ඉතිහාසය කණපිට පෙරලීම - සුනන්ද දේශප්‍රිය

ඉතිහාසය කණපිට පෙරලීම - සුනන්ද දේශප්‍රිය

11 December 2019 12:24 pm

ඉතිහාසය පුනරුච්චාරණය වන්නේ ප්‍රථමයෙන් ඛේදාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත් යැයි කාල් මාක්ස් කීවේ මෙයට සියවසකටත් පෙරය. එනමුත් දැන් අප ඉදිරියේ දිග හැරෙමින් ඇති ඉතිහාසීය පුනරුච්චාරණයන් ප්‍රහසනයන් නොවනු ඇත. ප්‍රථම අවස්ථාවෙහිදී ඒ්වා සිදු වූයේ ඛේදවාචක ලෙසයි. දැන් සිදුවන්නට යන්නේ ප්‍රහසන ලෙස නොව භයංකාරත්වයන් ලෙසය.

දෙසතියකට පෙර අගමැති රාජපක්ෂ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය 1978 වසරෙහිදී දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම පිණිස ජේ.ආර්. ජයවර්ධන විසින් පිහිටුවන ලද්දකි. රාපක්ෂවරුන් විසින් මෙම නීතිය යටතේ නව කොමිසමක් පිහිටුවීමේ අරමුණ නම් පසුගිය ආණ්ඩුව සමයෙහි රජයේ නිලධාරීන්ට විරුද්ධව පළි ගැනීම පිණිස පරීක්ෂණ පැවැත් වූ පරීක්ෂණ (එනම් පොලිස්) නිලධාරීන්ට සහ එම පරීක්ෂණ පෙළඹ වූ ‘තෙවැනි පාර්ශවයන්’ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමටය. මේ වනාහී අතිශය දරුණු ප්‍රතිවිපාක ඇතිකළ හැකි පියවරකි.

1978 වසරෙහිදී ව්‍යවස්ථානුකූල ඒකාධිපතියකු වීමට සිහින මැවූ එජාප නායක ජේ.ආර්. ජයවර්ධන විසින් මෙම නීතිය සම්මත කරන ලද්දේ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඇතුළු තවත් පළිගැනීම් සඳහාය. අගමැතිනිය වූ ඇයගේද අධිකරණ ඇමැති වූ පීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේද අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වූ නිහාල් ජයවික්‍රමගේද ප්‍රජා අයිතිය අහෝසි කළ අන්දම සාධාරණ හෝ යුක්තිගරුක හෝ නොවීය. එකී කොමිෂන් සභාවට අතීත කාලයට බලපාන බලතල පැවරිය නොහැකි යැයි අභියාචනාධිකරණය දුන් තීන්දුව එජාපය සතුව තිබූ හයෙන් පහේ පාර්ලිමේන්තු බලයෙන් බුල්ඩොසර් කරන ලදී.

එකළ මෙම නීතිය දේශපාලන පළිගැනීමේ නීතියක් ලෙස මහත් විවේචනයකට ලක් විය. මෙය බොහෝ කළක් තිබුණේ හමස් පෙට්ටියේය.

