැඩියි. 200ක පිරිසෙන් ඉතිරිව හිටියේ 21 ක විතර කුඩා කණ්ඩායමක් විතරයි. මම, තුල්හිරියේ ආරි බන්දුල නොහොත් උදේනි ජුලියට් ඇතුළු පිරිසක් විතරයි හිටියේ. මට අපේ අනිත් අය ගැන දුකක් ආවා. පසුබැස්ම සාර්ථක කර ගැනීමට නොහැකි වීම මට ඇතිකළේ දුක වගේ ම වරදකාරි හැගීම. අපිට අතපසුවීම් කිහිපයක් වුණා පසුබෑමේදී. අපි බලපත්තාවේ සිට නෙලුම්දෙනිය කිසිම ගැටළුවක් නැති ව ඇවිල්ලා රෑ නෙලුම්දෙනියෙ නැවතිලා හිටන් හබ්බෙලිකන්දට පැමිණියා. රෑ නැවතුනේ හබ්බෙලිකන්දේ. අපි ලඟ ආයුධ තිබ්බා. ඩයිනමයිට්, ජෙලිග්නයිට් ගොඩක් තිබුණා. ඒ අතර රාහුල හා තුල්හිරියේ ෆෝමන් ළඟ මැෂින් තුවක්කු 2 තිබුණා. අනිත් අය ලඟ පොඩි ගන් 300, රයිෆල් 4 එහෙමත් තිබුණා. අපේ බාගයක් යුනිෆෝම් ඇඳගෙන. අපි රෑට නැවතුන තැන්වල ඩයිනා හයි කරලා තිබ්බේ අනපේක්ෂිත වැටලිමක් වුණොත් පුපුරවන්න. හබ්බෙලිකන්දෙන් අපි ආවේ මැදගොඩ තේක්ක කැලේට. මැදගොඩ තේක්ක කැලේට එන්න කලින් හිමිදිරියේම අපි අක්කර 300 පොල් වත්තක් හරහා පැමිණියේ. බඩගින්නේ හිටපු අපේ කට්ටිය කුරුම්බා කඩාගෙන කෑවා. මේක අපේ අය කරපු වරදක්. උදේ වත්තේ මුරකාරයා එනකොට කෝම්බ 300 විතර පොල් වත්තේ සීසීකඩ. මුරකාරයාට වැඬේ තේරුණා. පොලිසියට ඔත්තුව දුන්නා අපි අසළ සිටින බවට. අපි තේක්ක කැලේ ඉන්න කොට හවස 4.30 ට 5ට විතර හමුදාව වැටළුවා. අපිට ඩයිනා හයි කරන්න බැරි වුණා. වෙඩි වැරුසාවක් කැලේ ඇතුළින් අපි දෙසට ආවා. මගේ දකුණු කකුලට දකුණු අතට වෙඩි වැදුණා. තුල්හිරියේ ෆෝමන් මාව උස්සගෙන ගිහිල්ලා අකුලකට එබුවා. කිව්වා ඔහොම ඉන්න අපි එනවා. පැයකට විතර පස්සේ පිරිස ඇවිල්ලා මාව ගෙන ගියා. ඒ ප්‍රහාරයෙන් සුජාතා හඳගම ඇතුළු හතර පස් දෙනෙකුට වෙඩි වැදිලා. අපි තේක්ක කැලේ කොටු වුණා. පසුදින හවස 6   විතර වෙනකොට අපිට යන්න විදිහක් තිබුනෙ නැහැ. අපේ බඩු නැති වුණා. බොහෝ පිරිසක් විසිරිලා ගියා. සමහරු රහසේම පැන ගියා. එක සාමාජිකයෙකුගේ කටට වෙඩි වැදිලා තිබුණා. එයාට යන්න අමාරුයි. අපි ඒ තුවාල ලැබූ සාමාජිකයාව මැදගෙ ාඩ මෙත්තාරාමයේ තියලා ගියා. පසු ව දැනගන්න ලැබුනා ඔහුව පොලිසියෙන් අරගෙන ගිහිල්ලා මරා දාපු බව. 

පුෂ්පා කියන සාමාජිකාවගේ ඔළුවට වෙඩි වදිලා තිබුණේ. ඒත් එයා ජීවත් වුණා. පසු බැස්මේදි අපි අතින් පොලිස් ඔත්තුකාරයෙක් හා ග්‍රාමාරක්ෂක 4ක් මැරුණා. ඒක ගැන අද මට ඇත්තෙ පශ්චාත්තාපයක්. නඩුවේ දී කණ්ඩායම් නායකයා හැටියට ඒකේ වගකීම මම පිළිගත්තා. ඒත් ඒ සිද්ධිය වුණේ මෙහෙමයි. ගලතරේ ගමේදි ග්‍රාම නිලධාරියා අපේ සාමාජිකයෙක් වන සෝමෙව ගස් බැඳලා. සෝමේට කෙලින් ඉන්න බැරි තරමට පහර දීලා තිබුණා. සෝමේ සමඟ හිටපු අනිත් සගයා ග්‍රාම සේවක හමුදාව එක්ක අරගෙන ගිහිල්ලා කාගමගේ කණ්ඩායම වටලන්න. සෝමේව ගස් බැඳලා පහර දිලා තිබ්බේ ග්‍රාම නිලධාරියාගේ සහෝදරයා. අපි ඒ පුද්ගලයා අරගෙන කාගමගේ කණ්ඩායම බලන්න ගියා. මේ මිනිසා අපිට කාගමගේ කණ්ඩායම ඉන්න තැන පෙන්නන්නං කිව්වා. හමුදාව සැඟවිලා හිටපු තැනකට ගෙනිච්චා. ඈතදීම මම දැක්කා හමුදා තොප්පි හා රයිෆල් එකක්. මට තේරුණා ග්‍රාම නිලධාරියාගේ සහෝදරයා කළේ බොරුවක් බව. මම බූට්ස් දාගෙන හිටියේ. තරහ ගිය පාර මම මිනිහට පයින් ගැහුවා. පයින් ගහලා මම යළි කණ්ඩායමට ගියා. පස්සේ එතන හිටපු කිහිප දෙනෙක් මිනිහටගේ ඔළුවට ගලකින් ගහලා මරලා. මම මේ මරණය අනුමත කළේ නැහැ. නමුත් වගකීම මඟ හරින්නෙත් නැති බව කියනවා. 

