නායකයෙකු යනු ජනතාවගේ අනුගාමිකයෙක්ද? නැත්නම් ජනතාවට මගපෙන්වන්නෙක්ද? - ගාමිණී වියන්ගොඩ

නායකයෙකු යනු ජනතාවගේ අනුගාමිකයෙක්ද? නැත්නම් ජනතාවට මගපෙන්වන්නෙක්ද? - ගාමිණී වියන්ගොඩ

20 September 2019 07:00 pm

මගේ දවසක වැටුප සොච්චමකි. දරුවන් හත් දෙනෙකි. ඉල්ලීම් බොහොමයකි. ඊයේ දවසේ නීරස අත්දැකීම් ගැන දන්නා මම හෙට දවස ගැන සිතා දරුවන්ගේ ඉල්ලීම්වලට සවන්දෙන්නේ ඔවුන් කෙරෙහි මා තුළ වන ආදරය තොඳොල් අයුරින් ප‍්‍රකාශ වන පරිද්දෙන් නොව, අනාගතයේ දවසක ඔවුන්ගේ වැඩිහිටි අගැයීමට ලක්වන පරිද්දෙනි. මා එසේ කරන්නේ, අනාගත අගැයෙීමක් දරුවන්ගෙන් අපේ‍ක්ෂා කරන නිසාම නොව, අපේ මුළු පවුලේම අභිවෘද්ධිය සඳහා දරුවනේගේ සීනිබෝල ආශාවන්ට යට නොවී සිටීම මේ මොහොතේ අවශ්‍ය කරන බව මා දන්නා බැවිනි.

මගේ ගමේ සිංහලයන් බොහොමයකි. දෙමළ සහ මුස්ලිම් අල්පයකි. අසල්වැසියන් බොහෝ දෙනාගෙන් නිතර මට ඇසෙන්නේ දෙමළ හෝ මුස්ලිම් අල්පය කෙරෙහි වන පැමිණිලිය. බිරිඳත් ඉඳහිට ඔවුන් ගැන නෝක්කාඩු කියයි. දරුවන්ද, පාසලේදී කියා දුන් වීර චරිතාපදාන ගැන, විද්‍යාව පාඩමට වඩා ගෙදරදී කතාබහ කරති. ඔවුන්ගේ ආශාවන් සමග සමීපස්ථ නොවීම, ගෙදරදී පමණක් නොව, සමස්ත ගමේද මා පිටස්තරයෙකු බවට පත්වීමට හේතු විය හැකිය. එහෙත් 83 ගැන සහ යුද්ධය ගැන තාම මතක මම ඔවුන්ගේ මතවාද ප‍්‍රශ්න කිරීමට බලමි. එය ගමේ මා පිළිබඳ ජනප‍්‍රියත්වය ඈලියාවට යවන මාර්ගයක් විය හැකි වෙතත්, යම් දවසක රටේ සහ සමස්ත මිනිස් වර්ගයාගේමත් ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය මැදිහත්වීමක් වන බව මම හොඳාකාරවම දනිමි.

පසුගියදා සජිත් ප්‍රේමදාස ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී, නායකයා යනු කවරෙක්ද යන්න පිළිබඳව ඔහු කී දේවල්වල සමස්ථයාර්ථය වුණේ නායකයා යනු ජනතාවට පසුපසින් සිටින කෙනෙකු විය යුතු බවයි. තමා වැඩ කරන්නේ ජනතාව කියන විදිහට, ඔවුන්ගේ අභිලාෂයන්ට අනුගතව බව ඔහු විවිධ ආකාරයෙන් කියා සිටියේය. තමා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකු’ බව ඔහු අවධාරණය කෙළේ එලෙසිනි.

මේ මතය සමග මා එකඟ නොවන විට, එහෙනම් මා කියන්නේ, නායකයෙකු විය යුත්තේ ජනතාවට කන් නොදෙන ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන’ පුද්ගලයෙකුදැයි කෙනෙකු දැන් ප‍්‍රශ්න කළ හැකිය. කොහෙත්ම නැත. නායකයා ජනතාවට සංවේදී විය යුතුය. එහෙත් ඒ සංවේදීභාවය, ඒ ජනතාවගේ හෙට දවස අවදානමට ලක්කිරීමට තුඩුදිය යුතු නැත.

ගොවියා ප‍්‍රශ්න දෙස බලන්නේ එක කෝණයකිනි. කම්කරුවා තවත් කෝණයකිනි. රාජ්‍ය සේවකයා වෙනත් කෝණයකිනි. වෙළෙන්දා සහ ව්‍යාපාරිකයා තවත් කෝණයකිනි. මෙය බොහෝ විට සමාන වන්නේ අන්ධයා අලියාගේ ස්වරූපය තේරුම්ගන්නා ආකාරයටයි. නායකයා යනු සමස්ත අලියා දකින පුද්ගලයෙකුට සමාන විය යුතුය.

මුස්තාපා කෙමාල් අටාර්ටුක් 1923 දී තුර්කියේ බලයට පත්විය. ඔහුගේ පළමු කර්තව්‍යය වුණේ, රටට අලුත් ව්‍යවස්ථාවක් ලිවීමයි. ඒ ව්‍යවස්ථාවේ ඔහු මුලින්ම ලීවේ, ‘තුර්කිය ලෞකික රාජ්‍යයකි’ කියාය. එදා තුර්කියේ මුළු ජනගහනයෙන් සියයට 99 ක් මුස්ලිම්ය. කෙමාල් අටාර්ටුක්ද මුස්ලිම්ය. එහෙත් ඔහු එක දෙයක් තේරුම් ගත්තේය. එනම්, රාජ්‍ය පාලනය සහ ආගම එකට පටලවා ගත යුතු නැති බවයි. අදටත් සියයට 97 ක මුස්ලිම් ජනතාවකගෙන් සමන්විත තුර්කිය ලෞකික රාජ්‍යයකි.

සියයට 90 ක් කළු ජාතිකයන් විසූ දකුණු අප‍්‍රිකාවේ පළමු වරට කළු ජාතික නෙල්සන් මැන්ඩෙලා 1994 දී බලයට පත්විය. තමා බලයට පත්කළ ‘ජනතා කැමැත්ත’ පසුපස ගියේ නම්, මැන්ඩෙලාට සුදු ජාතික සුළුතරයේ ඓතිහාසික අපරාධවලට ඔවුන්ගෙන් පලිගත හැකිව තිබුණි. එහෙත් ඔහු කෙළේ සියයට 90 ක කළු ජාතික අතිබහුතරය, එක රටක් තුළ, සියයට 10 ක සුදු ජාතික සුළුතරය ඉවසනසුළු ජාතික සංහිඳියාවකට ගෙන ඒමයි. මේ නායකයන් දෙන්නාම ‘ජාතිකවාදීන්’ය. එහෙත් අටාර්ටුක් ආගම පැත්තකින් තිබ්බේය. මැන්ඩෙලා හමේ පාට පැත්ත‍ෙින් තිබ්බේය. ඔවුන් දෙන්නා ‘ජනප‍්‍රිය බහුතරයේ’ අනුගාමිකයන් විි නම්, තුර්කියත් දකුණු අප‍්‍රිකාවත් අද ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලෝකයේ සාමකාමී රටවල් දෙකක් නොවන්නට ඉඩ තිබුණි.

මේ පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු පුනපුනා එක් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කෙළේය. එනම්, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රතිපත්තිය කුමක්ද යන්නයි. ඔහු තමාගේ මතය ප‍්‍රකාශ කරනු වෙනුවට කෙළේ, ජනතාවගේ කැමැත්ත ගැන කතා කිරීමයි. නැවතත් එහිදී අපට හමුවුණේ, ‘ජනතාව පස්සෙන් යන නායකයෙකි’.

ඒ සම්බන්ධයෙන් වන ජනතා කැමැත්ත ‘විද්‍යාත්මකව ප‍්‍රකාශයට පත්වී නැත’ යන්න ඔහුගේ පොදු ආස්ථානය විය.

එහිදී ප‍්‍රශ්න දෙකක් මතුවෙයි. එකක් වන්නේ, ඒ සම්බන්ධයෙන් (ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්) ජනතාව දරන මතය කුමක් වුවද, ඒ සමග තමා සිටින බව ඔහුගෙන් ගම්‍ය වීමයි. නැවතත්, අටාර්ටුක් සහ මැන්ඩෙලා අපේ සිහියට නැගේ. මේ ජනාධිපති ක‍්‍රමය ගැන සජිත් ප්‍රේමදාස නමැති නායකයාට තමන්ගේය කියා මතයක් නැත. හැම විටකම ඔහුගේ මතය වන්නේ, ඔහු කියන පරිදි, ජනතාවගේ මතයයි. ඔහු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රමය’ වශයෙන් හෝ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකු’ වශයෙන් දකින්නේ එවැන්නක් බව පෙනේ. එනම්, විධායක ජනාධිපති ක‍්‍රමය ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඇති කරන බලපෑම සාධනීයද, නිෂේධනීයද යන තමන්ගේම වන අදහසක් නායකයාට නැති බවය. මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා දිගින් දිගටම ප‍්‍රශ්න කරද්දී, මංගල සමරවීර ඇමතිවරයා මැදිහත් වී ‘අපි වෙනත් මාතෘකාවකට යමු’යි කියා සාකච්ඡාව වෙනත් පැත්තකට ගෙන ගියේය. මට හැඟුණු පරිදි, මංගල සමරවීර එහිදී තිගැස්සුණි. තමන් මෙතෙක් කල් නොසැලී සිටි එක් කේන්ද්‍රීය මතයක්, යම් හේතුවක් නිසා, මේ මොහොතේ තමන්ට අතහැරීමට සිදුව ඇතැයි යන නීරස සත්‍යය අනවශ්‍ය මොහොතක නිරාවරණය වේය යන හදිසි බියකින් ඔහු ඇළලී ගිය බව පැහැදිලිව පෙනෙන්ට තිබුණි.

දෙවැනි ප‍්‍රශ්නය වන්නේ, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ජනතාව අද දරන මතය සජිත් ප්‍රේමදාස දන්නේ හෝ දැනගත්තේ හෝ කෙසේද යන්නයි. මට අහවලා ඒක කිව්වා යැයි ඔහුට කිව නොහැක. මට එහෙම හිතෙනවා යැයි ඔහුට කිව නොහැක. ඇත්තෙන්ම ඔහු එවැන්නක් කීවේ ද නැත. ඒ නිසා, වෙනත් ආකාරයක උත්තරයක් ඔහු දුනි. එනම්, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක හෝ පවත්වා ගැනීමක අවශ්‍යතාව ‘විද්‍යාත්මකව’ ඔප්පු වී නැති බවයි. එනම්, යම් සංගණනයක් හෝ මත විමසුමක් ආදියෙන් එය පිරිසිඳ දැනගෙන නැති බවයි.

මේ දවසේම ආචාර්ය හර්ෂ ද සිල්වා තමන්ගේ ට්විටර් පණිවිඩයක් හරහා දන්වා තිබුණේ, ‘විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය’ මගින් එවැනි මත විමසුමක් 2000 ක පිරිසක් නියැදිය වශයෙන් ගෙන කර ඇති බවත්, ඒ අතරින් බහුතරයක් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට නොව, පවත්වා ගැනීමට කැමැත්ත පළකොට ඇති බවත්ය. ‘විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් සිදු කළා යැයි කියන මේ මත විමසුමේ අදාළ කොටස, එනම් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ කැමැත්ත/අකමැත්තට අදාළ කොටස, ආචාර්ය හර්ෂ ද සිල්වා මට එවා තිබේ. ඊට අනුව, 2016 අගෝස්තුවේ එය අහෝසි කිරීම සඳහා තිබූ සියයට 35.7 ක කැමැත්ත, 2019 පෙබරවාරිය වන විට 14.8 දක්වා පහළ ගොස් තිබේ. මේ කියන මත විමසුම හුදෙක් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන පමණක් කළ සමීක්ෂණයක් නොවේ. එබැවින් සමස්ත සමීක්ෂණයේ අවසාන වාර්තාව ලබා ගැනීමට මම උත්සාහ කෙළෙමි.

මෙය ලියන මොහොත වනතෙක් එය මට ලැබී නැත. එබැවින් දැනට කිව හැක්කේ, සමීක්ෂණය කරන ලද්දේ කුමක් අරමුණු කරගෙනද, අදාළ කාරණය සහ සමීක්ෂණයට භාජනය කළ වෙනත් කාරණා අතර ඇති සහසම්බන්ධය කුමක්ද, යොදාගත් නියැදිය ප‍්‍රමාණවත්ද සහ යෝග්‍යද යනාදී කරුණු නොදැන ඒ ගැන යමක් කිව නොහැකි බවයි.

ඒ කෙසේ වෙතත්, 2000 ක් පිරිස සහභාගී කරගෙන පැවැත්වූ සමීක්ෂණ වාර්තාවක නිගමනය එසේ විය හැකි වුවත්, රට කරවීමට සිටින නායකයෙකු වශයෙන් එය අවසාන විනිශ්චය වශයෙන් බාරගෙන කටයුතු කරන්නේද, නැත්නම්, තමන් විශ්වාස කරන වෙනත් මතයක් ඊට වඩා වෙනස් වේදිකාවක් මත ජනතාව ලවා අනුමත කර ගැනීමට උත්සාහ කරන්නේද යන්න අපට දැන ගැනීම වැදගත්ය. මන්ද යත්, නැවතත් අපට අටාර්ටුක් සහ මැන්ඩෙලා මතක් වන බැවිනි: 1923 දී තුර්කි රාජ්‍යයේ ආගම ඉස්ලාම් විය යුතුද යන ප‍්‍රශ්නය මත විමසුමකට ලක්කෙළේ නම්, සියයට 99 ක් පමණ පිරිසක් ‘ඔව්’ යැයි පිළිතුරු දෙන බවට සැකයක් නැති බැවිනි. ඓතිහාසික වැරදිවලට සහ අපරාධවලට සුදු ජාතික සුළු ප‍්‍රජාවට දඬුවම් කළ යුතුදැයි මත විමසුමක් 1994 දී දකුණු අප‍්‍රිකාවේ සිදුකෙළේ නම්, සියයට 90 කටත් වැඩි පිරිසක් එයටත් ‘ඔව්’ යැයි කියන බවට සැකයක් නැති බැවිනි.

ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටින ‘විද්‍යාත්මක’ ඔප්පුව පිරිසිඳ අත්හදා බැලෙන විද්‍යාගාරය කුමක්ද ? අප දන්නා පරිදි, ජනාධිපතිවරණයමයි. 1994 දී මේ ක‍්‍රමය අවලංගු කළ යුතුව ඇති බව චන්ද්‍රිකා බණ්ඩාරනායක තමන්ගේ ජයග‍්‍රහණය තුළින් ‘ඔප්පු’ කළාය. ඊට පසුව, 1999, 2005, 2010 සහ 2015 යන සෑම ජනාධිපතිවරණයකදීමත්, එය අවලංගු කළ යුතුව ඇති බව ‘ඔප්පු’ කෙරුණි. මන්ද යත්, ඒ සෑම අවස්ථාවකම ජයග‍්‍රාහකයා මේ කාරණය තමන්ගේ කේන්ද්‍රීය ප‍්‍රතිඥාවක් වශයෙන් ජනතාව ඉදිරියේ නිශ්චිතවම තබා ඇති බැවිනි. එ් සියල්ලත් මදි නම්, පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදායින් පටන්ගෙන දින 52 ක කාලයක් තිස්සේත්, ඉන් අනතුරුව අද දක්වාත්, මෛත‍්‍රිපාල සිරිසේන නිශ්චිතවම සහ කාගේත් ඇඟටම දැනෙන ස්පර්ශනීය ආකාරයෙන් එය ඔප්පු කරමින් සිටී.

එහෙත්, විශේෂයෙන් පසුගිය අප්‍රේල් ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් පසුව, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණය ඉස්මතු වී ඇති නිසා, ජනාධිපති ක‍්‍රමය තවදුරටත් පවත්වා ගැනීමේ අදහසකට ජනතාව දැන් මාරු වී ඇති බවක් කෙනෙකුට තර්කයක් වශයෙන් මතු කළ හැකිය. මුලින්ම කිව යුත්තේ, පාස්කු ප‍්‍රහාරය යනුම, ජනාධිපතිවරයාගේ අසාර්ථකත්වයක ප්‍රතිවිපාකයක් මිස ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන බවය. එය, නීතිය හා සාමය බිඳ වැටීමක, ආයතනික ගරා වැටීමක සහ දේශපාලනික නායකත්වයක් නැතිකමක ප‍්‍රතිවිපාකයකි. දෙවැනුව, ජාතික ආරක්ෂාව සහ විධායක ජනාධිපති ක‍්‍රමය අතර අනිවාර්ය සාධනීය සහසම්බන්ධයක්, ජාතික ආරක්ෂාව බිංදුවටම වැටුණු යුද්ද කාලයේදී පවා පෙන්නුම් කොට නැත.

ඒ කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරයෙන් පසු, කෙනෙකු කියන පරිදි, ජාතික ආරක්ෂාව මුල් තැනට විත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිකන්නට වීසි වී ඇතැයි මොහොතකට අපි පිළිගමු. එහෙත් එය, සජිත් ප්‍රේමදාස කියන පරිදි, ‘විද්‍යාත්මකව’ දැනගත යුතුව තිබේ. එ් කෙසේද ?

ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය කරන්නේය. මොවුන් කියන පරිදි, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට නොව, තවදුරටත් පවත්වා ගැනීමට දැන් ජනතාව තීන්දු කර ඇත්නම්, ඒ ජනමත විචාරණය හරහා අපට ඒ බව දැනගත හැකි වනු ඇත. සත්‍ය තත්වය දැන ගැනීමේ එකම දේශපාලන ‘විද්‍යාත්මක’ ක‍්‍රමය වන්නේ එයයි. එසේ නොමැතිව, ජනතාව එසේ සිතතියි කියා උපකල්පනය කොට දැන් තියාම තමන් විසින් එකී කේන්ද්‍රීය කාරණය බිමින් තැබීම මගින් ඇත්තෙන්ම ඔප්පු කොට පෙන්වන්නේ ජනතාවගේ කැමැත්තක් නොව, නායකයාගේ කැමැත්තයි.