රාජපක්ෂවරුන් විසින් පිහිටුවනු ඇති මෙම කොමිසම කොතැනින් කෙළවර වනු ඇත්දැයි කිව නොහැකි තරම් බියජනක විය හැකිය. ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම නිදසුනකට ගමු. ඔහු අතුරුදන් වී නැති බවත් විදේශයක ජීවත්වන බවත් වියත්මග ප්‍රධානියකු ඇතුළු රාජපක්ෂවාදී දේශපාලනඥයින් විසින් කියා තිබේ. එම අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා දැන් රාජපක්ෂවරුන් විසින් හඳුන්වනු ලබන්නේ ‘අපට විරුද්ධව බොරු පරීක්ෂණ කළ’ නිලධාරියකු ලෙසය. ඔහු සිය ජීවිතය බේරා ගැනීම පිණිස පලාගොස් ඇති බැවින් ප්‍රගීත් පැහැර ගැනීම පිළිබඳ නඩුව දැන් ඇත්තේ අඩමානයටය. මෙම යෝජිත කොමිසම ඔහුට විරුද්ධව පාවිච්චි වනු ඇති බව නිසැකය. එවිට ‘ප්‍රගීත් අතුරුදහන්වීම’ හිතළුවක් ලෙස තීන්දු වන්නටද ඉඩ තිබේ. එවැනි හිතළුවකට විරුද්ධව පොලිස් නිලධාරීන් පෙළඹවීමේ තෙවන පාර්ශවය ලෙස මුලින්ම හසුවන්නේ සන්ධ්‍යා එක්නැළිගොඩය. අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායකට සළකන ලද බිහිසුණු අන්දම සිහිකර ගත් විට සිය සැමියා අතුරුදහන් කරවීම පිළිබඳව රාජපක්ෂවරුන්ට එක එල්ලේම චෝදනා කරන සන්ධ්‍යා වැනි ක්‍රියාකාරිනියකට දඬුවමක් නොපැමිනෙනු ඇතැයි සිතිය හැකිද ?

තවත් නිදසුනක් නම් වැළිකඩ හිරගෙදර සමූළ ඝාතනය පරීක්ෂණයයි. එම පරීක්ෂණයද නම් කැරෙනු ඇත්තේ රාජපක්ෂවරුන්ගෙන් පළි ගැනීම පිණිස අටවන ලද උගුලක් ලෙසය. එවිට එකී පළිගැනීමට අනුබල දුන් තෙවන පාර්ශවය බවට පත් වන්නේ කව්ද ? එකී සමූල ඝාතනයට යුක්තිය ලබා ගනු වස් ක්‍රියාකාරී වූ සහ සාක්ෂි දුන් පිරිස්ය.

මෙකී යෝජිත කොමිෂන් සභා නීතිය පිළිබඳව පසුගිය සතිඅන්ත ඉංග්‍රිසි පුවත්පතකට ලියමින් මානව හිමිකම් ලේඛිකාවක වන කිශාලි පින්ටෝ ජයවර්ධන මෙසේ කියා තිබුණි. ‘ සිය විරුද්ධවාදීන් තලා දැමීමේදී වත්මන් දේශපාලන නායකත්වය නිරනුකම්පික වනු ඇති බව අපට නිසැකවම කිව හැක.’ තවද ඇය කියා සිටින්නේ මෙම කොමිෂන් සභා නීතිය ‘ලෙහෙසියෙන්ම සාක්ෂි සහ සාධාරණ ක්‍රමවේදය කෙළෙසීමට ඉඩ සළසන’ බවයි.

මෙම කොමිෂන් සභා හමුවට රාජපක්ෂ සමයෙහි සිදු වූ බවට කියැවෙන මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශනය කළ පොලිස් නිලධාරීන් කැඳවනු ඇති බව දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ. වසීම් තජුඩීන් ඝාතන නඩුවද ඒ අතර තිබෙන්නට හොඳටම ඉඩ තිබේ. එම නඩුවෙහි රජයේ සාක්ෂිකරුවකු බවට පත් හිටපු පොලිස් පරීක්ෂකවරයකු වන සුමිත් පෙරේරා පසුගිය නොවැම්බර් 27 දින මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කියා සිටියේ තජුඩීන් මරණයට ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සම්බන්ධ බවට සාක්ෂි සපයන සේ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් තමාට බල කළ බවයි. ඉහත සඳහන් කළ කොමිෂමෙහිදී මෙවැනි සාක්ෂියක් මගින් ශානි අබේසේකර වරදකරුවකු කළ හැකිය.