මේ සිද්ධිය වෙනකොට මට වෙඩි වැදිලා තිබුණේ නැහැ. මට වෙඩි වැදුනේ තේක්ක කැලේදී. තේක්ක කැලේ වෙඩි වැදීමෙන් පසු ව මම දුර්වල වෙලා හිටියේ. මම පිරිස එක්ක නොන්ඩි ගහ ගහ හුරුක්ගමුව පන්සලට ගියා. මමයි ලොකු අතුලයි ඇතුළු 5ක්   ඉදිරියෙන් ඊට යාර 60 විතර ඈතින් කණ්ඩායම. පසුපසින් තව පහේ කණ්ඩායමක්. එදා වෙසක් දවසට පෙර දවස. කන්ද උඩ හුරුක්ගමුව පන්සල කන්දෙ පාමුල දන්සැලකට ගහපු පොඩි පොල් අතු මඩුවක්. මඩුවේ ජනේල් පියනකින් මම දැක්කා තුවක්කු බටයක කටක් උඩු අතට. මම වහාම කට්ටියට බිම වැතිරෙන්න නියෝග දීලා. කෑ ගැහුවා යටත් වෙයං කියලා. එතන හිටියා ග්‍රාම ආරක්ෂකයෝ හතර දෙනෙක්. ඒ අය අතර හිටපු කෙනෙක් මාව අඳුර ගත්තා. එයා මැදගොඩ සුමනතිස්ස හාමුදුරුවන්ගේ මල්ලි කෙනෙක් වෙච්ච හේරත්. හේරත් මාව අඳුරගෙන කකා හිටපු අඹ ගෙඩියෙන් කෑල්ලක් දුන්නා. මේ අය අපිව දඩයං කරන්න හිටපු කට්ටියක්. මට හේරත්ට කිව්වා කිසිම අනතුරක් වෙන්නේ නැහැ. ඒත් අපට ඕගොල්ලන්ට යන්න දෙන්න විදිහක් නැහැ. මොකද ගියොත් ඕගොල්ලෝම අපි ගැන හමුදාවට ඔත්තු දෙනවා. මේ අය වාද කරනවා අපි පාවලා දෙන්නේ නැහැ. අපිට යන්න ඕනෙ කියලා. අපේ පිරිස මේ වෙනකොට හිටියේ ව්‍යාකූලව. සුජාතා හඳගමගේ මරණය ඇතුළු සාමාජිකයන් අහිමි වීම. හමුදා ප්‍රහාර, ඉදිරිය ගැන අවිනිශ්චිතතාව. පොලිස් ඔත්තුකරුවන්ගේ පාවාදීම්. මේ නිසා මේ අය සම්බන්ධයෙන් ගතහැකි පියවරක් හිතා ගන්නවත් බැරි වුණා. මම කිව්වා මේ අය ගහක බැඳලා අපි ඉදිරියට යමු කියලා. ඒකට සමහරු අකමැති වුණා. කණ්ඩායම තුළ තිබ්බ පීඩනය කොච්චර වැඩිද කිව්වොත් මට පාලනය කර ගත නොහැකි තරමට ඉහළ ගිහිල්ලා. මගේ අතටයි කකුලටයි වෙඩි වැදිලා තුවාලයි. මට වෙහෙසයි. බඩගින්නෙම මට නින්ද ගියා. රෑ අපේ සාමාජිකයෙක් මට කිව්වා කරන්න දෙයක් නෑ මේ හතර දෙනා මරන්න වෙනවා යන වග. පිරිස තුළ කෝපය, භය, පළිගැනීම තිබ්බා. ඒ නිසා ඒ මරණ ඉක්මන් වෙන්න ඇති. මම කිසිවක් නොකියා අනෙක් පැත්ත හැරිලා නිදා ගත්තා. අද වසර 37 පස්සේ මට හිතෙනවා මම අනෙක් පැත්ත හැරිලා නිදා ගත්ත එක වරදක් ලෙසට. සමහර විට මට ශරීර   වේදනාව, තෙහෙට්ටුව නිදිමත පැත්තකට දාලා පිරිසට තදින් ම නියෝග කරා නම් මේ මරණවලක්වන්න තිබුණා. ඒක දේශපාලන වශයෙන් මගෙන් වෙච්ච අත්වැරැද්දක්. 

