දකුණු මුහුදු තීරයේදී ජාවාරම්කරුවන්ගේ සිරගෙවල් තුළ සිරවන කැස්බෑවෝ!

දකුණු මුහුදු තීරයේදී ජාවාරම්කරුවන්ගේ සිරගෙවල් තුළ සිරවන කැස්බෑවෝ!

18 September 2019 05:00 pm

දකුණු පළාතේ වෙරළ තීරය තුළ සහ දිවයිනේ තවත් ප්‍රදේශ කීපයක "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන" නමින් පවත්වාගෙන යන සංරක්ෂණ මධ්‍යස්ථාන සියල්ල නීති විරෝධී ඒවා බවත් මෙම නීති විරෝධී ජාවාරම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවත් මීට පෙර අවස්ථා කිපයකිදීම තොරතුරු පනත මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු ඔස්සේ අප විසින් අනාවරණය කරන ලදී.



මේ ආකාරයෙන්  "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය" යන පුවරුවට මුවා වී පවත්වාගෙන යන හොර ජාවාරම් දකුණු මුහුදු තීරයේ බහුලවම දැකගත හැකි ය. එමෙන්ම දිනෙන් දින හතු පිපෙන්නා සේ ආරම්භ වන මෙම කැස්බෑ සංරක්ෂණ ජාවාරම නිසා තර්ජනයට හා හිංසනයට ලක්ව ඇත්තේ, තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් ලෙස ලෝකයේ රතු දත්ත ලේඛනයට මෙන්ම ලංකාවේ වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත මගින් දැඩි සේ ආරක්ෂා කර ඇති සත්වයෙකි.



සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත්  මධ්‍යස්ථානයක් වන ශ්‍රී  ලංකාවේ මුහුදු තීරය වෙත  ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න්, විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ඇදී ඒම සිදුවේ.



එසේ ලංකාව තුළ  දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් වන බටු කැස්බෑවා (Olive ridley turtle), ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead) ,  ගල් කැස්බෑවා (Green turtle), පොතු කැස්බෑවා (Hawksbill turtle), දාර කැස්බෑවා (Leatherback turtle) යන කැස්බෑවන් දකුණු වෙරළ  තීරයේ දී දක්නට ලැබේ.



එසේ  කැස්බෑවන් දකුණු වෙරළ  තීරයේ දී නිරන්තරයෙන් දක්නට  ඇති ප්‍රදේශ අතර මිරිස්ස, වැලිගම, හබරාදුව, හම්බන්තොට, අංගොඩ, රැකව, බුන්දල යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකි ය. එම ප්‍රදේශ පදනම් කරගනිමින් මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයන් ද පවත්වාගෙන යනු ලබයි.



ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ III වන කොටසේ 30 වන වගන්තිය ප්‍රකාරව ''ඇ'' සිට ''උ '' දක්වා වගන්ති තුළ  සඳහන් නීතිරීතිවලට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන් සපුරා තහනම් වේ.



එපමණක් නොව, එහි 30(2) වගන්තිය යටතේ එම ක්‍රියාවන්හි නිරතවන වැරදිකරුවන්ට ලබා දිය යුතු දඬුවම් පැහැදිලිවම දක්වා තිබේ.   ඒ අනුව අදාළ වැරැද්ද සිදුකරනු ලබන තැනත්තා හට ඔහු වරදකරු කිරීමේ දී රුපියල් දසදහසකට අඩු නොවන රුපියල් තිස්දහසකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දෙකකට අඩු නොවන සහ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගතකිරීම හෝ දඩය සහ දෙකටම යටත් වන්නේය.  



වසර ගණනක් මුළුල්ලේ නීති විරෝධිව සත්ව හිංසනයන් ද සිදුකරමින් පවත්වාගෙන යන මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් කිසිදු වැටලීමක් , අත්අඩංගුවට ගැනීමක් ,නඩු පැවරීමක් කර නොමැති බව දෙවන වතාවටත් 2019.07.06  වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයදුම්පත්‍රයට අනුව 2019.08.25 දින ලිපි අංක ‘’වජි 06/04/74’’ යටතේ  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු මගින් හෙළි වේ.

එමෙන්ම මේ වන විටත් ලංකාවේ කිසිදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා අවසර දීමක් සිදුකර නොමැති බව ද අනාවරණ වී ඇත.



