ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොසැලෙන නායකත්වයක් උවමනා කර තිබේ

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොසැලෙන නායකත්වයක් උවමනා කර තිබේ

14 November 2019 10:00 pm

මැතිවරණ පැවැත්වීම මගින් රටකට අවශ්‍ය කරන නායකයින් කලින් කලට සාධාරණ ලෙස තෝරාගැනීමට ඉඩකඩ සැලසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමයක මූලික ලක්ෂණයකි. මැතිවරණ ක‍්‍රමය මගින් පාලකයා ජනතාවට වගකියන පරිසරයක් නිර්මාණය කරන අතර පාලකයා ජනතා විරෝධී පාලනයක් ගෙන යන්නේ නම් එම පාලකයා බලයෙන් ඉවත්කිරීමට  ජනතාවට ඇති බලය තහවුරු  කොට ඇත්තේ මැතිවරණ මගිනි. 

ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ක‍්‍රමයක මැතිවරණ මගින් පාලකයා තෝරාගන්නේම එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ක‍්‍රමය ආරක්ෂා කොට වැඩිදියුණු කොට ඉදිරියට පවත්වාගෙන යාම සදහාය. පාලකයෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ක‍්‍රමය හකුලන ආකාරයේ අණපනත් ගෙන එන්නේ නම් එම තර්ජනයන් ඉවත් කිරීම සදහා පාලකයා ඉවත් කිරීමට ඇති හැකියාව ජනතා පරමාධිපත්‍යය වේ. 

දේශපාලන පක්ෂ ක‍්‍රමය ද සකස් වී පවතින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ක‍්‍රමය ස්ථාපිත කිරීම සදහාය. පුද්ගලයා හෝ පවුල මුල්කරගත් දේශපාලනය වෙනුවට පක්ෂ දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මට අවශ්‍ය මූලික ආයතන ව්‍යුහය සපයයි. යම් ප‍්‍රතිපත්ති සමූදායකට හා වැඩපිළිවෙළකට එකඟ වූ  පුද්ගලයින් රාශියක් දේශපාලන පක්ෂයක් මගින් නිරූපනය වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ මූලික අඩිතාලම වැටෙන්නේ පක්ෂ තුළ පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ගුණාංග මතය. උදාහරණයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ යම් ප‍්‍රධාන පක්ෂයක් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පක්ෂය තුළින් තෝරාගන්නා ක‍්‍රමවේදයක් ඇත. එය පක්ෂයට සම්බන්ධ  එක් පවුලක්‌  හෝ සුළු පිරිසක්  තීරණය කරන්නක් නොව පක්ෂයේ විවිධ මට්ටමේ සාමාජික අදහස් හා වරණය විමසීමේ අවස්ථා රාශියකට පසු තම අවසන් අපේක්ෂකයා තෝරාගන්නා ක‍්‍රියාවලියකි. 

එම ක‍්‍රියාමාර්ගය තුළින් පක්ෂයේ සියළුම සාමාජිකයන් අදහස්වලට වටිනාකමක් ලබාදෙන අතර එය පක්ෂයේ අවසාන තීරණය සමග පක්ෂ සාමාජිකයන් රඳවා තබාගැනීමට රුකුල් දෙයි. ඉන්පසුව පක්ෂ අතරින් ඉදිරිපත් වන අපේක්ෂයෙකු  තෝරා ගනී. එවැනි ජනතා මත විමසුම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රාණ වායුව වන්නේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී  පාලන ක‍්‍රමයට හාත්පසින්ම  වෙනස් තත්ත්වයක් ආඥාදායක පාලන ක‍්‍රමයක දැකිය හැකිය. මෙහිදී  එක් පුද්ගලයෙකු මුල් කරගත් පාලන ක‍්‍රමයක් පවතින අතර ජනතාවට පාලකයන් තෝරාගැනීමට අවස්ථාවක් නොවීම හෝ ඒ  සදහා සාධාරණ අවස්ථාවක් නොදීම දැකිය හැකිය.