පසුවදා මට දැනගන්නට ලැබුනා මේ හතර දෙනාව වෙඩි තියලා මැදගොඩ කන්ද පාමුලට තල්ලු කරලා. ඒ මලමිනී හමුදාවට හමු වෙලා තියෙන්නේ දවස් 2-3 පස්සේ ඒ වෙනකොට කාක්කෝ කාලා කබරයෝ කාලා. නමුත් ඒ කාලේ පත්තරවල කිව්වේ කැරලි කාරයෝ මළකඳන් විකෘති කරලා කියලා ඒක වැරදි මතයක්. මේ සිද්ධියෙන් පස්සේ අපි ගියේ වාරියපොල නාතගනේ කන්දට. එතකොට අපිට රුසියන් මිග්වලින් ගැහුවා. මෝටාර් ගැහුවා. පිරිසට කිසිම හානියක් නැහැ. එක් අයෙකුට සුළු තුවාල විතරක් සිදු වුණා. මට විල්පත්තුවේ දී මේ දේවල් සිහිපත් වුණා. කැරැල්ල අසාර්ථකයි. මම යටතේ 21 විතර පිරිසක් කෑම නෑ. මහ රූස්ස කැලේ විතරයි තියෙන්නේ. අපි නිදාගත්තේ කැලේ ගස් යට. කීප දෙනෙක් මුරට දැම්මා.වල් අලි, දිවියන්, සර්පයින්, පිරිගිය වනයක අපි තනිවෙලා බාහිර ලෝකයත් සමඟ සම්බන්ධතාවක් නැහැ. මට අවශ්‍ය කරා අනෙකුත් කණ්ඩායම් සමඟ සබඳතා ඇති කර ගන්න. මට තේරුම් ගියා අපේ සාමාජිකයන් අවට කැලෑවල කුඩා කණ්ඩායම් වශයෙන් ඇති බව. හමුදාවන් ඒ වෙනකොට විල්පත්තු පීරනවා. මේ නිසා ප්‍රවේශමෙන් තමයි වැඩ කළේ. අපි විල්පත්තුවට ඇවිල්ලා දවස් කිහිපයකට පස්සේ අනෙකුත් කණ්ඩායම් එක්ක සබඳතා ඇති කර ගන්න මම පස් දෙනෙක් එක්ක කැලේ ඇතුළට ගියා. කැලේ ගස් මුදුනට උඩින් කාක්කෝ වගයක් කැරකෙනවා. මම ඒක දෙස බලාගෙන කැලේ ඉදිරියට ගියා. මෙහෙම යන කොට අඩි පාරක් පෙනුණා. මේ අඩි පාර මිනිස් වාසයක සලකුණක්. අඩි පාර දිගේ අපේ අයගෙද, ගැමියන්ගේද, හමුදාවේද කියලා දන්නේ නැති නිසා පළු ගහක් යට හැංගිලා හිටියා. පැය 4 විතර පස්සේ අපේ අනුරාධපුර සාමාජිකයන් දෙදෙනෙක් ආවා. ඒ දෙදෙනා තඹුත්තේගම කරුගේ දෙන්නෙක්. මාව එතනට ගෙන ගියා. කරු ලඟ පිරිස 60-70 විතර හිටියා. මාරසිංහ, හීන් බන්ඩා, චුකි පේමරත්න, ගාමිනි සමරනායක, විල්බට්  එහෙමත් හිටියා මට දැනුනේ සතුටක්. වහාම අපේ ඉතිරි පිරිසත් මෙහෙට ගෙන්න ගත්තා. 

කරුගේ පිරිසට කෑම හිඟ නැහැ. අවට ගම්මු උදව් කරනවා. අප රෑට උයනවා කන්නේ උදේටයි රෑටයි විතරයි. මීවද කඩනවා. කැලේ අයිනේ සී.පී සිල්වාගේ වත්තක් තිබ්බා. මේ වත්තෙන් අපි රට කජු ගෝනි 10-15 අරගෙන ගියා රට කජු මී පැණිවල පොඟවලා කනවා. තුල්හිරියේ ආරි, ගාමිනි සමරනායක වෙස්වලාගෙන කැලේන් එළියට ගියා. ප්‍රේමපාල, ගාමිනි බාස් එක්ක සබඳතා ඇති කර ගන්න. මාස එකකට විතර පස්සේ අපි කණ්ඩායම් දෙකකට කැඩුනා. එළියට යන්න පුළුවන් අය එළියට ගියා. හීන් බන්ඩා එක කණ්ඩායමකට නායකත්වය දුන්නා. මම තවත් කණ්ඩායමක්. මම මගේ කණ්ඩායම එක්ක ආණමඩුව කැලේට ගියා. හීන් බන්ඩා අනුරාධපුර කැලේ. මේ කාලේ ඇතැම් අය බෝල සමරේ වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වෙන බවට විජේවීරට ගතු කියලා කව්වා. තිබුණා. මේ නිසා විජේවීර මා එක්ක හිටියේ නොහොදින්. විජේවීර මාත් එක්ක අමනාප වෙන්න මුල් වුණේ මේ සිද්ධිය. 

