මල් පීදීම සහ අනර්ථය

මල් පීදීම සහ අනර්ථය

22 September 2019 07:01 pm

නෙළුම් කුළුන විවෘත කිරීමේ උත්සවය නොසිතූ විරූ පැත්තකට ගියේය. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එහිදී බෝම්බයක් අතහැරීම නිසාය. චීන සමාගමකට මේ කුළුන ගොඩනැගීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් බිලියන 2 ක අත්තිකාරමක් අස්ථානගතව ඇතැයි එම උත්සවය විවෘත කරමින් ඔහු කීවේය. දූෂණය සහ දේශපාලනික තලයේ පවතින දණ්ඩමුක්තිය (නීතියෙන් ගැලවී අපරාධ කිරීමට කෙනෙකට ඇති හැකියාව) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට යෝධ අභියෝගයන් බවට පත්ව ඇත්තේ කෙසේද යන්නත්, එම තත්වය තීරණාත්මක අවස්ථාවන්හිදී දේශපාලනික තලයේ බලපෑම් ඇති කරන්නේ කෙසේද යන්නත් ඒ මගින් විසද කෙළේය.

ජනාධිපති සිරිසේන කියූ පරිදි, නෙළුම් කුළුන ඉදිකිරීමේ කාර්යය පවරන ලද එක් සමාගමකට 2012 දී රුපියල් බිලියන 2 ක අත්තිකාරමක් ගෙවා තිබේ. ඔහු සඳහන් කළ සමාගම වන්නේ ‘ඒරේ ස්පේස් ලෝං මාච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ්’ හෙවත් ‘ඇලිට්’ නමින් හැඳින්වෙන සමාගමකි. දැනට ප‍්‍රසිද්ධියට පත්ව ඇති වාර්තාවන්ට අනුව, නෙළුම් කුළුන ගොඩනැගීම භාර දී ඇත්තේ මේ සමාගම සහ ‘චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කෝපරේෂන්’ යන සමාගම් දෙකෙන් සමන්විත චීන සමූහ ව්‍යාපාරයකටයි. දීර්ඝ කාලයක් තිස්සේ සැකසාංකා බොහොමයක් තිබුණු මේ ව්‍යාපෘතිය, කෙසේ වෙතත්, දිගටම ක‍්‍රියාත්මක විය. එහෙත් ඒ, බොහෝ දෙනාගේ වැඩි අවධානයට හසු නොවෙමිනි.

මුලින්ම දැනගත යුතු දෙය වන්නේ, මේ නෙළුම් කුළුන ව්‍යාපෘතිය මේ අප විසින් ඉල්ලා සිටි හෝ බලයේ සිටි ආණ්ඩුව විසින් ඉල්ලා සිටි ව්‍යාපෘතියක් නොවන බවයි. එය පිටස්තර පාර්ශ්වයක් විසින්, එනම් චීනය විසින් පැවති ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකි. ඒ පිටස්තර පාර්ශ්වයේ ඉල්ලීමට 2010 දී කැබිනට් අනුමැතිය ලැබුණි. අදාළ කොන්දේසිවලට අනුව, මේ ව්‍යාපෘතිය සඳහා ‘චයිනා එක්සිම් බැංකුවෙන්’ ඩොලර් මිලියන 104.3 ක ණයක් සපයනු ලැබේ. මෙය, අවුරුද්දකට බැරිමරගාතේ හෝ රුපියල් බිලියන 2.4 බැගින් අවුරුදු 10 ක් තිස්සේ අප විසින් ආපසු ගෙවිය යුතු ණය මුදලකි. එසේ තිබියදී, ජනාධිපතිවරයා කියන පරිදි, ඒ සා විශාල ණය මුදලක් වැය කළ හැකිව තිබූ ප‍්‍රශස්තම ආකාරය මෙයදැයි සොයා බැලීමටත්, ව්‍යාපෘතිය දියත් කරන්නේ නම් ඒ පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමටත් එදා පැවති ආණ්ඩුව අසමත් වුණේ මන්ද යන්න ප‍්‍රශ්නකාරීය.