පාලකයා දෙවියන් හා සමාන වන බවත් පාලකයාට විරුද්ධ වන  ඕනෑම පුද්ගලයෙකු  හෝ සංවිධාන ජාලයක්  විනාශකර දැමීමට පාලකයා කටයුතු කරයි. ලෝක ඉතිහාසයේ දැකිය හැකි දරණුතම ගණයේ ආඥාදායකත්වයක් ක‍්‍රියාත්මක කළ පුද්ගලයෙකු වශයෙන් ඇඩොල්ප් හිට්ලර් දැක්විය හැකිය. ජර්මනිය තුළ කෲර පාලනයක් නිර්මාණය කරමින් ලෝක යුද්ධකට පාර කැපු හිට්ලර් අවසානයේ ජීවතයෙන් සමු ගත්තේ මිලියන ගණනින් මිනිසුන් මරා දමමින් ජර්මනිය පමණක් නොව සමස්ත ලෝකයම දශක ගණනාවකින් ආපස්සට තල්ලූ කරමින්ය. හිට්ලර් නිර්මාණය කරන ලද මනුෂ්‍ය ඝාතන සංස්කෘතිය සමස්ත මානව වර්ගයාටම කළ නින්දාවකි. මෙවැනි ආඥාදායකයින්  සියගණනින්  ලෝක ඉතිහාසය පුරා බිහිවී ඇත.

ආඥාදායක්වයක පොදු ලක්ෂණ

ආඥාදායකත්වයක් බිහිවන ප‍්‍රධාන ආකාර දෙකක් වේ. ඒ  මිලිටරිමය මැදිහත් වීමක් මගින්  කරන බලය අල්ලාගැනීම සහ දේශපාලනමය වශයෙන් කරන රැවටීම හා මුළාව තුළින්  පාලන බලය ලබාගැනීමත් ඉන්පසු බලය අත්නොහැරීම වශයෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ලෙස බලයට පත් වු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පසුකාලීනව ක්‍රමිකව ජනතාවගේ සිවිල් නිදහස සීමාකරමින් ආඥාදායකත්වයක්  නිර්මාණය කරගත හැකිය. බුද්ධිමත් ජනතාවක්  සිටින රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ක‍්‍රම හරහා ආඥාදායකත්වයක් නිර්මාණය කිරීම පහසු නැත. නමුත්  හමුදා බලය යොදාගනිමින් කුමන්ත‍්‍රණ හා ඝාතනයන් තුළින්  බලය අල්ලන ආඥාදායකත්වයට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ක‍්‍රම හරහා පත්කරන ආඥාදායකත්වය වඩාත් භයානක විය හැකිය. එයට හේතුව වන්නේ එම ආඥාදායකයට පහසුවෙන් ජනතාව රැවටීමට වටපිටාවක් නිර්මාණය වී තිබීමත් ආඥාදායකත්වය අන්තයටම පිරිහෙන තුරු පාලකයා ආඥාදායකයෙකු  බව නොපිළිගන්නා හා එම පාලකයා ආරක්ෂා කිරීමට සැදීපැහැදි සිටින පිරිසක් ජනතාව අතරම වන නිසාත්ය.

ප‍්‍රජාතන්තත‍්‍රවාදි ක‍්‍රම හරහා බලයට පත්වන ආඥාදායක පාලනයක් පෙන්නුම් කරන පොදු ලක්ෂණ රාශියක් පවති. ඒ අතර
 ජාතිකත්වය, ගෝත‍්‍රවාදය මුල්කරගත් ව්‍යාජ දේශපේ‍්‍රමීයත්වයක් ප‍්‍රදර්ශනය කරමින් ජනතාව මුළා කිරීම,පවුල්වාදි පාලන රටාවකට මුල පුරමින් ජාතික ධනය හා ජාතික සම්පත් පාලනය තමන් නතුකරගැනීම හෝ තමන්ට පහසුවෙන් මෙහෙවිය හැකි පිරිසක් අත රැදවීම,තමාට සමාන අදහස් ඇත්තන් පාලනයට රාශිකරණය කරගැනීම හා ඒ  තුළින් රාජ්‍ය පාලනයේ ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම හා තොරතුරු පිටතට ගලායාම වැළැක්වීම, නිදහස් මතවාද මර්ධනකාරි ලෙස මැඩපැවැත්වීම, තම හා තම පාලනාධිකාරියේ ප‍්‍රතිරූප ගොඩනැංවීම, රාජ්‍ය සම්පත් අවභාවිතා හාෂණය කිරීම සහ රාජ්‍ය පාලනයට සම්බන්ධ  පිරිස් වෙත වංචා හා දූෂණයට ඉඩකඩ නිර්මාණය කිරීම,අධිකරණය හා නීති පද්ධතිය හෑල්ලූවකට ලක්කිරීම සහ ප‍්‍රජාතන්ත‍්‍රික ආයතන ව්‍යුහය ක‍්‍රමිකව දියකර හැරීම, ජාත්‍යන්තර සම්මුතිවලින්  ඉවත් වීම සහ හුදෙකලා රාජ්‍යයක් ගොඩනගා ගැනීමට ඇති වරණය යනාදිය ප‍්‍රධාන වේ. මේ දක්වා ලෝකයේ විශේෂයෙන්ම අප‍්‍රිකානු මහාද්විපය තුළ බිහි වී ඇති බොහෝ ආඥාදායකයින්  ප‍්‍රජාතන්ත‍්‍රවාදී  මූලධර්ම හරහා ජාතියේ ගැළවුම්කරුවන් වශයෙන් පාලනයට පැමිණි  පුද්ගලයන්ය. සිම්බාබ්වේ රොබට් මුගාබේ, ලයිබීරියාවේ චාල්ස් ටේලර්, ගිනියාවේ සිකො ටොව්රේ,කැමරූන්හි පොල් බියා වැන්නන් එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ප‍්‍රවාහයෙන්  බලයට පැමිණි අප‍්‍රිකානු ආඥාදායකත්වයන්ට උදාහරණ කිහිපයකි.