හීන් බන්ඩාගේ කණ්ඩායමේ ජුලියට් (සරත් විජේ්සිංහගේ නැගණිය) හිටියා. ජුලියට් පුත්තලම කැලේ තව පිරිසක් එක්ක කෑම උයන කොට හමුදාවෙන් වෙඩි තියලා චූටි කියන සාමාජිකාව එක්ක තව සාමාජිකයෙක් මැරුණා. ජුලියට් වෙඩි වැදිලා පඳුරක් ඇතුළේ ඉන්න කොට කුරුණෑගල සරත් දැකලා ජුලියට්ව අරගෙන ගිහිල්ලා. අපිට තොරතුරු ආවේ ජුලියට්ට වෙඩි වැදිලා දවස් 2 කට පස්සේ. මට ඒ ප්‍රදේශයට ගිහිල්ලා ජුලියට්ව හෙව්වා. ජුලියට් අසළ පන්සලකට ගෙන ගිය බවට තොරතුරු හෙළි වුණා. මම පන්සලට ගිහිල්ලා හමුදුරුවෝ හමු වෙලා ජුලියට් ගැන ඇහුව්වා. හාමුදුරුවෝ මට කිසිම දෙයක් කිව්වේ නැහැ. එහෙම කෙනෙක් නැති බවයි කිව්වේ. මම මගේ දෙපා පෙන්නුවා මගේ කකුලේ 4 වෙනි පොඩි ඇගිලි දෙක පිහිටලා තියෙන්නෙ 3 හා 5 වෙනි ඇඟිලි දෙකට උඩින් වෙනස් ආකාරයට. මම හාමුදුරුවන්ට කිව්වා මේ වගේ ශරීර ලක්ෂණ තියෙන කෙනෙක් ආ බව ජුලියට්ට කියන්න මම සතියකින් යළි එනවා කියලා.  මම සතියකින් ඒ පන්සලට ගියා. හාමුදුරුවෝ මට කිව්වා ජුලියට් පුලියන්කුලම පන්සලේ ඉන්න බව. මම ජුලියට්ව හොයාගෙන යන කොට එයාගේ තුවාල පැසවලා. අස්ථි ඇතුල ආසාදනය වෙලා. මම ප්‍රේමපාලට පණිවිඩයක් යැව්වා. ප්‍රේමපාල ජුලියට්ව කොළඹ ගෙනියලා ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙකුගේ ගෙදර තියාගෙන ප්‍රතිකාර කළා. මේ අය එදා අපි දිහා මානුෂිකව බැලූ බව කියන්නයි මම මේ තොරතුරු කීවේ. 

ඒ අධ්‍යක්ෂකතුමාගේ බිරිද ඉතා ඕනෑකමින් ජුලියට්ගේ තුවාල ගැන සොයා බැලුවා. මේ කාලේ වෙනකොට මාව රු 15000කට ගැසට් කරලා. මම ගරිල්ලා ක්‍රම අධ්‍යයනය කළා. මට උවමනා වුණා කැලේ පරීක්ෂා කරන්න. මමයි කළු විජේයි, පේම්ස් කියන සාමාජිකයයි කලා ඔයේ ඉඳලා (විල්පත්තුවේ දකුණු මායිම) සිට විල්පත්තුවේ උතුරු මායිමට ගොස් වවුණියාව හරහා වස්ගමු කැලයට ගියා. මේ කැලේ අධීක්‍ෂණ චාරිකාවේ දී දවස් 1½ විතර වතුර නැති වුණා. වතුර නැතුව තිබහේ ඇවිදින කොට වතුරවලක් තිබ්බා. කළු විජේ දිව්වා. වතුර බොන්න මම විජේට බැනලා නවත්තාගත්තා. මම සෝදිසි කරා වතුරවල අවට හමුදාවෙන් මුර දාලාද කියලා. හොඳට පරීක්ෂා කර බලලා අනතුරක් නැති බව තේරුණාම තමයි වතුර බිව්වේ. අපි කැලේ ගත කළේ දුෂ්කර ජීවිතයක්. නිදාගත්තේ බිම ගෝනි එළලා. උඩට ඉටි කොලයක් අදිනවා. කට්ටියක් නිදියන කොට කට්ටියක් මුර. මට අවශ්‍ය කෙරුණා කොළඹ ඇවිල්ලා අපේ සංවිධාන ජාලය ශක්තිමත් කර ගන්න. මම වවුණියාවට ගිහිල්ලා බස් එකකින් කොළඹ ගියා. කොළඹ මෙට්ට්‍රෝ සිනමා ශාලාව අසළ අලුතින් හදන බිල්ඩිමක ගාමිණි බාස් රැඳිලා හිටියා මමත් ඒ අවට තාවකාලිකව පදිංචි වුණා. මම මෙහෙම මාස 6 විතර හිටියා. ඉඳලා හිටලා කැලෑවටත් යනවා. මේ කාලයේ මාව රු. 45000 කට ගැසට් කරලා. පොලිසිවල මගේ ඡායාරූප සහිත පෝස්ටර් ගහලා. මම කැලෑවට යනවා. යළි කොළඹට එනවා කැලේ ඉඳං එනකොට තාර පාරක් දක්වා ඇවිදගෙන එනවා. ඒ ඇවිල්ලා බස් එකක් හමු වුණොත් එකේ නැගලා ප්‍රධාන නගරයකට එනවා. එතනින් බස් එකක් අරගෙන කොළඹ එනවා. බහින්නේ කොටුවෙන් හෝ මරදානෙන්. සාමාන්‍ය  විදිහට අඳින්නේ. කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. දවසක් මගේ සීට් එකේ එහා පැත්තේ රාලහාමි කෙනෙක්. මිනිසා නිදි කිරනවා, මගේ උරය උඩ. වරක් මම පොළොන්නරුව සිට ගලේවෙලට එනවා. නාරම්මල නගර සභාවේ සභාපති දයානන්ද මහත්තයා බස් එකට නැග්ගා. මම ඉක්මනට සීට් එකේ ඕලුව ගහ ගත්තා. ටිකක් දුර ගිහිල්ලා මම බස් එකෙන් බැස්සා දයානන්ද මහත්තයා මාව අඳුනගෙන තියනවා. ඒත් කරබාගෙන ඉඳලා පසු කාලෙක මට ආරංචි වුණා. 