එසේ නමුත් මෙම සුමිත් පෙරේරා 2016 ජූනි 16 දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවෙහි ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබා දුන්නේය. මෙම ප්‍රකාශය කළ යුතුමදැයි තීරණය කිරීමට ඔහුට දින තුනකදී තෙවරක්ම අවස්ථාව ලබා දී තිබුණි. අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ කරන ලද එම ප්‍රකාශය දැන් තජුඩීන් ඝාතන නඩු විභාගයේ සාක්ෂියකි. මෙම ප්‍රකාශය කරන අවස්ථාවෙහි විනිසුරුවරයා හැරුණ විට එම කාමරයේ සිටියේ සුමිත් පෙරේරා සහ යතුරු ලියන්නිය පමණි. මෙම ප්‍රකාශය ලබා දෙන්නේ කවරකුගේ හෝ බලපෑම නිසාදැයි මහේස්ත්‍රාත්වරයා යළි යළි විමසා සිටියේය. එම ප්‍රකාශය ලබා දෙන්නේ තමා තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කළ විමර්ශනය දැනුම් දීමට මිස වෙන කිසිම බලපෑමක් නිසා නොව බව සුමිත් පෙරේරාගේ නිශ්චිත පිළිතුර විය. මෙම ප්‍රකාශය ඔහුට විරුද්ධව අධිකරණයකදී පාවිච්චි කළ හැකි බව මහේස්ත්‍රාත්වාරයා පෙන්වා දුන්විටද ඔහු ස්ථාවරය වෙනස් කළේ නැත.

කිසිදු බලපෑමකින් තොරව කළ එම ප්‍රකාශයෙහි සුමිත් පෙරේරා කිසිදු තැනක පසුගිය නොවැම්බර් 27 වන දින කියා සිටි තර්ජන කිසිවක් කීවේ නැත. තමාට කවරකුගේ හෝ බලකිරීමක් ඇත්දැයි යළි යළි මහේස්ත්‍රාත්වරයා විමසන ලදුව ඔහු නැතැයි නැතැයි කියා සිටියේය. නමුත් දැන් ඔහු කියන්නේ යෝජිත කොමිසමට පාව්ච්චියට ගත හැකි කතාවකි.

ඔහුගේ එම ප්‍රකාශයෙහි සුමිත් පෙරේරා එවකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තජුඩීන් ඝාතනය වසන් කිරීමට උත්සාහ කළ බව පෙනී යන කරුණු ගණනාවක්ම සඳහන් කරන අතර සේනනායකගේ කීමට පිටින් තමා පරීක්ෂණ කලේ නම් තමාටද තජුඩීන්ට සිදුවූ දේම සිදුවන්නට තිබූ බවද කියයි. එසේ නමුත් දැන් තජුඩීන් ඝාතනය ගසක හැපී සිදුවූ හදිසි අනතුරු මරණයක් බවට යළි කියැවෙන්නටත් අනුර සේනානායක දේශපාලන පළිගැනීමකට ලක් වූ නිර්දෝශී පුද්ගලයකු වන්නටත් ඉඩ තිබේ.

රාජපක්ෂ සමයේ දූෂණ-භීෂණ විමර්ශන කළ නිලධාරින් යෝජිත විශේෂ ජනාධිපති කොමිසමේ දඬු අඬුවට යැවීමට සූදානම් කැරෙමින් තිබීමද ජේ.ආර්. ජයවර්ධන අවතාරය යළි කැඳවීමක් හා සමානය. යළි කැඳවෙන අවතාරය මාරාන්තික යැයි කියනු ලැබේ.