අවාසනාව වන්නේ, වර්තමාන ආණ්ඩුව යටතේවත් එකී අක‍්‍රමිකතාව ප‍්‍රමාණවත් තරමින් නිවැරදි වී ඇති බවක් පෙනෙන්ට නැතිකමයි. මේ විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා කී පරිදි, ‘ඇලිට්’ සමාගම මේ වනවිට අතුරුදහන් වී තිබේ. ඒ නිසා, ඔවුන්ට ගෙවන ලද අත්තිකාරම් මුදල ආපසු ලබාගත නොහැකිව තිබේ. කොරේ පිටට මරේ කීවා සේ, ‘චයිනා එක්සිම් බැංකුව’ මුලින් සැපයීමට පොරොන්දු වූ ණය මුදලත් අඩු කිරීමට පසුව තීරණය කොට තිබේ. ඒ නිසා, ව්‍යාපෘතිය අවසන් කර ගැනීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවට තවත් රුපියල් බිලියන 3 ක් සොයා ගැනීමට බල කෙරී ඇත.

මේ තොරතුරුවලින් ඇතැම් ඒවා අලුත් දේවල් නොවේ. මේ වසර මුල් භාගයේ විගණකාධිපතිවරයා වාර්තාවක් නිකුත් කෙළේය. මුල පටන්ම මේ සමස්ත ව්‍යාපෘතිය වැරදියට කළමනාකරණය කොට ඇති සැටිත්, ලැබුණු අරමුදල් නාස්ති කෙරී ඇති සැටිත්, ව්‍යාපෘතිය නිමා කිරීමේ අවසාන දිනය මගහැරීම නිසා සමස්ත වියදම තවත් ඉහළ ගොස් ඇති සැටිත් එම වාර්තාවෙන් පෙන්වා දෙන ලදි. ඉදිකිරීම් කටයුතු නියමිත දිනයේදී අවසන් නොකිරීම හේතුකොටගෙන සමස්ත වියදම ඉහළ ගොස් ඇති සැටි පෙන්වන විගණකාධිපතිවරයා, උදාහරණයක් වශයෙන්, 2017 අගෝස්තු 19 සිට ඔක්තෝබර් 27 දක්වා පාවිච්චියට ගත යුතුව ඇති බවට අප එකඟතාවයෙන් බැඳී සිටි ණය ප්‍රමාණයක් පාවිච්චියට නොගැනීම හේතුකොටගෙන ඩොලර් 322,984 ක අමතර ගෙවීමක් කිරීමට ලංකාවට සිදුව ඇති බව පෙන්වා දෙයි. එසේම අදාළ ඉඩමේ අයිතිය පිළිබඳ ප‍්‍රශ්නද නොවිසඳී තිබේ. තවද, ‘විදුලි සංදේශ නියාමන කොමිසමට’ ස්වකීය අධිකාරිය යටතේ පොදු මහජන සමාගමක් පවත්වා ගැනීමට බලයක් නොමැති වීමත් තවත් ප්‍රශ්නයකි.

එහෙත්, ‘විදුලි සංදේශ නියාමන අධිකාරිය’ භාරව සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, විගණකාධිපතිවරයාගේ වාර්තාව ඉදිරිපත් වීමෙන් පසුව පවා මේ ප‍්‍රශ්න ගැන පරීක්ෂණයක් කිරීමට පියවර නොගත්තේ මන්ද යන්න බරපතල ප‍්‍රශ්නයකි. එයින් තවදුරටත් පෙන්නුම් කරන්නේ, දූෂණය මුලිනුපුටා දැමීම වෙනුවෙන් මොන තරම් කතා කළත්, එ් සඳහා වන අභිප‍්‍රාය ඒ අහලකවත් නැති බවය. මේ සියල්ලට අමතරව, නායකයන් තමන්ගේ දේශපාලන සගයන්ට අදාල ‘ලිපිගොනු’ උරුක් කරන්නේ දේශපාලනික කේවල් කිරීම් සඳහා බවත් පරසිඳුය.

ජනාධිපතිවරණය ළඟදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ පක්ෂය මේ වනවිට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ සමග සන්ධානගත වීමේ සාකච්ඡා පවත්වමින් සිටී. නෙළුම් කුළුන අද මැදි වී සිටින්නේ ඒ දේශපාලනික සෙල්ලමටයි. අවාසනාව වන්නේ, වෙනත් බොහෝ කාරණාවලදී මෙන් මෙහිදීත්, බිල්ලට වැටෙන්නේ මහජනතාවගේ අභිවෘද්ධියත්, වගවීම නමැති ප්‍රතිපත්තියත්ය.

2019 සැප්තැම්බර් 18 වැනිදා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ, ‘Bloom and the Bane’ නමැති කතුවැකිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.