1974 දී ජම්බුගස්මුල්ලෙන් මම බස් එකකට නැග්ගා. ඩ්‍රයිවර් අපේ අල්ලපු ගමේ කෙනෙක්. ඒනිසා මාව කන්නාඩියෙන් දැකලා හිනා වුණා. මොනවා කරන්නද මමත් හිනා වුණා. ගමනාන්තෙදි එයා මට කතා කරලා කිව්වා පරිස්සමින් ඉන්න කියලා. සල්ලි වගයකුත් අතට දුන්නා. අපේ පැවැත්ම ඉතා අමාරුවෙන් කෙරුනේ. මුදල් හිඟය නිසා නිරාහාරවත් ඉන්න වුණා. බැරිම තැනදි මංකොල්ල කෑම් කිහිපයක් කරන්න සිද්ධ වුණා. සමූපකාර කිහිපයක් කැඩුවා. 1974 විතර දඹුලු පාරේ අපි රැකගෙන හිටියා. මොරිස් මයිනර් කාර් එකක් ආවා. අපි කාර් එක නැවැත්තුවා. එකේ හිටියා වී මෝල් හිමියෙක්. නමුත් ලඟ සතයක්වත් නැහැ. අයිතිකාරයාට කිව්වා අපිට මුදල් අවශ්‍ය බව. වී මෝල් හිමියා කැලේ තියාගෙන ඩ්‍රයිවර්ව මෝලට යවලා රුපියල් 1000ක් ගෙන්න ගත්තා. තව දවසක් තනියම මනුස්සයෙක් එනවා. බලන කොට හමුදාවේ සෙබලෙක් නිවාඩුවට ගෙදර යනවා. අසනීප වෙලා අතේ සතයක් නැහැ. මම එයාගෙ අතට සල්ලි වගයක් දුන්නා බේත් ගන්න. මම ජම්බුගස්මුල්ලේදි ඉන්න කාලයේ පදිංචිව හිටියේ බෝඩිමක. මේ බෝඩිමේ පිට අයත් හිටියා. බෝඩිම අයිතිකාරයොයි, ගෙවල් අයිතිකාරයෝයි ගෝරි. දිනපතා දෙන්නා කට්ටිය ගෙනල්ලා බැන අඩගහ ගන්නවා. එක දවසක් රෑ මම නිදා ගෙන හිටියා. පිරිසකගේ කට හඬක් ඇහුනා. මම හිතුවෙ අදත් ගෝරියක් කියලා. කොරිඩෝ එකේ බූට්ස් අඩි ශබ්ද ඇහෙනකොට මට තේරුණා වැඬේ හමාර බව. 

 වාහන දෙකක පොලිසියේ පිරිසක් ඇවිල්ලා මාව අල්ලාගත්තා. මගෙන් නම ඇහුවා මම කරුනාසේන ජයලත්ගේ පොතක චරිතයක් මතක් වෙලා ඒ නම කිව්වා. ඒ පාර කෑලි පහක ලොකු ටෝච් එකක් තිබ්බා ඒ ටෝච් එකෙන් ගහලා නම ඇහුවා. මම කිව්වා මම තමයි බෝල සමරේ කියන්නේ කියලා. පොලිස් පිරිස විශ්මයට සහ සතුටට පත් වුණා. සුප්‍රසිද්ධ බෝල සමරේ අත්අඩංගුවට ගැනීමට හැකිවීම ගැන. මට ගහන එක නවත්තලා අත් දෙක පිටිපසට තියලා රෙදිකඩකින් බැන්දා. පොලිස් කණ්ඩායමේ හිටියා. එස්. අයි. කෙනෙක්. මිනිහාට හරි සතුටුයි. මාව අරගෙන ගියා ජීප් එකට. මාව ජීප් එකට දාගෙන කතාව. මගෙන් ඇහුවා ඇයි ඔයාට බෝල සමරේ කියන්නේ. මම කිව්වා මගේ ශරීර හැඩය නිසා ඒ නම වැටුනු බව. පොලිස් එස්. අයි. මහත්තයා මාත් එක්ක කථා කරන අතරතුර පොලිස් පිරිස මගේ කාමරය සෝදිසි කරනවා. ඒ කාමරයේ සමූපකාරයෙන් ගත්ත සරම් සහ අලුත් ඔරලෝසු තිබ්බා මේ අය ඒ බඩු අදිනවා. ටිකක් වෙලා කථා කර කර ඉන්න කොට මම කිව්වා මට මුත්‍රා බරයි. එතකොට එස් පී මහත්තයා දොර ඇරලා මට කිව්වා ලඟ කාණුවට මුත්‍රා කරන්න හැබැයි කලබල කරන්න එපා කියලා. එයා අතේ පිස්තෝලේ. මම මුත්‍රා කරනවා වගේ පහත් වෙලා අත් බැඳපු රෙදි පටිය ලිහුවා. මොකද සමරේ වෙලාව ගන්නේ එයා අහනවා. මම කිව්වා සර්ලා ගහපු පාරවල් නිසා යටි බඩ තැලිලා මුත්‍රා අඩස්සිය වගේ හොඳයි ඉක්මනට මුත්‍රා කරනවා එයා කිව්වා. එස්.අයි මහත්තයා පිස්තෝලේ කොකා ඇඟල්ල අස්සේ දාගෙන පිස්තෝලේ කරකවනවා. මම එක පාරටම පැනලා දිව්වා. ලඟ තිබ්බා තාප්පයක් මම තාප්පෙට නැගලා ඒ ගෙදර වත්තට පැන්නා. එස්.