2018 ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වූ ළමා හිංසන පැමිණිලි සංඛ්‍යාව 9512!

2018 ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වූ ළමා හිංසන පැමිණිලි සංඛ්‍යාව 9512!

19 September 2019 12:19 pm

ළමා හිංසනය පිළිබඳ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට 2018 වසරේ දී මුළු දිවයිනෙන්ම පැමිණිලි 9,512ක් ලැබී තිබෙනවා. මෙහි රටේ සිදුවන මුළු ළමා හිංසන සංඛ්‍යාව නියෝජනය වෙන්නේ නැහැ. තවද ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය තම වෙබ් අඩවියේ දක්වන පරිදි මෙම පැමිණිලි සියල්ල පැමිණිල්ලේ ස්වභාවය මත විසඳා ඇති බව සදහන්ව තිබුනද, එය ඒවා විසඳා ඇත්තේ කෙසේද හෝ ගත් ක්‍රියා පටිපාටිය සඳහන් කර නැහැ. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තවලට අනුව කාණ්ඩගත නොකළ 'විවිධ' වර්ගයේ ළමා හිංසන පැමිණිලි (Miscellaneous) 2622ක් (27.5%) ලැබී තිබෙනවා. ඊට අමතරව,

1. ළමුන්ට සිදුවන කුරිරුකම් (Cruelty to Children) ගැන පැමිණිලි 2413 (25%) යි.
2. ළමුන්ට අනිවාර්ය අධ්‍යාපනය පිළිබඳ ලබා නොදීම ගැන පැමිණිලි (Compulsory Education) 1267 (13%)යි.
3. ළමා ලිංගික හිරිහැර (Sexual Harassment) ගැන පැමිණිලි 555 (9%)යි.
4. ළමුන්ට සිදු වූ බරපතල ලිංගික අපයෝජනය (Grave sexual Abuse) ගැන පැමිණිලි 375 (4%) යි.
5. ළමා ලිංගික දූෂණය (Rape) ගැන පැමිණිලි 311 (3%) යි.
6. ළමා කුට්ටනය (Trafficking) පැමිණිලි 125ක් (1%)යි.
7. ළමුන් නොසළකා හැරීම (Neglect of Children) ගැන පැමිණිලි 563 (6%)යි.
8. දරුවන් හිඟමනට යෙදවීම (Procuring to beg) ගැන පැමිණිලි 315 (3%) යි.
9. ළමා ශ්‍රමය ගැන පැමිණිලි (Child Labour) 262ක් (3%) යි.
10. ළමුන් විසින් කරන ලද බාල අපරාධ (Juvenile Delinquency) ගැන පැමිණිලි 374 (4%) යි.

ඉහත පැමිණිලි අතරින් ළමුන් වෙත සිදු කළ ලිංගික හිංසනයන් ගැන පැමිණිලි ගණන 1373ක් වන අතර එය මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් 14.4%ක ප්‍රතිශතයක් ගන්නවා. ඒ අතරට ලිංගික හිරිහැර, බරපතල ලිංගික අපයෝජනය, ලිංගික දූෂණය, ළමා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, අසභ්‍ය ප්‍රකාශනය සඳහා ළමුන් යොදවා ගැනීම (Obscene Publication), ‘අශෝභන’ හැසිරීම් (‘Gross Indecency’), ළමයින් ලිංගික සූරාකෑම (Sexual Exploitation of Children), ‘අස්වාභාවික’ වැරදි (‘Unnatural’ Offences), පවුලේ හෝ ඥාතීන්ගෙන් සිදුවන ලිංගික අපයෝජයන් (ව්‍යභිචාරය /Incest) ඇතුලත් වෙනවා. (මීට අමතරව ළමා කුට්ටනය හා ළමා ශ්‍රමය ඇතැම් විට ළමුන් ලිංගික වෘත්තියේ යෙදවීමට සම්බන්ධ විය හැකි වුවත් ඒ පිළිබඳ විස්තර දක්වා නොමැති නිසා එම අගය එකතු කොට නැහැ.)

අප මතක තබා ගත යුත්තේ මෙම පැමිණිලි ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිලි මිස ශ්‍රී ලංකාවේ සිදු වන සියලු ළමා හිංසනයන් නොවන බවයි. උදාහරණයක් ලෙස පවුලේ හෝ ඥාතීන්ගෙන් සිදුවන ලිංගික අපයෝජන (Incest) සිද්ධීන් 1ක් පමණක් වාර්තා වීම පිළි ගන්නට බැහැ. එසේම ළමා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය 1%ක් ලෙස වාර්තා වී තිබුනත් එය ද ප්‍රායෝගිකව වන්නට බැහැ. බොහෝ විට අප අත්දකින කාරණයක් වන්නේ එවැනි සිද්ධි පවුලේ ප්‍රශ්න ලෙස යට යෑමයි. ළමා වියේ දී ළමා අපයෝජනවලට මුහුණ දීමට සිදු වන අයට වැඩිහිටි වීමෙන් පසුව ද ඒවා නිසා බරපතල ලෙස මානසික පීඩාවන්ට මුහුණ පෑමට සිදු වෙනවා.

එසේම තවත් නොසලකා හරින කාරණයක් වන්නේ නීත්‍යානුකූලව සාම්ප්‍රදායික නීති යටතේ සිදු වන සහ නීති විරෝධී ලෙස සිදු වන ළමා විවාහයි. ළමා විවාහ ඇතුළේ සිදු වන මෙම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වාර්තා නොවීමට තවත් කරුණක් වන්නේ බාල වයස්කරුවෙකු තම දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් මිදී වෙනත් වැඩිහිටි පුද්ගලයෙකු භාරකාරීත්වයට පත් වීමයි. එවිට ඒවා 'පවුල ඇතුලේ ප්‍රශ්න' ලෙස යට යනවා. ළමුන්ට පමණක් නොව වැඩිහිටි ස්ත්‍රීන්ටද මෙම අසාධාරණය අප සමාජයෙන් බහුලව සිදු වෙනවා.

තවද සමාජය විසින් ළමා ලිංගික හිංසනයේ වැඩි බරක් දෙන්නේ ගැහැණු ළමුන්ට සිදුවන ලිංගික හිංසනයන් සහ අපයෝජනයන් ගැන පමණයි. නමුත් අප සමාජයේ විශාල ලෙස පිරිමි ළමුන්ද ලිංගික හිංසනයට සහ අපයෝජනයන්ට ලක් වෙනවා.

පිරිමි ළමුන් ගැබ්බර නොවන නිසා වැඩිහිටියන්ද එම ලිංගික අපයෝජන යට ගසනවා. පිරිමි ළමයා සෝදා ගෙට ගැනීමට හැකිය යන පුහු මිථ්‍යාව නිසා විශාල ළමුන් සංඛ්‍යාවක් මින් මානසිකව පීඩා විඳිනවා. (පිරිමි ළමුන්ට සිදු වන ලිංගික අපයෝජන පිලිබඳ සමකාමීත්වය සමඟ පටලවා ඇති මිත්‍යා මතය තවමත් සමාජයේ පවතිනවා. තමන්ට සිදු වූ ලිංගික අපයෝජන සහ ලිංගික හිරිහැර ගැන පැවසීම පිරිමි ළමයකුට පමණක් නොව, වැඩිහිටි පිරිමියෙකුට පවා දුෂ්කර වන්නේ ‘පිරිමිකම’ සම්බන්ධයෙන් බැඳී ඇති පුහු මිථ්‍යා මත නිසයි.)


ළමා අපයෝජන ගැන තොරතුරු රැසක් ඉදිරිපත් වෙන තවත් වැදගත් ලේඛන දෙකක් තිබෙනවා. ඒ

1. 2018 පොලිස් දෙපාර්තමේන්තුවේ බරපතල අපරාධ දත්ත සටහන
2. 2018 පොලිස් කාර්ය සාධන වාර්තාව

නමුත් මේවායේ ළමුන්ට විශේෂිත වශයෙන් වන හිංසනයන් දක්වා ඇත්තේ කාණ්ඩ 3කින් පමණයි.

1. 2018 පොලිස් කාර්ය සාධන වාර්තාවේ දත්ත විශ්ලේෂණයට අනුව ගැහැණු ළමුන් ලිංගික දුෂණයට ලක්වීම් (Child Rape) 1518යි.
ඉන් කැමැත්ත ඇතිව හෝ නැතිව සිදුවී ඇති ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ ගැන සිද්ධි 1447ක් වාර්තා වෙනවා. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යනු අවුරුදු 16 හෝ ඊට අඩු ගැහැණු ළමුන් සමඟ ඔවුන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික ක්‍රියාවක යෙදීමයි. මෙම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය 79%ක් සිදුව ඇත්තේ ආදර සම්බන්ධතාවල ඔවුන්ගේ කැමැත්තෙන් බවද දැක්වෙනවා. ඊට අමතරව 16-18 වයස්වල ගැහැණු ළමුන් අපයෝජන සිද්ධි ද 71ක් වාර්තා වෙනවා.

බොහෝ විට අපේ රටවල මෙවැනි බරපතල අපරාධ සිදු වුවත් ඒවා විසඳීමට ගත වෙන කාලය ඉතා වැඩියි. බොහෝ ලිංගික අපයෝජන/හිරිහැර/දූෂණවලට ලක් වෙන ළමුන්ට වැඩිහිටියන් වූ පසුවත් මේවා සම්බන්ධයෙන් උසාවි වෙත යාමට සිදු වෙනවා. ඒ නිසාම මෙම සිදු වීම් ගොඩින් විසඳා ගැනීමත්, යුක්තිය ඉෂ්ට නොවීමටත් බලපානවා. එසේම වින්දිතයාගෙන් ලිංගික හිරිහැර ගැන වරින් වර ප්‍රශ්න කරමින්, ලිංගික ප්‍රචණ්ඩත්වයට යළි යළිත් වින්දිතයන් පාත්‍ර කිරීමත් අපගේ යුක්ති ක්‍රියාදාමය තුළ සිදු වෙනවා. මෙවැනි කාරණාවල ප්‍රතිඵලයක් වන්නේ, බොහෝ විට 'විසඳුමක්' ලෙස දුෂණයට ලක් වූ ගැහැණු ළමයා අපරාධකරුටම විවාහ දීම සිදු වීමයි. දුෂණයට ලක්වෙන වයස අවුරුදු 18ට වැඩි ස්ත්‍රීන්ටද මෙම තත්ත්වය බලපානවා.

2. 2018 පොලිස් කාර්ය සාධන වාර්තාවට අනුව ළමුන්ට එරෙහි කුරිරු ලෙස සැලකීම් (Cruel treatment against children) සිද්ධි 107ක් හා ළමා හිංසනය (Child Abuse) ගැන සිද්ධි 49ක් පොලීසියට වාර්තා වී තිබෙනවා.
මෙම දත්තම පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ බරපතල අපරාධ පිලිබඳ දත්ත සටහනේ දැක්වෙන්නේ ළමුන්ට එරෙහි කුරිරු ලෙස සැලකීම 104ක් හා ළමයින් ලිංගික සූරාකෑම (Sexual Exploitation of Children) 50ක් ලෙසයි. මෙලෙස වෙනස් දත්ත සඳහන් කර ඇත්තේ වැරැදීමක් නිසා ද යන්නත්, දත්ත පවත්වා ගැනීමේ ප්‍රමිතිය සම්බන්ධ ගැටළු තිබේ ද යන්න පිළිබඳවත් සැකය අපිට මතු වුනා.

3. ළමයින්ට එරෙහි අපරාධ ගැන ඇති දත්තවල ප්‍රමිතිය ගැන විශේෂ අවධානයක් අවශ්‍යයි.

තවද 2018 පොලිස් කාර්ය සාධන වාර්තාව අනුව ළමුන් වෙනුවෙන්ම ඉදිරිපත් කර ඇති දත්ත වාර්තාකරණයේ දී ළමුන්ට එරෙහි බරපතල අපරාධ කාණ්ඩ 15කට බෙදා තිබෙනවා. එය ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ වර්ගීකරණයට වඩා හාත්පසින්ම වෙනස් එකක්. ඒ අතර එකදු 'ළමා ලිංගික හිංසන' කාණ්ඩයක් නැහැ. එම වර්ගීකරණයට අනුව ළමා හිංසනයන්ගේ මුළු එකතුව 9,71,617ක් වෙනවා.

හිරිහැර කිරීම 1,90,802ක්,
තර්ජනය කිරීම හා බැන වැදීම් 1,88,865ක්,
පවුල් ආරවුල් 1,03,971 ක්,
මුදල් හා භාණ්ඩ සම්බන්ධ ආරවුල් 1,15,352ක්,
ඉඩම් ආරවුල් 85,817ක්,
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය 22,320ක්, යනාදී ලෙස සඳහන් වෙනවා.

මෙම වර්ගීකරණයන් සැබවින්ම 'ළමා හිංසනයන්ද' යන්න ප්‍රශ්න සහගතයි. උදාහරණයක් ලෙස ඉඩම් ආරවුල් ගත හැකියි. ඉහත මුළු ගණනින් පමණක් 42094 (4%) පොලිස් විමර්ශනය කර ඇති අතර සුවිශේෂිතම කරුණ වන්නේ එම සියලු පැමිණිලි (100%) පොලිසිය විසින් විසඳා ඇති බව සඳහන් වීමයි. මෙසේ ප්‍රතිශත සඳහන් වෙන්නේ එම වගුවේම තවත් විසඳීමට ඇති සිද්ධි ගැන තවත් තැනක සඳහන් වීම ද ඇතුළුවයි. එම වගුවේ දැක්වෙන අන්දමට 2016, 2017 වසරවලද වගුවේ දක්වන විසඳා ඇති ළමා හිංසන පැමිණිලි 100%ක් බවද සදහන් වෙනවා.

මෙම වාර්තා අධ්‍යයනය කිරීමේ දී අප දුටු අනෙක් ගැටළුව වූයේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් සිදු කළ මැදිහත් වීම් පිළිබඳ තොරතුරු පැහැදිලි ලෙස කිසි තැනක සඳහන් කර නැති වීමයි.

එසේම අපට සිතුනේ මෙහිදී ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හා පොලිසිය මීට වඩා අන්‍යොන්‍ය ලෙස සහයෝගයෙන් ක්‍රියා කළ යුතුව ඇති බවයි. මන්ද මෙම දත්ත වාර්තා හා ඒවා පිලිබඳ ගත් නීතිමය ක්‍රියා මාර්ග ගැන දැන ගැනීම පුරවැසියන්ගේ අයිතියක් වන අතරම එය සමස්ත ළමා පරපුරේ හෙට දවස 'සැබවින්ම' සුරක්ෂිත කිරීමටත් වැදගත් වෙනවා.

දේදුනු සංවාද | Dedunu Sanwada (2019.09.18)