 මෙරට දේශපාලන කථිකාව ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංවාදය තුළද ආඥාදායකත්වයකට ඇති ඉඩකඩ හා වරණය පිළිබද අදහස් මෑතදී ඉස්මතු වී ඇත. අද සමාජය අත්දකින විවිධ ප‍්‍රශ්න හා ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීමට ආඥාදායක පාලනයක අවශ්‍යතාව අගයන ”අපිටත් රජෙක් හිටියා නම් හොඳයි” කියන පුද්ගලයන් සොයාගැනීමට අපහසු නැත. ඇතැම් අය මෙයටත් එහාට ගොස් ”හිට්ලර් වැනි නායකයෙකු මේ රටට අවශ්‍ය” බව ප‍්‍රකාශ කර ඇත. එවැනි සමහර ප‍්‍රකාශ දිහා බලන විට පෙනීයන්නේ එම අදහස්වල අර්ථය වන්නේ මේ රටට ආඥාදායක පාලනයක අවශ්‍යතාවක්  ඇති බවය. 

1978දී වෙස්ට්මින්ස්ටර් පාලන ක‍්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තුවට සෘජුව වගනොකියන විධායක ජනාධිපතිවරණයෙක මූලික කරගත්  ආණ්ඩු  ‍ක්‍රමයක්  ස්ථාපිත කරුණු ලැබුයේ යම් ප‍්‍රමාණයක ආඥාදායකත්වයක් නිර්මාණය කිරීමටය. නමුත් අද ඇතැම් කණ්ඩායම් ඉල්ලූම් කරන්නේ විධායක ජනාධිපතිධූරය ඉක්මවූ  ආකාරයේ ආඥාදායකත්වයකි. මේ රටේ මිනිසුන්ට ප‍්‍රබල ආඥාදායකත්ව ස්වරූපයේ පාලනයක් අවශ්‍ය වී  ඇත්තේ ඇයි ද යන්න විමසා බලමු.

යුධ මානසිකත්වය

නිදහස ලැබීමෙන්  පසු  රටෙහි පත්වූ  සෑම අගමැතිවරයෙක්ම ජනාධිපතිවරයෙක්ම හා ආණ්ඩු පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී ක‍්‍රමයට  සහ එම සියලූම ආණ්ඩුවල අවසානයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ක‍්‍රමය හරහා සිදු වී ඇත. තෝරාපත් කරගත් ඇතැම් නායකයන් ක‍්‍රමයෙන් තම බලපරාක‍්‍රමයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ක‍්‍රමය ඉක්මවා විහුදුවාලීමට උත්සාහ කළ ද එම උත්සාහයන්  ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ක‍්‍රමය තවදුරටත් ශක්තිමත්  කරමින් අවසන් වූ  බවට ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසය දෙස් දෙයි. මෙරට සිවිල් යුද්ධය ඔඩුදුවා තිබුණු සමයේදී එම යුද්ධය අවසන් කර රටට සාමය රැගෙන ඒම  සදහා ඒකාධිපති පාලකයෙකු අවශ්‍ය යැයි හඬ නැගුණු කාලයක් විය. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත්වූ  සියලූම ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ ආණ්ඩු සහ ආරක්ෂක අංශ ගෙන ගිය වැඩපිළිවෙලහි සහ කැපකිරීම්වල ඒකාබද්ධ ප‍්‍රතිඵලයක් වශයෙන් 2009 දී යුද්ධය නිම කිරීමට එවකට සිටි ජනාධිපතිවරයාට හා පාලනාධිකාරියට හැකි විය.