අයි. මහත්තයා මොර දෙනවා. මම ගෙදර පසුපසට ගිහිල්ලා පිටිපසස්සේ තාප්පෙනුත් පැන්නා. මාව වැටුණා මඩවලකට. මුලු ඇඟේම මඩ. මම ෂර්ට් එක ගලවලා දාලා සරම පිටින් දිව්වා. මම දුවන ගමන් පිටුපස බැලුවා පොලිසියේ අයට මාව මඟ ඇරිලා. මෙහෙම යන කොට පිළියන්දල පාරට වැටුණා. දැන් ටික ටික එළිය වැටීගෙන එනවා. පාර අයිනේ පඳුරක් තිබ්බා මම පඳුර ඇතුළට රිංගුවා. එහා පැත්තේ ඇල. උදේ වෙනකොට ගෑනු මිනිස්සු එතනට නාන්න එනවා. මම පඳුර අස්සේ හැංගිලා. මම බයේ හිටියේ මාව කවුරුහරි දකීවි කියලා. එහෙං පොලිසියට බය. අනිත් පැත්තෙන් පඳුර ලග හැංගිලා නානතොට බලා හිටියා කියන ලැජ්ජාව. කොහොම වෙතත් මම හවස අඳුර වෙනකොට එතන ඉඳලා පඳුරෙන් එළියට ආවා. මගේ උඩුකය නිරුවත්. සරම විතරයි තියෙන්නේ. මම පාර දිගේ යනකොට රත්තනපිටියට වැටුණා. තව දුරටත් ඇවිදලා. හදිසියේම මට තේරුණා මම වැටිලා තියෙන්නෙ රත්මලාන ගුවන් තොටුපොල අසළට බව. මට මතක් වුණා ගල්කිස්ස ටෙම්පල් පාරෙ හිටපු යාළුවෙක් ගැන. මට ඕන කරා මගේ යාළුවා සුනිල්ගේ ගෙදර යන්න. දැන් රෑ වෙලා පාරේ යන එක සුබ නෑ. මම පොල් ලී පලන තැනකට ආවා. ඒ තැන වහලා. මම පොල් කොටයක් උඩ වාඩි වෙලා හිටියා. ටික වෙලාවකින් ගෑනු කෙනෙකුයි තරුණයෙකුයි මෙතනට ආවා. මාව දැකලා පුදුම වුණා. මම කිව්වා මම හිරෙන් පැනලා එන එක්කෙනෙක්. අම්මා බලන්න ආසාවට හිරෙන් පැන්නා හෙට යළිත් බාර වෙනවා. මේක අහලා ඒ අයගේ හිත උණු වෙන්න ඇති. ඒ අය මාව ගෙදර ගෙනියලා කෑම දුන්නා ඇඳුම් දුන්නා. මේ තරුණයා බෙලෙක් කඬේ හන්දියේ ගණන්කාරයෙක්. මම හිටියේ බඩගින්නේ. කෑම එක කටට දෙකට ඉවර කලා. 

පහුවදා මාව ටෙම්පල් පාරේ සුනිල්ගේ ගෙදරට බයිසිකලෙන් අරගෙන ගියා. මම සුනිල්ගේ ගෙදරට ගිහිල්ලා දොරට තට්ටු කළා. සුනිල්ගේ අම්මා මාව දැකලා බුදු පුතේ මේ දැන් සී.අයි.ඩී. එකෙන් ඇවිත් ගියා විතරයි උඹ කොහේ හරි වහංගු වෙයන් කිව්වා. මේක ඇසුනු බෙලෙක් කඬේ හයිරංකාරයා බය වුණා. එයාගේ සාක්කුවේ තිබ්බ රුපියල් 2 මට දීලා යන්න කිව්වා. මම පිළියන්දල දන්න ගෙදරකට ගිහිල්ලා සල්ලි ඉල්ලගෙන පේරාදෙණිය මී වතුරෙ බෝඩිමට යන්න පිටත් වුණා. ගම්පලදි පොලිස් කොස්තාපල් කෙනෙක් මගෙ අතින් අල්ල ගත්තා. මම හිතුවේ මාව අත්අඩංගුවට ගන්න කියලයි. බලන කොට යාළුවෙක්. මට බය වෙන්න එපා කියලා හෝටලයකට අරන් ගිහින් තේ අරන් දුන්නා. රුපියල් 10 අතේ තිබ්බා. කැරැල්ල 655 මම ගම්පලින් පේරාදෙණි බස් එකක නැගලා පේරාදෙණියට ටිකට් ගත්තා. මගේ සීට් එකේ වාඩි වුණා ස්කෝලෙ මහත්තයෙක්. එයා පත්තරේ දිග ඇරියා. පත්තරේ මුල් පිටුවේ තියනවා මී වතුර වටලයි කියලා ප්‍රවෘත්තියක්. මම එහා හෝල්ට් එකෙන් බැහැලා හැටන්වලට ගිය. හැටන්වල කොන්තසිංහලාගේ ගෙදර ගියා. ඒ අය මාව සාදරයෙන් පිළි ගෙන කෑම බීම දුන්නා. මම එහේ සති 2 විතර හිටියා. මම කොන්තසිංහලාගේ ගෙදර ඉන්න කොට එහෙ ග්‍රාම නිලධාරි මාව දැක්කා. එයාට මාව සැකයි. මම එදාම ගම්පලට ඇවිල්ලා අඳුරන යාළුවෙකුගේ ගෙදර ගියා. මම එහෙ යනකොට රෑ 12 යි. මම ඒ ගෙදරට ගිහිල්ලා පැය භාගයක්වත් ගියේ නැහැ ඒ අයගේ සහෝදරයෝ ඇවිල්ලා මාව ගෙදරින් එළියට දැම්මා. මෙහේ තියා ගන්න බැහැ කිව්වා. මම ඒ වෙලාවෙම ගෙදරින් පිට වෙලා ඇවිල්ලා බෝක්කුවක් යට රෑ ගත කළා. මම උදේ බස් එකක නැගලා සීගිරියට ගියා. සීගිරියෙන් බැහැලා බටර් පාන් රු 2 ක ගත්තා. පාන් මල්ලත් අරගෙන දවස් දෙකක් පයින්ම කැලේ ඇවිද්දා අඳුරන කෙනෙක්ගෙ හේනකට. මේ කාලය පුරා මම කෑවේ බටර් පාන්. මම අඳුරන හේන් ගොවියාගේ පැලට ඇවිල්ලා ගිමන් හැරියා. මට කෑම බීම ලැබුණා. 