1977 දී ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) අධ්‍යක්ෂක වූයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී ටෙරල් ගුණතිලකය. 30 වසරක් සීඅයිඩීයේ සේවය කර තිබූ ඔහු එක0 රැයින් කොළඹ අපරාධ විමර්ශන අධ්‍යක්ෂක ලෙස මාරු කරන ලදී. ඔහුගේ දෙවැනියා වූ පොලිස් අධිකාරී ගාමිණී ගුණවර්ධන ගාල්ල පොලිස් අධිකාරී ලෙස මාරු කරන ලද අතර එම අංශයේ සේවය කළ තවත් උසස් නිලධාරීන් දෙදෙනෙකු අතිරේක තනතරුවලට මාරු කරන ලදී. ටෙරල් ගුණතිලක සමඟ ජේ.ආර්. වෛර බැඳ තිබුණේ ඔහු විසින් විදේශ විනිමය චංචා පනත යටතේ ඉහළ පෙලේ ජාවාරම්කරුවන් රැසක්ම අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දී තිබූ නිසාය. රහසේ ගෙන්වන ලද ඔරලෝසු තොගයක් සම්බන්ධයෙන් මීගමුව පොලීසියට විරුද්ධව කළ පරීක්ෂණයකින් පොලීසියේ ඉහළ නිළධාරීන්ද ඊට හවුල් වූ බව හෙළිදරව් කළ නිසා පොලිස් සේවයේද ඔහුුට විරුද්ධවාදීහු සිටියහ. 1971 කැරැල්ල සම්බන්ධයෙන් කතරගම රූප සුන්දරිය වූ ප්‍රේමා මනම්පේරි දූෂණය කර ඝාතනය කිරීමේ නඩුව රහස් පොලීසිය විසින් කළ නිසා යුද හමුදා පිරිස්ද විරුද්ධව සිටියහ. ඇසිඩ් ගැසීමක් සම්බන්ධයෙන් ලලිත් ඇතුලත්මුදලිට එල්ල වූ චෝදනාවක්ද ඔවුන් විසින් විභාග කර තිබුණි.

අද පවතින පශ්චාත් යුදමය තත්වය සහ 1977 තත්වය සහමුලින්ම වෙනස් නමුත් දරදඬු පාලකයින් විමර්ශන නිළධාරීන්ට විරුද්ධව පියවර ගැනීමට හේතු වූ කාරණා එදා මෙන්ම අදද සමානය. දූෂණ පරික්ෂණ, ඝාතන පරීක්ෂණ සහ පොලිස් සේවයේ දූෂණ පරීක්ෂණ යනාදිය ටිකක් එහා මෙහා කළවිට අදට සමාන වෙයි. වෙනස අද රාජපක්ෂවරුන්ගේ පශ්චාත් යුද දේශපාලනයෙහි, යුද ජයග්‍රහණය සහ රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදයේ මිශ්‍රණයක් ලෙස අනෙකාට විරුද්ධ ප්‍රචණ්ඩ ගතිකත්වයක් ඇතුළත් වී තිබීමය.

අදද දඬු අඬුවට යැවීමට නියමිතව තිබෙන ශානි අබේසේකර විසින් කීත් නොයර් පැහැර ගැනීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ පරිදිම එදා ගාමිණී ගුණවර්ධන විසින් දෙවරක්ම ජේ.ආර්. ජයවර්ධන ප්‍රශ්න කොට තිබුණි. ඊට අමතරව සිරිල් මැතිව්ද ලලිත් ඇතුලත්මුදලිද ඔහු විසින් ප්‍රශ්න කොට තිබුණි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ යූඇන්පී ආණ්ඩුව පිහිටවූ විශේෂ ජනාධිපති කොමිසමට මෙම නිලධාරීන්ද කැඳවන ලදී. එනමුත් ඔවුන්ට විරුද්ධ චෝදනා සනාථ කළ හැකි සාක්ෂි කිසිවක් යූඇන්පීය පත් කළ පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකි විය. ඇත්ත වශයෙන්ම නම් ජයවර්ධනට අවශ්‍ය වූයේ සිය දේශපාලන ප්‍රතිවාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමය. (ඒ සඳහා ජවිපෙද සාක්ෂි දුන්නේය)

නමුත් අද තත්වය එදාට වඩා නපුරුය. මෙවර පිහිටුවනු ඇති විශේෂ ජනාධිපති කොමිසම විමර්ශන නිලධාරීන් පමණක් නොව සිවිල් සමාජ ක්‍රියාධරයින්ද එය හමුවට කැඳවීමට ඉඩ තිබේ. එය ආරම්භයක් පමණක් වනු ඇති අතර අවසානය කුමක්වනු ඇත්දැයි කීමට බැරිය.

(කිශාලි පින්ටෝ ජයවර්ධන සහ ගාමිණී ගුණවර්ධන ඉංග්‍රිසි බසින ලියන ලද ලිපි දෙකක සඳහන් කරුණුද පාදක කර ගන්නා ලදී.)