යුද්ධය නිමාවීමත් සමග රජයට පැවතියේ ආර්ථික යුද්ධය ජයගෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමය. නමුත්  යුද්ධය නිමාවීමේ වාසිය රට වෙත නිසි පිරිදි ලබාගැනීමට එවකට සිටි පාලකයන්ට නොහැකි විය. ඒ නිසාම 2013 පමණ වන විට ආර්ථික ගැටලූ උග‍්‍ර වීමත් මහාපරිමාණ රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ඵලදායි නොවීම නිසාත් රාජ්‍ය අංශයේ දූෂණ අක‍්‍රමිකතා ඉහළ යාමත් සමග ආර්ථික කාර්යසාධනය සීමාකාරී වන්නට විය. මෙම රාමුව තුළ රට තුළ නිර්මාණය වූ  පවුලවාදී  පාලන රටාවත් එම පාලන රටාව දිගින්  දිගටම ගෙන ගිය නීතියේ ආධිපත්‍යය බිදදැමීම් හේතුවෙන් රටෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ආයතන පද්ධතිය බිදවැටෙන්නට විය. ඒත්  එක්කම දූෂණය, වංචාව වේගයෙන්  ව්‍යාප්ත වූ අතර මර්ධනකාරී  පාලනාධිකාරියක් ඉස්මතු වෙමින් තිබිණ. මෙම තත්ත්වය රට තුළ සමාජ ආර්ථික දේශපාලන ගැටලූ රාශියක් නිර්මාණය කළ අතර 2015 ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගෙන රටතුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම සදහා කැපීපෙනෙන දේශපාලන වෙනසක් කිරීමට ජනතාව සමත් විය.

යහපාලනයේ සාධනීයත්වය 

යහපාලන රජය පිහිටුවීමේදී සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂවලට අමතරව මෙරට සිවිල් සමාජ සංවිධාන ඉහළ කාර්යභාරයක් සිදුකරනු ලැබීය. සිවිල් සමාජ සංවිධානයන්හි බලපෑම් හමුවේ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම නිර්පාක්ෂික අපේක්ෂකයාගෙන් විශේෂයෙන්ම  සිවිල් සමාජ සංවිධාන බලාපොරොත්තු වුයේ මෙරට ආණ්ඩුකරන  ආඥාදායක්වයක් දිසාවට මෙහෙය විය හැකි ආකාරයෙන් ජනාධිපතිවරයා සතු අසීමිත බලතල සීමාකොට ඒවා පාර්ලිමේන්තුවට පැවරීම සහ ක‍්‍රමනානුකූලව ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමය.

ජනාධිපතිවරණය ජයග‍්‍රහණයෙන්  පසුව හා මහා මැතිවරණයෙන් සභාග රජයක් පිහිටුවීමෙන් පසුව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පාර්ශ්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී  යහපාලන ක‍්‍රමවේදය ස්ථාපිත කිරීම සදහා නීති සම්පාදන ක්ෂෙත‍්‍රයේ සාධනීය ප‍්‍රතිඵල අත්පත් කරගැනීමට සමත් විය. 19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා සතු වූ බොහෝ අසීමාන්තික විධායක බලතල ඉවත් කොට ඒවා අගමැති හා වෙනත් ආයතන වෙත පැවරිණ. ඒ  අනුව මහාමැතිවරණයෙන් වසරකට පසු  ඕනෑම අවස්ථාවක පාර්ලිමෙන්තුව විසිරීම සදහා ජනාධිපති සතු වු බලතල ඉවත් කෙරිණි. කැබිනට් මණ්ඩලයේ ප‍්‍රමාණය පිළිබද සීමාවන් පැනවිණ. 18වන ව්‍යවස්ථා සංශෝධනයෙන්  සම්මත කරගෙන තිබුණු ප්‍රජාතන්ත‍්‍ර විරෝධී නීතිමය ප‍්‍රතිපාදන ඉවත් කෙරිණ.

එමෙන්ම ව්‍යවස්ථාදායක සභාව සහ අධිකරණ සේවා,පොලිස්, මැතිවරණ, රාජ්‍ය සේවා කොමිසන් සභා බලාත්මක කරමින් විධායකය සතු වූ  බලතල හා වගකීම් යම් ප‍්‍රමාණයක් කොමිසන් සභා වෙත පවරා දෙනු  ලැබිණ. තොරතුරු දැනගැනීමේ පනත වැනි නීතිරීති හරහා ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් සුරක්ෂිත කිරීමට කටයුතු කෙරිණ. ස්වාධීන පොලිස් කොමිසම, අධිකරණ සේවා කොමිසම,රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම යන ස්වාධින කොමිසන් සභා ශක්තිමත් කිරීම හේතුවෙන් එම ක්ෂේත‍්‍රවලට විධායකය වෙතින්  එල්ල වී  තිබුණු බලපෑම් ඉවත් කොට වඩාත් යහපත් සේවාවක් සැපයීමට කටයුතු සම්පාදනය විය.  අද ඒවායේ  ප‍්‍රතිඵල ජනතාව භුක්ති විදිමින් සිටි. මෙම ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීමට ප‍්‍රථම නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්විම බරපතල ප්‍රශ්නයක් වී තිබුණි. මැතිවරණ සමයන්හි මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් සාමාන්‍ය දෙයක් වු අතර මැතිවරණ සමයේ රට යුධ පිටියක ස්වරූපයට පත්විමක් දැකගත හැකි විය. අද එම තත්ත්වය නොමැත.

පොස්ටර් කටවුට් බැනර් යුද්ධ අද නැත. මඩ ප‍්‍රචාර, වෙඩි තබාගැනීම්, මිනීමරාගැනීම් අද නිතර අසන්නට නැත. පොලීසියට හා අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස අද ලැබි ඇත. නිර්ලජ්ජිත ආකාරයෙන් රාජ්‍ය දේපල භාවිතය අද අඩු වී ඇත. අද මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ දිනයේදී ආතතිය හැදෙන්නේ  නැත. මේ සියල්ලම 2015න් පසුව නැවත ඇති කළ තත්ත්වයන්ය. ඒවා  ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීමේ ප‍්‍රතිඵලයන්ය. නොදියුණු චින්තනයේ  යහපාලනය නමුත් යහපානයේ පූර්ණ වාසිය ජනතාවට අත්පත් කරදීමට රජය අසමත් විය. අවශ්‍ය නීති තිබුණත් නීති ක‍්‍රියාත්මක කරගැනීමට යහපාලන රජයට නොහැකි විය. වරදකරුවන්ට දඩුවම් ලබාදිය නොහැකි විය. මේ සදහා බලපානු ලැබුවේ දේශපාලකයාගේ නොදියුණු චින්තනයයි. ජනාධිපති අගමැති යහපාලන මූලධර්ම පැත්තකට දමා පක්ෂ දේශපාලනය හා පෞද්ගලික දේශපාලනයක යෙදිණ.

තමන්ගේ ඉදිරි අපේක්ෂා අරමුණු වෙනුවෙන් යහපාලන ප‍්‍රතිපත්ති හා යහපාලනය ගොඩනැගු ආයතනික ව්‍යුහය දන්දෙන්ට විය. අනෙක් අතට අවස්ථාවාදී ඇමැතිවරු යහපාලන මූලධර්ම පැත්තකට දමා මහා බැංකු බැදුම්කර මහා චංචාව සිදුකළේය.   නීතිය හා සාමය ක‍්‍රියාත්මක කරන්නට සිටි ඇමැතිවරු නීතිය වළපල්ලට යවා හොරු,වංචාකාරයන්, මිනීමරුවන් රකින පිළිවෙතක්  අනුගමනය කළේය. ඉහළම තලයේ රාජ්‍ය නිළධාරීන්ද එයම සිදු කළේයx අවසානයේ යහපාලනය ස්ථාපිත කළ නීතිය හා ආයතනික පද්ධතිය දේශපාලකයන්ගේ නොදියුණු  චින්තනය හමුවේ ගරාවැටෙන්නට විය. පොදු ජනතාවට මෙය යහපාලනයේ සැබෑ ස්වරූපය වශයෙන්  දැනෙන්නට විය.

ඔවුන් යහපාලනය තේරුම් ගත්තේ ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකි, ජනතාවගේ හා දේපළවල ආරක්ෂාව සුරක්ෂා කළ නොහැකි, සාමුහික වගකීම වෙනුවට ආණ්ඩුවේ ප‍්‍රධානීන් එළිපිටම ඇණ කොටා ගන්නා මර උගුලක්  වශයෙනි. යහපාලනය ආයෙත් නම් එපා කියන මට්ටමට ජනතාව පත්වූයේ  ඒ නිසාය.

නමුත් ආණ්ඩුවට  ඵලදායි ලෙස යහපාලනය ස්ථාපිත කළ හැකි වූයේ නම් එය මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තිය වනු ඇත. සියලූ ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වලට සහයෝගයෙන් ජීවත්විය හැකි හොරකමින් හා වංචාවෙන් තොර සාමාකාමී  සාධාරණ සමාජයක් නිර්මාණය කරගත හැකි වූයේ නම් ඒ  තුළ සියලූ දෙනාගේ සමාජ දේශපාලන අයිතීන් සුරක්ෂිත වු මෙරට සෞභාග්‍යමත් රටක් බවට ඉතාම කෙටි කාලයක්  තුළ පත්කර ගැනීමේ හැකියාව තිබුණි. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොසැලෙන නායකත්වයක්

සියලූම දෙනාට එක්ව ජීවත්විය හැකි සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ ප‍්‍රයත්නය ජනතා හිතසුව පිණිස වු ප‍්‍රයත්නයකි. එය පුද්ගලයෙක් හෝ පවුලක්  හෝ කණ්ඩායමක් දිනවීමට දැරූ ප‍්‍රයත්නයක් නොව මෙරට සියලූම දෙනා එක්ව නගාසිටුවාලන ප‍්‍රයත්නයකි. එහි ජාති ආගම් කුලමල කලූසුදු උස්පහත් භේද නොමැත.එම ප‍්‍රයත්නයේ යම් යම් පසුබැසීම් හා අඩුපාඩු තිබුණද එම ප‍්‍රයත්නය සහමුලින්ම  අතුගා දමා රට ආපස්සට ඇදගෙන යා යුතු නැත. කැපවීමෙන්  දිනාගත් නිදහස් හා සාධාරණ රට ප‍්‍රගතියේ ඉදිරිගමනට රැගෙන යා යුතුය. යහපාලනය නැවතුනේ යම්තැනකද එය එතැන සිට ඉදිරියට ගෙන යාම මෙරට බුද්ධිමත්  සෑම සියලූ දෙනාගේම වගකීම වන්නේය. 

මේ රට තුළ නැවතත් ජාතීන්  අනුව, ආගම් අනුව, ගෝත‍්‍ර අනුව, ප‍්‍රදේශ අනුව බෙදාවෙන් කරන පාලනයකට ඉඩකඩ නොතැබිය යුතුය. මානව නිදහස හා සමාජ සාධාරණත්වය දේශපාලනික ලිට්මස්  පරීක්ෂාවන්ට භාජනය කිරීම නවතා දැමීමට කාලය උදාවී ඇත. එමෙන්ම  නිදහස හෝදහෝදා මඩේ දැමීමේ ව්‍යාපෘතියට  තිත තැබිය යුතුය. ව්‍යාජ දේශපේ‍්‍රමීත්වය තැවරූ පවුල් පාලනයක් තූළ සීමිත කණ්ඩායමක් විසින් ක‍්‍රියාත්මක කරන බොරුව, වංචාව හා දූෂණය රජකරන පීඩාකාරි වු ජනතාව මුළාකරන ආඥාදායක පාලනයකට මේ රට නැවත තල්ලූකිරීම අවශ්‍ය වන්නේ නැත. ඒ  වෙනුවට  අවශ්‍ය වන්නේ සෑබෑ ලෙසම ජන දුක හඳුනාගත් ජනතාවාදී පාලනයක් තුළ බොරුව, වංචාව හා දූෂණය බැහැර කළ රටෙහි සියලූ ජනවර්ග හා ආගමික කණ්ඩායම්වලට සහයෝගයෙන් ජීවත්විය හැකි සාමකාමී සාධාරණ සමාජයක් නිර්මාණය කළ හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී  පාලකයෙක් පත්කරගනිමින් මේ දක්වා රට දේශීය වශයෙන් අත්පත් කරගෙන ඇති සමාජ, ආර්ථික හා දේශපාලනික ප‍්‍රගතිය ප‍්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තරය තුළ නම්බුකාර රටක් බිහිකළ හැකි දැක්මක් සහිත නොසැලෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදි නායකයෙකු තෝරාපත් කරගැනීමය.

මහාචාර්ය ජේ.එම්. ආනන්ද ජයවික්‍රම