1976 අවසන් වෙනකං මම ඒ හේනේ හිටියා. ඒ හේනේ වැඩවලට උදව් කළා. මට අවශ්‍ය වුණා ගොවිපලවල් හදලා ස්වයංපෝෂිත වෙන්න. එතකොට මංකොල්ල කන්න සමූපකාර කඩන්න අවශ්‍ය නැහැ. මම නාමල් ඔය ව්‍යාපාරේ ඉගිනියාගල මහ කැලේ අසළ තුල්හිරියේ ආරි සමඟ හේනක් කෙටුවා. ඒ වගේ ම හැඩ ඔය අයිනේ අක්කර 25 ක හේනක වට්ටක්කා වැව්වා. ගොවියන්ගෙන් හේන් කුලියට ගත්තා. අපි හේන්වල වැඩ කරන කොට හමුදාව පුහුණූවීම්වලට හේන අයිනෙං යනවා. මෙහෙම කලක් යනකොට නාමල් ඔය තුල්හිරිය ආරිගේ හේන පොලිසියෙන් වැටලුවා. මම පැනලා ගියා. අපි එක්ක හේන් කොටපු සුදු මල්ලි කියලා කෙනෙක් හිටියා. එයා අපි ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒත් අපිට හිතවත් කරන්න දෙයක් නැහැ. මම සුදු මල්ලි හම්බ වෙන්න ගිහිල්ලා ඇත්ත කිව්වා. සුදු මල්ලි මට ආරක්ෂාව දුන්නා. එයාගෙ ගෙදර 656 රුවන් එම්. ජයතුංග නවත්තා ගත්තා. මමයි සුදු මල්ලියි කුලී වැඩ කරනවා දවසට අපිට ගෙවන්නේ රුපියල් 5යි. සුදු මල්ලි දන්නවා මාව රුපියල් 45000කට ගැසට් කරලා. මම ගැන ඔත්තුවක් දුන්නොත් එයාට රුපියල් 45000ක් ලැබෙනවා කියලා. ඒ කාලේ ඒක අති විශාල මුදලක්. සුදු මල්ලිට ජීවිත කාලයේම ඒ වගේ මුදලක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් ඒ දුප්පත් හේන් ගොවියා මාව පාවලා දුන්නේ නැහැ. බලන්න මිනිස්කමක හැටි. සුදු මල්ලි හිටියේ දිළිදු පැලක, ඇන්දේ වැරහැළි, කන්න බොන්න දෙයක් හරි හැටි නැහැ. රුපියල් පහේ පඩියට හේන් කොටනවා. ඒත් මාව අල්ලලා දීලා නිධානය ගන්න තුන් හිතකවත් නැහැ. මේ කාලේ මට බලපත්තාවේ සිරි එක්ක සබඳතා තිබ්බා. මේක ගැන සී.අයි.ඩී එකට ඉව වැටිලා තැපෑලෙන් ලියුමක් යැව්වා සිරීට මම යවන විදිහට. ඒකේ සඳහන් වුණේ මම දැන් අත්අඩංගුවේ මැගසින් බන්ධනාගාරයේ ඉන්න විදිහට. ඒ ලියුම තැපැලේ බලපත්තාවේ සිරීට යවලා. සිරිට ලියුම ලැබුනු හැටියෙම අත්අඩංගුවට ගත්තා. සිරිගෙන් අහලා තියනවා උඹේ ලොක්කා දැන් මැගසින් එකේ කොහේද මෙච්චරකල් ඌ හිටියේ උඹත් එක්කද කියලා. සිරි නොදන්නා කමට කියලා මම හිටපු හේන ගැන. මේ තොරතුරුත් එක්ක වහාම පොලිසිය මම හිටපු තැන වැටලුවා. එස්. අයි. ආරියදාස එක්ක 6 දෙනෙක් ආවා. මමයි සුදු මල්ලිවයි තව ගමේ කොල්ලෝ කිහිප දෙන්නෙකුයි අත්අඩංගුවට ගත්තා. මට මාංචු දැම්මා. මේ පාර මට පැනලා යන්න බැරි විදිහට මුර කලා. මම කිව්වා සුදු මල්ලි ඇතුළු අනික් අය අහිංසකයන් ඒ අය මොනවත් දන්නේ නැහැ. ඒ අයට යන්න දෙන්න කියලා. අත්අඩංගුවේ දී මට පහර දුන්නේ නැහැ. මාව ගෙනාවා අම්පාර හාඩි එකට එතනදි කන්න දීලා යළි නුවරට ගෙනාවා. නුවරදි දවල් කෑම දුන්නා. එතනින් නිට්ටඹුව පොලිසියට ගෙනල්ලා එදාම වරායේ පොලිසියේ කූඩු කළා. 