මෙවන් තත්වයක් හමුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බව ද තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබා ගත් තොරතුරු මගින් හෙළි වූ අතර ඒ තුළින් පිළිබිඹු වන්නේ වන ජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සකසා ඇති  වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණත ක්‍රියාත්මක කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කඩ කර ඇති බවයි .

 සැබෑ සංරක්ෂණයක් වෙන්නේ නෑ

මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන මධ්‍යස්ථාන හිමිකරුවන් විසින්  ඒ අවට ප්‍රදේශයේ සිටින ධීවරයන් ඇතුළු වෙනත් පුද්ගලයන් හරහා තමන්ගේ මධ්‍යස්ථානයට කැස්බෑ බිත්තර ගෙන්වා ගැනීම සිදුකරන අතර  ඒ සඳහා බිත්තරයකට රුපියල් 100 ක්  එම පුද්ගලයින්ට ලබා දෙන බව මෙම ගවේෂණයේදී අනාවරණය විය.



එය ද වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් වුවත් ඔවුන් කෙරෙහි නීතිය ලිහිල්ව තිබීම කනාගාටුවට කරුණකි .

 කැස්බෑවුන් යනු  චලතාපී සත්ව කොට්ඨාසයකි. බිත්තර කුටීරය තුළ  පවතින උෂ්ණත්වය මෙන්ම බිත්තර ස්ථානගත වී ඇති ආනතිය, බිත්තරය තුළ  ඇති කළලයේ ලිංගිකත්වය තීරණය කිරීමට බලපාන සාධක, බිත්තර කුටීරයේ ගැඹුර සහ හැඩය විශේෂයෙන් විශේෂයට වෙනස්කම් දරයි.



මේ අතර  බිත්තර එකතු කර නැවත "සංරක්ෂණ මධ්‍යස්ථාන" තුළ වල දමන පුද්ගලයන් හට මේ ගැන කිසිදු අවබෝධයක් නැති බැවින්  බිත්තර ගොන්නකින් පිටතට පැමිණෙන කැස්බෑ පැටවුන් අතරේ ලිංගිකත්වය‍ අතිශයින් අසම ව්‍යාප්ත අනුපාතයක් හටගන්නා බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.



එම නිසා සංරක්ෂණ මධ්‍යස්ථාන තුළ දී  බිත්තරවලින් පිටතට පැමිණෙන පැටවුන්ගෙන් 97%ක් පිරිමි පැටවුන් වීම සහ ගැහැණු පැටවුන් අතිශයින්ම දුර්ලභ වීම ද සිදුවී තිබේ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ජාවාරම්කරුවන් ඔවුන් ගැහැණු පැටවුන් දුර්ලභ බැවින් ඉපදුනු පසුව සාගරයට මුදා හැරීම සිදු නොකර සිමෙන්ති ටැංකියක වසර පහක් පමණ කාලයක් තබා ගන්නා බව ද හෙළිව තිබේ.



එමඟින්  කැස්බෑවුන් සංහතියේ වර්ධනයට දැඩි බලපෑමක් එල්ල වෙයි.

පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට  ස්වාභාවික තත්ත්වයන්වලදී බිත්තර කුටීරයෙන් ඉවතට පැමිණෙන කැස්බෑ පැටවුන් ඉතාමත් කඩිනමින් වෙරළේ සිට මුහුද කරා ඇදී ගොස් පැය 48 ක් පමණ එක දිගට පිහිනීම සිදුකරනු ලබයි.  



මේ සංසිද්ධිය හඳුන්වන්නේ බාලක උන්මාදය/ළදරු උන්මාදය (juvenile frenzy) ලෙසයි. මෙලෙස අඛණ්ඩව පැය ගණනාවක් පිහිනීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන්නේ බිත්තරයෙන් ලැබෙන පෝෂණය මගිනි.

මෙසේ පිහිනා යන සතුන්  පසුව ඔවුන්ට අවශ්‍ය ආහාර සොයා ගැනීමේ කාර්යයේ නියැලේ. නමුත් සංරක්ෂණ ජාවාරම් කරුවන්ගේ සිමෙන්ති ටැංකිවල හිරවන කැස්බෑ පැටවුන් හට මෙම අවස්ථාව නොලැබේ. ඔවුන්ට යම් නිදහසක් ලැබෙනවානම් ලැබෙන්නේ සංචාරකයින්ගේ මන දොළ පිනවීම  සඳහා මුදා හරින අවස්ථාවන්හි දී පමණි. ඒ වෙනුවෙන් සංචාරකයින්  මෙම ජාවාරම්කරුවන් වෙත රුපියල් 1000 කට වැඩි මුදලක් ගෙවීම සිදුකරයි.



වැඩුණු කැස්බෑවුන් පවා අඩි 5 x 5 කුඩා  සිමෙන්ති ටැංකි තුළ රඳවාගෙන තබාගනිමින්  සිටින ආකාරය බොහොමයක් කැස්බෑ සංරක්ෂණ මාධ්‍යස්ථාන තුළ  දක්නට ලැබේ.



මේ මගින්ම පෙනී යන්නේ මෙම මධ්‍යස්ථාන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නොව කැස්බෑ සිරගෙවල් බවයි. මෙවැනි කැස්බෑ සිරගෙවල් පවත්වාගෙන යාම වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකර බලා සිටීම,වනජීවීන් සුරැකීම වෙනුවෙන් සිටින වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීමද ?

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදහස් දැක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රීය අංශයේ සහකාර අධ්‍යක්ෂක චන්න සුරවීර මහතා,

‘’මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ප්‍රශ්නය, පසුගිය කාලයේ තිබුණු නීතිවිරෝධී අලි ප්‍රශ්නය වැනි එකක්. නමුත් මේවා ලොකු කාලයක සිට පවත්වාගෙන ආපු ඒවා නිසා එක පාරටම අපිට නවත්වන්න බැරි වී තිබෙනවා. නමුත් අපිට නීතිය මගින් මේවා වළක්වන්න තිබුණා."

එහෙත් අලුතින් මධ්‍යස්ථාන ආරම්භ කරන්න නොදුන් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රීය අංශයේ සහකාර අධ්‍යක්ෂක චන්න සුරවීර මහතා කියා සිටියි.

නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

''රාජ්‍ය ආයතන තුළ  නීතිය ක්‍රියාත්මක කිරීමේ විදිමත් ක්‍රමයකට යන විට යම් යම් ප්‍රමාද වීම් වෙනවා. එමෙන්ම මේ කෙරෙහි නීතිය ක්‍රියාත්මක කරමින් මේවා එක පාරටම අයින්කරගෙන යන්න ගියොත් අපිට මේ සත්තු තියාගන්න තැනක් නැතිවෙනවා. ඒ නිසා මේ වනවිට අපි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සමුද්‍රීය අංශය යට‍තේ  ගාල්ල දොඩන්දුව ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා."  

ප්‍රමිතියට නැත්නම් තහනම් කරනවා

එමෙන්ම යම්කිසි මට්ටමකට රටට ආදායමක් එනවානම් විධිමත් ආකාරයෙන් නියාමනයක් තුළ  කැස්බෑ සංරක්ෂණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති පිරිස් සමග සාකච්ඡා කරලා මේ වන විට යම් නියාමනයක් යටතේ මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා අවසර ලබාදීමට වැඩ පිළිවෙලක් ද සකසා තිබෙනවා.



නමුත් එම ප්‍රමතින්වලට නැති සියළු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ඉදිරියේදී තහනම් කිරීමට පියවර ගන්නා බවත් අනෙකුත් සියලුම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමට කටයුතු කරන බවත්  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රීය අංශයේ සහකාර අධ්‍යක්ෂක චන්න සුරවීර මහතා සඳහන් කරයි.



එමෙන්ම ඉදිරියේ දී කැස්බෑ  සංරක්ෂණ මධ්‍යස්ථානයක තබාගැනීමට හැකි, වැඩුණු කැස්බෑවන් ප්‍රමාණය පහ (5) දක්වා අඩු කරන බවත් මෙම වැඩ පිළිවෙල වසරක් තුළ  ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පවසයි.

මුහුදු සීමා ආක්‍රමණය කිරීමේ වරදට මෙන්  දකුණු මුහුදු තීරයේදී ජාවාරම්කරුවන්ගේ  කැස්බෑ සිරගේවල්  තුළ  සිරවීමට සිදුවන මේ අහිංසක සතුන්ගේ ආරක්ෂාව  සම්බන්ධයන් පවතින නීති නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති පසුබිමක කැස්බෑ සම්පත අපට අහිමි වනු නිසැකය .

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට