ජනපතිගේ පැතුම ඉටුවෙයිද ? - ධුර කාලය විමසීමේ නීතිමය පසුබිම

ජනපතිගේ පැතුම ඉටුවෙයිද ? - ධුර කාලය විමසීමේ නීතිමය පසුබිම

19 September 2019 10:53 am

ජනාධිපතිවරණය 2019 නොවැම්බර් මස 16 වැනි දින පවත්වනු ලැබීම සඳහා අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කරන ලදී. ඒ අනුව සියලු දේශපාලන පක්‍ෂ පාහේ නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා මේ දක්වා තම තමන් ක්‍රියාත්මක කරන ලද සැළසුම් කාල රාමුවක් සහිතව වැඩි ජවයකින් ඉදිරියට ගෙනයාමට අපේක්ෂා කරන බව පෙනේ.

කෙසේ වෙතත් අද උදෑසන සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි තමාගේ පස් අවුරුදු ධුර කාලය ආරම්භ වන්නේ කවදාද අවසාන වන්නේ කවදාද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා සැරසෙන බවක් පෙනේ. මෙහි ඇති නීතිමය පදනම කුමක්ද යන්න සළකා බැලීම මෙම සටහනේ අරමුණ වේ.

එය සළකා බැලීමේදී අවධානයට යොමුකළ යුතු කරුණු කිහිපයක් මෙසේය:-

1. අතීතයට බලපාන පරිදි නීති පැණවීමේ හැකියාවක් නැත.

2. මෛත්‍රිපාල සිරිසේන 2015 ජනවාරි 9 දින ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

3. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 මැයි මස 15 දින සිට බලාත්මක වේ.

4. එහි 3වන ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභිනව 30 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 5කි.

5. 19 වන සං⁣ශෝධනයේ 1 වන ව්‍යවස්ථාවේ 2 වන සහ 3 වන අනු ව්‍යවස්ථා අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වන නිශ්චිත වගන්ති ගණනාවක් හැර අන් සියලු ප්‍රතිපාදන 19 වැනි සංශෝධනය බලාත්මක වන දිනයේ සිටම බලපැවැත්වේ.

6. 19 වැනි සංශෝධනය මගින් තාක්ෂණික අර්ථයෙන් ගත්කල පැවති විධායක ජනාධිපති ධුරය අහෝසි වී නව ධුරයක් ආදේශ වී තිබුණද මෛත්‍රීපාල සිරිසේන මේ දක්වාම එම නව ධුරයේ දිවුරුම් දී නැත.

7. 19 වැනි සංශෝධනයේ දැක්වෙන පරිදි ධුර කාලය වසර 5ක් වශයෙන් වන සීමාව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද අදාළ වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර සිදුකරන ලද මත විමසීමකදී ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.

ඉහත දක්වන කාරණා පවත්නා තත්වය තව තවත් ව්‍යාකූල කරනවා විනා විසඳුමක් ඉදිරිපත් කරන බවක් පෙනෙන්නට නැත. මේ මොහොතේ පැන නගින ප්‍රශ්නය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලය වසර 5ක් වුවද එම වසර 5 ආරම්භ වන්නේ කවදායින්ද යන්නයි. ආරම්භ වන දිනය අනුව ධුරය දැරීම අවසන් වන දිනය තීරණය කළ හැක.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 19 වන සං⁣ශෝධනය අනුව වන වසර 5ක ජනාධිපති ධුරය දැරීම ආරම්භ වන්නේ ඔහු දිවුරුම් දුන් 2015 ජනවාරි 09 වැනිදායින් නම්, ඔහුගේ ධුර කාලය 2020 ජනවාරි 08 වැනිදායින් අවසන් වේ. ඒ අනුව ඊයේ රාත්‍රි නිකුත් කළ ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ඒ අයුරින්ම බලාත්මක වන අතර 2019 නොවැම්බර් 16 වැනි දින යොදාගත් පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත.

නමුත් ජනාධිපති සිරිසේන බලයට පත්වන අවස්ථාවේ බලපැවැත්වුණු නීතිය අනුව ඔහු 2015 ජනවාරි 09 සිට වසර 6ක කාලයක් එනම් ⁣2021 ජනවාරි 08 දක්වා ධුරය දැරිය යුතුව තිබුණි. කෙසේ වෙතත් ඒ පිළිබඳව පළවී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව ඔහුට හිමිවන්නේ වසර 5ක ධුර කාලයක් වන බැවින් එය ඇරඹෙන්නේ කවදා සිටද යන්න පැහැදිලි කරගත යුතු වේ.

මෙහිදී ජනාධිපති සිරිසේන පාර්ශවයේ අභිප්‍රාය වන්නේ 19 වැනි සංශෝධනය බලාත්මක වන දින සිට, එනම් 2015 මැයි 15 දින සිට 2020 මැයි 14 දක්වා ධුරය දැරීමට හැකියාවක් පවතින්නේද යන්න විමසා බැලීම බව පෙනේ.

ජනාධිපති ධුර කාලය පිළිබඳව දක්වන 19 වන සං⁣ශෝධනයේ 3 වන වගන්තියෙන් ආදේශිත නව 30 (2) ව්‍යවස්ථාව දක්වන්නේ "ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කරගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේය" යනුවෙනි. එනම් එම ධුරය දැරීම ආරම්භ වන්නේ කවදා සිටද යන්න එම වගන්තිය පැහැදිලි ලෙස නොදක්වයි. සාමාන්‍ය තත්වය යටතේ ගත්කල තෝරාපත් කරගන්නා ලද දිනයේ සිට ධුරය දරණ බව සිතිය හැකි නමුත් ජනාධිපති සිරිසේන සම්බන්ධ තත්වය සාමාන්‍ය තත්වයක් නොවේ.

ඔහු වසර 6ක ජන වරමක් තිබියදී සංශෝධනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත ධුර කාලය වසරකින් කෙටි වූවෙකි. එම සංශෝධනය අනුවම එය බලාත්මක වන්නේ 2015 මැයි 15 දින සිට යනුවෙන් ප්‍රකාශිතවම දක්වා තිබීම මෙහිදී ඉතා වැදගත් කරුණකි.

ඒ අනුව "ඔහුගේ ධුර කාලය, පත්වූ දින සිට වන්නේය" යන සරළ තීරණයට එළඹිය නොහැකි සංකීර්ණ තත්වයක් නිර්මාණය වේ. එම සංකීර්ණත්වය නිරාකරණය කරගැනීමට අධිකරණයට යාමට සිදුවේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ඉටුවී වර්තමානයේ ක්‍රියාත්මක සියල්ල 2015 මැයි 14 දක්වා එක්වරම පසුපසට යාමේ සම්භාවාතාවයකිද පවතින බව පෙනී යයි.

- නීතීඥ අථිල අතාවුද