මාව වරාය පොලිසියේ සති දෙකක් විතර තිබ්බා. පහර දුන්නේ හිරිහැර කළේ නැහැ. උසාවියේ දී මම වරද පිළිගත්තා. මම අද හිතනවා මම වරද පිළිගැනීමෙන් කළේ නොමේරු දෙයක්. මට නායකයෙකු හැටියට පෞරුෂයක් තිබුණා. ගොඩක් පිරිස මම නොසැලෙන නායකයෙක් හැටියට කැරැල්ල 657 පිළි අරගෙන තිබුණා. අපරාද යුක්ති කොමිසම ඉදිරියේ වරද පිළිග ැනීම තුළින් මම මගේ නායකත්වයේ තිබිය යුතු ගුණාංගවලට හානියක් කර ගත්තා. මම මංකොල්ල කෑම් හා මිනිමැරුම් පිළිබඳ ව සාමුහික වගකිම ගත්තා. ඒවා දේශපාලනමය වශයෙන් වෙච්ච අත්වැරදි. ඒ ගැන අදත් මගෙ කනගාටුව ප්‍රකාශ කරනවා. මට නඩුවෙන් අවුරුදු 5ක සිර දඬුවමක් ලැබුණා. මාත් එක්ක බන්ධනාගාරේ තුල්හිරියේ ආරි, උදේනි, කැප්ටන් කුලරත්න, එදිරිසිංහ, චන්දරේ එහෙමත් හිටියා. විජේවීර මාව කපළා දමලා තිබුණේ. 1977 දී මට ජනාධිපති සමාව ලැබුණා. මම ගමට යන කොට දෙමාපියන් දේපල අනික් සහෝදරයන්ට ලියලා දීලා. මට ජීවත් වෙන්න මාර්ගයක් තිබුණේ නැහැ. මගෙ සහෝදරවරු මට තෑගි ඔප්පුවකින් ඉඩමක් දුන්නා. මම ගොවිතැන් කරලා ජීවත් වුණා. 

මම විවාහ වුණේ 1978 දී මගේ බිරිඳ විල්පත්තුවේ අපි එක්ක හිටපු සාමාජිකාවක් වන ලීලා සේනාරත්න. මම ගමේ පදිංචි උනාම මිනිස්සු මම එනකොට හැංගෙනවා ත්‍රස්තවාදියා චේගුවේරා කාරයා කියලා. මාත් එක්ක කථාවටවත් ආවේ නැහැ. හුරුක්ගමුව පන්සල ලඟ දී මැරිච්ච හේරත්ගේ නෑදෑයෝ මාත් එක්ක අමනාපයෙන් හිටියේ. වරක් මැදගොාඩ සුමනතිස්ස හාමුදුරුවෝ අපේ ගමේ උත්සවයකට ආවා එහි දී මම හාමුදුරුවන්ට වෙච්ච සිද්ධිය කිව්වා. ඊට පස්සේ හාමුදුරුවෝ මං ගැන තිබූ දුර්මත සිතින් පහ කර ගත්තා. ගමේ මිනිස්සු ටිකින් ටික මම ගැන දරපු අදහස් වෙනස් කර ගත්තා අද ගමේ පොදු වැඩවල දී මම ඒ අයට නැතිවම බැරි චරිතයක් වෙලා. මම ගොවිතැන් කලා. උපාධිය තිබුනට මම රැකියා සොයා ගියේ නැහැ. 71 අත්දැකීම් එක්ක ගොවිතැන් පිළිබඳ ලැබුනු දැනුම මගේ පසු කාලීන ජීවිතයට ලබා දුන්නේ පන්නරයක්. නිදහස් වෙලා ඇවිල්ලා මමයි තුල්හිරියේ ආරියි ඉලුක් වත්ත ගලේවෙල හේනක් පවා කෙටුවා. 88/89 කාලේ ප්‍රදේශයේ දේශපාලන බලපෑම් උඩ මාව පොලිසියේ රඳවගත්තා දින 10 විතර. එක පැත්තකින් ජේ.වී.පි එකෙන් මරණ තර්ජන තිබුණා. ඒ කාලයේ හරියට දෙකෙන්ම පීඩා ලැබුවා. 71 කැරැල්ලෙන් අවුරුදු 37 පස්සේ මම යළිත් පස්ස බලන විට යම් යම් පසුතැවිලි තිබෙනවා. අපේ විප්ලවීය මෙහෙවර ඉටු කිරීමට බැරි වීම, අර පුද්ගලයන් පස් දෙනාගේ මරණ ගැන එහෙම. මම අද විශ්වාස කරන අයුරින් විප්ලවීය වෙනසක් අවශ්‍යයි. ඒත් ඒක ආයුධ හරහාම කල යුතු නැහැ. රාජ්‍ය තන්ත්‍රය කටයුතු කරන ආකාරය අනුව තමයි යළිත් අපි ආයුධ අතට ගන්නවද නැද්ද යන එක තීරණය වෙන්නේ. ආයුධ අතට ගැනීමට නොලැබෙන විදිහට රාජ්‍ය යන්ත්‍රනය කටයුතු කරනවා නම් ඉතා හොඳයි. අවසාන වශයෙන් මට කියන්නට තියෙන්නේ දෙවන වර ජ.වි.පෙ ගොඩනැගීමට ප්‍රබල ලෙස බලපෑවා 71 හඬ හා දෝංකාරය. එය අමතක නොකල යුතු දෙයක්.

(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි )